කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල රිටිගල කඳු පාමුල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කඳුබොඩ ප්‍රදේශයේ අක්කර 50ක් පමණ භූමියක වටිනා ගස් කපා එම ඉඩම් අත්පත් කර ගන්නා මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වේගයෙන් පහත බැස ඇති බවත් එමනිසාම විදුලිය නිෂ්පාදනය සියයට 10ත් 15ත් අතර පහළ අගයකට වැටී ඇති බවටත් රිටිගල රක්‍ෂිතයේ වන සංහාරය සම්බන්ධ පුවත වාර්තා කළ දිනම අප පුවත්පත වාර්තා කර තිබිණි. වන සංහාරයේ බලපෑම එපරිදිය. එහෙත් වන සංහාරය මහා පරිමාණයෙන් සිදු කෙරෙමින් පවතී.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කිසියම් භූමියක් රක්‍ෂිතයක් ලෙස නම් කරනු ලබන්නේ හේතුවක් ඇතිවය. එය එක්කෝ පුරාවිද්‍යාත්මක භූමියකි. නැතහොත් ඓතිහාසික භූමියකි. එමෙන්ම වැසිවනාන්තර ලෙස හඳුනා ගත් නිසාය. මෙබඳු රක්‍ෂිත ආරක්‍ෂා කළ යුතුය. එය සෑම පුරවැසියකුම සතු අනුල්ලංඝනීය වගකීමකි.

කරුණු කාරණා එපරිදි වුවද අප පුවත්පත වාර්තා කර තිබුණේ රිටිගල රක්‍ෂිතයේ අක්කර 50ක් කාන්තාරයක් බවට පත් කර ඇති බවය. එම රක්‍ෂිතයේ තිබූ සියලු වටිනා ගහකොළ කපා දමා එම සංහාරය කර තිබේ. එයට අමතරව එම භූමිය ගිනි තබා කජු පැළ සිටුවා තිබෙන බවය. විවිධ ඉඳිකිරීම් සඳහා අඩිතාලම් කපා ගඩොල් ද රක්‍ෂිතයට ගෙනැවිත් තිබෙන බවය.

ඓතිහාසික අතින් මෙන්ම පාරිසරික අතින් ඉතාම වැදගත් මෙම රක්‍ෂිතයට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිවකුට ඇතුළුවීම තහනම්ය. එබඳු තහනමක් පනවා තිබෙන්නේ එම භුමියේ ඇති වැදගත්කම නිසාය. එසේනම් මේ මහා වන සංහාරය සිදු කරන්නේ කවුද?

අප ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ දස වසරක් රජයේ ඉඩමක් භූක්ති වින්දහොත් සින්නක්කර ඔප්පු ලබාදීමේ රජයේ වැඩ සටහන යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් සංවිධානාත්මක පිරිසක් මේ මහා වන සංහාරය සිදු කර ඇති බවය. එම පිරිස කොතෙක් සංවිධානාත්මකව මෙම මෙහෙයුම සිදු කර තිබේද යන්න ඔප්පු වන්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බවට ඇඟවෙන ලී කැබලිවලින් මායිම් සටහන් කර තිබෙන හෙයිනි.

සාමාන්‍ය පුරවැසියකුට මෙබඳු නොපනත්කමක් කිරීමට තරම් ශක්තියක් ඇතැයි අපි නොසිතමු. මේ වන සංහාරකයන්ට නියත වශයෙන්ම බලගතු හස්තයක රැකවරණය ලැබිය යුතුය. නැතහොත් එම බලගතු හස්තයම එම සංහාරය කරනවා විය හැකිය. ඒ වෙනුවෙන් විවිධ හේතු පාඨ ද තිබිය හැකිය. කෙසේ වුවත් මේ මහා වන සංහාරය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුමය.
අප රට ඉතා කුඩා රටකි. ඒ කුඩා රටට අවශ්‍ය ප්‍රමාණයේ වන ගහණයක් අප රට තුළ නැත. එය අනාගතයේදී අප රටට මුහුණදීමට සිදුවන බරපතළ ඛේදවාචකයකි. එක පැත්තකින් විල්පත්තුව ද අනතුරේය. ඒ සම්බන්ධයෙන් පරිසර සංවිධාන හඬ නගමින් සිටියි. සිංහරාජය ද අනතුරේය. ඒ සම්බන්ධ ප්‍රවෘත්ති වරින්වර වාර්තා වේ. බොහෝ වනාන්තර ද එම ඉරණමටම ගොදුරු වී තිබේ. අලුත්ම බිල්ල රිටිගල රක්‍ෂිතය වේ. මේ වන සංහාරය දිගටම කරගෙන යෑමට ඉඩ දුනහොත් අනාගතයේ බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවීම වැළැක්විය නොහැකිය.

අක්කර පනහක් යනු කුඩා බිම් කඩක් නොවේ. විශාල ප්‍රදේශයකි. එබඳු විශාල ප්‍රදේශයක ගස් කොළන් කපා දමා ගිනි තබා ඉදිකිරීම් ආරම්භ කිරීම, කජු වගා ආරම්භ කිරීම හොර රහසේ කළ හැකිද? එසේ කළ හැකිනම් එය විශ්වකර්ම වැඩකි. එයට හේතුව මේ රටේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවක් තිබෙන හෙයිනි. එම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිය විය යුත්තේ වනය සංරක්‍ෂණය කිරීමය. රිටිගල රක්‍ෂිතයේ අක්කර පනහක් කාන්තාරයක් බවට පත්කර තිබේ නම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය නිසි රිසිලෙස ඉටුකර ඇතැයි කිව හැකිද?

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද විවිධ උත්තර තිබේ. ‘අපට අවශ්‍ය තරම් නිලධාරීන් නෑ, අපට අවශ්‍ය තරම් වාහන නෑ, අවශ්‍ය තරම් පහසුකම් නෑ’ ආදී වශයෙන් උත්තර දිය හැකිය. ‘අපට අකුරටම රාජකාරිය කරන්න බෑ, දේශපාලනඥයන්ගෙන් බලපෑම් එනවා’ වැනි අඳෝනා ද නැඟිය හැකිය. එහෙත් ඒ කිසිවකින් මෙම සංහාරය නතර කළ නොහැකිය.

ජීවත්වීමට වාස භූමි නොමැතිකමින් මහා වනාන්තරවල නිවෙස් සාදා ගන්නා පුරවැසියන් සිටිය නොහැකිය. එහෙත් ජාවාරම්කරුවෝ එම අවශ්‍යතාව පෙරට දමා තම ජාවාරම කරගෙන යති. බලධාරීන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර මෙම මහා වන සංහාරය නතර කිරීමට පියවර ගත යුතුය. එසේ නොවුනහොත් අනාගත පරපුරේ ශාපයෙන් ගැලවී යාම බොරුය.