ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම යෙදී ඇත්තේ සෑම වසරකම ජුනි 20 වැනිදාය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන පරිදි මෙය ජීවිතය අරගලයක් බවට පත්කරගත් සිසු පරපුරක අත්දැකීම් වර්තමානය කැඳවීමකි. අධ්‍යාපනය යනු වරප්‍රසාදයක් නොව අයිතියක් බව අවධාරණය කළ ඔවුහු දෑසින් පමණක් නොව නුවණැසින්ද ලෝකය දෙස බලන්නට රටට පෙර මඟ පෙන්වූහ. එහිදී ඇති වූ ඇතැම් සිද්ධීන් සාධනීය මෙන්ම නිශේධනය විය හැකි නමුදු ඔවුහු පුරවැසියනට අසීමිතව ප්‍රේම කළහ.


ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථම වරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12 වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව සිසුහු දැඩි ක්‍රියාමාර්ග ගත් අතර ඔහුගේ කාර්යාලය වටලා ඔහු කාර්යාල අඩස්සියට පත් කළහ. කැරලි මර්දන පොලිස් නිලධාරින් කඩා වැදීමෙන් සරසවිය යුද භූමියක් බවට පත් වූ අතර එහිදී පොලිස් වෙඩි පහරින් වීරසූරිය මරුමුවට පත්විය. සිසු සිසුවියන් ගණනාවක් තුවාල ලැබීය. එසේ වෙඩි තැබීමට අණ කළ අය අතර පොලිස් කැරලි මර්දන කණ්ඩායමේ ප්‍රධානියකු වූ මාතලේ පොලිස් පරීක්‍ෂක රොනී ගුණසිංහද විය. 


එසේ මියගියේ ඩබ්ලිව්.එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරින් සිව් දෙනෙක් වෙති. වසර 1934 පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. 


රටපුරා සරසවි සිසුන් ඇතුළු පාසැල් සිසුන් 1976 නොවැම්බර් 14 වීදිවලට බැස පෙළපාළි පැවැත්වූයේ එම සිද්ධියට එරෙහිවය. ‘අපට පුතේ මඟක් නැතේ - මෙහෙම ගියොත් පලක් නැතේ’ ලෝක සාම නායිකාව - අපේ මාර දූතිකාව.’ එහිදී හඬ නැගීය. වීරසූරිය ඝාතනය ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ දැඩි කම්පනයක් ඇති කළ අතර එය පදනම් කර ගනිමින් මහඟු පළ නෙළා ගත්තේ විපක්‍ෂයේ සිටි එක්සත් ජාතික පක්‍ෂයයි. පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව 1976 නොවැම්බර් 16 විවාදයක් ගනු ලැබීය. වීරසූරිය සරසවි ශිෂ්‍ය ඝාතනය පිළිබඳව සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී විමලරත්නගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කළ අතර එහි වාර්තාව 1977 පෙබරවාරි 3 එළි දක්වන ලදී. එම වාර්තාවෙන් පෙන්වා දුන්නේ සරසවි පාලකයින් සහ සිසුන් අතර ගෞරවයකින් සහ වැටහීමකින් යුතුව නව සම්බන්ධයක් ඇති විය යුතු බවය.


සරසවි සිසුවකු දෙවන වරට ඝාතනයට ලක් වූයේ 1984 ජූනි 19ය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු වූ හේවා බුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි ඒ වන විට වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත් වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.


එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඞ්නි ජයරත්න (වෛද්‍යවරයෙකුගේ වශයෙන් කටයුතු කිරීමේදී සිඞ්නි පසු කලෙක හෘදයාබාධයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවැනි ස්ථානයට පසුකලෙක පත්විය.) ඇතුළු සිසුන් 11 දෙනෙකු පේරාදෙණිය සරසවියේ පොලිසිය ඉදිරිපිටින් ගමන්කරන විට ලයනල් අලහකෝන් ශිෂ්‍යයාගේ අත පොලිස් ජනේලයක වැදීමේ සිද්ධියකින් පසුව එය ගාලගෝට්ටියක් බවට පත්වීමය. රාත්‍රී 10.10ට තැබූ වෙඩි තැබීමක ප්‍රතිඵලයක් වශයෙන් පේරාදෙණිය රෝහලේ වාට්ටු අංක 10ට ඇතුළත් කළ පත්මසිරි ජුනි 20 අලුයම 1.32ට මියගොස් තිබිණි. ඔහුගේ මරණ පරීක්‍ෂණය මහාචාර්ය චන්ද්‍රා අමරසේකර විසින්ද මහේස්ත්‍රාත් විභාගය මහනුවර අතිරේක දිසා විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර විසින්ද පවත්වන ලදී. පත්මසිරිගේ සහෝදරයන් වූ එච්. පී. ඒ. නයනානන්ද සහ එච්. පී. ඒ. මහින්ද විසින් දේහය හඳුනා ගන්නා ලදී.


