වව්නියාවේ අප්‍රේල් කැරලිකරුවන් පිරිසක් කපිතාන් ආනන්ද වීරසේකර විසින් හමුදා අත්අඩංගුවට ගෙන වව්නියාවේ දිසාපතිට භාරදුන් පසු ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.

 

දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජපනුන් 1941 දී පර්ල් වරායට බෝම්බ හෙළුෑ අතර සිංගප්පූරුව අල්ලා ගනු ලැබීය. ජපන් ගගන යාත්‍රා මගින් කොළඹට සහ ත්‍රිකුණාමලයට බෝම්බ හෙළන ලද්දේ 1941 අප්‍රේල් 05 වැනිදාය. ඉන් හරියටම වසර 30කට පසු රටපුරා පොලිස් ස්ථාන 92කට ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා පහර දුන්හ. ඒ 1971 අප්‍රේල් 05 වැනිදාය. නිදහසින් පසු සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය ලබාගැනීමට දැරූ ප්‍රථම උත්සාහය මෙය විය.


අප්‍රේල් කැරැල්ලේදී කැරලිකරුවන් විසින් පහර දුන් පොලිස් ස්ථාන 92 අතරින් 57ක් විනාශ කළ අතර දෙනියාය, ඌරගහ, රාජාංගණය, කතරගම සහ වරකාපොල යන පොලිස් ස්ථාන 5 යටත්කර ගත්තේය. තවත් පොලිස් ස්ථාන 43ක් තාවකාලිකව ඉවත් කරගෙන තිබිණි. කැරැල්ලේදී පොලිස් නිලධාරින් 37ක් සහ හමුදා නිලධාරින් 26ක් කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූහ. කැරලිකරුවන් විසින් මරාදමන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව 41කි. සමගි පෙරමුණ රජය මගින් ප්‍රකාශ කළ දත්ත අනුව මරාදමන ලද කැරලිකරුවන් සංඛ්‍යාව 1,200 කි. එහෙත් මරාදමන ලද කැරලිකරුවන් සංඛ්‍යාව 5,000 කට ආසන්න බව කියති. අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11ක රඳවා සිටි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17,953 කි. ඉන් 4,200ක් පමණ පොදු දේශපාලන සමාව යටතේ භාර වූ අය වෙති. කැලණිය සහ ජයවර්ධනපුර සරසවි තාවකාලික සිරකඳවුරු බවට පත්විය. 


පරීක්ෂණ කොමිසන් සභා 4ක් මගින් 1972 අගෝස්තු 10 වැනිදා සිට 1976 නොවැම්බර් 04 දක්වා කැරැල්ලේ මහ නඩුව ඇතුළු පරීක්ෂණ 140ක් පවත්වන ලදී. එයට චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. ඉන් 3014ක් කොමිසන් සභා හමුවට ගෙන ආ අතර 894 දෙනෙකු අත්අඩංගුවට ගත නොහැකි විය. අත්හිට වූ සිරදඬුවම් මත නිදහස් කළ සංඛ්‍යාව 2,492 කි. බරපතළ සිරදඬුවම් ලැබූ කැරලිකරුවන් ගණන 390 කි. ජවිපෙ නායක විජේවීර ඇතුළු 5 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. නිදොස් කොට යැවූ කැරලිකරුවන් ගණන 104 කි. පුනරුත්ථාපනය කර සමාජයට යොමු කළ සංඛ්‍යාව 16,853 කි. මහ නඩුවේදී 41 දෙනෙකුට එරෙහිව නඩු පැවරිණි. අප්‍රේල් මහ නඩුවේ තීන්දුව 1974 දෙසැම්බර් 20 ලබාදුන් අතර විත්තිකරුවන් 41 දෙනාගෙන් 4ක් නිදහස් වූ අතර සුසිල් සිරිවර්ධන, එස්. ඩී. බණ්ඩාරනායක සහ ටී. ඩී. සිල්වාට අත්හිට වූ සිරදඬුවම් නියම විය. විජේවීර දිවි ඇති තෙක් හිරේය. බරපතළ වැඩ අතිව සිරදඬුවම් 28 දෙනෙකුට නියම විය.


