කිසියම් විශේෂිත කාරණයක් සඳහා භූගෝලීය සීමා මායිම් සලකුණු කිරීම සීමා නිර්ණයයි. ප්‍රාදේශීය, පළාත්බද හා ජාතික මට්ටමේ නියෝජිතයන් පත්කරගැනීම, රාජ්‍ය පරිපාලනය හා පුරවැසියන්ට සේවා සැලසීම මෙම විශේෂිත කාරණා හැටියට සැලකිය හැකිය. සීමා නිර්ණයක් අවශ්‍යවන ප්‍රමුඛ කාරණා වන්නේ සෑම ජාතියක්ම අපේක්ෂා කරන සිය රටවැසියාගේ සුබසිද්ධිය හා රටේ ස්වභාව සම්පත් රැකගැනීමට දරන ප්‍රයත්නයයි. එහෙත් ජනගහනය වර්ධනයත් ශීඝ්‍ර නාගරීකරණයත් නිසා ජනගහන ව්‍යාප්තියත් රටේ භෞතික පරිසරයත් නිරන්තරයෙන් වෙනස්වීමට භාජන වෙමින් තිබේ. මැනවින් සකස් කරන ලද නිරන්තරයෙන් සමාලෝචනයට බඳුන්වන කලින් කලට ප්‍රතිශෝධනය වන මූලධර්ම පද්ධතියක් සහිත නෛතිකව පිළිගත් සීමා නිර්ණය ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ එහෙයිනි. 

රජ කාලයේ ද සීමා නිර්ණය සිදුවිය. පළාත, කෝරළ ආදිය ද සීමා නිර්ණය කිරීම්ය. එහෙත් ඒවායේ විද්‍යාත්මකභාවය ගැන අපට දැනීමක් නැත. නූතන අර්ථයෙන් සීමා නිර්ණ කටයුතු ආරම්භ වූයේ 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ සමඟ යැයි අපට කිවහැකිය. ශ්‍රී ලංකාව පළාත් 9කින් සමන්විත වන අතර ඒවා පරිපාලන දිස්ත්‍රික්ක 25කට බෙදා තිබේ. මෙම දිස්ත්‍රික්ක 25 ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 කට බෙදේ. එම කොට්ඨාස නැවතත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,022කට බෙදා තිබේ. මීට සමාන්තරව මහමැතිවරණ සඳහා නියෝජිතයන් තෝරාපත්කරගැනීමේ දේශපාලන ක්‍රියාවලියට ඡන්ද කොට්ඨාස 160ක් ඇත. ඊට අමතරව ප්‍රමුඛ මහජන සේවා සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340 ක් ද අධ්‍යාපන කොට්ඨාස 311 ක් ද පොලිස් වසම් 439 ක් ද පිහිටුවා ඇත. 

කෙසේ වෙතත් සීමා නිර්ණය කොමිසමක් නිර්මාණය වීමේ මුඛ්‍ය හේතුව වන්නේ මහමැතිවරණ හෙවත් පාර්ලිමේන්තු මැතිවරණයි. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල සිට අවශ්‍යතාව පරිදි කුඩා සීමා නිර්ණය කමිටු පිහිටුවා තිබේ. 1948 දී ආසන 95ක් වෙනුවෙන් සීමා නිර්ණය කොමිසමක් පිහිටුවීය. ඉන්පසුව පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාස තීරණය කෙරුණේ සීමා නිර්ණය කොමිසම මගිනි. එහෙත් 1978 දී මැතිවරණ ක්‍රමය වෙනස් වූ පසුව සීමා නිර්ණය කොමිසමේ රාජකාරි ද අඩු විය. ඉන්පසුව එයට පැවරුණේ නම්ගම් වෙනස් කිරීම්, පාර්ලිමේන්තු සභිකයන් ගණන වෙනස් කිරීම ආදී කටයුතුය. ඇත්තටම සිදුවුණේ සීමා නිර්ණය කොමිසමේ රාජකාරි බොහොමයක් මැතිවරණ දෙපාර්තමේන්තුවට පැවරීමය. 

ස්ථිර මැතිවරණ කොමිසමක අවශ්‍යතාව ගැන ඉන්පසුව සාකච්ඡාවක් ඇති විය. එය යථාර්ථයක් වූයේ 19 වැනි සංශෝධනය සමඟය. මේ සම්බන්ධයෙන් විෂය සම්බන්ධ වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වන්නේ ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් ආදී පරිපාලනමය සීමා නිර්ණයන්ටය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සම්බන්ධ වන්නේ පළාත් සභා හා පළාත් පාලන සීමා නිර්ණයන්ටය. ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයත් කරන වැඩ එකම කොමිසමක් හරහා කරගැනීම එහි එක් අරමුණක් විය. මෙම ආයතනවල සීමා වෙනස් කරද්දී මුලින්ම සිදුවන්නේ අදාළ විෂය භාර ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී කැබිනට් අනුමැතිය ගැනීමය. ඇතැම්විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විමර්ශනයට කමිටුවක් පත් කෙරේ. එවැනි කමිටු හඳුන්වන්නේ සීමා නිර්ණය කමිටු නමිනි. 

