අලූත් අවුරුද්ද ආසන්නයටම අපි පැමිණ සිටින්නෙමු. අපේ ක‍්‍රමයට අලූත් අවුරුද්ද සැමරීමට සූදානම් වන මොහොතක වඩා වැදගත් සාධකයක් තිබේ. එනම් ගෙවී යන වසර දෙස ආපසු හැරී බැලීමය. එසේ හැරී බලනවිට රටත් ජනතාවත් මුහුණ දුන් අභියෝග රාශියක් තිබූ බව පැහැදිලිය. මේ අභියෝග එක් ක්ෂේත‍්‍රයකට පමණක් සීමා වී නැත. සමාජ, ආර්ථික, දේශපාලන යන සෑම අංශයකම පාහේ නොයෙක් අභියෝග පැවැති බව කරුණු විමසීමේදී තහවුරු වන්නකි. වත්මන් ජනාධිපතිවරයාට ජනවරමක් ලැබුණේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් කිරීම වෙනුවෙනි. එහෙත් දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව, ප‍්‍රතිවිරුද්ධව ජනවරමක් ඉල්ලා සිටි පුද්ගලයන් සමඟ ආණ්ඩුකරණයේ නිරත වීමට ජනාධිපතිවරයාට සිදුවුණි. මෙය ප‍්‍රමුඛතම අභියෝගයක් වූ බව පැහැදිලිය. මේ අසාමාන්‍ය තත්ත්වය යටතේ රාජ්‍ය පාලනයේ කිසියම් ආකාරයක ව්‍යාකූලතාවක් ඇතිවුණි. මේ ව්‍යාකූලතාව ජනතාවට එක්තරා ආකාරයකට දරාගැනීමට අපහසු තත්ත්වයක් රටේ නිර්මාණය කළේය.

ඇතැම් ඇමැතිවරුන් තම අමාත්‍යාංශයේ වැඩ කටයුතු කිරීමේදී දක්වන අසමර්ථතාව මේ තත්ත්වයට එක් උදාහරණයක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන. මේ අසමර්ථතා පාලනය කිරීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නොහැකිවීම බරපතළ අභියෝගකාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට හේතුසාධක වුණි. වංචා දූෂණ විමර්ශන සම්බන්ධයෙන් රජයේ සේවකයන් රජයට අභියෝග කිරීමක් ද අපට දක්නට ලැබුණි. මේ කාරණය රට හමුවේ කියාපෑවේ කුමක්දැයි අමුතුවෙන් කිවයුතු නැත. ඒ වගේම නීතිය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව සංඝයාවහන්සේලා ප‍්‍රමුඛ ඇතැම් පුද්ගලයන් පාරට බැසීමද පසුගිය වසරේදී නිරන්තරයෙන් දක්නට ලැබුණු කරුණුය. මෙවන් අභියෝග ගණනාවකට මුහුණදීමට සිදුවුණි.

ඒ වගේම අපේ රටේ දිගුකාලයක් පැවැති සමාජ, සංස්කෘතික ජීවිතයේ කඩාවැටීම රටේ ඇතිවූ වෙනසත් සමඟ කිසියම් යථා තත්ත්වයකට ඉක්මනින් පත්වේය යන බලාපොරොත්තුවක් පොදුවේ ජනතාව අතර තිබුණි. ඒ අනුව එම බලාපොරොත්තුව ඉටු කිරීමට රටේ පාලකයන්ට, අදාළ ආයතනවලට වගකීමක් තිබුණි. එය අභියෝගකාරී බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ගෙවී යන වසරේ මේ අභියෝගය ජය ගැනීමට සමාජයක් හැටියට සමත්වූවාද?