කැරැල්ලේ නායක විජේවීර 1971 මාර්තු 13 පස්වරුවේදී අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සමග කෙලී සේනානායක, නිශ්ශංක ප්‍රේමරත්න, ලාල් සෝමසිරි සහ ඇල්පිටියේ ඒ. ප්‍රේමතිලකද අත්අඩංගුවට ගෙන මඩකළපු බන්ධනාගාරයට දමා මාර්තු 15 උදෑසන 7.30 ට කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ගෙන එනු ලැබුවේ පොලිස් අධිකාරී රංජිත් සේනානායක විසිනි. පසුව විජේවීර, ප්‍රේමරත්න සහ ලාල් සෝමසිරි යාපනය බන්ධනාගාරයට ගෙන යන ලදී. ප්‍රේමරත්න සහ ලාල් සෝමසිරි 1971 මාර්තු 31 වැනිදා කල්මුනේ උසාවියට ඉදිරිපත් කළ විට ඇප පිට නිදහස් විය. විජේවීර එයට පෙරදින එම දෙදෙනාට කියා සිටියේ පහර දෙනවා නම් 500ක පමණ පිරිසක් තමා නිදහස්කර ගැනීමට එවන ලෙස සනත්ට සහ පියතිලකට දන්වන ලෙසය. වඩුතන්ත්‍රිගේ සිරිල් හෙවත් බටපොල ලාල් සෝමසිරි පවසන පරිදි විජේවීර එදා කැරැල්ල ආරම්භ කිරීමට දිනයක් සහ වේලාවක් තීරණය කර පහරදෙන ලෙසට පණිවිඩයක් කීවේ නැත. විජේවීර කියා ඇත්තේ පහරදෙනවා නම් 500ක් තමා බේරා ගැනීමට එවන ලෙසය. අප්‍රේල් 05 වන විටත් විජේවීර සිටියේ යාපනය බන්ධනාගාරයේය.
ඔස්මන්ගේ අම්මා වන සීලවතී ද සිල්වා කියා සිටියේ යාපනය හිරගෙදරදී තමා විජේවීර බැලීමට ගිය අවස්ථවේදී පහර නොදී අතහැර කටයුතු කරන මෙන් රෝහණ විජේවීර දුන් පණිවිඩය තමා සනත් සහ ලොකුඅතුල ඇතුළු පක්ෂයේ නායකයින්ට දැනුම් දුන් බවය. එවකට රජයේ සොලිසිටර් ජනරාල්වරයා සහ කැරැල්ල මැඩලීමෙහිලා ‘සුවිශේෂී’ කාර්යභාරයක් කළ ඉයන් වික්‍රමනායක සීලවතීගෙන් ඉල්ලා සිටියේ යාපනයේ හමු වූ අවස්ථාවේදී කැරැල්ල ආරම්භ කරන ලෙසට විජේවීර කියූ බවට කටඋත්තරයක් දෙන ලෙසය. ගිනි තැබූ නිවස සාදා දෙන බවටත් පුතුන් නිදහස් කර රැකියා ලබාදෙන බවටත් ඉයන් වික්‍රමනායක පොරොන්දු වුවද තමා බොරු කීවේ නැති බවද සීලවතී පසුව කියා සිටියාය. ලාල් සෝමසිරි විසින් 1971 මැයි 31 දෙන ලද කටඋත්තරයේදී විජේවීර කියන ලද කරුණු ඉයන් වික්‍රමනායක විකෘති කර තිබූ බවටද චෝදනා කරන ලදී. 

 

ලොකු අතුල ඇතුළු ඇතැමෙකු කියන්නේ 1971 මාර්තු 13 අම්පාරේදී විජේවීර ස්වෙච්ඡාවෙන්ම අත්අඩංගුවට පත් වූ බවකි. එහෙත් මහ නඩුවේ 26 වැනි සැකකරු වූ එදා විජේවීරගේ සමීපතමයෙකු වුවද ජවිපෙ 2 වැනි කැරැල්ලේ ඝාතන ලැයිස්තුවේ සිට දිවි බේරාගැනීමට සමත් වූ විජේවීර සමග අම්පාරේදී අත්අඩංගුවට ගත් කෙලී සේනානායක පවසනුයේ සිය කැමැත්තෙන් විජේවීර අත්අඩංගුවට පත්වූවා යැයි කීම තමා දැඩිව ප්‍රතික්ෂේප කරන බවය. අනපේක්ෂිත ලෙස අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය විකෘති කිරීමට තමා කැමති නැති බවද ඔහු කියා සිටින්නේය. තමා සහ විජේවීර 1971 මාර්තු 15 මඩකළපුවේ සිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට ගෙන ආ බවද එදින උදෑසන 11.00 පැමිණි ඔස්මන්ගේ අම්මා සහ කුමානායකට විජේවීර තමා ඉදිරිපිටදී කියා සිටියේ ලොකුඅතුල සහ සනත්ට ප්‍රශ්න අමතක කරගෙන පසුබසින ලෙසත් ආයුධ හංගා දිස්ත්‍රික්ක මාරු කරන ලෙස බවද කෙලී සේනානායක ප්‍රකාශ කරයි.


