වික්‍රමසිංහ මහතා නෝර්වේහි සංචාරයක යෙදෙමින් සිටි අතර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දිවා රාත්‍රි ක්‍රිකට් තරගයක් පැවති දිනක පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 26ක් පමණ රවී කරුණානායක මහතාගේ නිවසට රැස්වූහ. ඊට නායකත්වය දුන්නේ ගාමිණී අතුකෝරලය. මෙම පිරිසගේ අරමුණ වූයේ රනිල් වික්‍රමසිංහ මහතා දරන පක්‍ෂ නායකත්වයට කරු ජයසූරිය මහතා පත්කිරීමය.

කෙසේ වෙතත් මේ වන විට නෝර්වේහි සිටි වික්‍රමසිංහ මහතාට තම පක්‍ෂය තුළ ගොඩනැගෙන අභ්‍යන්තර කැරැල්ල පිළිබඳ සියලු තොරතුරු ලබාදුන්නේ ඒ වන විට කතානායක ධුරය හෙබ වූ අනුර බණ්ඩාරනායක මහතාය. මේ අතර යළි සියරට පැමිණි වික්‍රමසිංහ මහතා හා ගාමිණී අතුකෝරල මහතා අතර සාර්ථක මැදිහත්කාර ප්‍රයත්නයක නිරතවීමට තිස්ස අත්තනායක මහතාට හැකි විය.

එතැන් පටන් වික්‍රමසිංහ මහතාගේ හිත දිනාගත් විශ්වසනීයයකු බවට තිස්ස අත්තනායක මහතා නිරායාසයෙන්ම පත්විය.


2005 ජනාධිපතිවරණයෙන් පසුව 2006 දී යළිත් පක්‍ෂය තුළ අර්බුදයක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වික්‍රමසිංහ මහතා පක්‍ෂයේ මහ ලේකම් ධුරයට තිස්ස අත්තනායක මහතා පත්කරන ලදී. නමුත් 2008 වසරේ සිට 2012 පමණ දක්වා කාලය තුළ එ.ජා.ප. අභ්‍යන්තර අර්බුද හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් පක්‍ෂ නායකත්වය රැකගනිමින් නිරුපද්‍රිතව සිටීමට හැකියාව ලබාදෙමින් එතුමා පිටුපස සිටි ප්‍රධානම මුරදේවතාවා තිස්ස අත්තනායක යැයි අයකුට තර්ක කළ හැකිය. විශේෂයෙන්ම 2011 දී පක්‍ෂයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදී. ඊට පෙර පැවති ක්‍රමය වූයේ පක්‍ෂයට නායකයකු තෝරාගන්නේ වසර 6කට වරක්ය. එහෙත් නව ව්‍යවස්ථාව යටතේ යමෙක් එ.ජා.ප. නායකත්වයට පත්වේද ඔහු මැරෙනතුරුම පක්‍ෂ නායකත්වයේ සිටිනු ඇත.

සමහරකුගේ අදහස වන්නේ එම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය මෙල්ල කිරීම බවයි.


විශේෂයෙන්ම මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පක්‍ෂ සම්මේලනයක් කැඳවූ අතර ඊට සහභාගි වන නියෝජිතයින් තෝරාගැනීමට ද උපක්‍රම ගණනාවක්ම යොදාගනු ලැබීය. එනම්, මේ වන විට කැරලිකාර සංවිධායකවරු තම ආසන තුළ පක්‍ෂයේ බලමණඩලය හා ශාඛා සමිති ගොඩනඟා තිබුණේ නැත. ඒ නායකත්වයට විරෝධය දැක්වීම සඳහාය. ඒ අනුව ඉහත සම්මේලනයට සහභාගිවීමට නීත්‍යානුකූලව හිමිකම් ලැබුවේ පක්‍ෂයේ මහ ලේකම්වරයා විසින් නියම කරන ලද දිනට පෙර බලමණ්ඩල හා ශාඛා සමිති පිහිටුවා ඒවා නීත්‍යානුකූලව ලියාපදිංචිකර ඇති සාමාජිකයන්ට පමණි. මෙම නිර්ණායකයට අනුව පක්‍ෂ නායකත්වයට හිතවත් සංවිධායකවරු සම්පූර්ණයෙන්ම තම කොට්ඨාසවල බලමණ්ඩලය හා සමිති පිහිටුවා ඒවා ලියාපදිංචි කර තිබීම හේතුවෙන් එහි සාමාජිකයන්ට සම්මේලනයට සහභාගිවීමට ලේකම්වරයාගේ ආරාධනාපත් ලැබුණ අතර වික්‍රමසිංහ මහතාට විරෝධය පෑම වෙනුවෙන් එලෙස බලමණ්ඩල හා සමිති පිහිටුවා නොමැති ආසනවලට සාමාජිකයන් සහභාගි කරවීමේ අවස්ථාව උදා නොවීය.