පත්මසිරි අබේසේකර ඝාතනයට එරෙහිව රටපුරා සරසවි සහ පාසැල් සිසුන් උද්ඝෝෂණ පැවැත්වූ අතර කොළඹ සරසවි සිසුන් 1984 ජුනි 21 වැනිදා පැවැත් වූ උද්ඝෝෂණයකදී පොලීසිය මගින් කළ වෙඩි තැබීමෙන් කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ රෝහණ රත්නායකද මරුමුවට පත්විය.


ලොව ප්‍රථමවරට සරසවියක් තුළ ස්ථාපිත කළ පොලිසිය වූ 1983 දෙසැම්බර් 27 වැනිදා පිහිට වූ පේරාදෙණිය සරසවි පොලිසිය එම සිද්ධින්ගෙන් පසු ඉවත්කරගැනීමට සිදුවිය. එම පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරියා වූයේ පොලිස් පරීක්‍ෂක ඒ. කේ. ඩී. කරුණාදාසය. එවකට පේරාදෙණිය උප කුලපති වූයේ මහාචාර්ය බී. එල්. පණ්ඩිතරත්නය.

 

වීරසූරිය සරසවි සිසුවා සැමරීම 1977 සිට 1983 දක්වා සෑම නොවැම්බර් 12 දිනකම පෙරාදෙණිය සරසවියේදී සිදු කෙරිණි. අනතුරුව පත්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක සිසුන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක්ද පේරාදෙණිය සහ කොළඹ සරසවියන්හි ජුනි 19 සහ 21 යන දිනයන්හි අවිධිමත්ව පැවතිණි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මෙම සැමරුම් උත්සව තුනම 1986 සිට වසර එක්දිනක පැවැත්වීමට තීරණය විය. ඒ අනුව 1986 සිට නොවැම්බර් 12 එම සැමරුම සඳහා වෙන්විය. ජාතික ශිෂ්‍ය වීර දිනය ලෙස එය ජුනි 20 තීරණය කළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහාය ද ඇතිව දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් 1988 ජුනි 14 ආරම්භ කළ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය මගිනි. ඒ අනුව 1988 ජුනි 20 පේරාදෙණිය සරසවියේදී ප්‍රථම සැමරුම පැවැත්විණි.


වීරසූරිය ඝාතනය වූ 1976 දෙසැම්බර් 12 සිට 2016 ජුනි 17 දක්වා ඝාතනයට ලක් වූ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 632කි. ඉන් 623ක් ඝාතනය වූයේ ජවිපෙ දෙවැනි කැරලි සමය වන 1986 සිට 1990 දක්වාය. ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ඝාතනයට ලක් වූ සරසවි සිසුහු 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදහන් වූහ. ජවිපෙ දෙවන කැරලි සමයේදී ඝාතනයට ලක් වූ පාසැල් සිසුන් සංඛ්‍යාව 2,327කි. මේ අනුව 1976 සිට මේ දක්වා ඝාතනයට ලක්වී ඇති පාසැල් සහ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 2,959කි. සෑම වසරකම ජුනි 20 ශිෂ්‍ය වීර දිනය පැවැත්වෙන්නේ මෙම සිසුන් සැමරීම උදෙසාය.


අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණගසා සිටි මොහොතක, මිනිසුන් වහලුන් සේ දිවි ගෙවූ අඳුරු කාල පරිච්ඡේදයක ඒ සියල්ලටම එරෙහිව පෙරට පැමිණියේ සිසුන් බවද යහපත් හෙට දිනක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් සිසුන් සිය දිවි පුදකළ බවද අන්තරේ ප්‍රකාශකර ඇත. නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ඔවුන් දැක්වූ දායකත්වය අඩුවෙන් තක්සේරු කිරීම කිසිවෙකුට කළ නොහැකි බවද එහි වැඩිදුරටත් සඳහන්ය. 