අප්‍රේල් කැරැල්ලේ පහරදීමේ අවසාන තීරණය ගත්තේ 1971 අප්‍රේල් 02 ගංගොඩවිල විදුදය සරසවියේ සංඝාරාමයේදීය. නව දෙනෙකුගෙන් යුත් එම නායකත්ව මණ්ඩලයේ මුලසුන දැරුවේ පියතිලකය. අප්‍රේල් 05 රාත්‍රී 11.30ට පොලිස්ස්ථානවලට පහරදිය යුතු යැයි වැඩි ඡන්දයෙන් තීරණය විය. එය 5ට 3ක් වශයෙන් බෙදුණු තීන්දුවකි. පියතිලක, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ, රංජිත් කුරුකුලසූරිය, සුනන්ද දේශප්‍රිය, සුසිල් වික්‍රම අප්‍රේල් 05 පහරදීමේ තීන්දුවට පක්ෂව ඡන්දය දුන් 6 දෙනා වූහ. සනත්. කරුණාරත්න, ලොකු අතුල එයට එරෙහිව ඡන්දය දුන් අය වෙති.


මෙම තීරණයට පෙර බෝපගේ, පියතිලක, සුනන්ද, නයනානන්ද ඇතුළු 9 දෙනෙකු වෙනම රැස්වී තීරණයක් ගෙන තිබුණු බවට චෝදනාවකි. එනම් තවදුරටත් පහරදීම ප්‍රමාද වන්නේ නම් 1971 අප්‍රේල් 04 රාත්‍රී 10.00ට පොලිස් සථානවලට එකවර පහරදීමය. ඒ අනුව එම තීරණය දින කිහිපයකට පෙර රටපුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙමින් තිබිණි. අප්‍රේල් 05 උදේ වැල්ලවාය පොලිසියට පහර දෙන්නේ වැරදි විදුලි පණිවිඩයකින් නොව මෙම අලුතින් ගත් තීරණය ඔවුන්ට සන්නිවේදනය කර නොතිබීමෙනි. එහෙත් 1971 අප්‍රේල් 05 රාත්‍රී පහරදීමට ගත් තීරණය අනිකුත් සියලු ස්ථානවලට ගොස් තිබිණි.


අප්‍රේල් 03 සවස බටපොල අතුලගේ නිවසේදී ලාල් සෝමසිරිට කැරැල්ලේ දෙවැනි නායක සනත් නියම කළේ අම්පාර උහනට ගොස් මොණරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි වහාම හමුවී පහර දිය යුත්තේ අප්‍රේල් 04 රාත්‍රී 10 නොව අප්‍රේල් 05 රාත්‍රී 11.30 ලෙස වෙලාව වෙනස් වී ඇති බවය. පණිවිඩය ලබාදීමට අප්‍රේල් 04 හිමිදිරි පාන්දරම නුවර හරහා අම්පාරට යෑමට ගිය ලාල් සෝමසිරිට නුවර බස් නැවතුම්පොළේදී නිශ්ශංක ප්‍රේමරත්න හමුවිය. එවිට වේලාව දහවල් 12.30 විය. ප්‍රේමරත්න විසින් සෝමසිරිට එහිදී කියා සිටියේ වහාම යළිත් විදුදය සරසවියට ගොස් තමා හමුවන ලෙසට පියතිලක දන්වා ඇති බවත් තමා වහාම මොනරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි හමුවීමට ගොස් පහර දෙන්නේ අප්‍රේල් 04 රාත්‍රී නොව 05 රාත්‍රී බවට දැනුම් දෙන බවත්ය. කැරැල්ලට සහභාගි නොවී එදිනම සැඟවුණු ප්‍රේමරත්න එම පණිවිඩය මොණරාගල නායකයාට දැනුම් දුන්නේ නැත. 1971 අප්‍රේල් 04 රාත්‍රී වැල්ලවාය පොලිස් ස්ථානයට එල්ල කළ ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.