තවද, යම් ආකාරයකින් යම් සංවිධායකවරයකු ආසන බලමණ්ඩල සමිති 50%ක් සම්පූර්ණකර තිබුණේ නම් සම්මේලනයට සහභාගිවීමට ඉඩ ලැබුණේ එම 50%ට අනුපාතික නියෝජිතයන් සංඛ්‍යාවකට පමණි. මේ ආකාරයට ඉතා සූක්‍ෂම සංවිධානය කරන ලද එම සම්මේලනයේදී යෝජිත පක්‍ෂ ව්‍යවස්ථාවට පක්‍ෂව හා විපක්‍ෂව ඡන්දය භාවිත කිරීමට පක්‍ෂ නියෝජිතයන්ට අවස්ථාව ලබාදුන්නේය. මේ සඳහා අනුගමනය කරන ලද උපාය උපක්‍රම සියල්ලෙහිම ප්‍රතිඵලයක් ලෙස නායකයා සදාකාලික කළ නව ව්‍යවස්ථාව වැඩි ඡන්දයෙන් සම්මත විය. තවද, මෙම සම්මේලනයට ප්‍රවේශ වන ගේට්ටුව අසල ඉතා දැඩි රැකවරණ හා ආරක්‍ෂක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ අතර මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ සත්‍ය අත්සන සහිත ආරාධනා පත නොමැති කිසිවකුට එම භූමියට ඇතුළුවීම සපුරා තහනම් විය.


2011 ඉහත සම්මේලනයට පෙර පක්‍ෂය දුර්වලම අඩියට වැටුණු 2010 දීද ව්‍යවස්ථා සංශෝධනයක් සිදු විය. එම සංශෝධනයට අනුව සෑම වසරකම පක්‍ෂයේ නිලතලවලට නායකයන් පත්විය යුත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩල ඡන්දයෙන් පමණක් විය. තවද, එම සංශෝධනය මගින් කෘත්‍යාධිකාරි මණ්ඩලයට සාමාජිකයන් පත්වීමේ ක්‍රමයේ ද යම් සංශෝධනයන් ඇතිවිය. එනම් ඊට පෙර පැවති ක්‍රමය වූයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ 92ක් වූ සාමාජික සංඛ්‍යාව අතරින් 50 දෙනකු පක්‍ෂ නායකත්වයට තම අභිමතය පරිදි පත්කළ හැකි වුවද 2010 සංශෝධනයෙන් එම සංඛ්‍යාව 20 දක්වා පහත දැමිණි.


ඉතිරි පිරිස පක්‍ෂයේ විවිධ නිලතල මත තීරණය විය. මෙම සංශෝධනය සිදු වූයේද පක්‍ෂ අභ්‍යන්තරයේ වූ පීඩනය නිසාම වුවත් ඒ වන විට පක්‍ෂයේ විවිධ නිලතල දැරූ පිරිසද වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ පත්කිරීම් හා හිතවතුන් නිසාවෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළින් එතුමාට පීඩනයක් එල්ල නොවීය.


2010 ව්‍යවස්ථා සංශෝධනයට අනුව පක්‍ෂයේ නායකයන් තේරිය යුත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩල ඡන්දයෙන් බව මීට පෙර සඳහන් විය. එහෙත් එම වසරේ පමණක් ඒ වනවිට තනතුරුවල සිටි නායකයන් එලෙසම ඉදිරියට වසරක් කටයුතු කිරීමට අදාළව යෝජනා සම්මත විය. ඒ අනුව පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම පක්‍ෂයේ නියෝජ්‍ය නායකයන් ලෙස කරු ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එම ධුරවලට පත්වූයේ කෘත්‍යාධිකාරි මණ්ඩල ඡන්ද විමසීමකින් තොරවය. කෙසේ වෙතත් ඉන්පසු වසරේදී පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව පක්‍ෂ නායකත්වය තේරීමේ අවස්ථාවේදී නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද පක්‍ෂ නායකත්වය සඳහා තරග කිරීමට අදාළ ඉල්ලුම්පත්‍රයක් මහ ලේකම් තිස්ස අත්තනායක මහතා වෙත ඉදිරිපත් කරන ලදී. මේ අනුව ව්‍යවස්ථාව අනුව පක්‍ෂ නායකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හා කරු ජයසූරිය තරග වදිද්දී නියෝජ්‍ය නායක ධුරයට සජිත් හා රවී කරුණානායක තරග කළහ. ඒ සමඟම ජාතික සංවිධායක ධුරය සඳහා දයා ගමගේ හා දයාසිරි ජයසේකර තරග කළහ. කෘත්‍යාධිකාරි මණ්ඩල ඡන්දයෙන් බලාපොරොත්තු වූ ආකාරයටම රනිල් වික්‍රමසිංහ මහතා ජයගත්තේය. එහෙත් එම තරගය එතැනින් අවසන් නොවීය. එදිනම රාත්‍රියේ තම නිවසට තිස්ස අත්තනායක කැඳවූ පක්‍ෂ නායකතුමා තමා හා තරග කළ කරු ජයසූරියගේ සිරිකොත කාර්යාලය වසාදමන ලෙස නියෝග කළේය. තිස්ස මෙය සමථයකට පත්කරගැනීමට උත්සාහ කළද ඉන් ප්‍රයෝජනයක් නොවීය.