අසාමාන්‍ය ණය බරක් සමඟ ආණ්ඩුවට ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන්නට නොහැකි වුණි. මේ අභියෝගය ප‍්‍රධාන වශයෙන්ම මුළු අවුරුද්ද පුරාම ජනතාව යම් ආකාරයකට නොසන්සුන් තත්ත්වයකට ඉවහල් වූ බව පැහැදිලි කරුණකි. මේ අභියෝගය හරහා තවත් අතුරු කරුණු කාරණා රැුසක්ද රට හමුවේ තැබූ බව අමුතුවෙන් කිවයුතු නැත. පසුගිය රජයෙන් ආරම්භ කළ ඇතැම් ව්‍යාපෘති, ගනු ලැබූ තීන්දු තීරණවලට එරෙහිව කටයුතු නොකළ පිරිස් වත්මන් ආණ්ඩුවට වහාම අභියෝග කිරීමට පටන් ගැනීම දිගින් දිගටම දක්නට තිබුණි. සයිටම් ආයතනය වසා දැමිය යුතුය යන යෝජනාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ගෙනහැර දැක්වීම මෙයට එක් උදාහරණයකි. මේ කාරණය මුල් කරගෙන විවිධ වැඩ වර්ජන, උද්ඝෝෂණ කිරීම් පසුගියදා වනතෙක්ම පැවතුණි. මෙවැනි ප‍්‍රශ්න හරහා සමාජයේ නිර්මාණය කළේ නොසන්සුන්කාරී පසුබිමකි. ඇතැම් අසාර්ථක ව්‍යාපෘතිවලට උරදීමට වත්මන් ආණ්ඩුවට සිදුවුණි. ඒවා නිරාකරණය කර ගැනීමට ආණ්ඩුවට කිසියම් ක‍්‍රමෝපා සොයා ගැනීමට ද සිදුවනු ඇත. එම ක‍්‍රමෝපායවලට විරුද්ධව විවිධ බලවේග බලමුළුගැන්වෙන තත්ත්වයක් තවත් පැත්තකින් දක්නට තිබේ. හම්බන්තොට වරාය මෙයට උදාහරණයකි. මේ වරාය චීන සමාගමකට පවරා එහි ණය බරෙන් මිදීමට ගන්නා ප‍්‍රයත්නයට එරෙහිව ගොඩනැෙඟන දේශපාලන බලවේගයක් තිබේ. මේවා සියල්ල මතුවන්නේ රට හමුවේ, ජාතිය හමුවේ ඇති අභියෝග වශයෙනි.

ඒ වගේම මේ සියලූ කාරණාවලින් පෙන්නුම් කරන්නේ දිගු කලකට පසුව ජනතාව අසීමිත නිදහසක් භුක්ති විඳින බවය. ජනතාව ආණ්ඩුවක් බලයට පත්කර ගන්නේ නිදහසේ ජීවත්වීමට බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් එම නිදහස පසුගිය රජයේ සියලූ දෝෂසහගත ප‍්‍රශ්න සම්බන්ධව වත්මන් පාලනයට අභියෝග කිරීමට යොදාගෙන ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. මෙවන් පසුබිමක අපට පෙනෙන්නේ ගෙවී යන වසර තුළ ජනතා අපේක්ෂා බිඳ වැටුණු බවය. ඒ ඔස්සේ ආණ්ඩුවේ ජනප‍්‍රියභාවයද ක‍්‍රමයෙන් දුර්වල වූ බවද පැහැදිලිව දක්නට තිබූ කරුණකි. මේ හේතුවෙන් ඇතිවූ බරපතළම සහ නරකම කාරණය වන්නේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට රටේ දැවෙන ප‍්‍රශ්න නිරාකරණයට අවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා කාලය කැප කිරීමට ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීමට යම් ආකාරයකට බාධාකාරී තත්ත්වයක් ඇතිවී තිබීමය. ගෙවෙන වසරේ කැපී පෙනෙන අභියෝග වන්නේ මේවාය.

රටේ යහපාලනය ඇතිකිරීම ගිය වසරේදී පැවැති අභියෝගයකි. යම් ආකාරයකට රට තුළ යහපාලනය නැමැති කාරණය ස්ථාපිත වූ බව පැහැදිලිය. පැළයක් රෝපණය කරන්නාක් මෙන් යහපාලනය ඇති කළ නොහැක. දිගු කලක් තිස්සේ කඩා වැටුණු සම්ප‍්‍රදායන් ගොඩනඟා ගැනීම අසීරුය. කොමිෂන් සභා පත්කිරීම, අවශ්‍ය අණපනත් සකස් කිරීම යනාදිය ලෙහෙසි පහසු කරුණු නොවේ. මේවාට එරෙහිව සිදුවන කටයුතුද තිබේ. නව ආණ්ඩුවක් බලයට පැමිණි පසු රාජ්‍ය පාලනයේ ව්‍යුහය වෙනස්කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. නිලධාරීන්, ආයතන ප‍්‍රධානීන් වෙනස් කිරීම ආදී වශයෙන් එම ව්‍යුහයේ සම්පූර්ණ වෙනසක් ඇතිකර ගනු ඇත. එහෙත් මේ අවස්ථාවේ එය එලෙසම වූයේ නැත. පැරැුණි පුද්ගලයන්ම යම් ලෙසකට මේ පුටුවලම වාඩිවූ ආකාරයක් දක්නට තිබුණි. ඔවුන්ට අදහාගත නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ. ඒ නව ආණ්ඩුව යටතේත් වෙනසක් නොවීම සම්බන්ධයෙනි. කුමකින් කුමක් වේදෝයි කියන විමතියෙන් ඔවුන් කටයුතු කරන ආකාරයක්ද දැකගන්නට පුළුවන. යහපාලනයේ පරමාදර්ශ සිදු නොවන තත්ත්වයක්ද දක්නට තිබේ.

