මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාව ජාතිවාදී මඩගොහොරුවට වේගයෙන් ඇදවැටීමට සමගාමීව සන්ධානයට සම්බන්ධ දමිළ හා මුස්ලිම් පක්ෂ සන්ධානය අතහැර පොදු අපේක්ෂක වේදිකාවට ගොනුවන්නට විය. ඒ අනුව එතෙක් සන්ධානයේ කොටස්කරුවන් වූ පී. දිගම්බරන් හා වී. රාමක්‍රිෂ්ණන් ද දෙසැම්බර් 10 වැනිදා පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමාට සහයෝගය පළ කළහ.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භයේ සිටම පොදු අපේක්ෂකයාගේ ප්‍රචාරක අංශය වෙත වූ ජන ආකර්ෂනය අතිශය ඉහළ අගයක් ගත්තේය. විශේෂයෙන්ම ඒ තුළ සෑම විටම නව නිර්මාණාත්මක ජීව ගුණයක් දැකිය හැකි විය. 2005 ජනාධිපතිවරණයේදී ‘මහින්ද චින්තනය’ ප්‍රතිපත්ති ප්‍රකාශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වුණු දා සේනානායක වේරලියද්ද විසින් ගයන ලද ‘අවදි කරනු මැන’ ගීතයට ලැබුණු ජනප්‍රියතාවට නොදෙවෙනි ජනප්‍රියතාවක් මෙවර මෛත්‍රී ඇමතිතුමාගේ ප්‍රචාරක කටයුතු සඳහා උපයෝගී කරගත් ‘රටකට ඕනෑ අපමණ අගයක් - හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ නම් තේමා ගීතය අත්පත් කරගත්තා යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත.


පොදු අපේක්ෂකයාගේ ප්‍රචාරක අංශය ජනතාව වැලඳ ගැනීමත් ඊට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රචාරක කටයුතු දිනෙන් දිනම අසාර්ථකවීමටත් හේතු වූ කරුණු ගණනාවක් තිබිය හැක. ඒ අතරින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කටවුට්, පෝස්ටර් රටේ සියලු ලයිට් කණු හා ටෙලිෆෝන් කණුවල දිස්වීම් හමුවේ සාමාන්‍ය ජනතාවට මානසික ආතතිය ගෙනදෙන තරමට ඒවා බහුල විය. මෝටර් රථයක හෝ මහ මඟ ගමන් කරන්නකුට තමාගේ දෑස් ඉදිරියෙහි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රූපරාමුව අච්චුවක සවිකර තැබුවාක් මෙන් කරදරකාරී පීඩාවක් ගෙනදෙන තරමටම මහාමාර්ග හා අතුරු මාර්ගවල එම කටවුට් පෝස්ටර් බහුල විය. විශේෂයෙන්ම ජනාධිපතිවරණයට මාස 3ක පමණ සිට සූදානම් වූ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා සිය නිලධාරී යාන්ත්‍රණය යොදවා ආරම්භයේදීම ඒ ඒ මැතිවරණ කොට්ඨාස මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මහාමාර්ගවල හා අතුරු මාර්ගවල ඇති සමස්ත ලයිට් කණු හා ටෙලිෆෝන් කණු සංඛ්‍යාව සමඟ මාර්ග සිතියම ද තම කොළඹ කාර්යාලයට ගෙන්වාගත්තේ ජනාධිපතුමාගේ කටවුට්, පෝස්ටර් ඇලවීම සඳහාමය. කෙසේ වෙතත් මෙම සන්දර්භය තුළ පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමා පොළොන්නරුවේ දී ප්‍රකාශ කර සිටියේ තමාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කටවුට් පෝස්ටර් නොමැති බවයි. විශේෂයෙන් මැතිවරණ කොමසාරිස්තුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කටවුට් හා පෝස්ටර් ඉවත් කිරීම සඳහා පොලිසිය ප්‍රමුඛ කම්කරුවන්ගේ සේවය ලබාගත් අතර ඒ සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වැයකරන ලදී.


