සමාජවාදී සමාජයක් පිහිටුවීමේ අරමුණ පෙරදැරිව ජනතා විමුක්ති පෙරමුණ මගින් දියත් කළ 1971 පළමු සන්නද්ධ අරගලයට ක්‍රියාකාරීව සහභාගීවූ ඇතැම් රතු සහෝදරයෝ පසුව ක්‍රමයෙන් පක්ෂයෙන් මෙන්ම සන්නද්ධ අරගල දේශපාලන භාවිතයෙන්ද ඉවත් වූහ. තවත් සමහරු පක්ෂයේ රැඳෙමින් සන්නද්ධ අරගල භාවිතය ප්‍රශ්න කළහ. මේ පසුබිමේ 1987-89 ජවිපෙ දෙවැනි සන්නද්ධ අරගලය සිදුවන අවධියට ආසන්න කාලසීමාව වන විට පක්ෂයේ දේශපාලන භාවිතය පිළිගත් සහ එය බැහැර කළ පිරිස් අතර වාද විවාද මතුවෙමින් තිබිණි. විශේෂයෙන්ම හැත්තෑ එකේ අරගලයට සම්බන්ධ වී සිට පසුව පක්ෂයෙන් ඉවත්වූ ක්‍රියාකාරීන් ද්‍රෝහීන් ලෙස හැඳින්වීමේ කලාව වේගවත් වෙමින් තිබිණි.


ගාල්ලේ පැවැති අතුරු මැතිවරණය අතරතුරද මේ ද්‍රෝහී කතා ජවිපෙ රැස්වීම්වල රැව්පිළිරැව් දුනි.


ගාල්ලේ පැවැති මෙම අතුරු මැතිවරණයට ජවිපෙන් බෝපගේ තරග කරන විට 1971 අරගලයට සම්බන්ධව සිටි තවත් විශේෂ පුද්ගලයෙක් ඊට තරග කළේය. ඒ වික්ටර් අයිවන්ය. බෝපගේ සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂය සංවිධානය කළ ඡන්ද රැස්වීම්වලදී ඒවාට සහභාගී වූ කථිකයන් පක්ෂයෙන් ඉවත්වූවන් විවේචනය කළ ආකාරය ටුබැකෝ සුනිල් සහෝදරයාගේ මතකයට නැගුණේ මේ ආකාරයටය.


“ගාල්ලේ තිබුණු අතුරු මැතිවරණයට අපේ පක්ෂයෙන් තරග කළේ බෝපගේ සහෝදරයා. ශ්‍රී ලංකා පැරණි වමේ අපේක්ෂකයා හැටියට තරග කළේ වික්ටර් අයිවන්. ගාල්ලෙ තිබුණු අවසන් ජවිපෙ රැලියෙ ආරක්ෂකයෙක් විදියට මටත් සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ රැලියට විජේවීර සහෝදරයත් ආවා. මට මතකයි වික්ටර් අයිවන්ගෙ අවසන් රැලියට හැත්තෑ එකේ ද්‍රෝහියෝ හැමෝම වගේ ඇවිදින් හිටියා. මේ බව දැනගත්ත වාස් තිලකරත්න සහෝදරයා අපේ පක්ෂයේ අවසන් රැලියෙදි කිව්වෙ මෙහෙම කතාවක්. “අද උඹලා වීරයො වෙන්න හදනවා. හැත්තෑ එකේ මහ නඩුවෙන් විජේවීරට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් නියම කරපු වෙලාවෙ උඹලා මැගසින් එකේ පාටි දාපු හැටි මට මතකයි. මේ කතාව කියන අතරේ වාස් තිලකරත්න සහෝදරයගෙ ඇස්වලට කඳුළු ඉනුවා මට මතකයි. ඒ නිසා විනාඩි කීපයක් එයාට කතාකරගන්නත් බැරි වුණා.


