මින් මතු තමන් පාර්ලිමේන්තුව තුළ යම් පක්ෂයක නියෝජිතයකු ලෙස නොව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බවට ප්‍රකාශයක් කොට මෑතක දී මතභේදයකට තුඩුදී සිටින ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පසුගිය අඟහරුවාදා තවත් මතභේදකාරී ප්‍රකාශයක් කළහ.


රතන හිමියන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික සභාවේ සමාරම්භක සම්මේලනය එදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර එහිදී කතා කළ ඒ හිමියෝ උතුරු පළාතට පොලිස් හා ඉඩම් බලතල දිය යුතු යැයි පැවැසූහ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වූ එම රැස්වීමේදී වැඩිදුරටත් කතා කළ රතන හිමියන් දැන් යුද්ධය අවසාන වී ඇති නිසා දෙමළ ජනතාවට සිවිල් පරිපාලනය සමඟ පොලිස් හමුදාවක් ද දිය යුතු බවත් සොරකම් හා සුළු අපරාධ මැඬලීමේ යෙදෙන එම පොලිස් හමුදාව ආයුධ සන්නද්ධ හමුදාවක් විය යුතු නැති බවත් පවසා තිබිණි.


යටත් විජිතවාදී කාකි නිල ඇඳුම හැඳ අධි ආරක්ෂිත කලාපවල සේවය කරන පොලිස් නිලධාරියකු වෙනුවට සුදු නිල ඇඳුමක් හැඳගත් නිරායුධ පොලිස් නිලධාරියකු සේවයේ යෙදවිය හැකි යැයිද රතන හිමියන් ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය වාර්තාවලින් කියවිණි.


පොලිස් හා ඉඩම් බලතල පළාත්වලට ලබාදිය යුතු යැයිද නොදිය යුතුයැයිද බොහෝ දෙනා දීර්ඝ කාලයක සිට විටින් විට කරුණු ඉදිරිපත් කළද ඇත්ත වශයෙන්ම මෙම බලතල නීතිමය වශයෙන් පළාත් සභාවලට පවරා මේ වනවිට වසර 29ක් ගත වී ඇත. ඒ 1987 මතභේදකාරී ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම වසරේම සම්මත කර ගන්නා ලද එතරම්ම මතභේදකාරී වූ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි.


එම බලතල පළාත් සභාවලට පාවිච්චි කිරීමට නොහැකි වී ඇත්තේ සම්මත වූ නීතිය අනුව ජනාධිපතිවරයා පළාත් පොලිස් කොට්ඨාසයක් හා පළාත් ඉඩම් කොමිෂන් සභා පත් කිරීමේ ගැසට් නිවේදන පළ නොකිරීම නිසාය.


එහෙයින් රතන හිමියන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අලුතින් නීති සම්මත කළ යුතු නැත.
එහෙත් එම ගැසට් නිවේදන නිකුත් කරන්නට මෙතෙක් සිටි කිසිදු ජනාධිපතිවරයකු ඉදිරිපත් වී නැත. ඔවුන් අතුරින් දෙදෙනකු මෙය නිකුත් නොකිරීම සැලකිල්ලට ලක් විය යුතු කරුණකි.


ඒ දෙදෙනා නම් මෙම බලතල පළාත් සභාවලට පවරමින් 13 වැනි සංශෝධනය හා පළාත් සභා පනත දැඩි ගැටුම්කාරී තත්ත්වයක් යටතේ විශාල බාධක බැඳ සම්මත කිරීමට කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන මහතා හා අදාළ ගැසට් නිවේදනය පළ නොකිරීම සම්බන්ධයෙන් තමන්ට පෙර සිටි ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා ඩී.බී.විජේතුංග යන තිදෙනාට දොස් පැවරූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි.


බලය බෙදීමේ සංකල්පය මෙරට සාකච්ඡාවට ලක්වූ  1980 ගණන්වල මුල සිටම එම සංකල්පයට පක්ෂව අදහස් දැක්වූ කුමාරතුංග මහත්මිය 1994 අප්‍රේල් මාසයේ දී බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමැති ධුරයට තේරී පත්වූවාය. එසේ එම ධුරයේ කටයුතු කරමින් සිටිය දී ඇය පළාත් සභාවල පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමේ ගැසට් පත්‍ර පළ නොකිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරුන්ට දොස් පැවරූ අතර එය දැන් හෝ පළ කළ යුතු යැයි කියා සිටියාය.


