සතියකට පමණ පෙර පොදු අපේක්‍ෂක ප්‍රධාන කාර්යාලයේ පිරිසක් යාපනයේ සංචාරයක නිරතවූ අතර එහිදී ඔවුහූ පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් පැවැත්වූ ප්‍රචාරක රැස්වීම් ගණනාවකට ද සහභාගී වූහ. යළිත් කොළඹට පැමිණි එම පිරිසගේ ඇගැයීම වූයේ උතුරේ ඡන්ද භාවිතය 60-61% ක් විය හැකි බවයි. යම් ආකාරයකින් ආණ්ඩුව කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වුවහොත් එය තවදුරටත් පහළ බැසිය හැකි බව ශිරාල් අපට කීවේය. 
ඒ අනුව ඔහු අපගෙන් ඉල්ලා සිටියේ උතුරේ මෙවැනි අනපේක්‍ෂිත අවදානමක් ඇතිවුවහොත් අපගේ ගණනය කිරීමට අනුව සමස්ත ප්‍රතිඵලය කුමන ආකාරයක් ගනීද? යන්න පිළිබඳ විමසිලිමත් වන ලෙසයි. ඒ අනුව අපගේ මතය වූයේ උතුරේ ඡන්ද භාවිතය 50% ක් වුවද පොදු අපේක්ෂකයා ජයගනු ඇති බවයි. එහෙත් ප්‍රශ්නය පැන නඟින්නේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේ මහින්ද - මෛත්‍රී ඡන්ද පරතරය අඩු මට්ටමකට පැමිණීම හමුවේ අප ජයග්‍රහණය කළ ද මීට පෙර චම්පික ඇමතිතුමා කියා සිටි ආකාරයට කුමන හෝ බලහත්කාරයක් සිදු කිරීමට වැඩි ඉඩකඩක් රාජපක්‍ෂ පාර්ශ්වයට හිමිවීමය.


මීට පෙර අපගේ විග්‍රහය මහාචාර්ය කාලෝ ෆොන්සේකා බලමින් සිටි අවස්ථාවේදී අපගේ මූලික අදහසක් ඔහු හරස් ප්‍රශ්නයකට ලක් කළේය. එනම්, අපගේ විග්‍රහයේදී විස්තර කළේ මේ රටේ මෙතෙක් පැවැති සියලුම ජනාධිපතිවරණ කුමන හෝ අර්බුදකාරී තත්ත්වයක් හමුවේ පවත්වා ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද භාවිතය ඉතා අවම මට්ටමක පැවතීම හමුවේ එහි ඍජු වාසිය සෑමවිටම ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයාට ලැබී ඇති බවත්ය. මාගේ අදහස් දැක්වීම අවසන්වනවාත් සමඟම මහාචාර්යතුමා ඔහු සතු පාණ්ඩිත්‍ය යළිත් එළිදැක්වීය. ඔහු මගෙන් මෙසේ විමසීය. “මලිත් ඔයාගේ තර්කය ඇත්තම් අපි යම්කිසි අර්බුදයක් උතුරේ නිර්මාණය කළහොත් ඒ අවසරයෙන් මහින්දට දිනාගන්න පුළුවන් නේද? මා ඔහු සමඟ වාදයට තර්කයට එම මොහොතේ ගියේ නැත. එහෙත් මට දැනගන්න ලැබුණේ ජනාධිපතිවරණය ජය ගැනීමට අදාළ කාලෝ තියරිය රාජපක්ෂවරුනට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණය ජය ගැනීමට නම් උතුරේ හා නැගෙනහිර සාමකාමී වාතාවරණය බිඳ දමා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අවම කළ යුතු බවයි. කෙසේ වෙතත් ජනවාරි 8 වැනිදා දහවල් වනවිට යාපනය අර්ධද්වීපයෙන් අපට ලැබුණු වාර්තා සුබදායක විය. උදෑසනම එක් සිදුවීමක් පමණක් වාර්තා වූ අතර ජනතාව ඉතිහාසයේ කිසිදා නොදුටු විරූ ලෙස නිදහසේ ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අවසරයෙන් උතුරේ ඡන්ද ප්‍රකාශිත අගය සියයට 64ක් විය. වැදගත්ම කරුණ වන්නේ 2005 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද භාවිතය 1% ක් පමණක් වීමය. 