“ගාල්ල අතුරු මැතිවරණය වෙනුවෙන් පක්ෂෙන් තියපු රැස්වීම්වල කතාකරපු විජේවීර සහෝදරයා ඒ රැස්වීම අවසන් කරලා පක්ෂයට ආධාර කරන්න කියලා පාක්ෂිකයන්ගෙන්  ඉල්ලීම් කළා මට මතකයි. ඔයිට කලින් කොළඹ හයිඞ් පිට්ටනියෙ තිබුණු රැලියෙදිත් විජේවීර සහෝදරයා මේ විදියට ඉල්ලීම් කළා කියලා අහල තිබුණට මම ඒක මුලින්ම දැක්කෙ ගාල්ලෙ තිබුණු ඡන්ද රැස්වීම්වලදී. සමහර වෙලාවට විජේවීර සහෝදරයගෙ උදව්වට මම ඡන්ද වේදිකා පාමුල ඉඳන් පාක්ෂිකයන්ගෙන් සල්ලි එකතු කරලා තියෙනවා.”
ටුබැකෝ සුනිල් සහෝදරයාගේ විවාහයත් සමග ඔහු එතෙක් පක්ෂය වෙනුවෙන් ඉටුකරමින් සිටි වගකීම් විශාල ප්‍රමාණයක් මගහැරුණු අතර දේශපාලන ජීවිතයට තාවකාලිකව සමුදී විවාහ ජීවිතයට ඇතුළත් වුවද ආර්ථික අගහිඟකම් දරුණු වූයෙන් සිල්ලර කඩකෑල්ලක බිත්ති හතරකට කොටුවී වෙළහෙළඳාම් දියුණු කිරීමට ඔහුට සිදුවිය.


මම 1982 දී විවාහ වුණාට පස්සෙ පක්ෂෙ වැඩකටයුතුවලින් තාවකාලිකව අයින් වෙන්න සිද්ධවුණා. ජීවත් වෙන්න වෙන ආදායම් මාර්ගයකුත් නොතිබුණු නිසා මම කළේ ටුබැකෝ එකේ වැඩ කරපු කාලේ මගේ නමට තිබුණු අර්ථසාධක අරමුදල් අරගෙන මහර නුවර පාරේ පොඩි සිල්ලර කඩයක් පටන්ගත්ත එක. ඔය කාලේ ගම්පහ කච්චේරිය ඉස්සරහපිට තිබුණු ගෙදරක අපේ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන ගියා. ඒ ගෙදර අයිති විජේවීර සහෝදරයගෙ මස්සිනා කෙනෙක් වෙච්ච දොස්තර කෙනෙකුට. පක්ෂෙට ඉස්සෙල්ලාම ගත්ත 504 කාර් එකෙන් විජේවීර සහෝදරයා ගිය දවස්වල නිතරම වගේ ඒ කාර්යාලයට යනවා එනවා. ඒ යන අතරෙ මගෙ කඬේ ළඟ නවත්තලා මම දෙන තැඹිලි ගෙඩිය බීලා යන්න අමතක කරන්නෙත් නෑ. මට මතකයි එහෙම කඬේ ළඟ නවත්තපු දවසක “මේ මනුස්සයව රටට පක්ෂයට දෙනවා. කඬේ හිර කරගෙන තියාගන්නෙ නැතුව” කියලා මගේ බිරිඳට විජේවීර සහෝදරයා කිව්වා. අපේ පක්ෂයේ අනිත් නායකයොත් කඬේට ආපු වෙලාවල්වල ඔය කතාවම කියනවා. පස්සෙ මම ඒ සහෝදරවරුන්ට කිව්වා “බිරිඳගෙ උදව්වට කඬේ නතර කරන්න කෙනෙක් හොයලා දුන්නොත් මට ආපහු පක්ෂයේ වගකීම් බාර ගන්න පුළුවන්” කියලා. ඊට පස්සෙ තමයි පක්ෂෙ සහෝදරවරු කට්ටියක් එකතුවෙලා රාගම සෝමෙ සහෝදරයගෙ අයියගෙ පුතා කඬේ වැඩවලට උදව්වට මට ලබාදුන්නෙ. ඊට පස්සෙ මම ආපහු පක්ෂයෙ වැඩවලට සම්බන්ධ වුණා.”


තවත් කොටසක් ලබන සතියට.

උපුල් වික්‍රමසිංහ