සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

 

අගමැති රනිල් වික්‍රමසිංහ අවසන් වරට චීනයේ සංචාරයක නියුතුව මේ වන විට වසරක් ගතව අවසන්ය.පසුගිය වසරේ ශ්‍රී ලංකාව අවුරුදු සමරමින් සිටිය දී ඔහු සිටියේ චීන නායකයන් හා සාකච්ඡා කරමින් ය.

පසුගිය රජය සමයේ හම්බන්තොට වරායේ ඉදිකිරීම් සදහා චීනයෙන් ලබා දී තිබෙන ඩොලර් ලක්ෂ 13080 ක් පමණ වන ණය මුදල, එම ණය මුදලේ වටිනාකමට සම පවරාගැනීමකට යටත් කිරීම සදහා චීනය සමග එකගතාවකට පැමිණීම ඔහුගේ එම සාකච්ඡාවල අරමුණ විය.

වරාය සදහා ණය මුදල් ලබා දී තිබුණේ චීනයේ එක්සිම් බැංකුවෙන් වූ අතර සියයට 6.8 ක පොළී අනුපාතියක් යටතේ, ඩොලර් ලක්ෂ 3060 සහ ඩොලර් ලක්ෂ 8000 බැගින් ලෙස කොටස් දෙකකට එම ණය ලබා දී තිබිණ. මෙම මුදලට අමතරව වරායේ ඉදිකිරීම් සදහා ගල් පර්වත පුපුරුවා හැරීමට තවත් ඩොලර් ලක්ෂ 2020ක මුදලක් වැයව තිබිණ. මෙම මුදල් වසර පහක සහන කාලසීමාවකට යටත්ව, වසර 20කින් ගෙවා අවසන් කිරීමට නියමි විය.

 චීන සංවාරය නිමා කර දිවයිනට පැමිණි අගමැතිවරයා චීන නායකයන් සමග පැවැත්වූ තම සාකච්ඡා පිළිබඳව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා චීනය සමග ගිවිසුම් ඇති කරගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවා දැනුම්වත් කිරීමට පවා කටයුතු කළේය.

චීන නායකයන් වික්‍රමසිංහට දැනුම් දී තිබුණේ ණය, පවරා ගැනීමකට යටත් කරන නීති චීනයේ නොමැති නිසා එවැන්නකට එළැඹිීමට නොහැකි බවය.මෙයත් සමග ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා සමග එක්ව හම්බන්තොට වරායේ කටයුතු අරබයා ඒකාබද්ධ සම්බන්ධතාවක් ඇතිකරගැනීම සදහා සාකච්ඡා ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් කම්පැනි ලිමිටඞ්, හම්බන්තොට වරායේ චීන පාර්ශවය ලෙස තෝරා ගැනිණ. දීර්ඝ ක්‍රියාවලියකට පසු මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇතිකරගත යුතුවන ගිවිසුමේ, ව්‍යුහාත්මක සංස්කරණයකට දෙපාර්ශවයම අත්සන් තැබීය.

මේ වන විට සකස් කර තිබෙන සහන ගිවිසුම දැන් තිබෙනුයේ දෙපාර්ශවයේ අත්සන් අපේක්ෂාවෙනි.එහෙත් ගිවිසුමට එරෙහිව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විරෝධතා රැසක් නගා ඇත.අලුත් අවුරුදු නිවාඩුවට පෙර ගිවිසුම සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීම සදහා කොළඹ හා චීන රජය අතර අවස්ථා ගණනාවකදීම අදහස් හුවමාරු විය.ගිවිසුමේ සදහන් ආන්දෝලනයට තුඩු දී ඇති එකගතාව අතර, වරාය භූමිය චීනයට වසර 99ක කාලයකට බදු දීමත්, වරායේ හිමිකාරීත්වය චීනයට සියයට 80කුත්, ශ්‍රී ලංකා රජයට සියයට 20කුත් ලෙස බෙදා තිබීමත්, ප්‍රධානය.