වර්තමාන සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 හා 95 (1) ව්‍යවස්ථාවලට අනුකූලවය. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ආචාර්ය කේ. තවලිංගම්, ආචාර්ය ඒ.ඩී. බණ්ඩාරනායක හා මහාචාර්ය එස්.එච් හිස්බුල්ලා යන සාමාජිකයන්ගෙන් එය සමන්විත විය. (මහාචාර්ය එස්.එච්. හිස්බුල්ලා මහතාගේ අභාවය නිසා මේ වනවිට පුරප්පාඩුවක් පවතී) වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා නිර්ණය කොමිසමට කාර්යභාර පැනවී නැත. ඡන්ද කොට්ඨාශ හා පරිපාලන මට්ටම්වල විවිධ ක්‍රමයේ සීමා නිර්ණය කිරීම් සම්බන්ධයෙන් අණපනත් කීපයකින් හා කාර්ය පටිපාටි කීපයකින් විධිවිධාන සලසා ඇත. සීමා නිර්ණය කොමිෂන් සභාවෙන් අදහස් කරන්නේ රටේ උපරිම යහපත උදෙසා මෙම විධිවිධාන තර්කානුකූල ලෙස එකම තැනකින් ක්‍රියාවට නැගීමය. 
මුල්කාලීනව පළාත් සභා, පළාත් පාලන ආදී සීමා නිර්ණය කළේ කෙසේදැයි මුළුමනින්ම දැනගැනීමට පවතින තත්ත්වය යටතේ අපහසුය. ඒ කරුණු දන්නා අය ද නැත. ඊට ආසන්නතම හොඳම උදාහරණය නම් ශ්‍රී පාදස්ථානයේ භූගෝලීය සීමා කරණකොටගෙන හටගත් විවාදයයි. එය විවාදයක් බවට පත්වුණේ ඒ ගැන ක්ෂණිකවම තොරතුරු ලබාදිය හැකි ආයතනයක් නොතිබූ බැවිනි. මෙවැනි දේ නිරවුල් කරගත හැක්කේ පැරැණි ගැසට්ටුවලිනි. මීට පෙර මැතිවරණ කොමිසමක් පැවැතියේ නම් මෙවැනි ප්‍රශ්න පහසුවෙන් විසඳාගත හැකිවනු ඇත. 

සීමා නිර්ණය කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවැරුණු කාර්යභාරය සවිස්තරාත්මක නැත. එනිසා මේ වනවිට කොමිසම වෙනුවෙන් වෙනම පනතක් සැකැසෙමින් තිබේ. කොමිෂන් සභා සම්බන්ධයෙන් සෘජුව ගනුදෙනු කෙරෙන්නේ ජනාධිපතිවරයා සමඟය. කොමිසමට අදාළ පනත සැකැසීම සඳහා වූ මූලික කෙටුම්පත් ලියැවිල්ල ජනාධිපතිවරයාට යොමුකර ඇත්තේ ඒ අනුවය. ඉන්පසුව සිදුකළ සංශෝධනයකින් අනතුරුව නැවතත් එම පදනම් ලියැවිල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරුණේ මීට මාස දෙකකට පමණ පෙරය. දැන් ඇත්තේ එය නීති කෙටුම්පත් සම්පාදක වෙතට යොමුකිරීමය. රජයේ පරිපාලන කටයුතුවලදී අවශ්‍ය සීමා නිර්ණය කටයුතුවලට පහසුකාරකයක් හැටියට සීමා නිර්ණය කොමිසම යොදාගැනීමට මෙම පනතින් දොර විවර වේ. උදාහරණයකට සෞඛ්‍ය විෂයයේදී ප්‍රාදේශීය සෞඛ්‍ය කොට්ඨාශ, අධ්‍යාපන විෂයයේදී අධ්‍යාපන කලාප ආදිය දැක්විය හැකිය. අදාළ විෂය භාර ඇමැතිවරයාගේ බලය පැවැරීමක් මෙමගින් සිදු නොවේ. සිදුවන්නේ ඇමැතිවරයාගේ ඇරියුමින් සීමා නිර්ණය කොමිසමට රාජකාරිය බාර වීමය. පළාත් සභා සීමා නිර්ණයේදී වූයේද එයමය. මෙහි විශේෂත්වය වන්නේ කොමිසමේ ස්වාධීනත්වයයි. කිසිදු දේශපාලන පාක්ෂිකභාවයකින් වැඩ කටයුතු සිදුකෙරුණේය යන චෝදනාවට එමගින් ඉඩක් නැත. සීමා නිර්ණය කොමිසම සෘජුවම වගකියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පමණි. අනෙක් අතට විටින්විට පත්කෙරෙන කමිටුවල වාර්තා හා තොරතුරු විසිරී තිබීමට ද මෙමගින් තිත තැබේ. සියලු කමිටු වාර්තා එකම තැනකින් කෙටි කාලයකදී ලබාගැනීමේ හැකියාවත් නව වාර්තා කඩිනමින් සැකැසීමේ හැකියාවත් එයින් ලැබේ. කෙටියෙන් කිවහොත් මෙම කොමිසම හරහා ගොඩනැඟෙන්නේ රටේ සීමා නිර්ණය කටයුතුවලට අවශ්‍ය මූලික දත්ත පද්ධතියකි. 

