ලෙයින් තෙත්වූ සරසවි බිමේ අඳුරු මතකයෙන් - 03

අශ්විනි ඉරේෂා පොල්ගම්පොල - කෑගල්ල ගලිගමුව: 86/87 ව්‍යවහාරික විද්‍යා පීඨය (පේරාදෙණියේ වෛද්‍ය පීඨයේ චම්පා සෝමරත්න සමග කටයුතු කළ කොළඹ දිස්ත්‍රික් ශිෂ්‍ය නායිකාවකි. ඝාතනයට ලක්වූයේ 1980 දෙසැම්බර් 30 මොරටුව සරසවිය අසල දී පැහැරගෙන යෑමෙන් අනතුරුවය. ඇය ඝාතනයට පෙර විවිධ අතවරයන්ටද මුහුණ දුන්නාය. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අශ්විනී කුඩා කාලයේදීම පියා සහ මව වෙන්වී සිටි අතර කෑගල්ලේ කැන්ඩි ෂොපින් සෙන්ටර් නම් වෙළෙඳසැල හිමි මාමා යටතේ ඇය හැදී වැඩුණාය. 


එක් සොහොයුරෙක් සිටි. ඇයගේ පෙම්වතා වූයේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකි. ජයසිංහ රාජු 83/84 ව්‍යවහාරික විද්‍යා පීඨය, සුනිල් ජයරත්න- කන්තලේ : 82/83 ව්‍යවහාරික විද්‍යා පීඨය  (ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ලෙස වරෙක කටයුතු කළේය. කන්තලේ සුනිල් ලෙස ප්‍රකටය. කුරුණෑගලදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට පත්විය. කිත්සිරි මෙවන් රණවක - පානදුර 84/85 ව්‍යවහාරික විද්‍යා පීඨය, සුනිල් එස්. මාරසිංහ - හෙට්ටිපොල : 84/85 ව්‍යවහාරික විද්‍යා පීඨය (හෙට්ටිපොලදී 1989 මැයි 3 ආරක්ෂක හමුදාව මගින් පැහැරගෙන හෙට්ටිපොල හමුදා කඳවුරට ගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය. ජපුර සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති සහ ජ’පුර සරසවියේ අන්තරේ නියෝජිතයෙකි. නිශාන්ත දේශප්‍රිය පීරිස්  - පානදුර : 87/88 ව්‍යවහාරික විද්‍යා පීඨය (පානදුර නල්ලුරුවේදී 1989 ජූලි 26 දා පැහැරගෙන පසුව ඝාතනයට පත්විය) එච්. ඩබ්. සෙනරත් ධර්මකීර්ති - හුන්නස්ගිරිය.


පූජ්‍ය පමුණුවේ නාභිත හිමි - මහරගම: 82/83 ශාස්ත්‍ර පීඨය (1989 ජුලි මස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඝාතනයට ලක්විය), එස්. රත්නසිරි - කෑගල්ල : 82/83 ශාස්ත්‍ර පීඨය, පූජ්‍ය නිකවැව ඥාණවිමල හිමි 83/84 ශාස්ත්‍ර පීඨය (කඩුවෙලදී 1989 සැප්තැම්බර් 28 අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්විය), පූජ්‍ය මාතර උදිත හිමි- කෝට්ටේගොඩ වාලුකාරාමය: 83/44 ශාස්ත්‍ර පීඨය, 1987 ජුනි මසදී කටුනායක ගුවන් හමුදාවෙන් අවි පැහැරගැනීමේ දී ගිහියෙකු වශයෙන් සිටියදී ඝාතනය විය, ආර්. එම්. විල්ෆ්‍රඞ් සිල්වා- වැලිමඩ : 83/84 ශාස්ත්‍ර පීඨය, ආර්. එම්. ධනපාල 83/84 තෙවන වසර ශාස්ත්‍ර පීඨය (පස්සර මොණරාගල පාරේදී 1989 පෙබරවාරි 18 පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුර බුත්තල කතරගම පාරේ පුලුස්සා දමා තිබිණි).


