මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන 1959 පෙබරවාරි 18 විද්‍යෝදය විශ්ව විද්‍යාලය බවට පත්වූ අවස්ථාවේදී මාලිගාකන්ද උත්සවශ්‍රීයෙන් දිස්වූයේ මෙසේය.

 

 

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අතීතය 1873 දක්වා දිවේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් එය ආරම්භ වූයේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ලෙසිනි. විද්‍යෝදය පිරිවෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලය බවට පත්වූයේ 1958 පාර්ලිමේන්තු පනතක් මගින් 1959 පෙබරවාරි 18 වැනිදාය. 


මාලිගාකන්දේ තිබූ විද්‍යෝදය විශ්වවිද්‍යාලය නුගේගොඩ ගංගොඩවිල ස්ථාපනය වන්නේ 1961දීය. එය උසස් අධ්‍යාපන සභාවේ පාලනයට 1966 දී පාර්ලිමේන්තු පනතක් එක්විය. සියලුම විශ්වවිද්‍යාල 1972 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නාමය යටතේ ඒකාබද්ධ කරන ලද අතර එහිදී මෙය විද්‍යෝදය මණ්ඩපය විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස නාමය වෙනස් වූයේ 1978 දීය. 


සියවසකට අධික කාලයක් විවිධ වෙනස්වීම්වලට සහ පරිවර්තනවලට මුහුණ දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට (ජ’පුර සරසවිය) පැමිණි සරසවි සිසුහු සහ ආදී විද්‍යාර්ථීන් සමාජීය, දේශපාලනික, අධ්‍යාපනික, සංස්කෘතික, ආගමික ඇතුළු සෑම අංශයකම පෙරමුණේ වූහ. ලාංකීය සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ වෙනස් කරමින් ආර්ථික සහ සමාජ පරිවර්තනයක් ඉල්ලූ ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ලේ පහරදීමේ අවසන් තීරණය ගත්තේද එදවස විද්‍යෝදය සරසවියේ සංඝාරාමයේදීය. ජ’පුර සරසවි සිසුවකු වශයෙන් 1971 අප්‍රේල් කැරැල්ලේදී ඝාතනයට පත්වූයේ එක් සිසුවකු පමණි. ඒ කහටගස්දිගිලියේදී ඝාතනයට ලක්වූ අනුරාධපුරයේ ලොකුබණ්ඩා (එල්. බී.) සෙනෙවිරත්නය. සිය ගණනක් සිරගත වූහ. කැරැල්ල අවසානයත් සමඟ විද්‍යෝදය සරසවිය දහස් සංඛ්‍යාත කැරැලිකරුවන් රඳවා තැබූ කඳවුරක් බවට පත්විය. 


රාජ්‍ය භීෂණය, ශිෂ්‍ය මර්දනය, නිදහස් අධ්‍යාපන කප්පාදුව, ජාතික අර්බුදය, ඉන්දියන් හමුදා ආක්‍රමණය ඇතුළු කරුණු ගණනාවක් හමුවේ සංවේදී වූ සරසවි සිසුහුගෙන් බහුතරයක් ජවිපෙ 2වැනි කැරැල්ලට ඍජුව සහ වක්‍රව බද්ධ වූහ. අවසානයේදී 1986 සිට 1990 දක්වා මියගිය සරසවි සිසු සංඛ්‍යාව 396 කි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 107 දෙනෙක් ඒ අතර වෙති. 


ජනතා විමුක්ති පෙරමුණේ 2 වැනි කැරලි සමයේ එහි දේශපාලන බල මණ්ඩල සභිකයින් දෙදෙනකු වූ තිස්සමහාරාමයේ නන්දතිලක අමදෝරු ගලප්පත්ති සහ මැදවච්චියේ එච්. බී. හේරත්ද ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් වූ කරවැනැල්ලේ අමරසිරි සමරනායක, මාතලේ කට්ටියගේගෙදර ඇල්පේනිස් හෙවත් අරුණ කන්දවත්තද ජයවර්ධනපුර සරසවියේ හිටපු උපාධිධාරීහු වෙති. 


