මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) සම්බන්ධයෙන් උද්ගතව තිබෙන අර්බුදය මා හඳුනාගත්තේ අධ්‍යාපනයේ අයිතිය සහ නිදහස් අධ්‍යාපනයේ අයිතිය අතර ඇති වෙනස හඳුනාගත නොහැකි නිසා මතුව ඇති ප්‍රශ්නයක් ලෙසටය. අධ්‍යාපනය යන්න රජය මඟින් නොමිලේ ලබා දිය යුත්තක් යන්න අපගේ පොදු වැටහීමයි. එහෙත් ජාත්‍යන්තර මානව හිමිකම්වල සඳහන් වන්නේ නොමිලේ අධ්‍යාපනය ලබාදීම ප්‍රාථමික අධ්‍යාපනය දක්වා පමණක් සිදු කළ යුතු බවය. එය ද හැකියාවක් පවතින්නේ නම් පමණි. 


ලෝකයේ බොහොමයක් රටවල නොමිලයේ අධ්‍යාපනය ලබාදීමට ප්‍රාථමික අධ්‍යාපනය තෙක් සිමා කර තිබුණ ද ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලයේ අධ්‍යාපනය ලබාදීම සිදුවේ. එසේ වුවද එම අධ්‍යාපනයෙහි ඇති ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න ගැන විශ්වවිද්‍යාල ඇතුළු වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සේවය කරන අයට මනා අවබෝධයක් තිබේ. දරුවකු විශ්වවිද්‍යාලයකට ඇතුළත් කළ පමණින් ඔහු හෝ ඇය බුද්ධිමතකු ලෙස සමාජගත වනවා ද යන්න සම්බන්ධයෙන් ඇත්තේ ද ප්‍රබල ප්‍රශ්නයකි. සත්‍ය වශයෙන්ම සයිටම් වෙනුවට කාගේත් අවධානය යොමු විය යුත්තේ ඒ කෙරෙහිය.


සයිටම් පිළිබඳ සමාජයේ කුමන මත පැවතිය ද එය මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පිළිගැනීම ලබා ඇත. ඊට අමතරව දෙස් විදෙස් මට්ටමේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක් මෙරටේ ක්‍රියාත්මක වේ. ඒවායෙහි ඉංජිනේරු, නීතිය කළමනාකරණ ආදී විෂය ක්ෂේත්‍ර රැසකට අදාළ උපාධි පිරිනැමීම ද සිදු වෙයි. එහෙත් ප්‍රශ්නය මතුවන්නේ වෛද්‍ය උපාධිය සම්බන්ධ කාරණයේදීය. එම ප්‍රශ්නය අවබෝධ කර ගැනීමට නම් සයිටම් පිළිබඳ යටි පෙළ තේරුම් ගත යුතුය. 


ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා තියුණු තරගයක් තිබෙන බව සැබෑය. එහෙත් මෙහි ඇති වැදගත් අනෙක් කාරණය නම් වෛද්‍ය උපාධිය හැදෑරීමට සුදුසුකම් ඇත්තේ එම තරගය ජය ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණ ද යන්නය. මෙරට රජයේ විශ්වවිද්‍යාල විද්‍යාලවල වෛද්‍ය පීඨ අටක් තිබුණ ද ඒවායෙන් බිහිවන වෛද්‍යවරුන් ප්‍රමාණය ලංකාවේ පවතින වෛද්‍ය හිඟය සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. ඒ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පිළිගනියි. මෙරට පවතින වෛද්‍ය හිඟය සඳහා පිළියම් යොදන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඊට තිබෙන එක් විසඳුමක් හැටියට විදේශ රටවලින් වෛද්‍යවරුන් ගෙන්වීම පෙන්වා දිය හැකිය. ඊට ද විරෝධතා මතු වේ. අනෙක් අතට රජයේ වෛද්‍ය පීඨවල ගුරු හිඟයක් ද තිබේ. සත්‍ය වශයෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාල අටෙන් පහක් සතුව  ප්‍රමාණවත් ආචාර්ය මණ්ඩලයක් සිටිය ද සෙසු වෛද්‍ය පීඨ තුන සම්බන්ධ තත්ත්වය වෙනස්ය. ඒවා සතුව ප්‍රමාණවත් ආචාර්ය මණ්ඩලයක් නොමැති නිසා බිහිවන වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ගැටලු ද ඇත. එමෙන්ම වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය ප්‍රතිශතය ඉහළ දැමිය යුතු බව පැවසුණ ද අධ්‍යාපනය සඳහා අයවැයෙන් සියයට පහක ප්‍රතිශතයක්වත් වෙන් නොකෙරෙන පසුබිමක එවැනි යෝජනාවලට ප්‍රායෝගිකත්වය ගැඹුරින් මැන බැලීමට සිදු වනු ඇත. මේ නිසා මෙම ගැටලුව විසඳීම සඳහා ප්‍රායෝගික විසඳුමක් තිබිය යුතුය. ඒ සඳහා මා දකින විසඳුම නම් රටේ නිදහස් අධ්‍යාපනය තිබෙන්නා සේම අධ්‍යාපනයේ නිදහස ද තිබිය යුතු බව එම අධ්‍යාපනයේ නිදහස මගින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය නොහැකි අයට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථා උදා කළ යුතුය. අප මෙහිදී අමතක නොකළ යුතු කරුණක් තිබේ. එනම් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවී සිටින සියලුම අය මහා ධනපතියන් නොවන බවය. සාමාන්‍ය මධ්‍යම පන්තියේ මවුපියන්ගේ දූ දරුවෝ ඒ අතර ඕනෑ තරම් සිටිති. ලංකාවේ රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් විය නොහැකි වූ බැවින් පිටරට විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන මැති ඇමැතිවරුන්ගේ දරුවන් මෙන්ම රජයේ වෛද්‍ය පීඨවල සිටින පීඨාධිපතිවරුන් කීප දෙනකුගේ ළමයි ද සිටිති.


ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තිබෙන්නේ මෙම මාලබේ සයිටම් ආයතනයේ පමණි. එහි ඉගෙනුම ලැබීමට ඇතුළත් වන්නේ යහමින් මුදල් හදල් තිබෙන මවුපියන්ගේ දූ දරුවන් පමණක් නොවේ. සාමාන්‍ය පවුල්වල දරුවෝ ද එහි ඉගෙනුම ලබති. ලංකාවේ මේ ආකාරයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොමැති නම් ඔවුන් වෙනත් රටවලට ගොස් වෛද්‍ය උපාධිය හදාරනු ඇත. එලෙස  ඔවුන් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ ගතවුවහොත් විශාල විදේශ විනිමයක් රටින් බැහැරට ගලා යෑම සිදු වන අතර, එය මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කිරීමට හේතුවක් වනු ඇත. ඒ තත්ත්වයට අපට වැට බැඳිය නොහැක්කේ එම දරුවන්ගේ අධ්‍යාපනයේ නිදහස අවහිර කළ නොහැකි නිසාය. මන්ද දරුවකුට ලංකාවේ ඉගෙන ගැනීමට අවස්ථා නැතිනම් වෙනත් රටකට ගොස් ඉගෙන ගැනීමට අවස්ථා තිබිය යුතුය. රජයේ පාසල්වල තිබෙන තදබදය නිසා ඇතැම් මවුපියෝ සිය දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කරති. පෞද්ගලික අධ්‍යාපනයට මේ දක්වන විරෝධය යම් දිනෙක ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව ද ඉදිරිපත් වීමට ඉඩ තිබේ. යම් හෙයකින් එම පාසල් වසා දැමීමට සිදුවුවහොත් ඒවායෙහි ඉගෙනුම ලබන දරුවන් සඳහා ලබාදිය හැකි විසඳුම කුමක් ද?


රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන්නන් පෞද්ගලික  විශ්වවිද්‍යාලවලට එරෙහිව හඬ නැඟුව ද රජයේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා රැසක්ම මුදලට ලබාදීම සිදුවේ. ඇතැම් සරසවි විවිධ උපාධි පාඨමාලා සඳහා අතිවිශාල මුදලක් අය කරයි. සයිටම් සම්බන්ධ මේ  විරෝධය පසුපස කිසියම් දේශපාලනයක් තිබෙන බව පැහැදිලිය. දේශපාලන කණ්ඩායම් සහ වෘත්තීය සමිති කීපයක් එම විරෝධයට හඬ සැපයීම සඳහා පෙළගැසී සිටීමෙන් ඒ බව පැහැදිලි වේ. රජයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ගේ ක්‍රියාකලාපය ද මෙහිදී  විමසුමට ලක් කළ යුතුය. දේශපාලනික වශයෙන් ඔවුන් බෙදී ඇති බව පැහැදිලිය.  විශේෂයෙන්ම වාමාංශික දේශපාලන පක්ෂවල මෙහෙයවීම අනුව සරසවි සිසුන් කටයුතු කරන බව පෙනේ. යම්කිසි දේශපාලන දැක්මක් සහිතව එම විරෝධය මතු වන බව පෙනෙන අතර, එහි වරදක් ඇතැයි මා සිතන්නේ නැත. ශිෂ්‍යයන් අරගලකාරී විය යුතුය. ලෝකයේ හැම රටකම පාහේ මේ තත්ත්වය දක්නට ලැබේ. කෙසේ වෙතත් සයිටම් සම්බන්ධ විරෝධය සරසවි ශිෂ්‍ය ප්‍රජාව එකතු වී සිටින්නේ මේ ගැටලුවේ සම්පූර්ණ චිත්‍රය නොදැනය, යන්න මගේ විශ්වාසයයි. විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට තිබෙන තියුණු තරගයෙන් ජය ගන්නේ තමන් පමණක් වන බැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට ඉඩ තිබෙන්නේ තමන්ට පමණි යන කුහක මතය ඔවුන්ගේ සිත්වල ඇති බවක් පෙනෙන්නට ඇති අතර, එය වෙනස් කර ගැනීම ඉතා වැදගත්ය. සෙසු අයට අධ්‍යාපනය ලැබීම සඳහා තිබෙන අයිතියට ද අප ගරු කළ යුතුය. මීළඟට සයිටම් විරෝධී වෛද්‍යවරුන් දෙස  අවධානය යොමු කළ විට පෙනී යන කාරණය නම් එම විරෝධය සඳහා ලංකාවේ සිටින සියලුම වෛද්‍යවරුන්ගේ සහාය ලැබී නැති බවය. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුය යන මතය දරන වෛද්‍යවරු විශාල පිරිසක් සිටිති. සයිටම් විරෝධය අවුළුවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගතහොත් එය වෘත්තීය සමිතියකි. සිය අයිතිවාසිකම්වලට මෙමගින් සිදු විය හැකි බලපෑම නිසා ඔවුහු විරෝධය පාති. සත්‍ය වශයෙන්ම මෙතැන තිබෙන්නේ පෞද්ගලිකව යන්න පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය එසේ නොවේ නම් රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික චැනලින් සේවා නතර කළ හැකි විය යුතුය. රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන දරුවෝ සිය සීමාවාසික පුහුණුවේ පටන්ම පෞද්ගලික රෝහල්වල පුහුණුව ලබති. එබැවින් මෙතැන තිබෙන්නේ පෞද්ගලික යන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.