මැතිවරණය අප බලාපොරොත්තු වූවාට වඩා සාමකාමීය. සමස්ත ජාත්‍යන්තර ලෝකයම, ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම උදෙසා එම දිනය පුරා ශ්‍රී ලංකාවේ ජනතාව කරනු ලබන අරගලය දෙස අනිමිසලෝචනයෙන් බලා සිටියි. ආණ්ඩුව මුල් අවස්ථාවේදී කළ කටමැතදෙඩවීම්වලට අනුව ක්‍රියාකළහොත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කිසිදු සමාවක් නොලැබෙන බව ඔවුනටම ඉවෙන් මෙන් දැනෙන්නට අත. ජනාධිපතිවරණය පටන් ගන්නා අවස්ථාවේදී පදනම් ආයතනයේ සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ ගණන් හිලව් අනුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජයගන්නේ ලක්ෂ 23 කිනි. එය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතාට අනුව ලක්ෂ 13කි. එහෙත් ජනාධිපතිවරණය උණුසුම වැඩිවත්ම මහින්ද ජනාධිපතිතුමා දිනන ලක්ෂ ගණන එකින් එක කපා හැරියේය. මැතිවරණ කොමසාරිස්තුමාගේ ගණන් හිලව් අනුව ජනවාරි 5 වැනිදා වනවිට ලක්ෂ දෙකකින් මහින්ද ජනාධිපතිතුමා දිනන බවට අනාවැකි පළ කළේය. මේ සියල්ල අතර සාමාන්‍ය ජනතාව ප්‍රමුඛ සිංහල සමාජයේ තිබූ මතය වූයේ විජ්ජාවක්, මැජික් එකක් බඳු ක්‍රියාවලියකින් හෝ අවසානයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජයගනු ඇති බවයි. 


පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වීමට පෙර විශේෂයෙන්ම සිංහල සමාජයේ ප්‍රබල විශ්වාසය වූයේ මහින්ද ජනාධිපතිතුමාගේ ජය නිසැක බවයි. මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්ෂකයාවීම හමුවේ මේ මතය යම් දෙදරුම්කෑමකට ලක්විය. එවිට කීවේ මහින්ද ජනාධිපතිතුමා ඡන්ද ලක්ෂයකින් දෙකකින් හෝ දිනන බවයි. දින ගණනාවකින්ම මෛත්‍රී ඇමතිතුමාගේ ජනප්‍රියතාව ඉහළයත්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එක ඡන්දයකින් හෝ ජයගන්නා බව කියැවිණි. එහෙත් තවදුරටත් මෛත්‍රී ඇමතිතුමගේ ජය සතර දෙසින්ම තහවුරු වෙද්දී එම කඳවුරේ අවසන් අර්ථකථනය වූයේ ‘මහින්ද මහත්තය ගහල හරි ගන්නවා’ යනුවෙනි. දාහත් වසරක් එ.ජා.ප.ය මැතිවරණ ගහල ගත් යුගයේ තිත්ත අත්දැකීම් එමට ඇති. ශ්‍රී.ල.නි.ප. යේ සමහර පාක්ෂිකයන් මෙවර ප්‍රතිපත්තියක්, ක්‍රමවේදයක් ලෙසම ගහල හරි ගැනීම අනුමත කරන බවක් ඒ තුළ දිස්විය. 
මැතිවරණ දිනයේ සවස හතරෙන් පසුව ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් ප්‍රකාශ වූ ඡන්ද ප්‍රතිශතය පිළිබඳ අපි විමසිලිමත් වීමු. උතුරු - නැගෙනහිර හා මධ්‍යම පළාතේ ඡන්ද භාවිතය ඉහළ ප්‍රතිශතයක් ගැනීම යම් අස්වැසිල්ලකට කරුණකි. මාතර 70% මට්ටමේය. විශේෂයෙන් තම ගම් පළාත් හා වාසභූමියෙන් බැහැරව වැඩිම ජනතාවක් සිටින දිස්ත්‍රික්කය මාතරය. සමස්තයක් ලෙස ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලය ඉහළ අගයක් ගැනීම අපට වාසිදායක. උතුරු පළාත 65% ක් ගැනීමත් නුවරඑළිය 80% සීමාවට යාමත් නැඟෙනහිර පළාත 80% ක් වීමත් හමුවේ අපගේ ගණිත ගණනය කිරීම හෙට උදෑසන වනවිට මහපොළොවේ යථාර්ථයක් වනු ඇතිද? දෙගිඩියාවකි. ඊටත් එහා උභතෝකෝටිකයකි. සන්ධාන හිතවාදීන් අවසානයේ තබා තිබූ බලාපොරොත්තුව වූ “මහින්ද මහත්තයා ගහල හරි ගත්තොත්” අපට මොකද වෙන්නේ. හැංගෙන්න තැන් සොයාගත යුතුය. එසේ හැංගීම ද විසඳුමක් නොවේ.