 පොලිසිය මෙයට උදාහරණයකි. ජාතික පොලිස් කොමිෂන් සභාවක් පත්කළේ පොලිසිය ප‍්‍රතිසංවිධානය කිරීමේ එක් පියවරක් වශයෙනි. ස්වාධීන පොලිස් කොමිෂන් සභාව පත් කළද පොලිසිය පාලනය කිරීමේ ක‍්‍රියාවලිය ඇමැතිවරයාගෙන් වියුක්ත වූයේ නැත. මෙවැනි කාරණා නිසා යහපාලනය යථාර්ථයක් බවට පත්වනවා දැකීමේ හැකියාවක් ජනතාවට තිබුණේ නැත. අධිකරණය සම්බන්ධයෙන් වුවත් යම් යම් කරුණු කාරණා සිදුවූ ආකාරය ගැන ජනතාව තුළ ඇත්තේ පැහැදීමක් නොවේ. හිටපු නීතිපතිවරයාගේ ක‍්‍රියාකලාපය මෙයට උදාහරණයකි. ඔහු ඉවත් වූ පසුවද ජනතාව අපේක්ෂා කළ ආකාරයට එම කටයුතු සිදුවූයේ නැත. මේ අනුව බලන විට සෑම අංශයකදීම පාහේ යහපාලනයේ පරමාදර්ශ ජනතාවට දකින්නට නොලැබුණු තත්ත්වයක් ගෙවීයමින් ඇති වසරේදී පිළිබිඹු කෙරුණි. මෙය එම වසරේ රටත් ජනතාවත් හමුවේ තිබූ සහ තිබෙන අභියෝගයකි. එමෙන්ම එය ඛේදවාචකයකි.

වංචා, දූෂණ පිටුදැකීම රට හමුවේ තිබූ මහා අභියෝගයකි. වංචා, දූෂණ විමර්ශන කටයුතු යම් පමණකට සිදුවුවද අදාළ පුද්ගලයන්ට දඬුවම් නියම කිරීමක් වූයේ නැත. අධිකරණ ක‍්‍රියාවලියේ ඇති මන්දගාමී ස්වරූපය එයට හේතුවකි. සම්මුතිවාදී ආණ්ඩුව ඇතුළේ එක්තරා ආකාරයකට වංචා, දූෂණ විමර්ශනය නම්වූ කාර්යභාරය විනිවිදභාවයකින් සිදුවන්නේ නැත. මෙය රටත් සමාජයත් හමුවේ පැවැති ප‍්‍රමුඛ අභියෝගයකි. දූෂණ, වංචා චෝදනා එල්ලවූයේ පසුගිය ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන්ටය. ඒ ආණ්ඩුවේ බලගතු නිලධාරීන්ටය. එහෙත් ඒ මේ අයගෙන් සමහරක් සිටින්නේද වත්මන් පාලනය සමඟය. මේ නිසාදෝ මේ අය ගැන වංචා දූෂණ විමර්ශන කටයුතු හරියාකාරව සිදුවන ස්වභාවයක් දක්නට නැත. එතැන යම් දේශපාලනික අතපෙවීමක් ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මෙයින් කියැවෙන්නේ මේ ආයතන ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය තත්්ත්වයට පත්ව නොමැති බවය. හොරු ඇල්ලූවාද හොරුන්ට දඬුවම් දුන්නාද කියා ජනතාව අද ප‍්‍රශ්න කරන්නේ ඒ නිසාය.

ඒ වගේම වත්මන් ආණ්ඩුවටද වංචා දූෂණ ගැන චෝදනා එල්ලවීම ගිය වසරේ දැඩිව පෙනුණු කරුණකි. බැඳුම්කර වංචාව හා සම්බන්ධව ඇතිවූ තත්ත්වයෙන් පසු යහපාලනය දැඩි ලෙස ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නිර්මාණය කර තිබේ. ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමටත් එය ඉවහල් වී තිබේ. මෙය තවත් ආකාරයක අභියෝගයක් නිර්මාණය කිරීමට හේතුවූ බවද කිව යුතුය.

