ප්‍රා සංවිධානයේ සමාරම්භකයන් වූ ඔසී අබේගුණසේකර, ප්‍රා නිල ලාංඡනය, ප්‍රා නායක හලාවත පොඩි සිල්වා සහ එයට ජීවය සැපයූ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි

 

ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා ආණ්ඩුවට සහ එජාපයට එරෙහිව වර්ධනය වෙමින් තිබියදී 1988 ජනවාරි මසදී පැරණි වමට එරෙහිව ජවිපෙ යුද ප්‍රකාශ කළේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988 ජනවාරි 18 නිවේදනයක් කරමින් සමසමාජ, කොමියුනිස්ට්, නව සමසමාජ, මහජන පක්ෂය ද, ජනතා සංගමය ඇතුළු ජවිපෙන් කැඩීගිය කණ්ඩායම් සහ කල්ලිද, කතෝලික පල්ලියේ මුදල්වලින් පෝෂණය ලබන්නේ යැයි කියූ රාජ්‍ය නොවන සංවිධාන ද රැසක් තහනම් කළේය. එම නිවේදනයෙන් කියා සිටියේ ඒවා අතුගා දැමීම දේශප්‍රේමී අරගලයේම කොටසක් බවය.


ඒ වනවිට ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ 1986 දෙසැම්බර් 15 බණ්ඩාරගම හිරණ තොටුපළේදීද අනුරාධපුර පුරවැසි කමිටුවේ කැඳවුම්කරු අමරදාස මාරසිංහ හෙවත් නන්දන මාරසිංහ 1987 නොවැම්බර් 27 අනුරාධපුරයේදීද ජනතා සංගමයේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටි මහජන පක්ෂයේ ගොවි සම්මේලනයේ නියමුවෙකු වූ ජේමිස් ඇතුගල 1988 ජනවාරි 11 කුරුණෑගලදී ද මරාදමා තිබිණි. දේශප්‍රේමී සන්නද්ධ මූලස්ථානය 1988 ජනවාරි 25 නිකුත් කළ පත්‍රිකාවේ සඳහන් වූයේ දෙමළ බෙදුම්වාදී ඊළමට ගැති වාමාංශිකයින් තෙවන සතුරු හමුදාව ලෙස නම් කළ බවයි.


දයා පතිරණ 1986 දෙසැම්බර් 15 ඝාතනය කිරීමෙන් පසු ඝාතන සංස්කෘතියකට එරෙහිව විජය කුමාරතුංගගේ නායකත්වයෙන් ඒ පිළිබඳ සාකච්ඡාවක් 1986 දෙසැම්බර් 24 කොම්පඤ්ඤවීදියේ රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයේ පැවැත්විණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1987 දෙසැම්බර් 26 කොළඹ නව නගර ශාලාවේදී පැරණි වමේ පක්ෂ සහ සංවිධාන 76ක් එකතුවී ඝාතන සංස්කෘතියට එරෙහිව කටයුතු කිරීමට දෙසැම්බර් 26 ව්‍යාපාරය නමින් සංවිධානයක් ගොඩනගන ලදී. විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 ඝාතනය වීමත් සමගම එම දෙසැම්බර් 26 ව්‍යාපාරය ක්ෂය වී ගියේය.


මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග ඝාතනය වීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම සඳහා මහජන පක්ෂය ඇතුළු ඇතැම් වාමාංශික පක්ෂ සහ කණ්ඩායම්වලට අවශ්‍ය විය. ප්‍රා සංවිධානය බිහි වූයේ ඒ අනුවය. එහි නායකත්වය ගත්තේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකර සමඟින් තුයිහන්දිගේ සරත් සිල්වා හෙවත් හලාවත පොඩි සිල්වා හෙවත් සෝමසිරි සිල්වා හෙවත් කුමාර්ය. ප්‍රා යනුවෙන් කෙටියෙන් හඳුන්වන සංවිධානයේ සම්පූර්ණ නම මහජන විප්ලවකාරී රතු හමුදාවය. ප්‍රා නායකයෙකු වූ පොඩි සිල්වා, ඩී. අයි. ජී. ධර්මසේකර සමඟින් දේශපාලනය ඇරඹූ අතර 1971 කැරැල්ලේදී කුලියාපිටිය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට දායක විය. අනතුරුව අසූව දශකයේ මැද භාගයේදී ජෝ සෙනෙවිරත්න ආදීන්ගේ නායකත්වයෙන් යුත් විකල්ප කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු විය. විකල්ප කණ්ඩායම ඊ.පී.ආර්.එල්.එෆ්. කණ්ඩායමේ දකුණු දිග ශාඛාව ලෙස ක්‍රියා කිරීමට උත්සාහ දැරීය. විකල්ප කණ්ඩායමේ 23 දෙනෙකුම රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විරෝධී නඩුවක් 1987 මුල් භාගයේදී පවරන ලදී. එය කොළඹ මහාධිකරණ විනිසුරු ටී. සුන්දරලිංගම් ඉදිරියේ විභාග විය. ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මකවීමත් සමඟම එහි කොන්දේසියක් යටතේ අත්අඩංගුවට ගත් සියලුදෙනා 1988 අප්‍රේල් 22 නිදහස් වූහ. ඒ අනුව පොඩි සිල්වා ද නිදහස් විය. ජවිපෙ මඟින් සිදු කිරීම සඳහා ප්‍රා සංවිධානය ගොඩ නැගීමේ මූලික සාකච්ඡාව රජයේ ලිපිකරු සේවා සංගමයේදී පැවතුණේ 1988 මැයි 18 වැනිදාය. ප්‍රා සංවිධානයේ ප්‍රථම ප්‍රතිපත්ති ප්‍රකාශය 1988 අගෝස්තු 01 නිකුත් විය. දෙවන සංශෝධිත ප්‍රා ප්‍රතිපත්ති ප්‍රකාශය 1989 අගෝස්තු 01 නිකුත් විය.


ප්‍රා සංවිධානය තුළ වඩාත් ක්‍රියාකාරී කණ්ඩායම් වූයේ කේ. එල්. ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් පිරිසකි. විකල්ප සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ ඇතැම් සාමාජිකයින්ද මහජන පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂවල ක්‍රියාකාරකයින් පිරිසක්ද ජවිපෙ තර්ජනයට ලක්වී තිබූ හිටපු ජවිපෙ පිරිසක්ද, රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක්ම ප්‍රා වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළෝය. ජවිපෙ මර්දනය කිරීමේලා තීරණාත්මක ලෙස කාර්යභාරයක් ඉටුකල ප්‍රා සංවිධානයේ පිරිසක් බුද්ධි අංශ සමඟ ද සබඳතා පවත්වාගෙන ගියහ. ඇතැම් අයට ජාතික සහායක කණ්ඩායම යටතේ වැටුප් ගෙවූහ. හැඳුනුම්පත් ලැබිණි. සාමාජිකයින් සංඛ්‍යාව 40ක් පමණ වූ අතර තව 200කට ආසන්න පිරිසක් එහි හිතවත්තු වූහ.
මේ කාලයේ ප්‍රා සංවිධානයට පරිබාහිර ජවිපෙට එරෙහිව ක්‍රියාත්මක වූ සෙසු අතුරු හමුදා කණ්ඩායම් වූයේ ආරක්ෂක අංශවලට සෘජුව සහ වක්‍රව සම්බන්ධකම් ඇති ස්‍රා, උකුස්සා, රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී. කේසර සිංහයෝ, ලේ මාපිල්ලු, කළු කොටි සහ කොළ කොටි වැනි සංවිධානයන්ය.


ප්‍රා සංවිධානය දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කල්ලි සමගද ආණ්ඩුව සමග ද රජයේ අදාළ ආරක්ෂක අංශ සමගද නිරතුරුව සම්බන්ධතා පැවැත්විය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකරගේ ඉල්ලීම අනුව ආණ්ඩුව මගින් ප්‍රා සංවිධානය සන්නද්ධ කිරීමෙන් අරමුණු දෙකක් අපේක්ෂා කළ අතර එය සාර්ථක විය. එනම් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත් කිරීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන්, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවට පත් කිරීමයි. 