එම වසරේම අගෝස්තු මාසයේදී අගමැති ධුරයට පත්වූ ඇය නොවැම්බර් මාසයේදී ජනාධිපති ධුරයට පත් වූවාය. එහෙත් ඉන්පසු පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දීමට ඇයට ද අවශ්‍යතාවක් තිබුණු බවත් නොපෙනේ. ඊට පෙර ඇය පළාත් සභාවලට බලතල පැවරීමට දැඩි ලෙස පක්ෂව සිටියා පමණක් නොව එම මතය දැරීම නිසා ඇගේ සැමියා වූ චිත්‍රපට නළු විජය කුමාරතුංග මහතාට ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදුවිය.


තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවට රතන හිමියන් කළ ප්‍රකාශය එක් අතකින් ජාතික හෙළ උරුමයේ නායකත්වය පිළිනොගැනීමකැයි ද තර්ක කළ හැකිය. මේ නිසා දැන් එම පක්ෂය හා රතන හිමියන් අතර ගැටුමක් හටගෙන තිබේ. ඒ අනුව ස්වාධීනව කටයුතු කරන්නේ නම් රතන හිමියන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව හෙළ උරුමයේ සභාපති පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු එම පක්ෂයේ නායකයෝ කියා සිටිති.


පළාත් සභාවලට බලය බෙදීමට පොදුවේ ද ඉඩම් හා පොලිස් බලතල දීමට විශේෂයෙන්ද විරුද්ධ වන ජාතික හෙළ උරුමය උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල දිය යුතු බවට රතන හිමියන් කර ඇති ප්‍රකාශය නිසා නියත වශයෙන්ම කෝපයට පත්වන්නට ඇත.


ශ්‍රී ලංකා ජාතික සභාව යනු ඉකුත් ජනාධිපතිවරණ සමයේදී කැපී පෙනෙන අයුරින් ඉස්මතු වූ සංවිධානයකි. එහි නායක රතන හිමියන් ජාතික හෙළ උරුමයේ සිටියදීම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික සභාව වෙනම ප්‍රකාශන ද නිකුත් කොට තිබිණි. විශේෂයෙන්ම ජනාධිපතිවරණයට අදාළව හෙළ උරුමයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව ශ්‍රී ලංකා ජාතික සභාව ද වෙනම ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් නිකුත් කොට තිබිණි.


ඒවා අතර මූලික වෙනස්කම් පවා තිබිණි. උදාහරණයක් වශයෙන් ජාතික හෙළ උරුමය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට විධායක ජනාධිපතිගේ ඇතැම් බලතල කප්පාදු කිරීමට යෝජනා කළ අතර ශ්‍රී ලංකා ජාතික සභාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව කීය. එසේ වුවද රතන හිමියන් හා ජාතික හෙළ උරුමය අතර එදා ගැටුමක් ඇති වූයේ නැත. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදීද රතන හිමියන් තරග කළේ හෙළ උරුමයේ සාමාජිකයකු වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේය.


දැන් දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබියදී හෙළ උරුමය නූරුස්නා මතයක් ඉදිරිපත් කරමින් රතන හිමියන් තමන්ගේම වූ සංවිධානයකට යළි පණ දෙන්නට ඉදිරිපත්වීම එම ගැටුම තීව්‍ර වන්නට හේතු වන්නටද පුළුවන.


කෙසේ වෙතත් පළාත්වලට ඉඩම් හා පොලිස් බලය දීම පිළිබඳ රතන හිමියන්ගේ ප්‍රකාශය ප්‍රායෝගික අර්ථයෙන් ගැටලුකාරීය. පළාත් පොලිසිය සොරකම් හා සුළු වැරදි වැළැක්වීමට කටයුතු කරන ආයතනයක් හෙයින් එම පොලිසියට අවි භාවිත කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ඒ හිමියෝ පවසති. එම අදහස ප්‍රකාශ කෙරෙන්නේ සෑම සොරකමකදී කොල්ලයකදීම ඒවායේ නිරත වන්නන් නවීන අවි භාවිත කරන තත්ත්වයක් තුළය. එහිදී පොලිසිය අවි භාවිතා නොකොට බැටන් පොල්ලකින් පමණක් අපරාධ මැඬිය හැකිද යන ප්‍රශ්නය මතු වේ.


අවි භාවිත කොට කරන අපරාධ මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය මගින් මර්දනය කළ යුතු යැයි කෙනකු තර්ක කළ හැකිය. එය පිළිගන්නේ නම් අපරාධයක් සිදු වූ විට කුමන පොලිසිය ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන්නේදැයි තීරණය කිරීමට කාලයක් ගත වනු ඇත. එසේ කල් ගත කරමින් අපරාධ වැළැක්වීමට හෝ අපරාධකරුවන් සොයා යාම කළ නොහැකිය.


පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට පැවරීම ජාතික ආරක්ෂාවට හා රටේ භෞමික අඛණ්ඩතාවට තර්ජනයකැයි රටේ සිංහල ජනතාවගෙන් අති බහුතරය සිතති. ඒ මතය මේ වනවිට ඔවුන් වෙතින් ඉවත් කළ නොහැකි තරමට මුල් බැසගෙන තිබේ.


එහෙත් බලය බෙදීම පිළිබඳ නීති රීති එනම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා පනත සැකසීමේ දී එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එය කළේ සිතකින් නොවේ. ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම නිසාය. ඒ නිසා නීතිය පිළිබඳ හසල දැනුමක් තිබූ ජයවර්ධන මහතා ඉදිරියේදී ඇති විය හැකි අතුරු හා තර්ජන ගැන සිතා ඇතැම් නීතිමය ආරක්ෂක පියවරගෙන ඇති බව ද පෙනේ.


උදාහරණයක් වශයෙන් ඉඩම් පිළිබඳව පළාත් සභාවට දී ඇති බලය ක්‍රියාත්මක කළ විට මධ්‍යම ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවට පොදු මතයක් තිබේ. එහෙත් 2013දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් කියවුණේ ඉඩම් බලතල පළාත් සභාවට දී ඇති වත්මන් ව්‍යවස්ථාව යටතේත් ඉඩම්වල අයිතිය අවසාන වශයෙන් ඇත්තේ මධ්‍යම ආණ්ඩුව අතේ විනා පළාත් සභා අතේ නොවන බවයි.


මෙම තීන්දුව දෙනු ලැබුවේ උතුරු පළාත් සභාව සඳහා පැවැති පළමු මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වය යටතේ අති විශාල බලයක් සහිතව ජයග්‍රහණය කොට දින පහකට පසුවීම විශේෂත්වයකි.


මේ ආකාරයට පළාත් සභාවලට දී ඇති පොලිස් බලතල ක්‍රියාත්මක කළ විට මධ්‍යම ආණ්ඩුවේ පොලිසියෙන් ස්වාධීන වූ මධ්‍යම ආණ්ඩුවේ පාලනයෙන් තොරවූ පළාත් පොලිසියක් බිහි වනු ඇතැයි පොදුවේ සිංහල ජනතාව අතර මතයක් පවතී. එහෙත් නීතිමය වශයෙන් එය එසේ වන්නේ නැත.


13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා පොලිස්පති වන අතර ශ්‍රී ලංකා පොලිසිය ජාතික පොලිස් කොට්ඨාශය හා පළාත් පොලිස් කොට්ඨාසය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වනු ඇත. එනම් පළාත් පොලිසියේද ප්‍රධානියා පොලිස්පතිය.


පළාත් පොලිස් කොට්ඨාසයේ තීරණ ගන්නා සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් ඉහළ නිලධාරීන් ජාතික පොලිසියේ නිලධාරින්ගෙන් සමන්විත වනු ඇති අතර ඉතිරි නිලධාරීහු හා භටයෝ පළාත් මට්ටමෙන් බඳවා ගත් අය වෙති.


පළාත් පොලිසියේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන අතර ඔහු පත් කෙරෙන්නේ පොලිස්පතිවරයා විසින් අදාළ පළාතේ ප්‍රධාන ඇමැතිවරයාගේ එකඟතාව ඇතිවය.


යම් පළාතක ඇතිවන ප්‍රශ්න නිසා ජනාධිපතිවරයා එම පළාතේ හදිසි තත්ත්වයක් පත් කළහොත් නීතිය හා සාමය පිළිබඳ මහ ඇමැතිවරයා හා පළාත් සභාව සතු බලතල හා වගකීම් තමා වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයාට පූළුවන. එසේම එසේ යම් පළාතක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු විට නීතිය හා සාමය රැකීම සඳහා එම පළාත තුළ මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය යෙදවීමට පොලිස්පතිවරයාට බලය තිබේ.


මෙසේ පළාත් සභාවලට පොලිස් බලතල දීමේදී ජයවර්ධන මහතා නීතිමය ආරක්ෂක පියවර ගෙන තිබුණද එක් අතකින් නිතරම උතුර සම්බන්ධයෙන් ජනතාව බිය වද්දන දකුණේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලට අමතරව උතුරු නැගෙනහිර දේශපාලනඥයන්ගේ ඇතැම් ක්‍රියා නිසා මෙම බලතල පැවරීම පිළිබඳව දකුණේ ජනතාව බිය වීම සාධාරණය. දෙමළ නායකයන් මෙසේ දකුණ බිය වන ආකාරයට කටයුතු කොට ඇත්තේ විටෙක අසරණ වීම නිසාය. විටෙක උනුන් අතර ඇති තරගය නිසාය.
මීට ඉතාම හොඳ උදාහරණය නම් 1989දී එවකට ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය වූ ඊළම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්) විසින් පළාත් පොලිසිය ගොඩ නැඟීම සඳහා බඳවා ගන්නා ලද මුස්ලිම් තරුණයින් 41 දෙනෙකු කිසිදු හේතුවකින් තොරව වෙඩි තබා ඝාතනය කිරීමයි.


