(බිඟුන් මේනක ගමගේ)

බැඳුම්කර ගැසට්ටුව, විධායක ජනාධිපති ධූරය ගැන ශ්‍රීලනිප මත, ජිනීවා ස්ථාවරය, ජනපතිගේ භූමිකාව, රැඳවියන් මහ මග ඝාතනය හා පළාත් පාලන ඡන්දය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතායි.

ප‍්‍රශ්නය-: මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව අගමැතිවරයා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමේ සිට ජනපති කොමිසමක් දක්වා දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. දැන් වැඬේ හරි පීල්ලට වැටිලා ද?

පිළිතුර-: කෝප් කමිටුව අධිකරණමය බලයක් සහිත ආයතනයක් නෙවෙයි. නමුත් අපි විගණකාධිපතිවරයාගේ සහයෝගයත් මුදල් අමාත්‍යංශයත් මහ බැංකුවෙ වත්මන් අධිපතිවරයා ඇතුලූ නිලධාරිනුත් සම්බන්ධ කරගෙන ඉතා පුළුල් පරීක්ෂණයක් කළා. අපේ වපසරියට විෂය පථයට යටත්ව පරීක්ෂණය සම්පූර්ණ කළා. කෝප් කමිටුවෙන් සිදුවෙච්ච අනාවරණවලට වඩා වැඩි යමක් තවම අනාවරණය වුණේ නෑ. ජනාධිපති කොමිසමෙන් මේ වනවිට සනාථ වෙන්නේ කෝප් කමිටුවෙන් විමර්ශනය වූ කරුණුම තමයි.

ප‍්‍රශ්නය: බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ ප‍්‍රශ්න අනාවරණය වුණේ ජනපති කොමිසම නිසා නේද?

පිළිතුර-: ඔව්. ඒ කරුණ අනාවරණය වුණේ ජනාධිපති කොමිසමෙන් තමයි. ඒක අපේ විමර්ශනයේදී අනාවරණය වීමට හේතුවක් නෑ. මොකද කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙ සභාගත කළේ 2016 ඔක්තෝම්බර් 28යි. ඔය ගැසට්ටුව පළ කළේ ඊට පස්සෙයි.

ප‍්‍රශ්නය-: එම ගැසට්ටුව නිකුත් කළ පුද්ගලයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන්වීමෙන් අලුත් ප‍්‍රශ්න රැසක් මතුව තිබෙනවා. මෙයින් බරපතළ ලෙස ප‍්‍රශ්න කෙරෙන්නේ මහ බැංකුවෙ කාර්යභාරය නොවේද?

පිළිතුර-: නෑ. මහ බැංකුවෙ කාර්යභාරයම විතරක් නෙවෙයි. එයින් පෙනෙන්නේ පොදු යාන්ත‍්‍රණයේම තිබෙන වියවුල්සහගතභාවයයි. ගැසට් පත‍්‍රයක් පළකරන්නේ විෂයබාර ඇමැතිවරයකුගේ නමින් නම් ඒ අමාත්‍යවරයාගේ වෙනස්වීමක් වෙද්දී ගැසට් පත‍්‍රයක් වෙනස් කරගැනීමට බැරි මට්ටමේ ව්‍යාකූල පරිපාලන ව්‍යුහයක් මෙතැන තිබෙන්නේ. රජයේ සමහර වැඩ කරන්නේ පුරුද්දේ බලයට. ගැසට් පත‍්‍රය මුද්‍රණය කරන අයට හෝ ඒක පළකිරීමට නියෝග නිකුත් කරන නිලධාරින්ට ඒ මොහොතේ සිටින ඇමැතිවරයා කවුද කියන එක අදාළ නෑ. ඒ තරමට යා දෙක නොරත රත මට්ටමේ යාන්ත‍්‍රණයක් මේ තිබෙන්නේ. එක්කෝ ගැසට් පත‍්‍රය වලංගු නෑ. එහෙම නැත්නම් ඒවා නිකුත් කරන රාජ්‍ය යාන්ත‍්‍රණය වලංගු නෑ.

ප‍්‍රශ්නය-: බැඳුම්කර නිකුත් කිරීමට අදාළ කටයුතු කලට වේලාවට සිදු වී නැත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ පාලන සමයේදී පමණක් නොවන බවට මෙයින් ඇතැමුන් එන නිගමනය ඔබ පිළිගන්නවද?

