ශ්‍රී ලංකාවේ දේශපාලන බල හුවමාරුව සිදුවන්නේ ඉතා අනපේක්ෂිත ආකාරයටය. බලය ලබා ගැනීම උදෙසා, තිබෙන බලයට නොබියව අභියෝග එල්ල කරන්නා වූ චරිතවල ක්‍රියාකාරිත්වය කවදාවත් බලය ලබාගත නොහැකි යයි සිතන්නා වූ පාර්ශවයන්ට බලය ලබා ගැනීම උදෙසා මහඟු පිටිවහලක් වන බව පෙනේ.


අතුරලියේ රතන හිමියන්ගේ භූමිකාවද එලෙසමය. ඉතා ශක්තිමත් බල මුළුවක් සහිතව සිටි රාජපක්ෂ පාලනයට එරෙහිව නොබියව සටන් වැදි චරිතයකි එහිමියෝ. මෛත්‍රීපාල සිරිසේන නම් වූ එදා සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතා අවදානම් සහගත පිල්මාරුවක් සිදුකර තැබූ පළමු මාධ්‍ය හමුවේදී රතන හිමියන් හැඳින්වූයේ කුඩහපොල හාමුදුරුවන්ගේ පුනරුත්පත්තිය ලෙසිනි. සැබෑවටම ජාතික හෙළ උරුමය එදා නැවත පුනර්ජීවයක් ලබන්නේ රතන හිමියන්ගේ ක්‍රියාකලාපයත් සමඟිනි. එදා ජාතික හෙළ උරුමය ගොඩ දමමින් කටයුතු කළ රතන හිමියන්ට ජාතික හෙළ උරුමය තුළම අද අත්විඳීමට සිදුවී ඇති තත්ත්වය ඉතා කනගාටුදායකය. ජනතා විමුක්ති පෙරමුණේද ඇත්තේ මෙයට සමාන තත්ත්වයකි. 


1987-89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලේ පරාජයෙන් පසුව ජවිපෙ නන්නත්තාර වූයේය. ඉහළ පෙළේ සියලුම නායකයන්ගේ ඝාතන සමඟ ඉතා අමිහිරි දේශපාලනික අත්දැකීමකට මුහුණදීමට ජවිපෙට සිදුවිය. එහෙත් 1993-1994 පමණ වනවිට නැවතත් අළු මතින් නැඟී සිටීමට ජවිපෙට හැකිවිය. මෙම තුන්වන ප්‍රවේශයේදී ජනතාව අතරට ජවිපෙ ගෙනයාමේ කථිකත්වය රැඳී තිබුණේ විමල් වීරවංශ මතය. දැන් කවුරුන් මොනවා කිව්වත් එදා විමල්ගේ හඬ ජවිපෙ නැවත පිබිදීමට ලබාදුන් ජවය අති මහත්ය.
දේශපාලනයේ හැමදාම සිදුවන ක්‍රියා පටිපාටියෙන් බැහැරවීමට විමල්ට ද නොහැකි විය. ජවිපෙ හරහා තම පන්නරය ලබාගන්නා විමල් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ජවිපෙහි මෙන්ම සමාජයේද දැවැන්ත ආකර්ෂණීය බලයකින් යුක්තවය. කොටින්ම කිවහොත් සමස්ත සමාජයට ජවිපෙ යනු විමල් විය. ඔහුගේ තිබූ එම ආකර්ෂණීය බලය ඉතා සියුම් ලෙස ඩැහැ ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව දක්ෂ විය. රාජපක්ෂ ආණ්ඩුව තුළ විමල් රඟ දැක්වූ භූමිකාව ජවිපෙහි සිටියදී වාමවාදී විමල් රඟ දැක්වූ භූමිකාවට හාත්පසින්ම වෙනස් විය. මේ නිසාම රාජපක්ෂ ආණ්ඩුවේ අති දැවැන්ත භූමිකාවකට පණ පෙවීමට ඔහුට සිදුවිය. රාජපක්ෂ වේදිකාවේද ප්‍රධාන කථිකයා ඔහු විය. මේ අති විශාල බලය නිසා ඔහුට ද කළ යුතු දේ නොකළ යුතු දේ තෝරා බේරා ගැනීමට නොහැකි වූවායයි කිවහොත් එය වඩාත් නිවැරැදිය. තුම්මුල්ලේදී ඔහු කළ කූප්‍රකට උපවාසය සහ එහිදී පොලිසිය අරභයා බලයෙන් උන්මාදව ඔහු විසින් කළ කී දේ හරහා විමල් සමාජයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වීමට පටන් ගත්තේය.