සීමා නිර්ණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට කොමිසම මගින් ආරම්භ කර ඇත. ඒ යටතේ ආරම්භක පියවර වශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කිරීම පසුගිය දිනවල සිදු කෙරිණි. පරිපාලන මායිම්වලට අදාළ සීමා නිර්ණයට අවශ්‍ය තොරතුරු හා දත්ත ආදිය ලබාදෙමින් මෙම දැනුම්වත් කිරීම සිදුවේ. මන්දයත් ඇතැම් විස්තර හා දත්ත ඔවුන්ට ලබාගැනීම ඉතා දුෂ්කරවී ඇති බැවිනි. උදාහරණයකට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සීමා නිර්ණයට අදාළ තොරතුරු සොයාගැනීමට මූලාශ්‍රයක් සොයාගැනීම ද දුෂ්කර විය. අවසානයේදී ඊට අදාළ ගැසට් පත්‍රය අපට සොයාගැනීමට හැකිවුණේ පුස්තකාල සේවා මණ්ඩලයෙනි. එනිසා සීමා නිර්ණය සම්බන්ධ කටයුතු ගැන රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සැලකිය යුත්තේ ජාතික වැදගත්කමක් ඇති කාරියක් හැටියටය. ඒ අනුව ඒ ඒ ආයතනවලට සිය සීමා නිර්ණය සම්බන්ධ විස්තර ලබාගැනීමට හැකි මූලාශ්‍රයක් හැටියට ක්‍රියාත්මක වීමක් ද ඉදිරියේදී සීමා නිර්ණය කොමිසමෙන් සිදුවනු ඇත. 

පළාත් සභා මැතිවරණයේ සීමා නිර්ණ කටයුතු ගැන ද රටේ යම් දේශපාලන සාකච්ඡාවක් හටගෙන තිබේ. ඒ නිසා ඒ ගැන ද යම් පැහැදිලි කිරීමක් වටී. පවතින නෛතික තත්ත්වය යටතේ පළාත් සභා සීමා නිර්ණ කටයුතු පැවරී තිබෙන්නේ පළාත් සභා විෂය භාර ඇමැතිවරයාටය. එහෙත් 19වැනි සංශෝධනයෙන් පසුව සීමා නිර්ණය කොමිසමක් ඇති නිසා එම කාරිය අපට බාරදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් කොමිසම ඉල්ලා සිටියේය. සීමා නිර්ණය කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා සහ තවත් දෙදෙනකුගේ නියෝජනයෙන් ඒ සඳහා සීමා නිර්ණය කමිටුවක් පත්කෙරුණේ ඒ අනුවය. සීමා නිර්ණයට අපට ලැබුණේ මාස හතරකි. අතීත අත්දැකීම් සමඟ සසඳා බලද්දී මාස හතරකින් සීමා නිර්ණය කිරීම යනු පහසු කටයුත්තක් නොවේ. එය ඉතාම කෙටි කාලයකි. එහෙත් ලැබුණු කාලය ඇතුළත වැඩ කටයුතු අවසන් කිරීමට කමිටුවට හැකි වූ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක එය ප්‍රශංසාවට ලක් විය. ඊට බලපෑ ප්‍රධානතම හේතුව නම් සීමා නිර්ණය කොමිසම සතු වූ යාන්ත්‍රණයයි. 

