තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන ඇමැතිනී ජයලලිතා ජයරාම් මියයාමෙන් පසු එම ප්‍රාන්තයේ දේශපාලන කරළියේ සිද්ධීන්වල අසාමාන්‍ය වේගය අනුව ඊළඟට කුමක් සිදුවේදැයි කිසිවකුටත් කිව නොහැකි තරම්ය.


එහෙත් ජයලලිතාගේ සමීපතම හිතවතිය වන වී.කේ. සසිකලා අසාධාරණ ලෙස ධනය රැස් කිරීමේ චෝදනාව යටතේ ඉකුත් බදාදා සිව් වසරකට බන්ධනාගාරයට නියමවීමත් ප්‍රධාන ඇමැති ධුරයට එඩප්පාඩි පළනිසාමි පත් කරනු ලැබීමත් සමග තත්ත්වය සන්සුන්වීමේ ලක්ෂණ පහළ වෙමින් තිබුණද ජයලලිතාගේ පක්ෂයේ සැබෑ බලය ඇත්තේ කොහිද යන ප්‍රශ්නය නිසා ඉදිරි සති කිහිපයද අවිනිශ්චිත වනු ඇතැයි කියැවේ.


කෙසේ වෙතත් ජයලලිතාගේ මරණයත් සමඟ ඇතිවූ සිදුවීම් මාලාව දෙස බලන විට ශ්‍රී ලංකාවේ හා තමිල්නාඩු ප්‍රාන්තයේ අවස්ථාවාදී හා හිතුවක්කාරි දේශපාලන ක්‍රියාමාර්ග අතර අපූරු සමානත්වයක්ද දක්නට ඇත. එසේම දේශපාලන කටයුතුවල දක්නට ඇති පහත් හා සදාචාර විරෝධී බව එහි හා මෙහි ජනතාව ඉවසා සිටින ආකාරයත් ඒවාට අනුගතවීමට දරන උත්සාහයත් එක්තරා ආකාරයකට පුදුම සහගතය.


පිළිකුල් සහගත දේශපාලනය හෙළා දැක ඉන් ඉවත්වීම වෙනුවට ජනතාවම එම දේශපාලනයේ නිරත වූවන් දේවත්වයෙන් සලකන්නට පෙළඹෙන ආකාරය අනුව බලනවිට එහි මෙන්ම මෙහිද සදාචාර විරෝධී දේශපාලනය තවත් බොහෝ කලක් යෙහෙන් වැජඹෙනු ඇතැයි සිතිය හැකිය.


සසිකලා බන්ධනාගාරගත කරමින් කර්නාටක ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දීමට පෙර සසිකලා තමිල්නාඩුවේ ඊළඟ ප්‍රධාන ඇමැති වශයෙන් දිවුරුම්දීමට සූදානමින් සිටියාය. එහෙත් ඇයට එරෙහිව ඒ වනවිට භාරකාර ප්‍රධාන ඇමැතිව සිටි ඕ. පන්නීර් සෙල්වම් යුද්ධ ප්‍රකාශ කිරීම නිසා ඇයට ප්‍රාන්ත සභාවේ බහුතර බලය තමන් වෙතින් ගිලිහී යාදෝයි සැකයක් ඇති  විය.


මේ නිසා ඇය ජයලලිතාගේ පක්ෂය වන සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂයේ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු හැර අන් සියලු දෙනාම චෙන්නයි අසල කූවත්තුර්හි සංචාරක හෝටලයක රැඳවූවාය. (සිරගත කළාය).


මේ සිද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ උනන්දුව ඇති වැඩිහිටියන්හට මේ රටේද ජනාධිපතිවරයකු ඡන්ද විමසීමක් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තරු පහේ හෝටලයක කොටු කළ සිද්ධිය සිහිපත්වීම වැළැක්විය නොහැකිය.


මේ සිද්ධිය සිදුවූයේ 1987 දී ඉන්දු ලංකා “සාම” ගිවිසුම අත්සන් කිරීමෙන් ටික දිනකට පසුවය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේ අරමුණෙන් මෙරට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා හා ඉන්දීය අගමැතිව සිටි රාජිව් ගාන්ධි මහතා අතර ඉන්දු-ලංකා ගිවිසුම ඇති කරගන්නා ලද අතර එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ බලය බෙදීම හා ඒ යටතේ පළාත් සභා ඇති කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතු විය.