අනික් අතට මහින්ද-මෛත්‍රීපාල අතර පැවැති අවසන් ජනාධිපතිවරණ රැලිවලදී ඔහු වේදිකාවේ කළ කී දේ සමාජය අනුමත කළේ නැති තරම්ය. “සිරිසේන කෝ මේ සිරිසේන?” යනුවෙන් ඔහු ළතෝනි දෙමින්, කෑ ගසමින් කරන ලද කථා එතරම් ජනතාවගේ හිත් ගත්තේ නැත. එම නිසාම එදා වේදිකාවේ සිට “කෝ මේ සිරිසේන?” යයි සෙවූ සිරිසේන ජනතාව අතරින් උඩට මතුවී ආවේය. ඒ නිකම්ම නොව ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙසය. එදා සිරිසේන හෙවූ වීරවංශ බන්ධනාගාරයට ගියේය. අපේ දේශපාලනයේ හැටි එහෙමය.


කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රබල භූමිකාවක් ඉටුකළ කරුණා අම්මාන්ගේ තත්ත්වයද එසේමය. එල්.ටී.ටී.ඊ. යුද්ධය පරාජය කර නැවතත් සාමය උදාකරදීමේදී රාජපක්ෂ ආණ්ඩුවට බලවත් ශක්තියක් වූයේ කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්වීමය. කරුණා අම්මාන්ගේ ඉවත්වීමත් සමඟ දැඩි අවිනිශ්චිත භාවයකට එල්.ටී.ටි.ඊ. සංවිධානය පත්වූ බව කියන්නේ එහි ප්‍රබල ක්‍රියාකාරිනියක වූ තමිලිනී ජෙයකුමාර්ය. සාමය උදාකිරීමේ භූමිකාවේදී ලබාදුන් දායකත්වය නිසාම පසුකලෙක ශ්‍රීලනිපක්ෂයේ උප සභාපතිධුරයක් පවා ලබා ගැනීමට කරුණාට හැකිවිය. එහෙත් වත්මන් ආණ්ඩුවට සහ වත්මන් ශ්‍රීලනිපක්ෂ ක්‍රියාකාරිකයන්ට තවදුරටත් කරුණා අම්මාන් චරිතයක් වූයේ නැත. ඒ නිසාම දකුණේ දේශපාලනයේ තමන්ට ඇති ඉඩකඩ ඇහිරෙමින් පවතින බව වටහාගත් නිසාම වෙනම ද්‍රවිඩ සංවිධානයක් නැගෙනහිර පළාත කේන්ද්‍රගත කරමින් පිහිටුවීමට ඔහු සැරැසෙන බව පෙනේ. එය දකුණේ දේශපාලන බලය වෙනස් කිරීමෙහිලා කිසියම් බලපෑමක් කිරීමට හැකි සංවිධානයක් වීමට බොහෝදුරට ඉඩකඩ ඇත. අනෙක් අතට මහින්ද පිලට දැනට ඇති දුර්වලම ශක්තිය වන සුළු ජාතික ඡන්ද පදනම වර්ධනය කර ගැනීම උදෙසා එය බොහෝදුරට පිටිවහලක් වීමේ ඉඩකඩ වැඩිය.