ජනපති මෛති්‍රීපාල සිරිසේනගේ මැදිහත් වීමෙන් මෙම එකගතා වෙනස්කර තිබෙන බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය.

“බද්දට දීම වසර 50 -70 අතර කාලයේ පවතින්නට පුළුවන්.අනෙක් පැත්තෙන් වරායේ හිමිකාරීත්වය චීනයට සියයට 60කුත්, රජයට සියයට 40කුත් ලෙස වෙනස් වීමට ඉඩ තිබෙනවා.රජයට වුවමනා වුණු වැදගත් සංශෝධන සියල්ලම දැන් සිදුකරලා තියෙන්නේ.මෙම මාසය අවසානය වෙනකොට ගිවිසුම අත්සන් තබන්නට පුළුවන් වේවි.“වරාය ගිවිසුම සම්බන්ධයෙන් දැනුම්වත් ආරංචි මාර්ගයක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

වරාය ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 1.4 කෙරේ රජය සිටිනුයේ අපේක්ෂා දල්වාගෙනය. එම මුදල් සියල්ලක්ම රටේ ණය පියැවීමට යෙදවෙනු ඇත.බරපතළ ණය අර්බුදයක් දක්වා තල්ලුවීමෙන් ගැලවී ගැනීමට රටට තවත් මුදල් අවශ්‍යය. මේ දිනවල වොෂින්ටනයේ සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ විවිධ රැස්වීම් වලට සහභාගී වෙමින්, එහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබද එම සාමාජිකයන් දැනුම්වත් කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ඔවුන්ගේ සහය ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනුයේ එහෙයිනි.

එහි දී ඔහු හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ද එම සාමාජිකයන් දැනුම්වත් කරනු ඇත. වොෂින්ටනයේ සිට සන්ඬේ ටයිම්ස් හා දුරකතනයෙන් සම්බන්ධවූ කරුණානායක පවසා සිටියේ ආර්ථික කටයුතු තිරසාරව පවත්වා ගනිමින්, සමාජ හා සංවර්ධන වැඩ පිළිවෙළක් ඇති කිරීම සදහා අවකාශය සලසා ගැනීමට රජයට ඇති සැලසුමට අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ පූර්ණ සහය හිමි බවය.ලබන ජූනි මාසයේ හමුවන අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය, ඩොලර් ලක්ෂ 1600 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීම සදහා අනුමැතිය ලබාදීමේ සූදානමින් පසුවන බව ඔහු වැඩිදුරටත් කීවේය. මෙම මුදල් ලැබෙනුයේ අන්තර් ජාතික මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීම සදහා අනුමැතිය පළකර ඇති ණය මුදලේ තවත් කොටසක් ලෙසය. මේ වන විට එම ණය මුදලෙන් ඩොලර් ලක්ෂ 3251ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයකට නිරතවූ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ දුූත පිරිස, එම සංචාරයක අවසානයේ සිදුකළ ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ යම් ප්‍රගමණයක් තිබුණ ද, නියගය සහ වැට් බදු ඉහළ දැමිීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන ප්‍රවණතාවක් හදුනාගැනීමට හැකිය.

තවදුරටත් නියගය පැවතුණහොත් ආහාර සදහා සහ තෙල් ආනයනය සදහා වැඩි මුදලක් දැරීමට සිදුවීම හමුවේ, රටේ සමස්ත ආර්ථික වර්ධනය, උද්ධමනය සහ ණය බර කෙරෙහි අයහපත් ප්‍රතිවිපාක ඇති වීම නොවැළැක්විය හැකිවනු ඇති බව එහි වැඩිදුරටත් සදහන්ය.