ජගත් දිසානායක- නොච්චියාගම : 84/ 85 ශාස්ත්‍ර පීඨය කදුක්කේගම බස්නැවතුමේදී 1989 සැප්තැම්බර් 19 පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය), බී. එල්. වීරසිංහ- ඔක්කම්පිටිය : 84/85 ශාස්ත්‍ර පීඨය (මහරගම ඇරැව්වල පාරේදී 1989 සැප්තැම්බර් මස 20 පැහැරගෙන ගොස් පසුව ඝාතනය විය.), පූජ්‍ය ඉහළගම මහින්ද හිමි- නාවල වික්‍රමසිංහාරාමය 84/85 ශාස්ත්‍ර පීඨය (රත්නපුර මල්වල පන්සලේ හිමිවරුන් 4 දෙනෙකු සමඟ එකම දින හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. නාවල ධර්මපාල දහම් පාසලේ මුල් ගුරුවරයෙකි. වී. බී. ඒ. ජයතිලක- වාරියපොල : 84/85 ශාස්ත්‍ර පීඨය, ජනිත කුමාර සමරවික්‍රම- හෝමාගම : 84/85 ශාස්ත්‍ර පීඨය, පූජ්‍ය යටිගල්දෙණියේ පියනන්ද හිමි 85/86 ශාස්ත්‍ර පීඨය, ප්‍රේමදාස එදිරිසිංහ- මතුගම, ඩී. වීරක්කොඩි- අකුරැස්ස : 86/87 ශාස්ත්‍ර පීඨය, පූජ්‍ය චන්දිම හිමි- ගල්කිස්ස : 86/87 ශාස්ත්‍ර පීඨය (ගල්කිස්ස සුමනාරාමයේදී අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක් විය), පූජ්‍ය කිරිමැටියේ රාහුල හිමි- ගිරිතලේ : 86/87 ශාස්ත්‍ර පීඨය (පොළොන්නරුවේ 1989 සැප්තැම්බර් 13 අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්විය), පූජ්‍ය දොඩම්ගොඩ ධම්මානන්ද හිමි 86/87 ශාස්ත්‍ර පීඨය (අම්බලන්ගොඩදී 1989 අගෝස්තු 8 පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය) 


පූජ්‍ය තලවිල සිරිනන්ද හිමි- දික්වැල්ල : ශාස්ත්‍ර පීඨය (දික්වැල්ලේදී 1989 සැප්තැම්බර් 28 පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලදී), ආසිරි දිසානායක- රඹුක්කන, ටී. එම්. දිසානායක 87/88 ශාස්ත්‍රපීඨය, සෝමදාස පනාපොල 87/88, පූජ්‍ය ඇඹිලිපිටිය සුමංගල හිමි- ශාස්ත්‍ර පීඨය, එච්. ඩබ්. චන්ද්‍රා කුමාරි- හුන්නස්ගිරිය : ශාස්ත්‍ර පීඨය, එම්. එම්. ගුණරත්න, අදිකාරම්ගේ අනුර- කළුතර, පූජ්‍ය එම් ජිනානන්ද හිමි- කුරුණෑගල : ශාස්ත්‍ර පීඨය (ගල්කිස්සේදී 1989 අගෝස්තු 8 පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදී), පූජ්‍ය පල්ලේගම රතනසාර හිමි - කුලියාපිටිය : ශාස්ත්‍ර පීඨය, පූජ්‍ය තලවල ඉන්ද්‍රසාර හිමි- නිග්‍රෝධාරාමය හැටන් : ශාස්ත්‍ර පීඨය, පූජ්‍ය අලුත්වැව සුමන හිමි- තණමල්විල: ශාස්ත්‍ර පීඨය, හේවා ඇන්ටනී චන්ද්‍රරත්න- අම්බලන්තොට : (1989 ජූලි 6 ජ’පුර සරසවිය අසල දී පැහැරගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය), රංජිත් ශ්‍රී ලාල්- මිනුවන්ගෙඩ, ධම්මික බණ්ඩාර- කොළොන්න : (1989 ජූලි ජ’පුර සරසවිය අසල දී පැහැරගෙන යෑමෙන් පසු ඝාතනය විය). 

මර්දනයෙන් පසු ජ’පුර ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන් එහි මහා ශිෂ්‍ය  සංගමයේ 1991/92 සභාපති ආර්.එම්. ජයවර්ධන, ඝාතනයට ලක්වූ ජ‘පුර සිසුන් වෙනුවෙන් ජාත්‍යන්තර බොලොග් අඩවිවල පෙනී සිටින ජ‘පුර ආදි විද්‍යාර්ථියෙකු වූ ඕස්ටේ්‍රලියාවේ ආචාර්ය ලලිත් සීලනාථ, භීෂණ සමයේ දී ජ‘පුර සිසුවෙකුව සිටි 83/84 කණ්ඩායමට අයත් වර්තමාන උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග.