පළාත් සභා පිහිටුවීම සඳහා එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා පනත කෙටුම්පත් කළ අතර එය සම්මත කර ගැනීම එදා රටේ පැවැති තත්ත්වය යටතේ ඉතා බැරෑරුම් කටයුත්තක් විය.
ඒ ඉන්දු ලංකා ගිවිසුමට මෙන්ම ඒ යටතේ සම්මත කිරීමට නියමිතව තිබූ 13 වැනි සංශෝධනයට හා පළාත් සභා පනතට දකුණේ විශාල විරෝධයක් මතුවූ  හෙයිනි. රට පුරා උද්ඝෝෂණ පැතිරිණි. විරෝධතාකරුවෝ විශාල පිරිසක් ආරක්ෂක අංශවල වෙඩි පහරට ලක්වූහ. තමන්ගේ අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා පවා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව අදහස් දක්වමින් සිටි තත්ත්වය යටතේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත හැකි වේදැයි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට සැකයක් ඇති විය. ඒ, ඒ වනවිටත් එජාප ආණ්ඩුවට හයෙන් පහක බහුතර බලයක් තිබියදීය.


මේ තත්ත්වය යටතේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂවල බලපෑමට ලක්වීම වැළැක්වීම සඳහාත් ඔවුන් ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදී සිටීමෙන් වැළැක්වීම සඳහාත් ජයවර්ධන මහතා කිසිවකු නොසිතූ ආකාරයේ දරදඬු තීරණයක් ගත්තේය.


ඉන්දු ලංකා ගිවිසුමට පෙරදීම එජාප මන්ත්‍රීවරුන් සියලු දෙනාම දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට දී තිබිණි. ඒ තත්ත්වය යටතේ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දිනයේ එනම් 1987 නොවැම්බර් 13 වැනිදා කොළඹ තරු පහේ හෝටලයකට ගෙන්වාගත් ජයවර්ධන මහතා ඔවුනට පසුදා වන තෙක් ඉන් පිටවීමට නොදී එහි රඳවා ගත්තේය. පසුදා ඔවුන් ඔවුන්ගේ වාහනවලින් නොව බස් රථවල පටවා පාර්ලිමේන්තුවට ගෙන්වා ගෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා ලදී.


සසිකලාද කළේ එවැනිම දෙයකි. ජයලලිතාගේ මරණයෙන් පසු ඒ වනවිටත් වැඩබලන ප්‍රධාන ඇමැති වූ පන්නිර් සෙල්වම් දිගටම ප්‍රධාන ඇමැති වශයෙන් කටයුතු කරගෙන ගියේය. එහෙත් ඇය ඉතා ශූර ලෙස ජයලලිතා දැරූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට තමන් පත් කරන ලෙසටද ප්‍රධාන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටද පන්නීර් සෙල්වම් පොළඹවා ගත්තාය.
ඒ වනවිට ඇය ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරියක් වූයේ නැත. එසේ වුවද ඉන්දීය නීතිය අනුව හය මසක් තුළ මන්ත්‍රීවරියක් වීමේ කොන්දේසියක් යටතේ ප්‍රධාන ඇමැතිවීමට ඇයට හැකියාව තිබිණි. ඒ අනුව ඇය පක්ෂයේ මන්ත්‍රීවරුන් පොළඹවාගෙන ප්‍රාන්ත සභාවේ සිය පක්ෂ කණ්ඩායමේ නායිකාව ලෙස පත්වූවාය. ඒ අනුව ඇය ප්‍රධාන ඇමැතිවීමේ සියලු සුදුසුකම් ලබා ගත්තාය.


පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වීමට පෙරද ඇය ප්‍රාන්තයේ බලවතියක් වූවාය. ඒ තත්ත්වය කෙතරම් බලපෑමක් කළේද යත් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ජයලලිතාගේ මරණය පිළිබඳ සිය ශෝක පණිවිඩය ප්‍රධාන ඇමැති පන්නීර් සෙල්වම්ට නොව සසිකලාට යැවූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි. එම ශෝක පණිවිඩය රැගෙන ගිය ජනාධිපතිවරයාගේ විශේෂ දූතයින් වන හිටපු ඇමැති ආරුමුගන් තොණ්ඩමාන් මහතා හා ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමාන් මහතා තමිල්නාඩුවට ගොස් ප්‍රධාන ඇමැතිවරයා නොව සසිකලා හමුවී තිබිණි.


තවත් ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවකින් දැක්වුණේ ප්‍රාන්තයේ ආණ්ඩුවේ හෝ ආණ්ඩු පක්ෂයේ හෝ කිසිදු තනතුරක් නොදැරූ සසිකලා කච්චතිව් දූපතේ අලුතින් ඉදිකරන ලද දේවස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සිය දෙනකුට සහභාගිවීමට අවසර දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබූ බවයි. එයටද ජනාධිපතිවරයා එකඟ වී තිබිණි.