ප්‍රේමරත්න ගේ දැනුම්දීම අනුව 1971 අප්‍රේල් 04 දහවල් 12.30ට නුවරින් කොළඹ පැමිණි ලාල් සෝමසිරි මහරගමට ගොස් විදුදය සරසවියේදී පියතිලක හමුවිය. එදින රාත්‍රී කෑම කා සරසවියේ නවාතැන්ගත් සෝමසිරි 1971 අප්‍රේල් 05 උදෑසන ඊබට් සිල්වා බසයට නැගී 60 දෙනකු සමග යාපනය සිංහල මහා විද්‍යාලයට පැමිණෙන විට අප්‍රේල් 05 රාත්‍රී 9.00 පමණ වී තිබිණි. නායකයින් වූයේ භද්දිය හිමි සහ කරාටේ සැම්සන්ය. පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සිසුන් 16 ක්ද කණ්ඩායමට අයත් වූහ. දුම්රියෙන්ද පැමිණ යාපනයේ නාග විහාරයේ සිට පිරිස සමග එක්ව කඩ වසා තිබූ බැවින් රාත්‍රී ආහාරයට බිස්කට් පමණක් කා බෝම්බ දෙක බැගින් ගෙන බන්ධනාගාරයට සහ පොලිසියට පහරදීමට ගියහ. අනතුරුව ප්‍රහාරයක්ද එල්ල කළහ.


ජවිපෙ 1971 කැරැල්ල මහ නඩුවේ විත්තිකරුවන් 41ක් සිටි අතර ඔවුන්ගේ විස්තර සහ 1971 අප්‍රේල් 05 කැරලි දිනයේදී ඔවුහු ක්‍රියාත්මක වූ ආකාරය, වර්තමාන ජීවන තත්ත්වය පහත පරිදිය. 


මහ නඩුවේ 1 වැනි විත්තිකාරයා වූ සමරරත්න විතානආරච්චිගේ පියතිලක දෙමටගොඩ ගාමිණී විද්‍යාලයේ සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලත් අතර පියා නැව්වලට බඩු බාහිර ආදිය සපයන්නෙකි. චීන පිළේ ප්‍රාදේශීය නායකයින් වූ පියතිලක සහ ලොකු අතුල, විජේවීර සමග එක්වන්නේ 1965 අවසානයේදීය. ශිෂ්‍ය අංශය භාරව සිටි පියතිලක 1971 අප්‍රේල් 05 කැරැල්ලේ සටන් තීන්දුව ගැනීමට 1971 අප්‍රේල් 02 ගංගොාඩවිල සංඝාරාමයේදී රැස්වූ 9ගේ නායකත්ව මණ්ඩලයේ මුලසුන දැරීය. යාපනය සිරගෙදරින් විජේවීර මුදවා ගැනීම සඳහා එක්වන බව කියමින් අප්‍රේල් 05 අලුයම 1.00ට කොළඹින් පිටත්ව විලච්චියේ අනෝමදස්සී හිමි සමඟ අනුරාධපුරයට ගියේය. පසුව පුලියන්කුලම කැලෑවට ගොස් හිස මුඩුකොට සිවුරක් දමා මහණ වෙස්ගෙන අනෝමදස්සී හිමි සමඟ පුලියන්කුලමේ වැලිමලු විහාරයේ සැඟවිණි. පසුව කොළඹ ප්‍රදේශයේ කඩයක සැඟවී සිටියදී 1971 ජූලි මස අත්අඩංගුවට ගන්නා ලදී. නිදහස ලැබීමෙන් පසු සිය ව්‍යාපාර කරගෙන ගිය පියතිලක දේශපාලනයෙන් සමුගත් අතර තිරගත නොවූ පෙම් රජදහන චිත්‍රපටයේ සම නිෂ්පාදකද විය. දෙදරු පියෙකු වූ ඔහු 1995 දී සාහසිකයෙකුගේ පිහිපහරකට ලක්ව අකල් මරණයකට ගොදුරු විය.