ප්‍රා සංවිධානයට ඔසී අබේගුණසේකර හරහා මුදලින් රුපියල් ලක්ෂ 20ක්ද කුලී වාහනද අවි ආයුධද ලැබිණි. ජවිපෙ විසින් එල්ල කළ භීෂණය හමුවේ අබල දුබලවී සිටි ඇතැම් වමේ පක්‍ෂ ධෛර්ය සම්පන්නව නඟා සිටුවීමට ප්‍රා සංවිධානය යම් තරමකින් සමත් විය. ප්‍රා සංවිධානය 1988 ඇරඹූවද එයට පෙර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරකයින් පිරිසක් සන්නද්ධ පුහුණුව ලබාදීම සඳහා 1988 ඔක්තෝම්බර් මසදී වවුනියාවේ ප්ලොට් දෙමළ බෙදුම්වාදී සංවිධානය වෙත යැවීමට මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග කටයුතු කළේය. ඒ ප්ලොට් නායක උමා මහේස්වරන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. එය රහසක් වශයෙන් පක්ෂයේ නායකයින් විසින් රඳවා ගනු ලැබීය. එසේ උතුරේ ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. ඊරෝස් ද්‍රවිඩ සංවිධාන වලින් සන්නද්ධ පුහුණුව ලැබූ දකුණේ වාමාංශිකයන් සංඛ්‍යාව 100ක් පමණ වූ අතර ඔවුන්ගෙන් පිරිසක්ද ප්‍රා සංවිධානය ඇරඹූ පසු එයට දායක වූහ.


ප්‍රා. සංවිධානයේ බංකර් සහ නිවාස ගණනාවක් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක පවත්වාගෙන ගියේය. කොම්පඤ්ඤවීදියේ රජයේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ල, බැරැක්ක පටුමගේ නව වමේ බංකරය, නොරිස් කැනල් පාරේ බංකරය, බොරැල්ලේ ඔස්ලෝන් බංකරය, අනුරාධපුර රජරට සේවය අසල වෘත්තීය සමිති බංකරය, වෙන්නප්පුවේ පෙරේරාගේ බංකරය, කුරුණෑගල කටුගම්පොල බංකරය ඒ අතර ප්‍රධාන විය. එක්සත් සමාජවාදී පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද ඉහළම කාර්යභාරයක් මේ වෙනුවෙන් ඉටු කළේය. ප්ලොට් සංවිධානයේ සන්නද්ධ නායකයෙකු වන උමා ප්‍රකාශ් සිටියේද වෙන්නප්පුවේ පෙරේරාගේ නිවසට ආරක්ෂාව සපයමිනි. පසුව ඔහු ප්ලොට් නායක උමා මහේෂ්වරන් 1989 ජුලි මස ඝාතනයට ලක්වීමෙන් පසු ඉන්දියාවට පලා ගියේය.


බටලන්ද වධකාගාරය කළු බළල්ලු සංවිධානය මඟින් මෙහෙය වූ අතර ඒ සමගද ප්‍රා. සංවිධානය හොඳ ගනුදෙනුවක් තිබිණි. ප්‍රා නායකයින් කර්නල් ජානක පෙරේරාගෙන් 1989 අප්‍රේල් සහ මැයි මාසයේ වාර දෙකකදී අවි ලබාගත් බවට වාර්තා වේ. පොඩි සිල්වා සහ ධර්මසිරි, ඔසී අබේගුණසේකර සමඟ මෙහෙයුම්වලට සම්බන්ධ කිහිප දෙනෙකු සමඟ ප්‍රා සංවිධානය වෙනුවෙන් සම්බන්ධතා නිරතුරුව තබා ගත්තේහ. පොඩි සිල්වාගේ දිනපොත අනුව පද්මනාභ ගෙන් නිරතුරුව උපදෙස් ලබාගෙන තිබුණ බව කියති. ප්‍රා සංවිධානය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වූයේ වෙන්නප්පුව, හලාවත, නිකවැරටිය, කුරුණෑගල සහ මහව යන ප්‍රදේශවලය.