එක් අතකින් රට පුරා සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් වන පරිදි හා ජනතාවගේ වෛරයට, කෝපයට හා විවේචනයට බඳුන්වන පරිදි කටවුට්, පෝස්ටර් අලවන මැතිවරණ ව්‍යාපාරයක් බවට මහින්ද ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය පත්වෙමින් පැවතුණි. විශේෂයෙන්ම සන්ධානයේ සමහර මැති ඇමැතිවරු මෙලෙස පෝස්ටර් කටවුට් ගැසීම පිළිබඳ වේදනාවෙන් හා විවේචනාත්මක දෘෂ්ටිකෝණයකින් කථාකරන්නට වූහ. මේ අතර ගලේවෙල පැවැති ජනහමුවක දී කථාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘මම පළමු අවස්ථාවේදී කොටි නැති කළා, දෙවැනි පාර රට හැදුවා, මෙදා සැරේ අපි විනයගරුක රටක් ගොඩනඟනවා’ යනුවෙන් පැවසීය. සැබවින්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය තුළ අන්තර්ගත හරය වන්නේ තමන් පාලනය කළ වසර 9 තුළ රටේ, සමාජයේ හා ජනතාවගේ විනය ගොඩනැඟීමට තමන් අපොහොසත් වූ බවකි. විනය යනු රාජ්‍ය පාලනයේ සැම කල්හිම සෑම තැනකම සියල්ලට ඉහළින් පැතිරී පැවතිය යුතු මූලික සමාජ මනෝවිද්‍යාත්මක සිද්ධාන්තමය ක්‍රියාවලියකි. විශේෂයෙන්ම පුරා වසර 9ක් රට පාලනය කළ රාජ්‍ය නායකයකු තෙවන වරටත් ජනතාවගේ ජනවරමක් ඉල්ලන්නේ තමන්ට කළ නොහැකි වූ විනය ගොඩනැඟීමට නම් කොතැනක හෝ එම රාජ්‍ය පාලකයාගේද පාලනයේද වරදක් තිබිය යුතුමය.


පොදු අපේක්ෂකයාගේ කොළඹ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළේ චතුර සේනාරත්නය. මෙම කටයුත්තේ දී ඔහු මුහුණ දුන් ප්‍රධානතම ප්‍රශ්නය වූයේ ගොඩනැඟිලි හිමි කිසිවකු පොදු අපේක්ෂකයාට කාර්යාලයක් විවෘත කිරීම සඳහා කුමන මුදලකට වුවද ගොඩනැඟිල්ලක් ලබාදීමට බියවීමයි. මෙම සන්දර්භය තුළ අවසානයේ දී ඒ වනවිට වසා දමා තිබූ තිඹිරිගස්යාය මන්සන්ධියට ආසන්න ගොඩනැඟිල්ලක් පමණයි චතුර සේනාරත්නට ලබාගැනීමට හැකි වූයේ. තවද, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම සඳහා සුදුසු ස්ථානයක් සෙවීමේ කාර්යයේදී කෙසේ හෝ කොළඹ නගරයේ ස්ථාන 1ක් චන්ද්‍රිකා මැතිනියත් චතුරත් එක්ව ගොස් බැලීමෙන් අනතුරුව ඒ අතරින් සුදුසුම ස්ථානය ලෙස මෙම තිඹිරිගස්යාය කාර්යාලය තෝරාගන්නා ලදී. සැබැවින්ම වසර 2ක් මා සේවය කළ එම කාර්යාලය මගේ සිතට එතරම් ප්‍රියජනක ස්ථානයක් නොවීය.

ඒ නිසාම එම කාර්යාලය විවෘත කළ දා සිට මා එහි ගියේ අත්‍යාවශ්‍යම කටයුත්තකට පමණි. චතුර හා රාජිත ඇමතිතුමා එම ප්‍රධාන කාර්යාලය බාරව සිටි අතර පොදු අපේක්ෂකයාට සහයෝගය දුන් පක්ෂ හා කණ්ඩායම් සඳහා එම ගොඩනැගිල්ලේ කාමර හා ස්ථාන වෙන්කර දී තිබුණි. කලකට ඉහතදී කුමාර් රූපසිංහ මා මුණගැසුණු ඔහුගේ කාර්යාල පරිශ්‍රය දැන් පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමාගේ කාර්යාලයයි. 2006 හා 2007 කාලය තුළ මම පළමුවරට රාජිත ඇමතිතුමා එම කාමරය තුළදීම මුණගැසී තිබුණු අතර ඉතිහාසය නැවත සිදුවේ යන්න පසක් කරන්නාක් මෙන් නැවත ඔහු හා මා එම කාමරය තුළ දී 2014 අග භාගයේදී ද මුණගැසේ. මේ අතර මෛත්‍රී ඇමතිතුමාගේ පාර්ශ්වයෙන් මුද්‍රණය කරනු ලබන පෝස්ටර්, අත්පත්‍රිකා හා වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය ගබඩාකර බෙදාහැරීම දුමින්ද ඇමතිතුමාගේ නිවස ආශ්‍රිතව සිදුකළ අතර එය බාරව සිටියේ චමින්ද ලියනගේ මහතා ය. 
මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වූ සෑම දිනකම මෙන් මෛත්‍රී ඇමතිතුමා මාගෙන් විමසීමට අමතක නොකළ කරුණු කිහිපය අතර ප්‍රධාන කරුණක් වූයේ ප්‍රචාරක අත්පත්‍රිකා ලිවීම පිළිබඳ ප්‍රශ්නයයි. එතුමා එම කාර්යය මූලික වශයෙන් මගෙන් බලාපොරොත්තු වූවා වැනිය. ඒ සමඟම උදෑසන 7.00 වනවිට වත් විජේරාම නිවසෙහි සිටිය යුතුය. මා පමණක් නොව ඒ මහා සමාජ ව්‍යාපාරයද ජාතික කාර්යභාරය ද ඉදිරියෙහි ස්වයං අභිප්‍රේරණයට ලක්වූ මා වැනි තවත් විශාල පිරිසක් එලෙස එක ලෙස කැපවීමෙන් ක්‍රියාකළ දින කිහිපයකි. ඒ අතරින් හෙළ උරුමයේ ක්‍රියාකාරීන් ගණනාවක්ම පූර්ණ කැපවීමකින් යුතුව ක්‍රියා කළහ. ඒ අය අතර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ හා ඔහුගේ බිරිඳ සුබෝදා, බන්දුල චන්ද්‍රසේකර, ලක්ෂිත ජයවර්ධන, ධනුෂ්ක රාමනායක, අනුරුද්ධ ප්‍රදීප් වැනි චම්පික ඇමතිතුමාට සම්බන්ධ විශාල පිරිසක් එම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉදිරියෙහි දිවි පරදුවට තබා කළ කැපවීම අපව තව තවත් උනන්දු කළා වැනිය. මෙම කාලවකවානුව තුළ රතන හාමුදුරුවෝ සහ චම්පික ඇමතිතුමා නිදාගත්තේදැයි සැක සිතෙන තරම්ම ඔවුහු ස්වයං අභිප්‍රේරණයකට ලක්ව සිටියහ. ඔවුන් දෙදෙනා පමණක් නොව රාජිත ඇමතිතුමා ද එලෙසමය. 