මේ හමුවේ රජය ද මුදල් උපයා ගැනීමට වැඩි අවධානයක් යොමුකර තිබෙනු හදුනාගත හැකිය. 2018 අයවැය සදහා දැන් දැන්ම සූදානම් වීම ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ ප්‍රධානීත්වය ද උසුලන අගමැති වික්‍රමසිංහගේ අපේක්ෂාවයි. 2016 අයවැයෙන් වෙන්කර දුන් මුදල් මේ දක්වාම පරිහරණය කර නොමැති අමාත්‍යාංශය ගැන මිීට සති කිහිපයකට පෙර ඔහු අනාවරණයක් සිදු කළේය. එසේ අනාවරණය කැරුණු අමාත්‍යාංශ පරිහරණය කර තිබුණේ අයවැයෙන් වෙන්කර දී තිබූ මුදලෙන් සියයට 40කටත් වඩා අඩු ප්‍රමාණයකි.

දැනට ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘතිය දේශපාලනික වශයෙන් රජයටත්, ආර්ථික වශයෙන් රටටත් අවාසිදායක බව අගමැතිවරයාගේ මතයයි. 2018 -2019 සමයේ අයවැයෙන් වෙන්කෙරෙන මුදල් වඩා සක්‍රීය ලෙස භාවිතයට ගැනීම සදහා වැඩකටයුතු සැළසීම ඔහුගේ අරමුණයි.

අගමැතිවරයා හා සමානව අදහස් පළකළ භාණඩාගාර ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මහතා රජයේ මධ්‍ය කාලීන අයවැය සැලැස්ම සහ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබද කරුණු අනාවරණය කළේය. රටේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් නැවත සිතා බැලීමක් සිදුවිය යුතුම බව අවධාරණය කළ ඔහු, ආදායම් උපයා ගැනීම සදහා බදු ගෙවන ජනතාව මත බර පැටවීමට වඩා රටේ අපනයන ප්‍රමාණය ඉහළ දැමිීම වඩා ප්‍රායෝගික බව පෙන්වා දුන්නේය.

විදෙස් සෘජු ආයෝජය ඉහළ දමා ගැනීමේ වැදගත්කමත්, අපනයන ඉලක්ක සපුරා ගැනීමේ වැදගත්කමත්, අගමැතිවරයාගේ අවධානයට යොමුවිය. විදෙස් සෘජු ආයෝජන රටට ආකර්ෂණය කර ගැනීම සදහාත්, ආදායම් ඉහළ දමා ගැනීම සදහාත්, නිශ්පාදන ඉහළ දමා ගැනීම සදහාත්, රාජ්‍ය ආයතනවල මුදල් නාස්තිය අවම කරගැනීම සදහාත්, අවකාශය සැළසෙන පරිදි ප්‍රතිපත්ති සංශෝධන සිදුවිය යුතුව තිබෙන බව ඔහු කීවේය.වරින් වර බදු හදුන්වාදීමේ රජයේ වත්මන් පිළිවෙත බැහැර කර, ඒ වෙනුවට පැනවීමට යන සියලුම බදු සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ, අප්‍රමාදව එම බදු රටට හදුන්වාදීම සදහා අවශ්‍යය පියවර ගැනීමට ද තීරණය විය.

පෞද්ගලික අංශය සහ ආයෝජකයන්ට අනාගතය ගැන සිතා සැලසුම් සකස් කිරීමට වැඩි අවකාශයක් ලබාදීම මෙහි අරමුණයි. මෙසේ රජය අනුගමනය කිරීමට යන ක්‍රමෝපායන් සියල්ල පිළිබද කටයුතු මෙම මස දී අවසන් කර, එළැඹෙන මැයි මාසයේ දී එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කැරෙනු ඇති බවත්, මැයි මාසයේ මෙම සමය වන විට බලයේ සිටින ඉදිරි වසර කිහිපය සදහා රජයේ නව ආර්ථික සංවර්ධන සැලැස්ම සූදානම්ව පවතිනු ඇති බවත්, නිලධරයෝ පැවසූහ.

ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව තිබෙන්නේ එක් මධ්‍යම අධිකාරියකින් බවටත්, එය ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව විය යුතු බවටත්, එකගතාවක් ඇති විය.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවන, කමිටුවේ විෂය පථයට අයත් යම් තීරණයක් බලාත්මක කරනු ඇත්තේ ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව වනු ඇති අතර එම තීරණයට අදාළ වන අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩලයට හෝ කමිටුවට සම්බන්ධව හෝ එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමසිය හැකිවනු ඇත. කැබිනට් මණ්ඩලය හා සමාන්තරව පවත්වා ගැනෙන බවක් පෙනෙන, වෙනම ලේකම් කාර්යාලයක් ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව වෙනුවෙන් ඇති කිරීමට ද නියමිතය. ගෙවුණ සති කිහිපයේ සිටම ජනපති සිරිසේන ඉහළ මණ්ඩලයක ප්‍රධානීත්වය හොබවමින් ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ කටයුතු විමසුමට ලක් කළේය. අගමැති වික්‍රමසිංහ ද මෙම මණ්ඩලයේ සාමාජිකයෙකි.

සමාන්තර කැබිනට්ටුවක් ලෙස ඇතැම් අමාත්‍යවරුන් සලකන ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව, රටේ සියලුම ආර්ථික කටයුතු කෙරෙහි මැදිහත්වනුත්, එසේ මැදිහත්ව අවශ්‍ය තීරණ ගැනීම සදහා ක්‍රම ක්‍රමයෙන් වැඩි බලයක් කමිටුව වෙත ලැබෙමින් පවතිනුත්, හදුනාගත හැකිය. කමිටුව එසේ මැදිහත් වන ඇතැම් කටයුතු ඉතා පුළුල් පරාසයක විහිදෙන අතර, යුදමය වශයෙන් කෙරෙන මිලයට ගැනීම් සම්බන්ධයෙන් කමිටුවේ මැදිහත්වීම එවැන්නකට උදාහරණයකි.  බටහිර අප්‍රිකාවේ අර්බුදකාරී රාජ්‍යයක් වන මාලි රාජ්‍යයේ සේවයට අනුයුක්ත කර සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා නියෝජනය කරන ශ්‍රී ලංකාවේ භට පිරිස් සන්නද්ධ කිරීමට අවි මිලයට ගැනීම සදහා රුසියා බැංකුවකින් ණයක් ලබාගැනීමට ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව මෙම වසර ආරම්භයේ දී වුවමනාවෙන්ම මැදිහත් විය.මාලි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් භටයන් 250 දෙනකු යොදවන බවට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දී තිබේ. එසේ යොදවන භටයන්ට විශේෂ පුහුණුවක් ද දැනටමත් ලබා දී අවසන්ය. ඔවුන් වෙත ලබාදිය යුතු උපකරණ වලින් කොටසක් තමන් සන්තකයේ තිබූ විවිධ උපාංග එකළස් කිරීමෙන් සකස් කර දීමට යුද හමුදාව කටයුතු කළේය.

පසුගිය වසරේ අගෝස්තු මස විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට විශේෂ අවසරයක් ලබා දෙමින් ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව උපදෙස් දුන්නේ මාලි රාජ්‍යයට අනුයුක්ත කිරීමට නියමිත හමුදා භටයන්ට අවැසි උපකරණ මිල දී ගැනීම සදහා රුසියා රජයෙන් ණය මුදලක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබද සොයා බලන ලෙසය. එහෙත් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, ණය මුදලක් ලබාදීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව සමග විසදා ගත යුතු වෙනත් කරුණක් රුසියා රජයට ඇති බවය.

එය ගියර්පෑඞ් 5.1 නම්, හෙලිකොප්ටර ගොඩබැස්වීම සදහා පහසුකම් ද, එකවර නාවික සැතපුම් 6000ක් ධාවනය කිරීමට හැකියාව ද ඇති යුද නෞකාවක් සම්බන්ධයෙන් විය. එම නෞකාවට නියම කර තිබූ මිල එයට නොවටින බව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබිණ.