 

එජාප ආණ්ඩුව 1977 ජුලි පත්වීමෙන් පසුව බුද්ධිමතුන්ට, වැඩකරන ජනතාවට, සරසවි සිසුන්ට, සිවිල් සමාජයට සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ස්වකීය අයිතීන් දිනා ගැනීමට සහ ඒවා ආරක්‍ෂා කර ගැනීම සඳහා අරගල කිරීමට තිබූ අයිතීන් මර්දනකාරීව පැහැරගනු ලැබීය. ආණ්ඩුව තම ක්‍රියාකාරීත්වයට එරෙහිව නැගුණු සෑම ජනතා අරගලයක්ම මර්දනය කළා පමණක් නොව ස්වකීය බලය සදාකාලිකව පවත්වා ගැනීම සඳහා ක්‍රම සහ විධි ක්‍රියාවට නගනු ලැබීය. මහා මැතිවරණයකින් ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අවස්ථාද අහිමි කළේය. මෙහිදී වෘත්තිය සමිති ව්‍යාපාරය පසුබෑමකට ලක්වූවද අධ්‍යාපන කප්පාදුවට සහ ශිෂ්‍ය මර්දනයට එරෙහිව සිසුහු නොබියව සටන් වැදුනාහ. සරසවි සිසුන් එහි ගාමක බලවේගය වූ අතර පාසල් සිසුහු එහි සටන් සගයෝ බවට පත් වූහ. පාසැල් ක්ෂේත්‍රයේ සිසුහු 4,004,086ද, ගුරුවරු 223,333ක්ද වර්තමානයේ සිටිති.


ප්‍රථමවරට පාසල් සිසුන් දෙදෙනෙකු ජවිපෙ 2 වැනි කැරැල්ලේ ආරක්‍ෂක හමුදාව මගින් මරා දැමුවේ 1988 මාර්තු 23 රාත්‍රියේදී ඒ හුණුකණ්ඩිය පාරේ පදිංචි තංගල්ල මහ විද්‍යාලයේ සිසුවන් වන වසන්ත වීරසිංහ සහ ප්‍රසන්න වනිගසිංහය. ජවිපෙ සිසුන්ට සහ අනුගාමිකයන්ට දඬුවම මරණයයි යනුවෙන් සඳහන් දැන්වීමක් ද ඒ අසල විය. තංගල්ල පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු 1988 මාර්තු 26 සිදු කළේ 1994 මරුමුවට පත් පේරාදෙණිය වෛද්‍ය සිසු පද්මසිරි අබේසේකර සිසුවා මිහිදන් කළ ස්ථානයට නුදුරිනි.


වීදි බැස සිදුකළ ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් පාසල් සිසුන් විශාල පිරිසක් ඝාතනය වූහ. මහනුවර නුගවෙල මැදි විදුහලේ නන්දන බණ්ඩාර අබේකෝන් ඇතුළු ශිෂ්‍ය පිරිසක් 1988 ඔක්තෝබර් 12 වැනිදා ද දික්වැල්ල විජිත මහා විද්‍යාලයෙන් නිශාන්ත ජයවර්ධන ඇතුළු ශිෂ්‍යයින් කිහිප දෙනෙක් 1988 ජුනි 20 වැනිදා බදුල්ලේ ප්‍රදීප් කරුණාරත්න සිසුවාද ඇතුළු සිසුහු සිය ගණනක් වීදි පෙළපාළිවලට සහභාගිවීමේදී ඝාතනයට ලක්වූහ.
ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතැමෙකුට දරිද්‍රතාව සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය. එබැවින් පහසුවෙන්ම රැඩිකල් දේශපාලනයෙන් විශෝධනයට ඔවුහු යොමුවූහ. එහෙත් බහුතරයක් එයට යොමු වූයේ පවතින පාලන ක්‍රමයට එරෙහිවය.


මෙම මියගිය සිසුන් සැමරීමට සෑම සරසවියකම විරු සිසු ස්මාරක ඉදිකළ ද රුහුණු සරසවියේ ඉදිකළ ස්මාරකය 1992 දී සහ ජයවර්ධනපුර සරසවියේ ඉදිකළ ස්මාරක 2002දී ද ආණ්ඩු පාක්‍ෂික දේශපාලන මැර පිරිස් විසින් බලහත්කාරයෙන් කඩා විනාශ කරන ලදී.


එමෙන්ම පේරාදෙණිය සරසවියේ පත්මසිරි අබේසේකර අනුස්මරණය සඳහා ඉදිකළ ස්මාරකයද 1990 ජනවාරි මස අතුරු හමුදා කණ්ඩායම් විසින් කඩා බිඳ දමන ලදී.


ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වර්තමානයේ දිස්වන්නේ 2008 ජුනි 20 යළි අලුතින් ස්ථාපනය කරන ලද මූර්ති ශිල්පි රත්තනපිටියේ තාරක රොද්‍රිගු විසින් නිර්මාණය කරන ලද ස්මාරක වේ. පේරාදෙණියේද පසුව නව ස්මාරකයක් ඉදිකර තිබේ.