ඉන්දු-ලංකා ගිවිසුම යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය හමුදාවට පිටවී යන ලෙස 1989දී එවකට හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා නියෝග කළ විට ඉන්දීය හමුදාවේ පිහිටෙන් උතුරු නැගෙනහිර පළාත් සභාවේ පාලනය පවත්වාගෙන ගිය ඊපීආර්එල්එෆ් සංවිධානය භීතියට පත් විය. ඒ අනුව පළාතේ ප්‍රධාන ඇමැතිව සිටි වරදරාජ පෙරුමාල් මහතා කඩිමුඩියේ මධ්‍යම ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් මගින් පිහිටුවන්නට සූදානම් කළ සිවිල් ස්වේච්ඡා බළකායට දෙමළ හා මුස්ලිම් තරුණයන් බඳවා ගන්නට විය.
එසේ වුවද ඉන්දීය හමුදාව කඩින්කඩ රටින් පිටවී යන්නට පටන් ගත්විට අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටි ඊපීආර්එල්එෆ් සංවිධානය සිවිල් ස්වේච්ඡා බළකාය විසුරුවා හරින්නට තීරණය කළේය. ඉන්පසු එම බළකායේ සිටි මුස්ලිම් භටයන් 41 දෙනෙකු වෙන් කොට ඔවුන් වෙඩි තබා මරා දැමීය. මීට හේතුව මේ දක්වා පැහැදිලි නැත.


සිවිල් ස්වේච්ඡා බලකාය යනු පළාත් පොලිසිය ගොඩනැඟීමට පූර්ව සූදානමක් වශයෙන් පිහිටුවන ලද නීත්‍යනුකුල බළකායකි. එහෙයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ එවකට ආරක්ෂක රාජ්‍ය ඇමැති වූ රන්ජන් විජේරත්න මහතා තමන්ගේම පොලිසියේ භටයන් මරා දැමීමට තරම් උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා උන්මන්තකයකු වී ඇතැයි ප්‍රකාශ කළේය.


නීති විරෝධී කොටි සංවිධානය මෙවැනි මිනිස් ඝාතන කිරීම තේරුම් ගත හැකිය. එහෙත් නීත්‍යනුකුලව පත්වූ පළාත් සභාවක ප්‍රධානීන් නීත්‍යනුකුල ආරක්ෂක බළකායක භටයන් මෙසේ මරා දැමීම නිසා දකුණේ ජනතාව පළාත් සභාවලට බලතලදීම සම්බන්ධයෙන් බිය වීම තේරුම් ගැනීම දෙමළ නායකයන්ට දුෂ්කර වී ඇත.


මෑතකදී ද උතුරු පළාත් සභාව උතුරේ ජනතාවගේ නැවත පදිංචි කිරීම් වැනි දහසක් ප්‍රශ්න තිබිය දී යුද කාලයේදී දෙමළ ජන සංහාරයක් සිදුවී ඇතැයි ද යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යැයිද පළාත් සභාවේ යෝජනා සම්මත කළේය. එම කරුණු ලෝකයට ගෙනයාම ජනතාවගේ එදිනෙ දා ප්‍රශ්න විසඳීම සඳහා වූ පළාත් සභාව විසින් නොව දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්ෂ විසින් කළ යුතු දෙයකි. එසේ තිබිය දී පළාත් සභා පාලනය මේ කටයුතු කරන්නට යාමේදී පළාත් සභාවලට බලතලදීම සම්බන්ධයෙන් දකුණේ ජනතාව බියවීම නොවැළැක්විය හැකිය.


දෙමළ නායකයන් විසින්ම පළාත් සභාවලට බලතල දීම සම්බන්ධයෙන් මෙසේ අහිතකර තත්ත්වයන් නිර්මාණය කිරීමට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැනි ලිබරල් මතධාරී ජනාධිපතිවරියක පවා පොලිස් හා ඉඩම් බලතල දීමට බිය වූ තත්ත්වය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එවැන්නක් රතන හිමියන්ට බලාපොරොත්තු විය නොහැකිය.