කෙසේනමුත්, සේබර්බෑන්ක් සහ වීටීබී යන රුසියා බැංකු දෙක රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යුද උපකරණ මිලදී ගැනීම සදහා ණය මුදල් ලබාදීම සම්බන්ධයෙන් තම යෝජනා ඉදිරිපත් කර තිබිණ. මෙම මිල දී ගැනීම් සදහා ඩොලර් මිලියන 46 411 031 වැය වේයැයි ගණන් බලා තිබූ අතර, ඒ අනුව ඩොලර් මිලියන 46 කට වැඩි ණය මුදලක් ලබා ගැනීම සදහා රුසියාවේ සේබර්බෑන්ග් බැංකුව සමග කොන්ත්‍රාත්තුවක් ඇති කර ගැනිණ. ලබාගන්නා මුදල වසර අටකුත් මාස හයකුත් කාලයක් ඇතුළත ගෙවා අවසන් කිරීමට නියමිත විය.

ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සදහා ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ මෙන්ම කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලබාගැනීමට අගමැති වික්‍රමසිංහ සමත් විය. දැනට ජපානයේ නිල සංචාරයක නියැළී සිටින ඔහු දිවයිනට පැමිණි වහාම ඉන්දියාව බලා යනු ඇත. එහිදී ඔහු රාජ්‍ය මට්ටමේ රැස්වීම් කිහිපයකටම සහභාගී වීමට නියමිතය. අනතුරුව ඔහු නව දිල්ලියෙන් බැහැර නගරයක පෞද්ගලික සංචාරයක නියැලෙනු ඇත.ඔහු මෙසේ ඉන්දියා සංචාරයක නියැළෙන්නේ වෙසක් උත්සව සැමරුම සදහා එරට අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබියදීය. දෙරට අතර ඇති කරගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සහ එය අත්සන් තැබෙන කාලය සම්බන්ධයෙන්ද අගමැති වික්‍රමසිංහ නව දිල්ලියේ දී සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂිතය.

දෙරට අතර ඇතිකරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් අගමැතිවරයා, මෙරට ඉන්දියා මහකොමසාරිස් ශිවසුබ්‍රමනියම් ජයිෂන්කර් සමග පසුගිය සතියේ සාකච්ඡාවක් පැවැත්වූයේය. ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීමටත්, එහි ඛනිජ තෙල් පිරිපහදුවත් පිහිටුවීමටත්, ගිවිසුම ඔස්සේ දෙරට අතර එකගතා ඇති වේ.කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක ආයෝජනය කිරීම සදහා ඉන්දියා ආයෝජකයින් උනන්දු කරවීමද ගිවිසුමේ තවත් අංගයකි.දෙරට අතර අනෙf්‍යා්න්‍ය අවබෝධය වර්ධනය කිරීමත්, ඒකාබද්ධව සහ සහයෝගයෙන් විවිධ සංවර්ධන කටයුතු වල නියැළීම මගින් දෙරටේම ජනතාවට සමාන ප්‍රතිලාභ හිමිවන තත්ත්වයක් ඇති කිරීමත්, මෙම ගිවිසුමේ අරමුණ වන බව එහි පිරිවිතරයේ සදහන්ය.

හම්බන්තොට වරාය ගිවිසුමත්, ඉන්දියාව සමග ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමත්, එළැඹෙන මැයි දිනයේ දී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මාතෘකා වනු ඇත. ගාලු මුවදොර පිටිය ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට ලබාදීම හමුවේ බෙදීමක් නිර්මාණය වෙමින් තිබූ ඒකාබද්ධ විපක්ෂය නැවත එක්සත්ව ඇති බවක් දැකගත හැකිය. මෙම බෙදීම නිර්මාණය වීමට හේතුව වූයේ රාජපක්ෂ සොහොයුරන් වන ගෝඨාභය හා බැසිල්, පසුගියදා බොරලැස්ගමුවේ දී ඔවුන්ගේ වියත්මග රැස්වීම පැවැත්වීමත් සමග උද්ගතවූ තත්ත්වයයි. දිවයිනේ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් යුත් වියත්මග රැස්වීම් ගෝඨාභයගේ සංකල්පයක් වුවත්, එම රැස්වීම් වලට මහින්දත්, බැසිලුත් සහභාගී වීම ඇතැම් ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන්ට ප්‍රශ්නාර්ථයක් විය. තමන්ගේ පැවැත්මට තර්ජනයක් විය හැකි නව දේශපාලන පක්ෂයක ආගමනය මෙයින් සංකේතවත් වන්නේදැයි ඔවුහු විමසූහ.