කෙසේ වෙතත් ප්‍රධාන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ පන්නීර් සෙල්වම් ඉන් දින දෙකක් යත්ම තමන් දේශපාලන අනාථයකු වන්නට යන බව දැන කැරැලි ගසන්නට ඉදිරිපත් විය. තමිල්නාඩුවේ මරිනා වෙරළේ ජයලලිතාගේ සොහොන වෙත ඉකුත් 7 වැනිදා රාත්‍රියේ ගිය ඔහු එහි විනාඩි 45ක් පමණ භාවනා කොට පිටතට පැමිණ තමන් ඉල්ලා අස්වූයේ සසිකලාගේ හා ඇගේ ආධාරකරුවන්ගේ බලකිරීම නිසා බවත් තමන් තම අයිතිය වෙනුවෙන් ඉදිරියේදී සටන් කරන බවත් පැවැසීය.


මේ අලුත් තත්ත්වය හමුවේ කලබලයට පත් සසිකලා පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා වාහනවලට නංවා චෙන්නයි අසල කූවත්තූර්හි ගෝල්ඩන් බේ හෝටලයට කැඳවා ගෙන ගොස් සියලු සැප පහසුකම් සහිතව ඔවුන් එහි සිර කළාය. තමිල්නාඩු ඇතැම් ජනමාධ්‍ය පැවසූ ආකාරයට ඔවුනට දුරකතන, රූපවාහිනිය හා පුවත්පත් තහනම් විය. මේ නිසා මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ පවුල් සමඟ හෝ සබඳතා පැවැත්වීමට නොහැකි විය. එහෙයින් මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ ඥාතීන් එම මන්ත්‍රීන් සොයා දෙන ලෙස ඉල්ලා අධිකරණයට හබයාස් කෝපුස් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණු බවද කියවිණි.


ඉන්පසු සසිකලා තමන් මහ ඇමැති ලෙස පත්කරන්නැයි ප්‍රාන්ත ආණ්ඩුකාර විද්‍යාසාගර් රාඕගෙන් ඉල්ලුවාය. එහෙත් ආණ්ඩුකාරයා ඇයට සතුටු විය හැකි ආකාරයේ පිළිතුරක් දුන්නේ නැත. ඇත්ත වශයෙන්ම සසිකලා ජයලලිතාගේ පක්ෂයේ බලය අල්ලාගත් ආකාරය හා පන්නීර් සෙල්වම් ප්‍රධාන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්කරවූ ආකාරය පිළිබඳව සදාචාරාත්මක ප්‍රශ්න තිබුණද නීතිය අනුව ආණ්ඩුකාරවරයාට ඇය මහ ඇමැති ධුරයට පත් කිරීමට කිසිදු බාධාවක් තිබුණේ නැත.


එහෙත් නීතිය හා සදාචාරය අතර සිරවූ නිසාදෝ ආණ්ඩුකාරයා ඇගේ ඉල්ලීම එකවර පිළිගන්නේ නැතිව සිටියේය. මෙයද ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරයකු මුහුණ දුන් ප්‍රශ්නයක් සිහිපත් කරයි.


17 වසරක එජාප පාලනය අවසාන වීමේ ලකුණු පහළ කරමින් 1994 පැවැති දකුණු පළාත් සභා මැතිවරණයෙන් ශ්‍රීලනිප ප්‍රමුඛව පොදුජන එක්සත් පෙරමුණ එක් වැඩි ආසනයක් ලබා ජයගත්තේය. එජාප නායකයකු වූ ආණ්ඩුකාර එම්.ඒ. බාකීර් මාකාර් මහතා පක්ෂය හා නීතිය අතර සිර විය.


නීතිය අනුව ඔහු පොදුජන එක්සත් පෙරමුණේ මහ ඇමැති අපේක්ෂක අමරසිරි දොඩංගොඩ මහතා මහ ඇමැති ධුරයට පත් කළ යුතු විය. එහෙත් තම පක්ෂයට ඔහුගේ තිබූ ලැදියාව එක් වැඩි ආසනයක් ලැබූ පක්ෂයට ප්‍රධාන ඇමැති ධුරය දෙන්නට ඉඩ නොදුන්නා සේ ය. ඔහු දින කීපයක් පළාතෙන් පිටවී පොදුජන එක්සත් පෙරමුණ වෙතින් සැඟවී සිටියේය. පසුව ඔහුට දොඩංගොඩ මහතා ප්‍රධාන ඇමැති ලෙස පත් කරන්නට සිදුවිය.