ආණ්ඩුව මඟින් ඒකේ 47 තුවක්කු, ටී 56 තුවක්කු, රිවෝල්වර 38, මූනිස්සම් තොගයක්, අත්බෝම්බ 1988 මාර්තු 25 ශ්‍රී ලංකා මහජන පක්ෂයට භාර දුන් අතර එය බාර ගත්තේ ලෙකු අතුල හෙවත් නිමලසිරි ජයසිංහ විසිනි. ආණ්ඩුව ලබාදුන් සියලු ආයුධ 1988 මාර්තු 25 සිට ජුනි 30 දක්වා ගබඩා කර තිබුණේ කොළඹ 07 රොස්මිඞ් පෙදෙසේ නිවසකය. මෙම ආයුධවලින් සුළු කොටසක්ද පසුව ප්‍රා සංවිධානයට යොමු විය. පොඩි සිල්වාගේ රියැදුරු සිරිපාල වූ අතර ප්‍රා සංවිධානය පරිහරණය කළේ පැහැරගෙන එනු ලැබූ සැකකරුවන්ගේ වාහන වේ. ඔසී අබේගුණසේකර විසින් ප්‍රා වෙත අවසන්වරට මුදල් ලබා දෙන ලද්දේ 1989 ජුනි 20ය. ටෙලෝ සාමාජිකයින් දෙදෙනෙක්ද ඔවුන්ගෙන් මරණයට පත්වූහ. මාෂල් නැමැත්තෙකු 1998 ජුලි 29 පැහැරගත් අතර ඔහු අගෝස්තු 04 නිදහස් කරනු ලැබුවේ ලක්ෂ 5ක කප්පමක් ලබා ගැනීමෙනි. සැකකරුවන් කිහිප දෙනෙක්ම අදාළ පවුල්වලින් මුදල් ලබාගත් පසු නිදහස් කළෝය.


ප්‍රා සංවිධානය මඟින් අත්අඩංගුවට ගත් අය මරා දැමුවේ අත් පා කපා දරුණු වධදීමෙනි. ජවිපෙන් ගැටුම් හදාගෙන ඉවත් වූ පැරණි ජවිපෙ සාමාජිකයින්ගෙන් ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් පිළිබඳ ඔත්තු ඔවුනට ලැබිණි. බංකර සහ වධකාගාර තුළදීම ජවිපෙ සාමාජිකයින්ට දරුණු වධ දී ඔවුන් බිල්ලක් ලෙස යොදා ගනිමින් සෙසු ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් හඳුනා ගැනීම ඇරඹුවේ ප්‍රා සංවිධානය මගිනි. ජවිපෙ හිතවතුන් කිහිප දෙනෙක්ම ප්‍රා සංවිධානයේ ඉලක්ක බවට පත්වී තිබිණි සරසවි සිසුන් 396ක් ඉකුත් භීෂණ සමයේදී ඝාතනය වූ අතර තවත් සරසවි සිසුහූ 227ක් අතුරුදහන් වූහ. ප්‍රා සංවිධානය ඝාතනය කළ 1,222ක අතරට සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් ඇතුළත් වේ. ඉන් වැඩි පිරිසක් මරා දැමුවේ ප්‍රා සංවිධානයට ගොනුවී සිටි ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කළ ජවිපෙ සාමාජිකයින් සහ ජවිපෙ හිතවතුන් සංඛ්‍යාව 1,222කි.


ප්‍රා කටයුතු 1990 සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූයේ නැත. එහෙත් හලාවත පොලිසිය මඟින් මට්ටක්කුලිය ඉස්සන්දූවේ පිහිටි ප්‍රා මූලස්ථානය 1997 මැයි 29 වටලනු ලැබීය. අනතුරුව එහි සාමාජිකයින් 12 දෙනෙකු අත්අඩංගුවටගෙන මාස 06ක් රඳවා තබා ගන්නා ලදී. ඔවුන් අතර මහජන පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද විය. පසුව ඔවුහූ නිදහස් වූහ. ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. ජී. වයිමන් පෙරේරා ඒ පිළිබඳව අධිකරණයට වාර්තාවක්ද ඉදිරිපත් කළේය. පසුව වාෂ්ප වී ගිය ප්‍රා. සංවිධානයට ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදී විභවයක් නොවීය. එයට අවශ්‍ය වූයේ ජවිපෙට එරෙහිව සන්නද්ධ බලයක් ගොඩනගා එය විනාශ කිරීම පමණි. එහි න්‍යාය පදනම් වූයේ දෙවන ලෝක යුධ සමයේ ස්ටාලින් ඉදිරිපත් කළ පැසිස්ට් විරෝධී මහජන පෙරමුණේ න්‍යාය පමණි. ජවිපෙට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් සෙවීමට ප්‍රා. සංවිධානය උත්සුක නොවීය.