 


එමෙන්ම ජයවර්ධනපුර සරසවියේ සිසුන් ගණනාවක් හමුදා ඇඳුමින් සැරසුණු පිරිස් විසින් පැහැරගෙන ගිය අතර ඉන් කිහිප දෙනෙක් නිදහස් කර තිබිණි. එසේ නිදහස් වූ සිසුන් අතර මහරගම දී 1988 දෙසැම්බර් 2 පැහැරගත් වාණිජ පීඨයේ පළමු වසරේ ජයන්ත පණ්ඩිතසේකර, මහරගමදී 1988 දෙසැම්බර් 5 පැහැරගත් විද්‍යා පීඨයේ ජයදේව වන්නිආරච්චි ඇතුළු පිරිස වූහ.


ජයවර්ධනපුර සරසවිය භීෂණ යුගයෙන් පසු 1990 මාර්තු මස යළි අරඹන විට ඝාතනයට පත් වූ සිසුන්ගේ හඬ නිහඬව ප්‍රතිරාව දුන්නෝය. සුමංගල ශාලාවේ බිත්තියක නාන්නාඳුනන අකුරින් මෙසේ ලියා තිබිණි. ‘නැවත ජීවය දලුලා වැඩෙන්නාක් මෙන් සිතට මෙන්ම ගතටද දැනේ. සිසු සගයන් මරා දැමූවද පරාජය කළ නොහැකි බව පසක් කළ යුතුය’ ඉන් වසරකට පමණ පසු ජ’පුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය නැවත නැගී සිටියේය.
එහි 1983/ 84 කණ්ඩායම 1990 සිය උපාධිය ලැබීමෙන් පසු මියගිය සිය සගයින්ට ගෞරවයක් වශයෙන් ලංකා සරසවි ඉතිහාසය තුළ ප්‍රථමවරට සමූහ ඡායාරූපයක් නොගැනීමට ද තීරණය කළේය. ජ’පුර සරසවියේ 1991 උපකුලපති මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි සහ ශිෂ්‍ය නියෝජිතයින් අතර 1991 ඔක්තෝබර් 16 පැවැත්වූ සාකච්ඡාවකින් පසු රණවක අනුස්මරණ පදනමේ නාමය 1992 පෙබරවාරි 2 සිට විරු සිසු අනුස්මරණ පදනම ලෙසට සංශෝධනය විය. එම විරු සිසු පදනම මගින් මියගිය සරසවි සිසුන් සමරා විරු සිසු සමරු ප්‍රදර්ශනයක් සහ ගී ප්‍රසංගයක් 1992 ජුලි සිට 17 දක්වා පවත්වන ලදී. 


විරු සිසු ප්‍රතිමාවක්ද 1992 ජුලි 15 ජ’පුර සරසවියේ ස්ථාපිත කරන ලදී. පසුව එජාප රජය බලයට පත්වීමෙන් පසු 2002 දී එම ප්‍රතිමාව මැර පිරිසක් විසින් කඩා විනාශ කරන ලදී. වර්තමානයේ දිස්වන්නේ 2008 ජුනි 20 නීතිඥ උදුල් ප්‍රේමරත්නගේ නායකත්වයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් යළිත් අලුතින් ස්ථාපනය කරන ලද විරු සිසු ප්‍රතිමාව වේ. එහි මූර්ති ශිල්පියා වූයේ රත්තනපිටියේ තාරක රොද්‍රිගුය.


ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආදි විද්‍යාර්ථිකයෙකු වූ 83/84 කණ්ඩායම් ඕස්ටේ්‍රලියාවේ ආචාර්ය ලලිත් සීලනාථ බ්ලොග් අඩවිවල නිරතුරුව කියා සිටින්නේ බහුතර සිසුන් ප්‍රචණ්ඩ දේශපාලනය අනුමත නොකළද ඝාතනයට ලක් වූ සොහොයුරන්ගේ කැපවීම අගය කරන බවය. උපාධිය ගැනීමට වසර 7ක් භීෂණය නිසා කල්ගියද ආදී විද්‍යර්ථීන් මුළුමනින්ම වාගේ එදා රටේ තිබුණු තත්ත්වය අවබෝධ කරගත් හෙයින් එදා අරගලකාරි සිසු සගයන් දෙස ද්වේෂසහගතව නොබැලූ බවය.

 


ලෝකයේ අන් රටවල මෙන්ම ලංකාවේ ද සරසවිවල සිදුවන සාමාන්‍ය දෙයක් වන්නේ රටේ දේශපාලනික සහ සමාජ ප්‍රශ්නවල පිළිබිඹුව ඉන් එළිදැකීමය.