පිළිතුර-: මෙහෙමයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඇතුලූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට මෙහි සම්පූර්ණ චෝදනාව එල්ලවීම දැන් වළක්වන්න බෑ. එල්ල වෙන චෝදනාවේ බර හෑල්ලූ කරගැනීමට ඔවුන් විවිධ දේශපාලන උපක‍්‍රම අනුගමනය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් අනුගමනය කරන දේශපාලන උපක‍්‍රම ඔවුන්ට පාරාවළල්ලක් වෙනවා මිස අර්ජුන් මහේන්ද්‍රන් තම බෑණනුවන්ට වාසිදායක ලෙස බැඳුම්කර නිකුත් කළ බවට වූ නිශ්චිත කාරණාවේ හරයෙන් ඔවුන්ට ගැලවෙන්න බෑ. ඔවුන් මේකෙන් උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාලෙ පටන් මෙහෙමෙයි කියලා පෙන්නන්නයි. හොරකමේ දායකත්වයේ පංගුවට මහින්ද රාජපක්ෂ මහත්තයත් සම්බන්ධ කරගන්නනෙ. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් බිලියනයක් නිකුත් කළ බැඳුම්කර බිලියන විස්සක්ම ගැනීමට නියෝග කළ බව හෝ  පස්සෙ එය අඩු කළ බව, බැඳුම්කර නිකුත් කරන අංශයට පැමිණීම එයින් බැහැරවෙනවාද? මේක සාමාන්‍ය බැඳුම්කර නිකුතුවක් හැටියට නිකුත් වුණාය කියලා ඔප්පුවෙන බවක් කියනවා මට නම් ඇහිලා නෑ.

ප‍්‍රශ්නය: එතකොට මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බැඳුම්කර නිකුත් වීම හරියට වුණාද?

පිළිතුර: රාජපක්ෂ පාලන කාලයෙත් මේ බැඳුම්කර ගනුදෙනුව ඇතුලෙ විශාල ගනුදෙනු සිද්ධවෙලා තිබෙනවා. ඒකත් කොහෙත්ම බැහැර කරන්න බෑ. හැබැයි ඒවා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරලා නෑනෙ. එවැන්නක් කළොත් අජිත් නිවාඞ් කබ්රාල්ගේ හැසිරීම කොහොමද, එයාගෙ ඥාති සොයුරියක් මේ පර්පචුවල් සමාගමේ හිටියෙ මොකද, ඒ හරහා අභ්‍යන්තර තොරතුරු ගලායාමක් වුණේ නැද්ද, ඒ කාලෙ බැඳුම්කර නිකුත් කරද්දී රාජපක්ෂලාගෙ ගජ මිතුරන්ට වාසිදායක වුණේ කොහොමද කියලත් හොයන්න පුළුවන්.

ප‍්‍රශ්නය-: ඒ කාලෙත් හොරු හිටියා දැනුත් හොරු ඉන්නවා. මේ ආණ්ඩුවේ හැම දේටම සතුටුවීමට බෑ” යැයි ජනපති පවසනවා. මේ පේන්නේ ආණ්ඩුව ස්වයංවිවේචනයකින් ඉදිරියට යන බව ද?

පිළිතුර: මල් පිපුණාට ගෙඩි හැදෙන්නේ නැති සමහර පැපොල් ගස් තිබෙනවා. අපි කියන්නෙ ඒවාට මල් පැපොල් කියලයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශත් අන්න ඒ වගෙයි. ජනාධිපතිතුමාගෙත් කතා විතරයි. පල නෑ.

ප‍්‍රශ්නය: මෑතකාලීන විවාදපන්න ප‍්‍රශ්නවලදී ජනාධිපතිවරයා විසඳුම් සොයා කොමිසම්, කමිටු පත්කරන ආකාරය අපි දකිනවා. ඔබ කියන්නෙ මේ මැදිහත්වීම් වැඩක් නෑ කියලද?