සසිකලා සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්  සිර කළේ මැරවරයන් යොදවා හෝ නීති විරෝධී ආකාරයට හෝ නොවේ. එහෙත් ඇය ඔවුන් හෝටලයේ සිරකළ විටද ඔවුහු විරෝධයක් නොපා ඊට එකඟ වූහ. ඔවුන් එසේ කළේ ප්‍රධාන ඇමැතිව සිටි පන්නීර් සෙල්වම් දිගින් දිගටම සසිකලා කියන කියන දේ කරනවිට ඇය ප්‍රධාන ඇමැතිවීම ස්ථීර යැයි සිතූ හෙයිනි.


බලය සමඟ මන්ත්‍රීවරුන් සිය පක්ෂපාතිත්වය වෙනස් කිරීම පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දී ද දැකගත හැකි විය. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා බටහිර ඒජන්තයකු ලෙසත් කොටින්ගේ පිල්ලියක් ලෙසත් හැඳින්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගණනාවක් සිරිසේන මහතා ජනාධිපති වූ වහාම තනතුරු පතා ඔහු වෙත ආහ. ඒ නිසා ලජ්ජා විරහිතභාවය පෝක් සමුද්‍ර සන්ධියෙන් එපිටදී මෙන්ම මෙපිටදීද දැක ගත හැකිවිය.


ඇත්ත වශයෙන්ම පන්නීර් සෙල්වම් මෙහිදී කටයුතු කොට ඇත්තේ අන්ත බියගුල්ලෙකු මෙනි. ජයලලිතාගේ මරණයෙන් පසු ඔහු සසිකලා කියන කියන ආකාරයට කටයුතු කළ යුතු නොවීය. එහෙත් ජයලලිතා ජීවත්ව සිටියදී ඇගේ සමීපතම මිතුරියට ද අවනතව කටයුතු කළ පන්නීර් සෙල්වම්ට එම අවනතභාවය තමන්ට හානිකර බව වැටහුණේ හානිය සිදුවූවාට පසුවය.


ඔහුගේ මෙම බියගුළු බව නිසාම ජයලලිතා බියකින් තොරව තුන් වරක්ම ඔහු තමන් වෙනුවෙන් වැඩ බැලීමට පත් කළාය. ඒ ඔහු බලය ගත් පසු තමන්ට සතුරු නොවන බව දන්නා නිසාය. ශ්‍රී ලංකාවේද ඇතැම් ජනාධිපතිවරු කැරලි නොගසන බවට සහතිකයක් ඇති ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් දුබල මන්ත්‍රීවරුන් අගමැතිවරුන් ලෙස පත් කළ අවස්ථා ඇත.


සසිකලා හා ජයලලිතාගේ පක්ෂය අතර ඇති සම්බන්ධය ගැන සිතන විට ඇය සම කළ හැක්කේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ එම්.එච්. එම්. අෂ්රෆ් මහතාගේ බිරිය වන ෆේරියල් අෂ්රෆ් මහත්මියටය. සසිකලා කිසිදා ජයලලිතාගේ පක්ෂයේ ක්‍රියාකාරිකයකු නොවූවාය. එහෙත් ජයලලිතා මියගිය වහාම ඇයට ජයලලිතාගේ ස්ථානය අවශ්‍ය විය. ෆේරියල් අෂ්රෆ් මහත්මියද අෂ්රෆ් මහතා මියයන්නට පෙර කිසිදා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකාවකව සිට නැත. එහෙත් ඇයටද අෂ්රෆ් මහතා මියගිය වහාම ඒ මහතාගේ ස්ථානය අවශ්‍ය විය.


මෙසේ ශ්‍රී ලංකාවේ හා තමිල්නාඩුවේ දේශපාලනයේ සමාන සිදුවීම් ගණනාවක් වත්මන් අර්බුදයත් සමඟ සොයාගත හැකිය. ඒ දේශපාලන අවස්ථාවාදයට හා සදාචාර විරෝධී දේශපාලනයට සීමා මායිම් නැති නිසාය.


ප්‍රශ්නය නම් එහි මෙන්ම මෙහිද ජනතාව ඒ සදාචාර විරෝධී දේශපාලනයේ නිරත වන්නන් බොහෝ විට වීරයන් ලෙස දැකීමය. නැත්නම් එම දේශපාලනයට තමන්ද අනුගතවීමය.

එම්.එස්.එම්. අයුබ්