මෛත්‍රී ඇමතිතුමාගේ නිවසේ විසිත්ත කාමරයේ තිබූ එක් සෝපාවකට සුදු පිරුවටයක් ස්ථීරවම දමා තිබුණා සේ ය. එය එලෙස දමා තිබීම රංජිත්ට හා චූලාට වඩා පහසුය. ඒ අන් කිසිවක් නිසා නොව රතන හාමුදුරුවෝ දිනක් ඇතුළත එතරම්ම වාර ගණනක් මෛත්‍රී ඇමතිතුමාගේ නිවසට පැමිණෙන නිසාය. සාමාන්‍ය මනෝවිද්‍යාව පිළිබඳ සෑම විටම සවිඥානික මා හට රතන හාමුදුරුවන් තුළින් දැකගත හැකි වූයේ සැබැවින්ම උන්වහන්සේ එම දින ගණනාව තුළම අධික මානසික හා ශාරීරික අභිප්‍රේරණයකට ලක්ව සිටි ආකාරයයි. රතන හාමුදුරුවෝ මෙන්ම චම්පික ඇමතිතුමා  ද දිනකට වාර ගණනාවක්ම මෛත්‍රී ඇමතිතුමාගේ විජේරාම නිවසට පැමිණෙති. එහිදී මා දුටු සෑමවිටම මල්ලී යැයි ආමන්ත්‍රණය කරමින් මා හට යම් වගකීමක් හෝ වැඩ කොටසක් පැවරීමට උත්සුක වූහ. සමහරවිට මට එය ‘අමු වහක්’ බඳුය. මේ අතර රාජිත ඇමතිතුමා විජේරාම නිවසට පැමිණෙන සෑමවිටම කුමක් හෝ අලුත් මෙහෙයුමකට පිඹුරුපත් සැකසෙන බව අපට ඉවෙන් මෙන් දැනේ. විශේෂයෙන්ම මෛත්‍රී ඇමතිතුමාගේ නිවසේ ආලින්දයේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් තිබුණු අතර එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2009 මැයි 17 වැනි දින කටාර් රාජ්‍යයේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී, මෛත්‍රී ඇමතිතුමා හා එකිනෙකා උණුසුම්ව හා හෘදයාංගම ලෙස වැලඳගත් සිදුවීමට අදාළ ඡායාරූපයකි. ජනාධිපතිවරණ සමයේදී බොහෝ දෙනෙකුගේ යෝජනාව වූයේ එය ඉවත් කළ යුතු බව වුවද මෛත්‍රී ඇමතිතුමා එය එලෙසම තබන ලෙස පැවසීය.


මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අපගේ ප්‍රසන්ටේෂන් විග්‍රහය බැලීමට අවශ්‍යව ඇති බව පී. දිසානායක මහතා මට පැවසීය. ඒ අනුව එම දිනයේ රාත්‍රිය ඒ සඳහා යොදා ගනු ලැබීය. මෙම ගමන සඳහා මා සමඟ චාමර හා රවීන්ද්‍ර ද එක්විය. එදින දහවල් රවීන්ද්‍රගේ හා නන්දනගේ නීති විද්‍යාලයේ විභාග අවසන් වූ අතර එය මට යම් මානසික සහනයක් ද ගෙන දුන්නේය. දැන් ඔවුන් දෙදෙනා ද පූර්ණකාලීනව මා සමඟය.

 

 

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්