සරසවි සිසුන් සමඟ ජ’පුරේදී මතභේදයට ලක්වූ අප කුලපතිවරයෙකු වූයේ කරුණාසේන කොඩිතුවක්කුය. ඔහුගේ මර්දනකාරී පාලනය පරාජය කිරීමට අවසානයේ ශිෂ්‍ය ක්‍රියාකාරිහු සමත් වූහ. කරුණාසේන කොඩිතුවක්කු හදිසි නීතිය රෙගුලාසි යටතේ සරසවියේ නිසි බලධාරියා ලෙස පත්වූයේ 1983 ජනවාරි මස හිටපු උපකුලපති ටී. බී. කාන්ගහආරච්චි නීති විරෝධී ලෙස ඉවත් කිරීමෙන් පසුවය. පසුව උපකුලපති ලෙස රජය පත්කළ කරුණාසේන කොඩිතුවක්කු සරසවි අවට මැර පිරිස් සුළු සේවකයින් ලෙස බඳවාගත් අතර ආරක්‍ෂක අංශයට ද තමන්ට අවශ්‍ය පරිදි ශිෂ්‍යයන්ට එරෙහිව මෙහෙයවූ බවට චෝදනා විය. මෙම සේවක මැර පිරිස් නිරතුරුව සිසුන් සමඟ ගැටුම් ඇතිකර ගත්හ. 

 

ජ‘පුර ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ නායකයෙකුවූ විද්‍යා පීඨ සිසු හලාවත අඹකඳවිල පදිංචි ඇලෙක්සැන්ඩර් පොලිස් අත්අඩංගුවෙන් 1988 නිදහස් කිරීමෙන් පසු සරසවි සිසුන් විසින් ඔහු ඔසවාගෙන පෙළපාලි යන අයුරු. ඇලෙක්ස් වර්තමානයේ ඉතාලියේ පදිංචිය.

 

මෙයට එරෙහිව ප්‍රතිප්‍රහාරදීම සඳහා ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය මගින් ජ’පුර සරසවිය තුළ 60 දෙනෙකුගෙන් සමන්විත පොලු බළකාය නමින් රහස්‍ය ප්‍රහාරයක ඒකකයක් 1984 දී පිහිටුවන ලදී. නඩත්තු අංශයේ සේවක වෙස්ගත් මැරයින්ට එරෙහිව එක් අවස්ථාවක කඩු, පොලු ප්‍රහාරයක් එල්ල කරමින් ආරක්ෂක අංශය ගිනි තබන්නේ එම බළකාය මගිනි. උපකුලපතිවරයාගේ හිතවත් ශිෂ්‍යයකු වූ වාණිජ පීඨයේ අලව්වේ හිරාන් ජයතිලක ඇතුළු සේවක මැර පිරිසක් වාණිජ පීඨයේ ලක්ෂ්මන්ට සහ සරත්ට පහරදුන් අවස්ථාවේ දී එම මැරයිනට පහර දී අලව්වේ ජයතිලකට පිහියෙන් ඇණ මාරාන්තික තුවාල සිදුකරන ලද්දේද එම බළකාය විසිනි. ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය අංශය ජවිපෙ වෙනුවෙන් භාරව සිටියේ 1983/84 දක්වා ලලිත් විජේරත්න සහ 1985/86 දක්වා ආනන්ද ඉඩමෙගමය.


දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි විකල්ප කණ්ඩායම සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයට අයත් ශිෂ්‍යයන් කිහිපදෙනෙක් ජ’පුර සරසවියේ සිටියද එම කණ්ඩායම් දෙකේම සිටි සුළු පිරිසද විනයකින් තොරව මර්ජ් වැනි එන්.ජී.ඕ. මගින් පෝෂණය වූ නිසා කෙටි කලකින්ම අක්‍රීය විය.


එහි නිහාල් කිත්සිරි 1986 ජනවාරි 28 ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගෙන කාලයක් රඳවා ගන්නා ලදී. 


ජ’පුර සරසවියේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1984/85 සභාපති වූයේ දෙල්කඳ පදිංචි ශාස්ත්‍ර පීඨයේ වික්ටර් කෝදාගොඩය. ජවිපෙ එම ශිෂ්‍ය සංගමයේ 1985/86 සභාපති වූයේ වලස්මුල්ලේ පදිංචි ශාස්ත්‍ර පීඨයේ රාජපුරය. එහි 86/87 සභාපති වශයෙන් ශාස්ත්‍ර පීඨයේ මිල්ටන්ද, 87/88 සභාපති වශයෙන් ගාමිණී මාලසිංහ ද කටයුතු කළේය. කෝදාගොඩ වර්තමානයේ මාතර උප ගුරුවරයෙකි. රාජපුර උපාධිය නිමකිරීමෙන් පසු දේශීය ඖෂධ අපනයනය කිරීමේ ව්‍යාපාරයක ජපානයේ සිට නිරතවූ අතර 2014 දී හෘදයාබාධයකින් ජපානයේ මිය ගියේය. මිල්ටන්ද උප ගුරුවරයකුවන අතර ජවිපෙ ලංකා ගුරුසේවා සංගමයේ වර්තමාන ක්‍රියාකාරිකයෙකි. මාලසිංහ ආරක්ෂක අංශ මගින් නාවල දී 1988 දෙසැම්බර 8 පැහැරගෙන ගිය අතර මළ සිරුර 1988 දෙසැම්බර් 11 මොරටුවේ දී හමුවිය. 


ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ජ’පුර සරසවියේ 1985 සිට 1989 දක්වා සිටි මුල්පෙළේ ක්‍රියාකාරී නායකයන් වූයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් වන පමුණුවේ නාභිත හිමි (82/83), කෑගල්ලේ රත්නසිරි (82/83), මරහගම එම්. ඒ. සුනිල් (82/83), මාතර උදිත හිමි (83/84), විද්‍යා පීඨයේ බන්දුල (83/84), තංගල්ලේ මහින්ද (83/84), කමල් ප්‍රනාන්දු (83/84), කළමනාකරණ පීඨයේ උපුල් නානායක්කාර (84/85), ඇලෙක්සැන්ඩර්, ශාස්ත්‍ර පීඨයේ නිමල් ජයරත්න, රනිල් කාරියප්පෙරුම අතුකෝරාලගේ, ආනන්ද ධර්මසිරි, නුවර චම්ලි, ගුණසිරි හිමි, කෑගල්ලේ උපාලි, සුනිල් මාරසිංහ, සරත් අබේරත්න, බර්ටි විදානපතිරණය. 


ජවිපෙ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයන් අතර කළමනාකරණ, විද්‍යා සහ ශාස්ත්‍ර ඇතුළු පීඨයන්හි රනිල්. හේමන්ත අබේසූරිය, කුලසිංහ, නන්දසිරි, සරත්, පියසිරි ප්‍රේමලාල්, ප්‍රීතිමාල්, පාලිත ලලිත්, සමරතුංග ඇතුළු පිරිසක් වූහ. 

 

 

අසූව දශකය මැද භාගයේ සිට ජ’පුර සරසවියේ රාහුල සහ විමලධර්ම නේවාසිකාගාරයන්හි ජවිපෙ පන්ති 5 අවසන්කර විශ්වාසවන්ත සහ ක්‍රියාශීලීව ජවිපෙ පවරණ කටයුතු සිදුකරන අය අතරින් තෝරා ගන්නා පිරිස් සඳහා වූ ජවිපෙ ද්විතීක අධ්‍යාපන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කෙරෙන දින 7 දක්වා ඇති මූලික අධ්‍යාපන කඳවුරු පවත්වන ලදී. මෙම අධ්‍යාපන කඳවුරුවලට ජ’පුර ඇතුළු වෙනත් සරසවි ගිහි පැවිදි සිසුහු ද සිසුවියන් ද පිටස්තර තරුණ තරුණියෝද කණ්ඩායම් වශයෙන් සහභාගී වූහ. ධනේෂ්වර ක්‍රමයේ අර්බුදය, මෙනෂෙවික් ව්‍යාපාරය, ලංකාවේ සමාජවාදයට මඟ, ලාංකික විප්ලවයේ ගැටලු, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය, මාක්ස්වාදී දර්ශනය, ආර්ථික විද්‍යාව, ජාතික ගැටලුව, බොල්ෂෙවික් පක්ෂය ගොඩනැගීම, ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ඇතුළු කරුණු ගැන දීර්ඝව කෙරෙන සාකච්ඡා අධ්‍යාපන කඳවුරුවලට ඇතුළත්ය. කඳවුරෙන් පසු වැඩිදෙනෙකු ජවිපෙ පූර්ණ කාලීනව දේශපාලනයට යොමු වේ. 


එදවස සෝරත සහ ධර්මපාල යනු කාන්තා නේවාසිකාගාරයන්ය. මෙවැනි ජවිපෙ නේවාසික අධ්‍යාපන කඳවුරු පේරාදෙණිය සරසවියේ හිල්ඩා ඔබේසේකර ශාලාව ඇතුළු ස්ථානවල පැවැත්විණි. සිසුන් කිහිපදෙනෙක් රත්නපුරයේ සිංහරාජය සහ ශ්‍රීපාදයේ ද ඇඹිලිපිටිය උඩවලවේ ද රහසිගතව පිහිටි කඳවුරුවල දී අවි පුහුණුව ද ලබාගෙන තිබිණි. 