එසේ සීමා නිර්ණය කමිටුව සකස් කළ වාර්තාව පසුගිය වසරේ අගෝස්තු 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තුවේදී එය පරාජයට පත් විය. බහු මන්ත්‍රී ආසන කොට්ඨාස ගැන සැලකිල්ලක් දක්වා නැති බවට එහිදී චෝදනා එල්ල වුව ද කමිටුවට හැකි උපරිම යුක්ති ක්‍රියා දාමයෙන් එය සැකැසූ බවට මට සහතික විය හැකිය. පළාත් සභා සීමා නිර්ණ රාජකාරිය අපට පැවරෙද්දී අපේ කාර්යභාරය දැන සිටිය යුතුය. එහිදී අප ගුරුකොට ගත්තේ 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනතයි. සීමා නිර්ණය සම්බන්ධයෙන් සුළු ජාතික පක්ෂවල විරෝධය එල්ල වුණේ ඒ ගැන නිසියාකාරව තේරුම් නොගැනීම නිසාය. පරණ මැතිවරණ ක්‍රමයේදී සුළු ජාතික දේශපාලන පක්ෂවලට කිසියම් වාසියක් තිබේ. ඒ වාසිය එන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සන්ධානගතව තරග කිරීමේදීය. මිශ්‍ර සමානුපාතික ක්‍රමයේදී කොට්ඨාශ ක්‍රමයෙන් ඉඩක් නොලැබුණත් සමානුපාතික ක්‍රමයෙන් ඔවුන්ට ඉඩක් ඇත. 

මිශ්‍ර මැතිවරණ ක්‍රමයට අනුව සීමා නිර්ණය කමිටුව සිය වාර්තාව සකස් කළේ දැඩි පරිශ්‍රමයකින් අතිශය නිවැරැදි නිර්ණායක හා බර තැබීම් මගිනි. එය වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවන බව අවධාරණ කටයුතුය. සැබැවින්ම කමිටුවේ අදහස වන්නේ ඉල්ලීම් මත එය වෙනස් කිරීම දුෂ්කර කටයුත්තක් බවයි. සීමා නිර්ණය වාර්තාව ඇතැම් දෙමළ පුවත්පත්වලින් විවේචනයට ලක්වෙද්දී මා කීවේ වැරැදි තැන අපට පෙන්වන්න යැයි කියාය. එහෙත් කිසිවෙක් අද වනතුරු කොමිසමට ලිඛිතව එවැනි විවේචනයක් කර වැරැද්ද පෙන්වා දී නැත. එනිසා කොමිසමේ යෝජනාව වන්නේ නව මිශ්‍ර ක්‍රමය ප්‍රශස්ත බවය. ඕනෑම දෙයක් අලුතින් අත්හදාබැලීමේදී කිසියම් සැකයකින් ඒ දෙස බැලීම මනුෂ්‍ය ස්වභාවයයි. එය සීමා නිර්ණයට ද අදාළය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද මේ සැකය නිරාවරණය විය. මැතිවරණ ප්‍රතිඵල සමඟ මැතිවරණ ක්‍රමය ගැන යම් අඬෝවැඩියාවක් හටගත්ත ද දැන් සියල්ල සන්සුන්ය. ඒ පළාත් පාලන ආයතන සභිකයෝ සුපුරුදු පරිදි වැඩ කරගෙන යති. දැන් ඒ පළාත් පාලන කොට්ඨාසයට මහජන නියෝජිතයෙක් සිටී. 

මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුය යන සටන් පාඨය දේශපාලන ලෝකයේ තිබුණේ දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේය. එය සමාජගත වූ අදහසක් විය. ආණ්ඩු ගණනාවක්ම ඒ කතාව කීවේය. ඒ ගැන වැඩියෙන්ම කතා කළේ පාර්ලිමේන්තුවේය. එනිසා වෙනසට මුල පිරුවේ ද පාර්ලිමේන්තුවෙනි. ඇතැමුන් කියන්නේ මේ පළාත් සභා මැතිවරණයට පමණක් නව මිශ්‍ර ක්‍රමය යොදාගමු යැයි කියාය. තවත් පිරිසක් කියන්නේ පැරැණි ක්‍රමයට යා යුතුය කියාය. ව්‍යවහාරයේදී නව මිශ්‍ර ක්‍රමය යැයි කීව ද සැබැවින්ම නව ක්‍රමයේ තිබෙන්නේ ද අනුපාත ක්‍රමයමය. සිදුව තිබෙන්නේ පැරැණි ක්‍රමයට නව මුහුණුවරක් දීමය. අවශ්‍ය නම් බෝනස් ආසන සුළු ජාතීන්ට සාධාරණයක් වනසේ යොදාගත හැකිය. ඊට පනත භාවිත කළ හැකිය. එවැනි යෝජනාවක් කොමිසමෙන් සිදුකෙරිණි. ඊට අදාළ යෝජනාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් අනුගමනය කරන්නේ කවර ක්‍රමවේදය දැයි අවසන් තීරණය තිබෙන්නේ පාර්ලිමේන්තුව අතේය. එනිසා අවසන් තීරකයා වන්නේ පාර්ලිමේන්තුවම බව අවධාරණ කටයුතුය.