කෙසේවුවත්, ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සදහා ගාලු මුවදොර පිටිය හිමිවීමත් සමග, ඒකාබද්ධ විපක්ෂයේ කර මත විශාල වගකීමක් පැටවී තිබේ.ගාලු මුවදොර පිහිය වැසී යන තරමේ අතිවිශාල ජනකායක් තම මැයි රැලියට සහභාගී කරගැනීමට ඔවුනට අවැසිය. එසේ කළ නොහැකි වුවහොත් ජනතාව හමුවේ අවමානයට පත්වීමට සිදුවන බව ඔවුහු දනිති නම් මේ හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ සහ තවත් නායකයන් මැයි රැලියට ජන ගගක් ගැලීම සහතික කරනු පිණිස විවිධ පාර්ශව හා ඒකාබද්ධව කටයුතු කරනු දැකගත හැකිය. දිවයිනේ ප්‍රධාන නගරවල ක්‍රියාත්මක විරුද්ධ මත දරන කණ්ඩායම් පමණක් නොව, රජයට සහය නොදක්වන සියල්ලෝම ඒකාබද්ධ විපක්ෂය වටා එක් කරන ලෙසට පක්ෂය යටතේ ඇති වෘත්තිය සමිති නායකයන්ට දැනටමත් උපදෙස් ලබා දී ඇත.රජයට බාරදීම සදහා යෝජනාවලීන් සකස් කිරීමේ කටයුතුවල ගුණවර්ධන නියැළී සිටින අතර ඔහුට සහය වන්නේ බැසිල්ය.

පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඉදිරියට කැදවිණ.ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය දරමින් සිටි සමයේ එම අමාත්‍යාංශ විෂය පථයට අයත් වූ සංචාරක මණ්ඩලයේ සිදුවූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් එහි දී ඔහුගෙන් ප්‍රශ්න කැරිණ.බැසිල් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැදවීම අරබයා මත පළකළ විවිධ ඒකාබද්ධ විපක්ෂ නායකයෝ මැයි දිනයට පෙර ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි චෝදනා කළහ.එහෙත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයෝ එම චෝදනා බැහැර කළහ.

“අපි බාර දෙන එක යෝජනාවලියක් සකස් වන්නේ රාජ්‍ය සම්පත්, විශේෂයෙන් හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්ගේ තත්ත්වයන් මත.ඉහළ යමින් තිබෙන ජීවන වියදමත්, ආරක්ෂක අංශ සාමාජිකයන් නොසලකා හැර දමා තිබීමත්, සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන්නත් අපි බලාපොරොත්තු වනවා.“ ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

ඒකාබද්ධ විපක්ෂයේ නොවන අයටත් අපි ආරාධනා කරනවා.උදාහරණයක් හැටියට ගත්තොත් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් වැනි නායකයන්ට, බැසිල් රාජපක්ෂ කීවේය.

ඒකාබද්ධ විපක්ෂයට පමණක් නොව, එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද මෙවර සැමරෙන මැයි දිනය තම තමන්ගේ පක්ෂ වල ශක්තිය උරගා බැලීමට හොද අවස්ථාවකි. විශේෂයෙන්ම පළාත් සභා කිහිපයක හෝ පළාත් පාලන ආයතන කිහිපයක හෝ මැතිවරණ පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබෙන අවධියක මෙය අතිශයින් වැදගත්ය. එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය බොරැල්ල කැම්බල පිටියේ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය නුවරදී ද පැවැත්වෙනු ඇත. සති කිහිපයකට තම අමාත්‍යාංශය හා සම්බන්ධතා ඇති කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් පිරිසක් තම කාර්යාලය කැදවූ ප්‍රමුඛ පෙලේ දේශපාලනඥයකු, තමන් මෙම අමාත්‍යංශය භාරගත් දිනයේ සිට ඉතාම විමසිලිමත්ව කටයුතු කරන බැවින් මේ දක්වාම කිසිදු වංචාවක් හෝ දුෂණයක් හෝ සම්බන්ධ පැමිණිල්ලක් තමාට හෝ අමාත්‍යාංශයට හෝ එරෙහිව නැගී නොමැති බව ඔවුන් හමුවේ පැවසුවේ ය.සාර්ථක මැයි දින රැලියක් පැවැත්වීමෙන් රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි බව පවසා සිටි ඔහු, මේ පැමිණ සිටින පිරිසට ඒ සඳහා කුමන හෝ ආධාරයක් ලබාදීමට හැකිනම් ඒ වෙනුවෙන් ඉතාම කෘතඥ වන බව කීවේ ය.ඔහුගේ එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණු බව අමුතුවෙන් කිවයුතු නැත.

