මුකරිකම යහපත්. කටහැකරකම අයහපත්. සම්මන්ත‍්‍රණය යහපත්. කුමන්ත‍්‍රණය අයහපත්. චතුරකම යහපත්. වාචාලකම අයහපත්. තර්කනය යහපත්. තර්ජනය අයහපත්. නිබොරුව යහපත්. බොරුව අයහපත්. ධර්මය යහපත්. අධර්මය අයහපත්. ඒ තමා ලෝ දහම.
රටෙහි අවාසනාවට එම දහම නොදන්නා, නොතකනා, නොරකිනා මැති ඇමැතින් මෙරට බොහෝය. ඔවුන්ගේ මනැසෙහි සියල්ල තැන්පත්ව ඇත්තේ උඩු යටිකුරුවය. එහෙයින් ඔවුහු සාඩම්බර කටහැකරයෝ වෙත්. කුමන්ත‍්‍රණයෙහි කප්පිත්තෝ වෙත්. අංක එකේ වාචාලයෝ වෙත්. තර්ජනයෙහි රුසියෝ වෙත්. දාර බොරුකාරයෝ වෙත්. අධර්මයෙන්ම දිවි ගෙවන්නෝ වෙත්.

අත්දැකීමෙන් පෙනෙන්නේ ඔවුන් ජනතා සිත් අවුල් කරන බවය. රට හමුවෙහි ඇති වැදගත් පැන කිහිපයකදීම ඔවුන් සහේතුක තර්කනය වෙනුවට යොදා ගන්නේ ගෝරනාඩුව ඇතිව මුසාව දෙසාබෑමය. බොහෝ විට ඔවුන් කියන්නේ වැදි බණ. නැතහොත් දිව දෙකේ කතා. නිදසුන් දෙක තුනක් ගනිමු.

පළමුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංවාදය දෙස බලමු. ව්‍යවස්ථාව යන වචනය සවන් වැකෙත්ම උදහස් වන වියරු වැටෙන පිරිසක් වෙති. එකෙකු උඩුබුරලන විට රැුලක්ම, රැුහැනක්ම උඩුබුරුලෑම මිනිසාගේ හොඳම යහළු පරපුරේ සිරිතකි. බොහෝ විට උන් උඩුබුරලන්නට හේතුවක් නැතැයි පැරැුණි ගැමියෝ පවසත්. එසේම උන් හඳට උඩුබුරලන බවට ද ජනතා විශ්වාසයකි. හඳට මෙන්ම ව්‍යවස්ථාවට ද එපරිද්දෙන්ම උඩුබුරලෑමක් පවතී.

ව්‍යවස්ථා සංශෝධනයට ඉඳුරාම එරෙහි නඩයෙහි පෙරමුණේ රාල වශයෙන් සිටින්නෝ හිටපු ජනපති සහ අනුගාමිකයෝය. එතුමන් බලයට ආවේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට පොරොන්දු වෙමිනි. ඒ වරක් නොව දෙවරක්ය. බලයේ සිටිය දී එසේ නොකළ එතුමා පසුව බලය සිය පවුල අතම රඳවා ගන්නට ව්‍යවස්ථාවෙහි 18 වැනි සංශෝධනයක් ද කළ වග ජනතාවට අමතකව නැත. එහෙයින් නව ව්‍යවස්ථාවකට එරෙහි වන්නටත් විධායක ජනපති ක‍්‍රමය රඳවා ගන්නටත් ඔහුට පෞද්ගලික වුවමනාවක් ඇති සැටියක් පෙනේ. එහෙත් එය ජනතා වුවමනාව නොවන බව මැතිවරණ දෙකක දී ඔහුට සහ අනුගාමිකයන්ට අත් වූ ඉරණමෙන් පැහැදිලිය. 

ආණ්ඩුවෙහි මැති ඇමැතියන් කිහිප දෙනෙකුන් ද ඉහත සඳහන් පෙරමුණේ රාලගේ හඬම ප‍්‍රතිරාව දෙවන්නේ නිල් සායම් බාල්දියේ වැටුණත් රැුලේ හඬට කටපියා සිටිය නොහැකි වූ දුප්පත් සතාගේ පුරුද්දටම දැයි බුද්ධිය ඇති කවුරු කවුරුත් හිතා බැලිය යුතුය. ඔවුන් හැම බෙරිහන් දෙමින් වේදිකා දෙවනත් කරමින් තැන නොතැන නොබලමින් පවසන්නේ නව ව්‍යවස්ථාව මර උගුලක් බවය. රට පාවා දෙන්නක් බවය. එහෙත් මර උගුලක් වන්නේ කෙසේ දැයි කියන්නේ නැත. රට පාවා දෙන්නේ කෙසේ දැයි කියන්නේ නැත. ව්‍යවස්ථාවෙහි (තවමත් කෙටුම්පත එළි දැක නැති) අසවල් වගන්තියෙන් අසවල් ජේදයෙන් එසේ වන්නේ යැයි සාධනය කැරීමක් නැත. පිටරැුටියන්ගේ වුවමනාවට එසේ කරන බව කීව ද එයට ද සාක්ෂි නැත.   