1977 බලය ලබාගත් එජාප රජය 1983, 84, 85 පමණ වනවිට දේශපාලනයේ නොසෙල් විය හැකි බලවේගයක් බවට පත්වී තිබුණේ එදා ඔවුන් තුළ තිබූ සංවර්ධන හැකියාව නිසාය. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉදිවුණු යෝධ ජලාශ, රූපවාහිනිය, හඳුන්වාදීම, පෞද්ගලික බස් රථ සේවා හරහා දියුණු ප්‍රවාහන සේවාවකට පිවිසීම, විවෘත ආර්ථිකය මගින් ජනතාව මන්මත් කරවන ජපානයේ නිෂ්පාදිත ඉලෙක්ටි්‍රක්, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩවලින් කඩ සාප්පු පිරී ඉතිරී යාම රුහුණු විශ්වවිද්‍යාලය වැනි අධ්‍යාපනික කේන්ද්‍රස්ථාන නිර්මාණය කිරීම, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු කොළඹ නගරය දියුණු මට්ටමකට ගෙන ඒම මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කිරීම, ආදී පුළුල් සංවර්ධන වැඩසටහන් තුළ ජනතාවගේ ආකර්ෂණය නිතැතින්ම ජේ. ආර්. ප්‍රමුඛ එජා පක්ෂයට ලැබුණේයයි කිවහොත් එය ඉතා නිවැරැදිය. ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මැල් වැනි ප්‍රබල අමාත්‍යවරු බොහෝ ව්‍යාපෘති හරහා තමන්ගේ සලකුණ සමාජගත කිරීමට සමත්වූහ.


මහවැලිය ගාමිණී දිසානායකගේ සලකුණ වූවාක් මෙන්ම මහපොළ ලලිත් ඇතුලත් මුදලිගේ සංකේතය විය. රුහුණ විශ්වවිද්‍යාලයය රොනීද මැල්ගේ සංකේතය විය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලපෑමට හරියාකාරව මුහුණදීමට හැකිවූයේ නම් සහ විජේවීරගේ දෙවැනි කැරැල්ල ඇති නොවූයේ නම් එදා එජාපය හරහා තවත් බොහෝ දේවල් සමාජයට දායාද විමට තිබූ ඉඩකඩ වැඩිය. එදා එසේ බලවත්වී තිබූ එජාපයට අද අත්වී ඇති ඉරණම ඉතා පුදුමාකාරය. 2001 දී බලයට පත්වූ එජාපයට හෝ වත්මනෙහි බලයට පත්වී ඇති එජාපයට හැත්තෑව අසූව දශකයේ එජාපය කෙරූ කෙරුවාවල්වලින් දශම ගණනක් හෝ කර ගැනීමට නොහැකිවී ඇත. මහවැලි ව්‍යාපෘතිය, මහපොළ අරමුදල වැනි සදාතනික සලකුණු තිබූ අමාත්‍ය මණ්ඩලයක් සිටි එජාපයේ අද සිටින අමාත්‍යවරුන්ගේ සංකේත වී ඇත්තේ සමලිංගික විවාහ, නීතිගත කිරීම, ගබ්සාව නීතිගත කිරීම, රටට නොගැළපෙන ෆෙඩරල් ව්‍යවස්ථා සම්පාදනය, කිරීම ආදී කමකට නැති දේවල්ය. 


මෙය එජාප නායකත්වයේ ගැටලුවක්ද එසේ නැත්නම් නායකත්වයට ගැළපෙන ජේ. ආර්. ට සහාය දැක්වූ ආකාරයේ ප්‍රබල අමාත්‍යවරුන් නොමැතිවීමේ ගැටලුවක්ද, එසේත් නැත්නම් එජාපයට අවශ්‍ය ප්‍රධාන බලය නොමැතිවීමේ ගැටලුවක්ද යන්න හරියාකාරව පැහැදිලි නැත. කෙසේ වුවද එජාපය දරදිය අදිමින් බලයට පත්කළ මෛත්‍රී ජනාධිපතිවරයා සහ එජාපය අතර අද ඇතිවී ඇති විසම්මුතිය රටේ ඉදිරි ගමන නතර කර දමා ඇති බව පැහැදිලිය. ජනාධිපතිවරණයේදී මෛත්‍රීට බලයට පැමිණීමට කිසිදු ආකාරයක හෝ සහයෝගයක් නොදුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගෙන යන 2020 ජනාධිපතිවරණ මෙහෙයුම හරහා රට බලවත් අරාජිකත්වයක් කරා ගමන් කරමින් පවතී. මෙම අරාජිකත්වය නිසාම රටේ කිසිදු දෙයක් පාලනයකින් යුතුව සිදුවන බවක් නොපෙනේ.