ජ’පුර සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව්දෙනෙකුගේ ඝාතනයන් සිදු වූ ආකාරය මෙසේ සංෂිප්ත කර දැක්විය හැකිය. ලුණුවිල බණ්ඩිරිප්පුව පදිංචි මාලසිංහ ආරච්චිගේ ෆ්‍රැන්සිස් ගාමිණී සිංහල කතෝලිකයෙකි. පවුලේ බාලයාය. වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර 84/85 වසරයන්හි ජ’පුර ශාස්ත්‍ර පීඨයට ඇතුළු විය. අන්තරේ සාකච්ඡාවන්ට ජ’පුර සරසවිය නියෝජනය කළේය. දේශප්‍රේමී එක්සත් පොදු පෙරමුණක් 1988 දෙසැම්බර් ජනාධිපතිවරණයට පෙර ගොඩනැගීම සඳහා 1988 ජූලි සිට අන්තරේ නියෝජනය කරමින් ශ්‍රීලනිප ඇතුළු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡාවන්ට සහභාගී විය. 


රුක්මන් සේනානායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ලංකා ජනතා පක්ෂයේ ලේකම් වෛද්‍ය ගාමිණී විජේසේකර සමඟ වාහනයකින් ගමන් කරමින් සිටිය දී නාවල දී ආරක්ෂක අංශ මගින් 1988 දෙසැම්බර් 8 පැහැරගෙන ගිය අතර පසුව ගාමිණීගේ මළ සිරුර 1988 දෙසැම්බර් 11 මොරටුවේ දී හමුවිය.


කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ එන්. බී. උපුල් කිත්සිරි නානායක්කාර හෙවත් ලෙනෝරා අනුරාධපුර උපන් අතර අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ජ’පුර සරසවියට ඇතුළු විය. 1987 දී ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ද්විතීක අංශයේ දිස්ත්‍රික් කටයුතුවලට අනුයුක්ත වූ උපුල් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව 1987 ජූලි 28 පැවැති විරෝධතා ව්‍යාපාරයේ දී පොලිස් වෙඩි පහරක් කකුලට වැදී තුවාල ලබා රෝහල් ගතවිය. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1989 ඔක්තෝබර් සිට 1990 ජනවාරි දක්වා ප්‍රධාන ලේකම් තනතුර දැරූ උපුල් අත්අඩංගුවට ගනු ලැබුවේ රාජගිරිය නිවසක දී 1990 ජනවාරි අවසානයේදීය. නීති පීඨ වධකාගාරය, තිඹිරිගස්යායේ මෙහෙයුම් මධ්‍යස්ථානයට ද පසුව හේන්රි ප්‍රේදිරිස් උද්‍යානයේ පිහිටි වධ කඳවුරට ද ගෙන යනු ලැබූ උපුල් 1990 පෙබරවාරි 16 ආරක්ෂක අංශ සමඟ එක්ව ඝාතනය කරන ලද්දේ කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විසිනි. උපුල් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් ඇතැම් ශිෂ්‍ය නායකයන් සහ ක්‍රියාකාරීන් ආරක්ෂක හමුදාවන්ට කොටුකර ගැනීමට මඟපෙන්වීමට ක්‍රියා කළ බවට චෝදනාවකි. 


කුරුණෑගල හෙට්ටිපොල හිරිපොකුණ ගමේ 1960 සැප්තැම්බර් 12 උපන් සුනිල් සේනාරත්න මාරසිංහට සොහොයුරන් තිදෙනෙකි. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ජයවර්ධනපුර සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨය 1984/85 අධ්‍යයන වර්ෂයට ඇතුළත් වූ සුනිල් එහි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියමුවෙකි. ජ’පුර සරසවිය 1989 මැයි 10 යළි ඇරඹීමට තීරණය කර තිබූ අතර 1989 මැයි 3 පෙරවරු 7ට සුනිල් මාරසිංහව කුරුණෑගල හලාවත මාර්ගයේ ද 38 ශ්‍රී 1408 හයිඒස් වෑන් රථයෙන් පැහැර ගන්නා ලදී. බිංගිරිය පොලිසියට ගෙන යනු ලැබූ සුනිල් එදිනම දහවල් 12ට පමණ කුරුණෑගල වැහැර හමුදා කඳවුරට බාරදීමෙන් පසුව ඝාතනයට ලක්විය. එදින කඳවුර භාරව සිටියේ ලුතිනන් අසේල දහනායකය. පියසිරි ප්‍රේමලාල් වාරියපොල දී අත්අඩංගුවට ගෙන 1989 ජූලි 9 ඝාතනය කර පුලුස්සා දමන්නේ ද වැහැර හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එඩිසන් ගුණතිලක සහ කර්නල් ජානක පෙරේරාට ද ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල විණි. සංකේතයක් ලෙස පියසිරි ප්‍රේමලාල්ගේ ඡායාරූපය බහාලූ පෙට්ටිය සරසවි භූමිය ඉදිරිපිට දී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් ආදාහනය කරන ලදී.

 

 

 

 

 


මතු සම්බන්ධයි.