මෙසේ පාරම් බාන්නවුන් අතර එක් ඇමැත්තෙක් සුදු නෙළුමක් අත දරමින් රට වටා ගිය හාදයෙකි. කල් යල් බලා සීරු මාරු වීමෙහි රුසියෙකි. රට ජාතිය ගැන කවර කතා කීව ද තම චණ්ඩිකම් ගැන නිර්ලජ්ජිතව වහසි බස් දොඩන්නෙකි. එසේම සුදු නෙළුම් තවලමෙහිම ගමන් ගත් තවත් ප‍්‍රකාශකයෙක්ද නව ව්‍යවස්ථාවකට එරෙහිව පිටපොට ගසමින් නන් දොඩවති. කෙස මෙන්ම හිස ද අවුල් ඔහු ද කරන්නේ හඳට උඩුබුරලෑමක් මැයි.

සැලැකිය යුතු කරුණක් වන්නේ මොවුන් බහුතරය පසුගිය මැතිවරණයෙහි දී ජනපති සිරිසේනට සහ අගමැති රනිල්ට එරෙහිව සිටි තැනැත්තන් වීමය. ශ‍්‍රීලනිපය ද සිටියේ එසේය. එහෙයින් මැතිවරණ දෙකක ජනවරමට එරෙහිව හඬ නඟන්නට එයට සදාචාර අයිතියන් නැත.

එම පක්ෂය විධායක ජනාධිපති ධුරය ඉවත් නොකැරීමට සහ නව ව්‍යවස්ථාවක් නොහදා සංශෝධනයක් පමණක් කරන්නට තීරණය කළ වග මාධ්‍යවලින් මෙන්ම (ජනපති සිරිසේන හැරැ) පක්ෂ නායකයන් අතින් ද කියැවිණි. ඔවුන්ගේ තර්කය අපූරුය. ජනපතිතුමන් තම පක්ෂයෙහි බැවින් ඔවුන් කියන දේ කළ යුතුමලූ. එහෙත් එතුමන්ට සහාය පළ කළ ලක්ෂ 62ක මතය එයට යට කළ හැකි ද? නොහැකි මැයි.

බලය බෙදීමටත් ආණ්ඩුවෙහි සිටිමින්ම මෙම කල්ලිය විරුද්ධය. 13 වැනි සංශෝධනය යටතේ ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් ප‍්‍රතිපාදනවලට ද විරුද්ධය. ඔවුනට කිසිදු ඉදිරි දැක්මක් නැත. අතීතකාමී ඔවුහු ඉතිහාසය ද තම වාසියට විකෘති කර සිටිත්. මෙරට ඒකීය රාජ්‍යය බිහි කළෝ ඉංග‍්‍රීසීහුය. එය ඔවුන්ට අමතකය. නැතහොත් ඔවුන් එය හිතා මතාම අමතක කැරැු ඇත.
තවත් නිදසුනකට සයිටම් අර්බුදය ගනිමු. එහිද ආණ්ඩුවෙහි මැති ඇමැතියන්ට එක වචනයක් නැත. එහි තේරුම ආණ්ඩුවට ද එක වචනයක් නැතිකම ද? සයිටම් අවුල සංකීර්ණ මුත් විසඳිය හැකිය. සයිටම් ආයතනයෙහි පැනය එකකි. ඒ සමඟ පැටැලූණු අධ්‍යාපන පිිිළිවෙතට අදාළ කරුණු තව එකකි. එම පැන දෙක තෝරා බේරා වෙන් කැරැු ගත යුතුය. 

සයිටමයෙහි ප‍්‍රධාන ගැටලූ දෙකකි. එකක් එහි වෛද්‍ය උපාධියෙහි ප‍්‍රමිතිය සහ ගුණය ගැනය. ප‍්‍රධාන වරද එය මැනීමට නිසි ක‍්‍රමවේදයක් සහ නියාමන යාන්ත‍්‍රණයක් රජයට නොමැතිකමය. ඇමැතියෙකු ගත් දේශපාලන තීන්දුවක් මත අධිකරණය දුන් තීන්දුවෙන් එම ගැටලූව විසඳෙන්නේ නැත. එහෙයින් අධිකරණ තීන්දුව නිසා වෙන කිසිවක් කරන්නට නැතැයි ජනතාව මුළා කරන මැති ඇමැතියන් කරන්නේ විසඳුමකට මං ඇහිරීමය. ඒ මන්දැයි හිතා බැලිය යුතුය. 