පිළිතුර: මල් පිපෙන්නේ නෑ කියලා මම කිව්වේ නෑනෙ. ගහ වඳ පීදිලා නෑ. මල් පිපෙනවා. ගෙඩි නෑ. ගෙඩි නැතිව මල් කන්නද? ජනාධිපතිතුමාගෙ තියෙන්නේ කතානෙ. උදාහරණයකට සයිටම් ප‍්‍රශ්නය ගන්න. ඔක්කෝම කැඳවලා කාටත් සාධාරණ විසඳුමක් දෙනවා. එතකොට කවුරුත් හොඳයිනෙ. නෙවිලූත් හොඳයි. එස්.බීත් හොඳයි. රාජිතත්, අන්තරෙත්, ජී.එම්. ඕ එකත් හොඳයි. එහෙම උත්තර කොහෙද තියෙන්නේ? එක්කො සයිටම් වහන්න  ඕනෑ. නැත්නම් තියාගන්න  ඕනෑ. හොරු ඇල්ලිල්ල බලන්න. ද`ඩුවම් දෙන්න කියලා කමිටු පත්කරනවා. හැබැයි දඬුවම් නෑ. 

ප‍්‍රශ්නය: හැබැයි ඉසෙඞ් ලකුණ පහු කරලාත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉඩකඩ ප‍්‍රශ්නෙ නිසා සරසවි වරම අහිමි වෙන අයටත් ඉවසන්න කියන එක සාධාරණ ද?

පිළිතුර: දැඩි දඬුවම්, දඬුවම්, සක්විතිලා වගේ අයට අහු වෙච්ච මිනිස්සුන්ට ආණ්ඩුව කළේ මොකද්ද? ඒ අයටත් සහන දෙන ක‍්‍රමයක් හැදුවද? වරද දැන දැන සම්බන්ධ වූ අය නිවැරැදි වෙන්නේ නෑ. ළමුන්ට අසාධාරණයක් වෙලා නම් එහි තරම බලන්න  ඕනෑ සයිටම් එක ඇරගෙන ඉන්න ගමන් නෙවෙයි. අපි කියන්නෙ ඉස්සලේලා සයිටම් වහන්න. ඊටපස්සෙ විසඳුම හොයමු. ඒ ළමයින්ටයි සමස්ත නිදහස් අධ්‍යාපනේටයි කරන්නේ මොකද්ද කියලා හිත හිත කකුල දෙපැත්තෙ තියාගෙන මේ ගමන යන්න බෑ. සරසවියට සුදුසුකම ලබන්න සියලූ දෙනාටම සරසවි වරම දෙන්න. ඒකට බාධාවක් නෑ. සල්ලි නෑ කියන්නෙ බොරු. ඔය හොරකම් කරන සල්ලිවලින් සීයට 6ක් වෙන්කරන්න. ඒ ඇති.

ප‍්‍රශ්නය: ඔබ කියන්නේ හොරු ඇල්ලිල්ලත් හමාරයි කියලද?

පිළිතුර: ජනතාව ආණ්ඩුවක් පත්කළේ හොරු අල්ලන්නයි. හැබැයි හොරු කළේ මොකද්ද? ආණ්ඩුව අල්ලගත්තා. ඉතින් ජනතා අභිලාශයට දැන් යන එන මං නෑ. පරණ හොරු හිටපු තැන්වලට අලූත් හොරු ඇවිල්ලා ඉන්නෙ. අලූත් හොරු පරණ අයටත් වඩා දක්ෂ විදියට හොරකම කරගෙන යනවා.

ප‍්‍රශ්නය-: ජිනීවා මානව හිමිකම් යෝජනා ක‍්‍රියාවට නැගීමට තවත් දෙවසරක අතිරේක කාලයක් ලංකාවට ලැබීම ජවිපෙ දකින්නෙ කොහොමද?

පිළිතුර: අපි නම් එය දකින්නේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඒ අයගෙ තීරණ මේ අය ලවා තව අවුරුදු දෙකකට දීර්ඝ කරගැනීමක් හැටියටයි. ජිනීවාවලට කරන්න  ඕනෑ වැඬේ ආණ්ඩුව කරලා තිබෙනවා. මේ වෙලාවෙ ආණ්ඩුවට දඬුවමක් දෙනවා වෙනුවට ආණ්ඩු පෙරලියකට කිට්ටු කරලා දඬුවම් දෙද්දී ආණ්ඩුව තව හීලෑ කරගන්න හැකි බව ඔවුන් දන්නවා. අධිරාජ්‍යවාදී උපායමාර්ගය හරි පැහැදිලියි. රටක් සම්පූර්ණයෙන් යටත් කරනවා වෙනුවට යටත් කරන බව පෙන්වලා වැඬේ කරගන්නවා. ලංකාවට වදින පහරේ තරම දන්නේත් නෑ. ගහලා ඉවරයක් වෙන්නේත් නෑ. ගැහුවොත් වැඬේ ඉවරයි.