එජාපය වුවද අද කටයුතු කරන්නේ දේශපාලන අපරිණත භාවයකින් යුක්තව බව පෙනේ. කවුරුන් කෙසේ අර්ථ දැක්වුවත් තවමත් එජාපයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පරිසරයක් ඇත. එහෙත් කුමන හෝ හේතුවක් නිසා ඔවුන් එයට එතරම් කැමැත්තක් නැති බව පෙනේ. සමහරවිට මෙය දේශපාලනික උපක්‍රමයක් විය හැකිය. පවත්නා සම්මුතිවාදය තුළ මෛත්‍රී ඇතුළු ශ්‍රීලනිපක්ෂය අර්බුදයට යවා රටේ අර්බුදයේ නිර්මාතෘවරයා මෛත්‍රී ලෙස හඳුන්වා මීළඟ ජනාධිපතිවරණයේදී බලය ලබා ගැනීම එජාපයේ අරමුණ විය හැකිය. එජාප නායකයා කෙතරම් පරිණත අයකු වුවද එය එතරම් පහසු කටයුත්තක් නොවන බව කිව යුතුය. කෙසේ වුවද 2020 දී මෛත්‍රී ජනාධිපතිධුරයට පත්වීමට නම් මහින්ද රාජපක්ෂ සාධකය දේශපාලන දහරාවෙන් ඉවත් කළ යුතුය. මේ අරබයා මහින්දගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමක් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සමහර දේශපාලනඥයන් සොයමින් සිටින බව පසුගියදා මාධ්‍ය පළවිය. 


එදා ජේ. ආර්. රජය සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කළේ 1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති කොමිසම පත්කිරීම තුළිනි. ඒ ආකාරයට වූ විශේෂ විමර්ශන ඒකකයක් පත් කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බව පසුගියදා රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත්විය. එදා සිරිමාවෝගේ සහ අද මහින්දගේ තත්ත්වය සමාන කර කවුරුන් හෝ දකින්නේ නම් එය මුළාවකි. ඇත්තටම මේ අවස්ථාවේදී මහින්දගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට මීළඟ මැතිවරණයේදි දැවැන්ත දේශපාලනික බලයක් ලබා ගැනීමට වූ හේතුවක්වනු ඇත. මන්ද ඔවුන්ගේ එකම දේශපාලන සටන් පාඨය වනු ඇත්තේ මහින්දට නැවත ප්‍රජා අයිතිය ලබාදීමේ මැතිවරණය නම් වූ සටන් පාඨයයි වත්මන් මහින්ද අභිබවා ප්‍රජා අයිතිය අහිමි මහින්ද ඉතා ප්‍රබලවනු ඇත. 


කෙසේ වුවද රට තුළ නම් ගොඩ නැඟී ඇත්තේ අති දැවැන්ත වූ සමාජ අර්බුදයකි. මැති ඇමැතිවරු මාධ්‍ය ඉදිරියේ සන්දර්ශන පවත්වමින් රාජ්‍ය නිලධාරීන් අරබයා පොලිස් ස්ථානාධිපතිවරුන් අරබයා ආදී සමාජයේ කේන්ද්‍රීය චරිත හෑල්ලුවට ලක්වන පරිදි ප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටිති. පළාත් ආණ්ඩුකාරවරියෝ නැති බලයකින් මත්වී මුඩුක්කු චරිත රඟපාමින් “මගෙන් කුණුහරුප අහගන්න එපා යයි” විදුහල්පතිවරුන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් සිටිති. වෛද්‍යවරු හිතුමතයේ කටයුතු කරමින් වර්ජනය ජන ජීවිතයේ කොටසක් බවට පත් කරමින් රෝගී ජනතාව මරණය කරා තල්ලු කරගෙන යමින් සිටිති. පාසල් සිසුහු මදාවිකාරයන් මෙන් පාර පුරා මැරකම්හි ජඩකම්හි නිරතව සිටිති. විශ්වවිද්‍යාල සිසුහු තමන්ගේම සහෝදර සිසුන් නිරුවත් කරමින් දස වධ පමුණුවමින් සිටිති. පොලිස්පතිතුමා තමන්ගේ නිලධාරීන්ට භාවනා පන්ති පවත්වමින් සිටී. විවිධ කණ්ඩායම් මහ දවල් මහමඟ මිනිසුන් අමු අමුවේ මරා දමමින් සිටී. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය රුපියල් 153 දක්වා ඉහළ ගොස් ඇති අතර හාල් මිල, පොල් මිල, දරාගත නොහැකිව ජනතාව නන්නත්තාරව සිටී.