අවුරුදු නිවාඩුව අවසානයේ කැබිනට් මණ්ඩලය ලබන 25 වැනිදා නැවත රැස්වනු ඇත.සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල තනතුරු වෙනස 25 වැනිදාට පෙර හෝ පසු සිදුවනු ඇතිදැයි පැහැදිලි නැත. තනතුරුවල සිදුවන වෙනස්කම් ගැන හොදින්ම දන්නේ ජනපතිවරයා හා අගමැතිවරයා පමණකි.

සති කිහිපයකට ඉහත දී බම්බලපිටිය තට්ටු නිවාස සංකීර්ණය සංවර්ධනය කර නැවත ඉදිකිරීම සදහා වූ ඩොලර් ලක්ෂ ගණනක ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. රාජ්‍ය -පෞද්ගලික අංශ සම්බන්ධතාවක් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් ලෙස හදුන්වාදී තිබූ මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාය. රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව ඇතිවන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ඉන්දියා සමාගමක් සමගය. මෙම ඉන්දියා සමාගම ගැන හැදින්වීමක් ප්‍රේමදාසගේ කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර තිබුණේ නැත.

තීරණ ගැනීම ප්‍රමාද කරමින් තිබූ කරුණු බොහෝමයක් සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපයේ දී රජයේ අවධානය යොමු කැරෙණු ඇති අතර, බලශක්ති සැපයුම් කෙටුම්පත ඉන් ඒ අතරින් ප්‍රධානය. බලශක්ති සැපයුම් කමිටුවක ව්‍යවස්ථාමය ක්‍රියාකාරීත්වය සදහා නිසි නෛතික ව්‍යුහයක් පැවතිය යුතු බව පෙර අවස්ථාවක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක අගමැති වික්‍රමසිංහ සදහන් කර ඇත. හදිසි කටයුත්තක් ලෙස සලකා ඉදිරි දශකයේ ජාතික ශක්ති අවශ්‍යතාවට ප්‍රමාණවත් වන පරිදි, විදුලි බලය, ඛනිජ තෙල් සහ වෙනත් විකල්ප බල ශක්තීන් - උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම සහ බෙදා හැරීම මෙම කමිටුවේ අරමුණු වනු ඇත. මේ අරබයා ඇති කෙරෙන කෙටුම්පත ආරම්භක දිනයේ සිට වසර දෙකක කාලයකට වලංගුය. බලශක්ති සැපයුම් කමිටුව සම්බන්ධයෙන්,බල ශක්ති සැපයුම් කෙටුම්පත ගැසට් කිරීමට, එම කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට, අගමැතිවරයාට අවශ්‍යය.

කෙටුම්පතට අනුව කමිටුවේ සාමාජිකයන් වන්නෝ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, සහ සංවර්ධන ක්‍රමෝපායන් සහ අන්තර් ජාතික වෙළදාම් අමාත්‍යංශය, නියෝජනය කරන අමාත්‍යවරුය.

වර්තමානයේ විදුලි බලය බෙදාහැරීම සහ සැපයුම පිළිබද වගකීම ඇත්තේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා අතය.ඛනිජ තෙල් සහ විකල්ප බල ශක්ති අවශ්‍යතා පැමිණෙන්නේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා යටතටය.