ජීවිතය නිරුපද්‍රිතව රැක ගැනීමට නම් රටින් පැනගත යුතුය. කාවන් රත්නායක හා රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය වුවහොත් එම සහයෝගය ලබාදෙන බවට පොරොන්දු වී ඇත. එහෙත් ඉතින් 9 වැනිදා උදේටත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාම නම් බලයේ සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට අපට උපකාර කළහැකි තත්ත්වයක සිටීද? එවිට 9 වැනිදා මධ්‍යාහ්නය වනවිටම සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වය ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනු ඇත.


මෙවැනි උභතෝකෝටිකයක් මධ්‍යයේ පළමුව මගේ බිරිඳ, පුතා ඇතුළු සියලු දෙනාම 8 වැනිදා සවස් යාමයේ ඥාතියකුගේ ගෙදර ගියහ. එය මැතිවරණ ප්‍රතිඵලවලට මුහුණදීම සඳහා වන පළමු පූර්ව සූදානමයි. ජනවාරි 8 වැනිදා දවසේ සැඳෑ භාගය එළැඹෙමින් පැවතුනි. වේලාව සවස 6 පසුවීය. විජේරාම නිවසේ තරමක පිරිසක් ද රැඳී සිටී. මෛත්‍රී ඇමතිතුමා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කොළඹින් බැහැරය. ඊට පෙර සවස අපි කොළඹ නගරයේ හෝටල් දෙක තුනකට ගොස් ආරක්ෂිතව දින කිහිපයක් සිටිය හැකි ස්ථානයක් තිබේදැයි විපරම් කළෙමු. එහෙත් පැහැදිලි අවසන් නිගමනයකට නොපැමිණියෙමු. සවස 6.30ට පමණ අපි සඳහම් සෙවණට ගියෙමු. කළුවර ක්‍රමයෙන් ගලාඑමින් පවතී. පරණවිතාන, අනුරුද්ධ ප්‍රදීප්, ධනුෂ්ක රාමනායක හා ඔහුගේ කණ්ඩායම, ලක්ෂිත ජයවර්ධන ඇතුළු පිරිසක් එහි සිටියහ. මා සමඟ රවීන්ද්‍ර, හරේන්ද්‍ර හා චාමර සිටියහ. ලක්ෂිත කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයේ කිහිප දෙනකුම තමා සමඟ සවස 4න් පසුව කථාකළ බවත් ඔවුන් ස්ථිර වශයෙන්ම දිනන බවට වන මානසිකත්වයකින් කථා කළ බවත් ඔහු තවදුරටත් කීවේය. “මහින්ද මහත්තයා ගහල හරි ගනී” යන සමාජ මතවාදය මගේ මනසේ වධදෙන්නට විය. හතරවටින්ම කළුවර වැටී හමාරය. එහි සිටි අපි සියලු දෙනාගේම මුහුණුවල යම් චකිතයක් හටගෙන ඇති බව හැඟී ගියේය. එය මට ද එකලෙස පොදුය. සදහම් සෙවණේ රාත්‍රියේ වැඩවිසීමට ඕමල්පේ සෝභිත හාමුදුරුවන් වැඩමවීමට නියමිතව තිබුණි. ධනුෂ්ක හා ඔහුගේ පිරිස රාත්‍රිය වනතුරු එහි සිටින බව පැවසූහ. යම් ආකාරයකින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දිනුවොත් සඳහම් සෙවණ වෙල්ලමුල්ලි වයික්කාල්හි නන්දිකඩාල් දෙවැනි ජවනිකාව රඟදැක්වෙන භූමිය වනු ඇති බවට අපි දින කිහිපයක සිටම විනෝදයට මෙන් කීමු. ඊට හේතුව සදහම් සෙවණේ භූ පිහිටීමයි. සදහම් සෙවණේ පිටුපස මායිම දියවන්නාවට සම්බන්ධ ජල තීරුවකි. සරලව පවසතොත් එම බිම් ප්‍රදේශය දූවක හෝ දූපතක ස්වරූපයක් ගනී. පැහැදිලිවම ඇත්තේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව පමණි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළහොත් සදහම් සෙවණ වැටලීමට එන හමුදා භට පිරිසගේ පමණක් නොව කෝට්ටේ නගරාධිපතිතුමාගේ ලෝකල් පෙළපාළි කණ්ඩායමක් ඉදිරියේ පවා සඳහම් සෙවණේ සිටින්නකුට ආරක්‍ෂාව සඳහා පලා යාමට තැනක් නොමැත. ආරක්ෂාවට කළ හැකි එකම විසඳුම පහළ ජල තීරයට පැනීම පමණි. එනිසයි අපි මෙම ස්ථානයට නන්දිකඩාල් »» යනුවෙන් නම් කළේ. 