ප‍්‍රශ්නය-: ජාත්‍යන්තරය ජයගැනීම හෝ ජාත්‍යන්තරය සමග සංහිඳියාවකට යෑමේ ප‍්‍රතිපලයක් හැටියට ලැබෙන අතිරේක සහන කාලයක් හැටියට මෙය සළකන්න බැරිද?

පිළිතුර-: මෙතැන සංහිඳියාවක් නෑ. මෙතැන තියෙන්නේ ජාත්‍යන්තර උපායමාර්ගයට ලංකාව නතුවීමක්. බෙල්ල මිරිකන්න ඉන්න මිනිහෙකුගෙ බෙල්ලට තොණ්ඩුවක් දාලා ගැටේ ටිකක් ආයේම බුරුල් කිරීම නිදහස දීමක් නෙවෙයිනෙ.

ප‍්‍රශ්නය-: ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකරන බවට පහුගියදා රැස් වූ ශ‍්‍රීලනිප විධායක සභා හා මධ්‍යම කාරක සභාව හමුවේ පොරොන්දු වී යැයි ශ‍්‍රීලනිප ඇමැතිවරු පවසනවා. පැවැති පාලනය පෙරලීමට කටයුතු කළ පක්ෂයක් හැටියට ජන වරම හා ජනපති මග විග‍්‍රහ කරන්නෙ කොහොමද?

පිළිතුර: කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ආණ්ඩුවේ මේ ජනවරමට විරුද්ධව කටයුතු කළ කට්ටියම පස්සෙදි මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාගෙ ආණ්ඩුවෙ ජනවරමෙ එල්ලූණානෙ. එහෙම ජනවරමක්නෙ මේකෙ තියෙන්නෙ. අපි තමයි මේ ආණ්ඩුව හැදුවෙ කියන සමහරු ජනවරමට පිටුපාපු අයයි. මේක විකෘතියක්. මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා මොන කතා කිව්වත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නැතෙයි.. සංශෝධනය කරනවාය වගේ කතාවක් කියන්නම බෑනෙ. මොකද එතුමා බලයට ආවෙම මගෙන් තමයි මේක අවසාන වෙන්නෙ කියාගෙනනෙ. ඒවා ඉතින් බත් කන අපට මතකයිනෙ.

ප‍්‍රශ්නය-: ජන වරමට පිටු පෑ අය ආණ්ඩුවට රිංගලා යැයි ඔබ චෝදනා කළත් එවැන්නන් කියන්නේ තමන් ආණ්ඩුවට සම්බන්ධ වුණේ මෛත‍්‍රිපාල සිරිසේන ජනපති වූ නිසා නොව ශ‍්‍රීලනිපයේ සභාපති වූ නිසා බවයි. එතකොට වරද කාගෙද?

පිළිතුර: ඔව් ඉතින් ඒකත් වැරැදි නෑ. අපේ රටේ දේශපාලනයේ විහි`ඵවනෙ මේ තියෙන්නෙ. ඇත්ත කාරණාව ජනවරම නියෝජනේ මොකද්ද? මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයටවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් තමන්ගෙ ආණ්ඩුවක් හදන්න ජන වරමක් දීලා නෑ. මහමැතිවරණයේදි ජනතාව ශ‍්‍රී ලංකා යූඑන්පී දෙකම ප‍්‍රතික්ෂේප කළා. මීට පෙර ඉතිහාසයදි ජනතාව යූ.එන්.පී එපාවෙද්දි ශ‍්‍රී ලංකා බදාගත්තා. ශ‍්‍රී ලංකා එපාවෙද්දී යූ.එන්.පී බදාගත්තා. මේ පාර එහෙම බදාගත්තෙ නෑ. දෙපැත්තෙන් කාට හරි බහුතරය ආවා නම් ඔය ජාතික සමගිය, ජාතික ආණ්ඩු කතා බොරු. දැන් මේක මොන විදියට අර්ථකතනය කළත් මහමැතිවරණ ප‍්‍රතිපලේ  ඕකයි. බලය හා වරප‍්‍රසාදවලට කෑදර පිරිස ඒ වෙනුවෙන් එකතු වෙලා තිබෙනවා. හොරකමට සමගියි. බහුතරේ ඉන්නවා. ජනතා ප‍්‍රශ්නවලට බහුතරේ නෑ.