අගමැතිවරයා මෙම කරුණු සම්බන්ධයෙන් තම අවධානය යොමු කරමින් සිටින්නේ විදෙස් ත්‍රස්තවාදී කණ්ඩායම් මෙරට ක්‍රියාකාරකම්හි නියැළිමේත්, ශ්‍රී ලංකා පුරවැසියන් එම කණ්ඩායම් වලට බදවාගැනීමේත්, අවදානමක් පවතින බවට රජයේ බුද්ධි අංශ අනතුරු අගවා ඇති අවධියකදීය. විශේෂයෙන් මාලදිවයිනේ ක්‍රියාත්මක මෙවන් කණ්ඩායම් ශ්‍රී ලංකාව ගැන විමසිල්ලෙන් සිටින බවට බුද්ධි අංශ අනතුරු අගවා තිබේ.

දේශපාලන නායකයින්ට සහ ජේ්‍යෂ්ඨ නිලධරයන්ට මේ සම්බන්ධයෙන් සම්පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කරන ලෙස උපදෙස් ලැබී ඇත. ඒ හරහා අත්විදීමට සිදුවිය හැකි අනවශ්‍ය ප්‍රතිවිපාක වළක්වාගැනීම රජයේ අරමුණයි.
සාකච්ඡාවට බදුන්වනු ඇති තවත් කරුණක් වන්නේ යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය සහ නෛතික රාමුවයි. මෙම පනතෙහි මුල් කෙටුම්පතට පසුගිය ජනවාරි මස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ අතර එය පසුව ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමෙන්තු කමිටුවකට යොමු කැරිණ.පසුව එම කෙටුම්පත අධ්‍යයනය කළ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් එහි සිදුවිය යුතු තවත් සංශෝධන සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.නිල ආරංචි මාර්ග වලට අනුව බස්නාහිර පළාත් සහ මෙගා පොලිස් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කෙටුම්පතෙහි ඇතැම් කරුණු අරබයා ඔහුගේ දැඩි විරෝධය දක්වා තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් ඔහු වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවද දැනගන්නට තිබේ.

මාධ්‍යය කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් - ඉදිරි සති කිහිපයේ රජයේ අවධානය යොමුවනු ඇති තවත් කරුණක් වනු ඇත. මෙම උපදෙස් සම්බන්ධයෙන් ජනතාව හෝ මාධ්‍ය දැනුම්වත් කිරීමක් තවමත් සිදුව නොමැත. මෙවැනි උපදෙස් මාලාවක් පසුගිය රජය සමයේදී ද හදුන්වාදීමට නියමිත විය.මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් සියල්ලටම අදාළ වනු ඇති මෙම උපදෙස්, මැතිවරණ නීති සංශෝධන සමග හදුන්වාදෙනු ඇතැයි අපේක්ෂිතය.

අලුත් අවුරුද්දෙන් පසුව ඉදිරියට ඇති කාලයේ ඇති අභියෝග රජය, දැන් සිටම සැලකිල්ලට ගැනීම මනාය. සිදුවීමට නියමිත කැබිනට් තනතුරු වෙනස රජයට නව මුහුණක් ලබා දෙනු ඇත. එහෙත් මැතිවරණ සමයේ ලබාදුන් දහසකුත් එකක් පොරොන්දු මෙම නව මුහුණ යටතේ හෝ ඉටුවනු ඇතිද යන්න පිළිතුරු නැති පැනයකි. එක්සත් ජාතික පක්ෂ -ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දීගය එළැඹෙන අගෝස්තුවේ අලුත් කිරීමට ද නියමිතය. ඉදිරි කටයුතු කෙසේ සිදුවනු ඇතිදැයි රටේ ජනතාව බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. කෙසේනමුත්, රටේ බහුතර ජනතාවගේ බලා සිටින්නේ ඔවුන් මත පැටවී තිබෙන මහත් බර සුලු ප්‍රමාණයකින් හෝ අඩු වන තෙක්ය.