මේ අතර අනුරුද්ධ ප්‍රදීප් ප්‍රකාශ කළ පරිදි සවස 5.00ට පමණ ඔහු චරිත හේරත්ට කථාකර තිබිණි. එහිදී චරිත අනුරුද්ධට පවසා තිබුණේ “අපිට ඊසි වින් එකක් එනවා. හෙට උදේට බලමුකො” යනුවෙනි. ඉන්පසුව අනුරුද්ධ ධම්ම දිසානායකට ද කථා කර තිබිණි. එහිදී ධම්මද චරිත පරිද්දෙන්ම ඉතා විශ්වාසයෙන් යුතුව පවසා තිබුණේ ඔවුන් ජයගන්නා බවකි. එහෙත් ධම්ම ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය ගොඩනඟාගෙන තිබුණේ ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාල මඟින් සිදුකර තිබූ සමීක්‍ෂණ වාර්තා අනුවය. ඊට පෙර එම සමීක්ෂණ වාර්තා රටට හාස්‍ය උත්පාදනය කළද එදින රාත්‍රිය වනවිට එම වාර්තා පවා ඉදිරියෙහි බියකරු සිහින මැවීමට සමත්වූවා වැනිය. මේ අතර එතැන සිටි පරණවිතාන ද කියා සිටියේ තමන් චරිත සමඟ කළ දුරකථන සංවාදයේදී ඔහු ඉතා විශ්වාසයෙන් කථා කළ බවය. කෙසේ වෙතත් අපි සියලු දෙනාම ආරක්ෂිත ස්ථාන සොයා පසුබැස ගිය ඒ රාත්‍රියේ අනුරුද්ධ හා නිශාන්ත වර්ණසිංහ වැල්ලවත්ත ඔමේගා හෝටලයේ නතර වූහ. අප පමණක් නොව ජයම්පති, වැලිඅමුණ ඇතුළු පොදු අපේක්‍ෂක කඳවුරේ සිටි බොහෝ දෙනකු තම නිවෙස්වලින් පිටව ගොස් සිටියහ. මේ අතර කොළඹ “හිල්ටන් රෙසිඩන්සිස්” හි සියලුම කාමර ඊට දින කිහිපයකට පෙර සිටම වෙන්කර හමාරය. ඒ අනුව, මැතිවරණ දිනයේ සවස දැකගත හැකිමුත් කලක සිට අරලියගහ මැදුරට ආගිය අය මෙන්ම විජේරාමෙට ආගිය පිරිස ද ආරක්‍ෂාවට මෙහි එකවර ලැගුම්ගෙන ඇති ආකාරයකි. 


හතරවටින් ඇඳිරි වැටී ඇති එම අවස්ථාවේ අපි සියලුදෙනාම කථාකළේ අප පැරදුණොත් අපිට හෙට උදේ වෙන දේ පිළිබඳවයි. මාගේ මනස වියවුල්ය. එය යළි යළිත් අන් සියලුදෙනා තුළින්ම මම දුටුවෙමි. මා මෙන්ම අනුරුද්ධත්, ලක්ෂිතත් තම පවුලේ සාමාජිකයන් ඒ වනවිටත් ගෙවල්වලින් පිටමංකර හමාරය. පරණවිතාන මගෙන් “මලිත් ඔයා මොකද කරන්නේ” යනුවෙන් විමසීය. ඔහුට ඍජු පිළිතුරක් දීමට තරම් මට නිශ්චිත අරමුණක් නැත. මගේ පිළිතුර වැනෙනසුලුය.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්