ආර්ථිකය පාලනය කිරීමට එජාපයට යම් වරමක් ලැබුණු පසු විදේශ ආයෝජන විශාල වශයෙන් රටට ගලාවිත් රටේ විශාල ආර්ථික වර්ධනයක් වේවි යන බලාපොරොත්තුව ගෙවෙන වසරේද ජනතාවට තිබුණි. එහෙත් ආණ්ඩුව බලයට පත්වන විට රුපියලට තිබූ වටිනාකම අද නැත. එය ඉතා බරපතළ තත්ත්වයකි. ආර්ථිකය කළමනාකරණයේදී අදාළ අංශ දක්වන සමත්කම කොතරම්ද යන්න මේවායෙන් පෙන්නුම් කර තිබේ. මුලින් විශාල ලෙස බඩු මිල අඩුකිරීමට ගොස් රජයේ ආදායම විශාල වශයෙන් අහිමිකර ගත්තේය. ඉන්පසුව ආදායම් සෙවීමට වැට් බද්දක් පැනවීම කෙරුණි. ජනතාවට අධික බදුබර පනවා ආදායම් සෙවීමට ගෙවීයන වසරේ ආණ්ඩුවට සිදුවුණි. අහිමි වූ ආදායම් නැවත සෙවීමට උපක‍්‍රම යෙදීම නිසා තමන් අලූතෙන් තැලීම ආරම්භ වූ බව ජනතාවට දැනෙන්නට පටන් ගත්තේය. මෙවන් කාරණා නිසා ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන් අසාර්ථක වීමක් පෙන්නුම් කළේය. ආර්ථිකයේ බරපතළ කඩා වැටීමකට වඩා ආර්ථික කළමනාකරණයේ අර්බුදයක් පවතින බව පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණි. මේවායෙන් නිතැතින්ම නිර්මාණය වූයේ අභියෝගකාරී වාතාවරණයකි.

ජනතාව පසුගිය කාලයේද අපේක්ෂා කළේ නීතිගරුක පාලනයකි. සැමට නීතිය එකහා සමානව ඉටුකිරීම ජනතාව අපේක්ෂා කළ කරුණකි. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමද තවත් එවන් කරුණකි. සමාජ විරෝධී වැඩ කළ තවත් බොහෝ අය රාජ්‍ය දේපළ අවභාවිත කළ අය නීතිය අභිමුවට කැඳවීම ජනතා පැතුම් විය. එහෙත් මෙවන් පුද්ගලයන් ආණ්ඩුවේ බලගතු චරිත ලෙස සිටින තත්ත්වයක් ජනතාවට දක්නට තිබුණි. මෙවන් පසුබිමක් නිසා ජනතාවගේ බලාපොරොත්තු දියවී යාමක් සිදුව තිබේ. එය සමාජමය වශයෙන් මතුව ඇති අභියෝගයකි.

ඇතැම් ව්‍යාපෘතිවලදී ජනතාවගේ මූලික අවශ්‍යතා ස්පර්ශ නොවන බවක්ද පෙනෙන්නට තිබේ. වස විස නැති ව්‍යාපෘති යනාදිය හරහා මේ රටේ ගොවියා විශාල අමාරු අඩියකට පත්කර තිබේ. ආහාර නිෂ්පාදනයේ යම් අර්බුදයක් ඇති කිරීමටද මේවා හේතුවී හමාරය. යම් යම් ජනප‍්‍රිය වැඩ කිරීමට ගොස් ජනතාව කලකිරවන අසහනකාරී පසුබිමක් ක‍්‍රමයෙන් නිර්මාණය වන ආකාරය පසුගිය කාලයේ දක්නට තිබුණි. මේවා හරහා නිර්මාණය වූ අභියෝගකාරී පසුබිම වර්ධනය වනවා මිස අඩුවීමක් වන්නේ නැත. තවත් බොහෝ කාරණා ගැන ජනතාව අපේක්ෂා කළ තරමේ ක‍්‍රියා සිදුව නැති බවක්ද දැකගත හැකිය. මේ සියල්ල අභියෝග බවද අමතක නොකළ යුතුය. ආණ්ඩුව ලබාදී ඇති නිදහසත් ආණ්ඩුවට අභියෝගයක් වී ඇති අයුරු අපට දකින්නට තිබුණි.