සන්නද්ධ අංශයක් පිහිටුවීමේ යෝජනාව ජවිපෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූයේ 1984 අග භාගයේ පැවැත්වූ රැස්වීමේදීය. දෙමළ බෙදුම්වාදයට සහාය දුන් දකුණේ වාම කණ්ඩායම්වල සන්නද්ධ පුහුණුවීම්වලට එරෙහිවද ජවිපෙ මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට මුහුණ දීම සඳහාද සන්නද්ධ අංශයක් බිහිකිරීමට අවශ්‍ය බවට එහිදී යෝජනා විය. වසර 1985 දෙසැම්බර් මස පැවැති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සන්නද්ධ අංශයේ කටයුතු වේගවත්වීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි. එය ක්‍රියාවට නැඟෙනුයේ ඉන්දු - ලංකා ගිවිසුම ක්‍රියාත්මකවීමට පෙර 1986 සිටය.

එමෙන්ම මුදල් සෙවීම සඳහා සමරප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේගේ නායකත්වයෙන් කණ්ඩායමක්ද 1984 අග භාගයේදී පිහිටුවන ලදී. එම කණ්ඩායමේ නියෝග අනුව මුදල් සෙවීමේ කටයුත්තේදී තරුණ සංගමයේ සාමාජිකයන් වූ ගම්පහ සුනිල් අබේරත්න 1985 දීද මාතර තල්පාවිල ධර්මේ අම්බලන්ගොඩදීද, අනුරාධපුරයේ සරත් විජේසිංහද මරුමුවට පත්වූහ. එවැනි මුදල් රැස්කිරීම්ද 1986 සිට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යටතට පත්විය.


දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අවි පුහුණු කඳවුරු 100 ක් පමණ රටපුරා 1986/1989 කාලයේ පැවතිණි. දකුණු කැලෑබදවද රජරට රක්ෂිතයන්හිදී, මධ්‍යම කඳුකරයන්හිදීද ශ්‍රී පාදයේ එරත්න මාර්ගයට යාබදව පිහිටි වනයක ද ප්‍රධාන කඳවුරු තිබිණි. එක්වරකට පුහුණු කරන ලද විශාලතම කණ්ඩායම 140 ක් වූ අතර එය පවත්වන ලද්දේ නකල්ස් වනයේදීය.


දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය මුදල් ගෙවා දෙමළ බෙදුම්වාදී සංවිධානවලින්ද සටන් පුහුණුව සහ බිම් බෝම්බ තාක්ෂණය පිළිබඳව පුහුණුව ලබාගත්තේය. ප්‍රථමවරට ලැබූ පිරිසට පසුව අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ නායක ෆොන්සේකා ඇතුළු 16 දෙනෙකු ඇතුළත් විය. ඇතමෙකු පුහුණුව ලැබුවේ මාන්කුලමේ සිට මන්නාරම් පාරේ යන විට කුංජිකුලම් එල්ටීටීඊ කඳවුරේදීය. පුහුණුව ලැබුවන් විසින්  එම තාක්ෂණය සෙසු අයට පුහුණු කඳවුරු මගින් ඉගැන්වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රට පුරා බිම් බෝම්බ රැසක්ද පුපුරුවා හරින ලදී. පසුව උමා මහේෂ්වරන්ගේ ප්ලොට් සංවිධානය සමඟද මුදලට පුහුණුව ලබාගත් බවට වාර්තා විය.


දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය 1988 මාර්තු 07 සිට ආණ්ඩුව සමඟ තීරණාත්මක සටනකට යොමු විය. මරා දමන අයගේ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නියෝගද පැනවීය. ඒ අනුව දේහය ඔසවා ගෙන යෑමේදී එය පොළොවේ මට්ටමෙන් අඩියකට වඩා ඔසවා ගත නොහැකිය. ආගමික වැඩකටයුතු සඳහා උපරිම මට්ටමින් සහභාගි කරගනු ලැබුවේ භික්ෂූන් 2 කි. අවසාන කටයුතු උත්සවයකින් තොරව පැවැත්විය යුතුය. දේහය අවමංගල රථයකින් ප්‍රවාහනය නොකළ යුතුය. අවසන් මරණ උත්සවය සඳහා සහභාගි විය හැකි උපරිම ගණන 10 කි. මේ නීිති කඩවූ අවස්ථාවලදී දැඩි දඬුවම් පැනවූ අවස්ථා වාර්තා විය.


දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අරගලය නැතහොත් ජවිපෙ 2 වැනි කැරැල්ල තීරණාත්මක ලෙස පරාජය කිරීමට හැකිවූයේ රණසිංහ ප්‍රේමදාස රජය දේශපාලන සහ ආරක්ෂක හමුදා යන දෙඅංශයෙන්ම සමන්විත උපාය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම හේතුවෙනි. එය ආරක්ෂක හමුදා උපාය මාර්ගයකට පමණක් සීමා වූයේ නම් කැරැල්ල අඛණ්ඩව ඇදී යන ප්‍රාදේශීය, ග්‍රාමීය යුද්ධයක් බවට පත්වීමට ඉඩ තිබිණි. ඉන්දීය විරෝධය කැරැල්ලේ මූලික පදනම වූ අතර එයට දේශප්‍රේමී ආවරණයක් ලැබිණි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස රජය ඉන්දීය හමුදාව 1989 ජූලි අවසානයට පෙර ඉවත්කර ගත යුතු බවට 1989 ජූලි 01 නිවේදනය කළේය. එවිට ජවිපෙ කැරැල්ල ආණ්ඩු විරෝධයක් දක්වා මාරු විය.


දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ඇදවැටීම බරපතළ ලෙස ආරම්භ වූයේ හමුදා සහ පොලිස් භටයින් ඉන් ඉවත් නොවීම නිසා එම පවුල්වල අය ඝාතනයට පත්කිරීමට 1989 අගෝස්තු මස ගත් තීරණයත් සමඟය. එය බෞතිස්ම වූයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න විසින් හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්නට ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය (ඔප්ස් කම්බයින්) පිහිටුවා එහි නායකත්වය 1989 අගෝස්තු 4 ලබාදීමත් සමඟය.


රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු ජවිපෙ නායකයා වශයෙන් රත්නපුර කුරුවිටදී 1989 නොවැම්බර් 28 පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී ජවිපෙ නායකයා ලෙස පත් වූයේද දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයාව සිටි සමන් පියසිරිය. විජේවීරගේ මරණයෙන් මසක් පිරෙන 1989 දෙසැම්බර් 13 ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට නායක සමන් පියසිරි ප්‍රනාන්දු ඇතුළු නව දේශපාලන මණ්ඩලය තීරණය කළේය. එම තීරණය ගැනීමට නිවැරදි විග්‍රහයක් ඔවුන් සතු නොවීය. ඒ අනුව 1989 දෙසැම්බර් 13 තෝරාගත් ආරක්ෂක ස්ථානයන්ට ප්‍රහාරයන් කිහිපයක් එල්ල විය. එය ඔහු ඇතුළු ඉතිරිව සිටි සගයින්ටද මරණය කැඳවා ගැනීම ඉක්මන් කරවන්නක් විය. සමන් පියසිරි 1989 දෙසැම්බර් 27 නාවලදී අත්අඩංගුවට ගත් අතර පසුව දෙසැම්බර් 29 ඝාතනය විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයද 1990 පෙබරවාරි වන විට වාෂ්ප වී ගියේය.