සයිටම් සම්බන්ධයෙන් ඇතැම් මධ්‍යස්ථ පිරිස් ඉදිරිපත් කරන විවේචන ද අපේ අවධානයට ගත යුතුය. විශේෂයෙන්ම එහි ප්‍රමිතිය ගැන එවැනි පිරිස් මතු කරන විවේචන අපට සුළු කොට තැකිය නොහැකිය. එහෙත් මා කියන්නේ එම ප්‍රමිතිය පිළිබඳ කාරණය සයිටම් සඳහා පමණක් අදාළ කර ගත  යුතු නැති බවය. රජයේ වෛද්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ද පරීක්ෂා කළ යුතුය. එම තත්ත්ව පරීක්ෂාව සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය මැදිහත් විය යුතුය.  ඊට අමතරව ස්වාධීන වෛද්‍ය සභාවක් මගින් ද එම තත්ත්ව පරීක්ෂාව සිදු කළ යුතුය. ස්වාධින වෛද්‍ය සභාවක් යනු වෘත්තීය සමිති මගින් පාලනය වන්නක් නොවේ. එවැන්නක් ස්වාධීන වීම අත්‍යවශ්‍යය. ස්වාධීන වෛද්‍ය සභාවකින් සියලුම රජයේ හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය පරීක්ෂා කර බැලීම වැදගත් වන අතර, රජයේ වෛද්‍ය විද්‍යාලවලින් බිහිවූ වෛද්‍යවරුන් පමණක් ඉහළ යන ආකල්පයේ පිහිටා කටයුතු කිරීම නොකළ යුතුය.


පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව වන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිශ්චිතව ප්‍රකාශයට පත් නොකිරීම ගැටලුවක් වන අතර, රජයේ පාර්ශ්ව එකිනෙකට පරස්පර මත ඉදිරිපත් කරන ආකාරයක් දැකිය හැකිය. කෙසේ වෙතත් රජයේ ක්‍රියාකලාපය දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ආණ්ඩුවට පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නැති බවය. නැවතත් කිවයුත්තේ සයිටම් පිළිබඳ මේ ප්‍රශ්නය මතු කරන්නේ දේශපාලනික කණ්ඩායම් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වන බවය. ඔවුහු දේශපාලනික වශයෙන් බලවන්තයෝ වෙති. මෙම පාර්ශ්වවල සහාය ලබාගෙන එළැඹෙන මැතිවරණවලදී තමන්ට ජයගත හැකි යැයි කියන ආණ්ඩුවේ  සිටින සමහර දේශපාලනඥයෝ සයිටම් ආයතනයට විරුද්ධව කතා කරති. මෙහි ඇති අනෙක් කාරණය නම් ආණ්ඩුවේ වගකීමයි. එනම් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් අධිකරණය මගින් තීන්දුවක් ලබා දුන් විට එය පිළිපැදීමේ වගකීම රජය සතුය. පෞද්ගලික අධ්‍යාපනයට අදාළව ආණඩුව කළ හැකි දේවල් තිබේ. සයිටම් කතාබහේදී ප්‍රමිතිය ගැන උච්ච ස්වරයකින් කතා කළ ද, ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්න තිබෙන බවක් පෙනේ. දේශපාලන, ජනමාධ්‍ය වැනි ක්ෂේත්‍ර ඒ අතර පෙරමුණේ පසුවේ. එබැවින් සියලුම අංශවල පොදුවේ ප්‍රමිතිය ඇති කිරීම ගැන බැරෑරුම්ව සිතා බැලීමට සිදු වනු ඇත.


එමෙන්ම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යළි සමාලෝචනය කිරීම කෙරෙහි ද දැඩි අවධානය යොමු කිරීම  වැදගත්ය. අපේ අධ්‍යාපන ක්‍රමයේදී නූතන සමාජ ක්‍රමයට හා ආර්ථිකයට ඒ තරම් දායකත්වයක් නැති දේවල් පිළිබඳව ඉහළ සැලකිල්ලක් යොමු කරන බවක් පෙනේ. එහෙත් සමහර රටවල අධ්‍යාපන ක්‍රමය ගතහොත් ඒවායෙහි විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක් කිසිදු විභාගයක් පවත්වන්නේ නැත. නිදසුනක් ලෙස ස්වීඩනය දැක්විය හැකිය. තවද අපේ රටේ මෙන් ලොව අන් සියලු රටවල තරගකාරී විභාග ක්‍රම නැත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා තරග විභාග නොපැවැත්වෙන අතර, ඒක් එක්  විශ්වවිද්‍යාලය මගින් ඒවාට ශිෂ්‍යයන් ඇතුළත් කර ගන්නා ආකාරය තීරණය කරයි. එබැවින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ අධ්‍යාපනයේ තත්ත්වය රටින් රටට වෙනස් බව කිව යුතුය. අපේ රටේ නිදහස් අධ්‍යාපනය අහෝසි කළ යුතුය කියා හෝ එහි තත්ත්වය පහත හෙළිය යුතුය කියා හෝ අප කියන්නේ නැත. අවශ්‍යයෙන්ම එය දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතුය. අප වැනි පිරිස් සමාජයේ ඉදිරියට පැමිණියේ ද නිදහස් අධ්‍යාපනය නිසාය. එහෙත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රාජ්‍ය සේවයට එක්වන ඇතැම් පාර්ශ්ව එසේ සිතන්නේ නැත. කෙසේ වෙතත් නූතන ලෝකයට ගැළපෙන පරිදි අපේ අධ්‍යාපන ක්‍රමය සමස්ත වෙනසකට බුඳුන් කිරීම කළ යුතු යන්න මම විශ්වාස කරමි.