ප‍්‍රශ්නය: දියුණු ලෝකයේ බන්ධනාගාර ශිෂ්ටත්වයේ දර්ශකයක් හැටියට සැලකෙනවා. එහෙත් වැලිකඩ රැඳවියන් විශාල පිරිසක් ඝාතනය කිරීමට අදාළ කොමිසම් වාර්තාව සඟවාගෙන සිටින පසුබිමකම තවත් රැඳවියන් පිරිසක් ඝාතනය වෙනවා. මෙය වන්දි ප‍්‍රදානයකින් අවසන් කිරීමට හැකි සරල කරුණක්ද?  

පිළිතුර: වැලිකඩ රැඳවියන් ඝාතනයයි සමයං ඝාතනයයි අතරෙ ලොකු වෙනසක් නෑ. වෙනස තියෙන්නේ වැලිකඩ රැඳවියන් ඝාතනය රාජපක්ෂ පාලනය යටතේ ගෝඨාභයගේ මෙහෙයවීමෙන් සිදුවීමත් සමයං ඝාතනය මෛත‍්‍රී-වික‍්‍රමසිංහ පාලනයකින් තවෙකෙකුගේ මෙහෙයවීමෙන් සිදුවීමත් පමණයි. කාලයේ වෙනසක් මිස ක‍්‍රියාමාර්ගවල වෙනසක් නෑ. තැන වෙනස්. එකක් වැලිකඩ. අනික කළුතර. ප‍්‍රතිපලේ එකයි.

ප‍්‍රශ්නය-: නව මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමය පළාත් පාලන ඡන්දයට යොදාගැනීමට එරෙහිව ජවිපෙ මෙන්ම තවත් පක්ෂ කීපයක්ම විරෝධය පළකරද්දී පළාත් සභා ඡන්දය පළමුව තැබීමේ සූදානමක් වාර්තා වෙනවා. ජවිපෙ ඊට කැමැතිද?

පිළිතුර: ජවිපෙ කැමැත්ත නෙවෙයි. පළාත් පාලන ඡන්දයට තිබෙන කැමැත්ත බලන්න. පළාත් පාලන ඡන්දයට අකැමැති කවුරු හෝ ආණ්ඩුවේ ඉන්නවද? පළාත් පාලන ඇමැතිගේ පටන් යූ.එන්.පී එකයි ශ්‍රී ලංකා එකයි කියන්නෙත් අපිට ඉක්මනට ඡුන්දෙ තියන්න  ඕනෑ කියලයි. අපි කියන්නෙත් ඒක. හැබැයි නොතියන්නේම, කල්යන්නේම මොකද්ද? ඡුන්දෙම තමයි. මේවා රට හිනස්සන විහිළු.

ප‍්‍රශ්නය-: පළාත් පාලන මැතිවරණ පනතට අනුව ගැසට් එක නිකුත් කරන්නත් බැහැ කියලා වැරැදි ගණනාවක් ජවිපෙ විසින් පෙන්වා දෙනු ලැබුවා. එහෙම නම් ඉතින් ඡන්දෙ තියන්න පමා වෙන එක හරි නේද?

පිළිතුර: ඡන්දය නිවාර්යෙන් කල් යනවා කියන ඔය නිගමනයට එන්න වෙන්නේ එකම මැතිවරණ ක‍්‍රමය මේකනම් විතරයි. ඡන්ද තියන එකම ක‍්‍රමේ මේකද?  සීමා නිර්ණය නැතිව ඡන්දය තියන්න බෑ. ඒක හරි. හැබැයි සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වීම මැතිවරණය සමඟ සෘජු සම්බන්ධයක් නැති වෙනත් කතාවක්.

ප‍්‍රශ්නය: හැබැයි රතන හාමුදුරුවෝ නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට යෝජනා කළේ පරණ මැම්බර් ක‍්‍රමේටම යමු කියලයි. රතන හිමිගෙ යෝජනාවේ ගතයුත්තක් නැද්ද?

පිළිතුර: අපි එකිනෙකා රඟපාන දේශපාලන භූමිකා අනුව ඡන්ද ක‍්‍රම හඳුන්වාදෙන්න ගියොත් මේ රට පිස්සු විකාරයක් වෙනවා. මැම්බර් ක‍්‍රමේට නෙවෙයි.  ඕනෑ නම් ඊට එහා ගිහින් ආරච්චිලා පත්කරගෙන රාජකාරි ක‍්‍රමේටම යන්න පුළුවන්. නැත්නම් තව ටිකක් එහාට ගිහින් රජ ක‍්‍රමේටම යමුකො.