මේ අතර 2014 ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්වන අවස්ථාව වන විට පක්‍ෂයේ විවිධ අංශ තුළින් හරීන් ප්‍රනාන්දු මහතා හට විශාල පීඩනයක් එල්ල වන්නට විය. ඒ එම පළාත් සභා මැතිවරණයට තරග කළ යුතු බවටය. අවසානයේදී හරීන් එම ඉල්ලීමට එකඟ වන ආකාරයක් පෙන්නුම් කළත් ඔහු එහිදී කොන්දේසි කිහිපයක්ම පක්‍ෂ නායකත්වය හමුවේ තැබීය. ඒ අතරින් වැදගත්ම ඉල්ලීම ලෙස හරීන් ඉදිරිපත් කරනු ලැබුවේ ඌව මැතිවරණ වේදිකාවට සජිත් ප්‍රේමදාස මහතාව කැඳවීමට පක්‍ෂය කටයුතු කළ යුතු බවයි. ඊට අමතරව තමාට මහ ඇමති පදවිය අහිමි වුවහොත් නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත යුතු බවටද කියා සිටියේය. මේ අතරින් සජිත්ගේ ප්‍රශ්නයේදී නායකතුමා පැහැදිලි අදහසක් ප්‍රකාශ නොකළද තිස්ස අත්තනායක මහතා සජිත් ඌව මැතිවරණ වේදිකාවට ගෙනඒමේ වගකීම තමා බාරගන්නා බව පැවසීය. ඒ සමඟම නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ජාතික ලැයිස්තුවෙන් ඉඩක් ලබාදීම පිළිබඳ කරුණට වික්‍රමසිංහ මහතා එකඟ නොවූ අතර එම කාලවකවානුව පළාත් සභාවේම රැඳී සිට ඉන් අනතුරුව එළැඹෙන මහ මැතිවරණයෙන් යළිත් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කියා සිටියේය. කෙසේ වෙතත් අවසානයේදී හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුවත් සජිත් ප්‍රේමදාස මහතා ඌව මැතිවරණ ව්‍යාපාරයට දිගින් දිගටම සහභාගි වූයේ නැත. මලික් සමරවික්‍රම මහතා ද නිතර ඔහුට කතාකරමින් ඌවට පැමිණෙන ලෙස ආරාධනා කළද ඔහු තවදුරටත් හම්බන්තොටටම වී සිටියේය. මේ අතර තිස්ස අත්තනායක මහතා, ටිරාන් අලස් මහතා හා කෙලී මහාරාජා සමග කතාකරමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම මැතිවරණ වේදිකාවට ගෙන්වාගැනීමේ මං සෙවීය. එහිදී ටිරාන් මූලික වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂයේ යම්කිසි ස්ථානයක් හිමිකරදීම වෙනුවෙන් පෙනී සිටි අතර අවසානයේ සජිත්, ටිරාන් හා කෙලී මහාරාජා යන සියලුදෙනාගේ ඉල්ලීම වූයේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සජිත්ට ලබාදිය යුතු බවයි. ඒ අනුව ඔවුන් හමුවේ තිස්ස ඊට එකඟ විය.


මෙවන් සන්දර්භයක් තුළ තිස්ස අත්තනායක මහතාද යම් වගකීමකට සිර වූ ආකාරයක් දිස්විය. ඒ අනුව ඔහු නායකතුමා මුණගැසී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයේ ස්වභාවය විස්තර කළේය. තවද, ඔහු කියා සිටියේ මෙම අවස්ථාවේදී සජිත් නියෝජ්‍ය නායක ධුරයට පත් කිරීම හෝ නොකිරීම පිළිබඳව ප්‍රශ්නය නොව ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඇති ආරවුල නිරාකරණය කරගැනීම වඩා වැදගත් බවය. කෙසේ වෙතත් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා හට නියෝජ්‍ය නායක ධුරය ලබාදීම සඳහා යම් අනුකූලතාවක් වික්‍රමසිංහ මහතා තුළින් ප්‍රකාශ විය. මේ වන විට ඌව පළාත් සභා මැතිවරණයට සමගාමීව එ.ජා.ප සංවත්සරය සැප්තැම්බර් 5 වැනිදා පස්සර දී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පැවතිණි.


මතු සම්බන්ධයි.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්