සයිටම් විවේචකයන් මතු කරන තවත් කාරණයක් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය. එනම් සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිසි සායනික පුහුණුවක් නොලැබෙන බවය. එමගින් ඔවුන් අවධාරණය කරන්නේ එම දරුවන්ට රෝහලක සේවය කිරීමට ඉඩ ප්‍රස්ථා නැති බැවින් සයිටම් වෛද්‍ය උපාධිය ගුණාත්මක අතින් බාල බවය. සයිටම් දරුවන්ට රජයේ රෝහල් දෙකක සායනික පුහුණුව ලබා දීමට තීරණය වූ අවස්ථාව් එය කඩාකප්පල් කිරීමට මැදිහත් වූයේ ද එම විවේචකයන්ය. එසේ කටයුතු කර සයිටම් වෛද්‍ය උපාධිය බාල යැයි ප්‍රකාශ කිරීම සමාන කළ හැක්කේ කිසියම් පුද්ගලයකුගේ දෑත් බැඳ ගංගාවකට දමා පිහිනන ලෙස විධාන නිකුත් කරන තත්ත්වයකය. සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වුවත් එම පුහුණුව සයිටම් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ලබාදීම කළ හැකිය. මන්ද රජයේ රෝහල්වල වුවමනා පමණට සම්පත් මෙන්ම රෝගීන්  විශාල සංඛ්‍යාවක් ද සිටින නිසාය. කොළඹ ජාතික රෝහල ගතහොත් එමගින් වෛද්‍ය පීඨ දහයක විද්‍යාර්ථීන් සඳහා සායනික පුහුණුව ලබාදිය හැකිය.


මේ සයිටම් සම්බන්ධ අර්බුදය නිරාකරණය කර ගැනීමට අදාළව විවිධ විසඳුම් ඉදිරිපත් වන ආකාරයක් දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙහිදී අවධාරණය කළ යුතු මුලික කාරණය නම්, පෞද්ගලික අධ්‍යාපනයට සාපේක්ෂව වෙනස් වන බවක් අප එය පිළිගත යුතු බවත්ය. සයිටම් ආයතනය රජය සමග ඒකාබද්ධ කළ යුතු යැයි ඇතැම් පාර්ශ්ව පවසන නමුත් එසේ කළ හොත් යළි මේ රටේ පෞද්ගලික විශ්විද්‍යාලයක් ආරම්භ කළ හැකි ද යන්න ගැටලුවකි. එසේ ඒකාබද්ධ කළ හොත් ආණ්ඩුවේ මුදල් ඒ සඳහා වැය කිරීමට සිදුවේ. අතීතයේදී රාගම වෛද්‍ය පීඨය රජයට පවරා ගත් අයුරින් මේ කටයුතු වත්මනේදී සිදු කිරීම පහසු වන්නේ ද නැත. එබැවින් සයිටම් අර්බුදයට පිළියමක් ලෙස එම විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම සුදුසු යයි මා කල්පනා කරන්නේ නැත.