අනෙක් ගැටලූව, දැනට එහි ඉගෙන ගන්නා සිසුන්ගේ අනාගතයයි. එය මානුෂීය ප‍්‍රශ්නයකි. ඔවුන්ට සුදුසුකම් සම්පූර්ණ කැරීමට ක‍්‍රමවේදයක් රජය මැදිහත්ව සැපැයිය යුතුය. 
ඉතිරි වන්නේ අධ්‍යාපනයෙහි පිළිවෙත ගැන පැනය පමණකි. පෞද්ගලික අංශය අධ්‍යාපනයට මැදිහත් විය යුතු දැයි තවදුරටත් ඇසිය නොහැකිය. ඒ තරමටම දැන් එය පෞද්ගලික අංශයට ව්‍යාප්තව ඇති හෙයිනි. වෛද්‍ය අධ්‍යාපනය පමණකි එයින් බැහැරව පවතින්නේ. සයිටමයෙන් එයට ද දොර විවර විය. රටෙහි අවශ්‍යතා සැපයීමට රජයට තනිවම නොහැකි කල, උසස් පෙළ සමත්ව සරසවි වරම් ලත් සියයට 85කට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය නොහැකි කල පෞද්ගලික අංශයෙහි මැදිහත් වීමෙහි දොසක් දැකිය නොහැකියි. 
එහෙත් රජයට සිය අධ්‍යාපන වගකීමෙන් අත පිසදා ගත නොහැකියි. රාජ්‍ය වේවා පෞද්ගලික වේවා අධ්‍යාපනයෙහි අන්තර්ගතයෙහි ගුණය සහ ප‍්‍රමිතියට රජය වගකිව යුතුය. තව ද අධ්‍යාපනය මානව අයිතියකි. එහෙයින් එය හුවමාරු භාණ්ඩයක් සේ අලෙවිය සහ ලාභ ගැරීමෙහි මාධ්‍යයක් නොවිය යුතුය.

ප‍්‍රශ්නය එතැනින් කම්මුතු වන්නේ නැත. පෞද්ගලික අංශයට රාජ්‍ය අනුග‍්‍රහය දැක්වීමෙහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙහි පවත්නා සහ විභව (අනාගත) භෞතික හා මානව සම්පත් හීන වේ නම් හෝ පෞද්ගලික අංශයට ඇදී යා නම් හෝ එයින් සාධාරණත්වය ඉටු වන්නේ නැත. සරසවි සිසුන්, ඇදුරන් සහ වැඩ කරන ජනයා සයිටම් පැනයෙහිදී සටන් වැද ඇත්තේ මෙම අනතුර ඉවෙන් මෙන් දන්නා හෙයිනි. හැරත් සෞඛ්‍ය අංශයට අත්ව ඇති ඉරණමෙන් ද ඔවුන් අත්දැකීම් ලබා ඇත.

ඉදිරියෙහි එන පළාත් පාලන මැතිවරණයෙහි දී පරස්පර කතා, එකිනෙක ගැටෙන පිළිවෙත් ආණ්ඩුවෙහි මැති ඇමැතින් විසින් ජනතාව ඉදිරියේ තබනු ඇත. පළාත් පාලන මැතිවරණයක් වුව එහි ප‍්‍රචාරක කටයුතුවල දී ඉදිරිපත් වනු ඇත්තේ ජාතික තලයේ ප‍්‍රශ්නයට එහි කතා නොවනුම ඇත්තේ පළාත් පාලනයට අදාළ ප‍්‍රශ්න හා වැඩසටහන්ය. එයින් ජනතාව වඩාත් වික්ෂිප්ත වනු ඇත. 
මැති ඇමැතින්ගේ පරස්පර කතාවලින් පිළිබිඹු වන්නේ අරාජික තත්ත්වයකි. අරාජිකත්වය විනය හා සංවරය බිඳලයි. රට කවර දිසාවකට යන්නේ ද යි කිව නොහැකි අවදානමක් මතුවෙයි. විදේශ ආයෝජන ගලා ඒම ද අඩාල වෙයි. රට අස්ථාවර වෙයි. හෙට දවස ද නොසුරැකෙයි. මේ සියල්ලම අරාජිකත්වයෙහි නපුරය.

සම්මුති ආණ්ඩුව හදිසියේ මෙම අරාජිකත්වය පිටුදැකිය යුතුය. ගිවිස ගත් පරිදි ජාතික පිළිවෙත් එක්ව සකසා එක්ව ඒවා වහරට නැඟිය යුතුය. ඒ සඳහා වාචාලයන්, කටහැකරයන්, අසික්කිතයන් මෙල්ල කළ යුතුය. ඒ සඳහා ආණ්ඩුුව තුළ මෙන්ම ආණ්ඩුවෙහි පක්ෂ තුළ ද විනය සහ පිළිවෙත් රැුකිය යුතුය. නැතහොත් ඒකාබද්ධයේ පදයට අඩව් කස්තිරම් අල්ලන්නවුන් ඇතුළතින්ම රජයේ වළ කපා දමනු ඇත. එවිට පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත මහ පාරේ හෝ ආණ්ඩුව පෙරළන්නට වුවමනාවක් නැති වේවි. එය ඉබේම බිඳ වැටෙනු ඇත.