බෝපගේ ලයනල් හෙවත් ලයියා 2 විත්තිකරු වූ අතර ඔහුගේ පියා වැලිගම සුළු ව්‍යාපාරිකයෙකු වූ වල්ලිවල ජෙරමියෙස්ය. දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ 1944 දී උපන් බෝපගේ මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුවෙකු වශයෙන් සිටියදී 1968 දී සරත් විජේසිංහ මගින් විජේවීර හඳුනා ගත්තේය. කොළඹ සටන් මෙහෙයවීම භාරගත් ලයනල් බෝපගේ පානදුර පරත්ත සරික්කාමුල්ලේ පිහිටි කඩවැද්දුවේ සුමංගල හිමිගේ පන්සලේ සිටියදී 1971 අප්‍රේල් 19 පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. සිරගෙදර සිටින සමයේදී ඉංජිනේරු උපාධියට ලියා සමත් විය. වසර 12ක දිගුකාලීන සිරදඬුවම්වලට යටත් කළද පසුව 1977 දී නිදහස් වීමෙන් පසු ජවිපෙ ගොඩනැගීම සඳහා ක්‍රියාකාරීව දායක විය. ගාල්ල දිසා සංවර්ධන මැතිවරණයට 1981 දී ඉදිරිපත් වී එහි සභිකයෙක් ද විය. විමුක්ති ගී ගායිකාවක් වශයෙන් කටයුතු කළ කතෝලික සභාවේ තිඹිරිගස්යාය පල්ලියේ කන්‍යා සොහොයුරියක් වූ චිත්‍රා මුදලිගේ (ඇය විමල් ප්‍රනාන්දුගේ බිරිඳගේ නැගණිය වේ) සමග ආවාහ වූ බෝපගේ 1980 සිට 1983 ජූලි 29 ජවිපෙ තහනම් වන තෙක් ප්‍රධාන ලේකම් වශයෙන් සිටි අතර පසුව අක්‍රීය වී 1984 පෙබරවාරි නිල වශයෙන් ඉවත්විය. සර්වෝදයේද කලක් සේවය කළ අතර ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1989 දී විදේශගත වූ බෝපගේ සිය දරු පවුල සමග ඕස්ටේ්‍රලියාවේ ජීවත් වේ.


උයන්ගොඩ මහරදාගේ ජේමිස් හෙවත් ඌ මහත්තයා හෙවත් සෙනෙවිරත්න හෙවත් ජයදේව උයන්ගොඩ 3 විත්තිකරු වූ අතර 1969 දී පේරාදෙණිය සරසවියේ පළමු වසරේ සිටියදී ලොකු අතුල මගින් විජේවීර හඳුනාගෙන පක්ෂයට බැඳිණි. අප්‍රේල් 05 කොළඹ ප්‍රහාරවල වගකීමක් දැරුවද ඒවා ක්‍රියාවට නැගීමට නොහැකි වූ අතර 1971 අගෝස්තු 02 බි්‍රටිෂ් කවුන්සිලයට යෑමේදී කොල්ලුපිටියේදී පොලිස් අත්අඩංගුවට පත්විය. වර්තමානයේ කොළඹ සරසවියේ මහාචාර්යවරයෙක් වන ජයදේව උයන්ගොඩ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ ප්‍රමුඛයෙකි.


සිව්වැනි විත්තිකරු වූ බුසබදුගේ අනුර රංජිත් කුරුකුලසූරිය අම්බලන්ගොඩ පෝරඹේ උපන් අතර ගාල්ල ශාන්ත ඇලෝෂියස් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබීය. පියා දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වූ අතර සුනන්දගේ බලපෑම මත ව්‍යාපාරයට 1969 මුලදී එක්විය. අප්‍රේල් 05 ප්‍රහාරයේදී නුවර භාරව සිටි රංජිත් එදින රාත්‍රී 11 ට නුවර දුම්රියපොළ අසලට ගියද කිසිවෙකු නැති බැවින් පසු බැස්සේය. එහෙත් ජයතිස්සගේ නායකත්වයෙන් කඩුගන්නාව පොලිසියට ප්‍රහාරයක් එල්ල විණි. රංජිත් අප්‍රේල් 06 පන්විලදී බසයෙන් යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වන අතර අප්‍රේල් 12 දක්වා වත්තේගම පොලිසියේද මාස එකහමාරක් නුවර පොලිසියේද රඳවාගෙන බෝගම්බරට ගෙන යන ලදී. කැරැල්ලෙන් පසු දේශපාලනයෙන් සමුගත් ඔහු විවාහ වූයේ කළු ලකීගේ නැගණිය වූ මානෙල් සමගය. නිදහසින් පසු සංචාරක ව්‍යාපාරයේ නිරත විය.

 


මතු සම්බන්ධයි.