හැත්තෑව දශකයේ අග භාගයේදී රෝහණ විජේවීර නිදහස් කිරීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ යළිත් වතාවක් සක්‍රීය දේශපාලනයට යොමු වන අතර ඒ අනුව පළමු වරට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට දේශපාලනයට පිවිසියේය. එම ගමන්මගේ තවත් යෝධ පිම්මක් පනිමින් 1982 ප්‍රථම විධායක ජනාධිපතිවරණය සඳහා ජවිපෙ අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වූයේ රෝහණ විජේවීරය. “ටුබැකෝ සුනිල් සහෝදරයා” ඒ සම්බන්ධ සිය මතක අවදි කළේ මෙලෙසිනි.


 “1977 මහා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණෙන් ආසන හතරකට තරග කළා. පළමු වැනි වතාවටයි ජවිපෙ එදා මැතිවරණයකට තරග කළේ. මට මතක විදියට ඒ මහ ඡන්දෙදි තංගල්ල, හක්මණ, අනුරාධපුර බටහිර, හොරොව්පොතාන කියන ආසනවලට විජිත රණවීර, රොබට් ජයසේකර, චන්ද්‍රපාල කියන සහෝදරවරු තරග කළා. අපි මේ මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ රැලි කීපයක්ම පැවැත්තුවා. කිරිබත්ගොඩදී ඉස්සෙල්ලාම සංවිධානය කරපු රැලියෙ මුලසුන දැරුවෙ රංජිත්. ඒ රැලියෙදි මමත් කතා කළා. වාස් තිලකරත්න, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ සහෝදරවරුන් මේ රැලියට කථිකයො විදිහට සහභගි වුණා. ඔය කාලෙදි වාස් තිලකරත්න සහෝදරයාගේ ගෙදර තිබුණේ අපේ ගෙවල් කිට්ටුවමයි. ඒ හින්දම මට වාස් සහෝදරයත් එක්ක කිට්ටු සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් වුණා. 


එම මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කිරීමත් සමඟ ටුබැකෝ සුනිල් සහෝදරයාට ආකාර දෙකක යූ.ඇන්.පී. තර්ජනයකට මුහුණ දීමට සිදුවිය.


හැත්තහතේ ඡන්දෙන් යූ.ඇන්.පී. එක දිනුවට පස්සේ මට එක පැත්තකින් ගමේ යූ.ඇන්.පී. කාරයන්ගේ තර්ජනවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. තව පැත්තකනින් ටුබැකෝ එක ඇතුළෙදි මටයි රංජිත්ටයි මරණ තර්ජනය පවා එල්ල වුණා. මට මතකයි එකවතාවකදි මැරයො කට්ටියක් ජේ.ආර්.ගෙ ෆොටෝවලට වඳින්න කියලා අපි දෙන්නට තර්ජනය කළා. කොහොම හරි අන්තිමට අපි ඒ මැරයන්ට අපේ “නියමුවා” පත්තරෙ බලන තත්ත්වයට වෙනස් කළා.


මේ අල්ලපනල්ලේ ටුබැකෝ සුනිල් සහෝදරයා දේශපාලන පන්ති පහට ද සහභාගි විය. එය ඔහුගේ විප්ලවවාදි දේශපාලන භාවිතය අර්ථවත් මගකට යොමුකරවීමට සමත් සිදුවීමක් විය.


1977 දි මම ටුබැකෝ එකෙන් නිවාඩු අරගෙන ගම්පහදී පවත්වපු දින හතක අධ්‍යාපන කඳවුරකට සහභාගි වුණා. මේ කඳවුරේදි අපිට පන්ති කළේ තාබුගල චන්දරේ, මීරිගම ජයතිලක කියන සහෝදරවරු. ඇත්තටම මේ කඳවුරට සහභාගි වෙලා ආවාට පස්සේ මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා. කොටින්ම මගේ පෞද්ගලික ජීවිතේ තිබුණු දුම්බීම වගේ සමහර වැරැදි පුරුදු පවා අත්හැරගන්න මට රුකුලක් වුණෙත් මේ කඳවුර.


1981 දී පවත්වපු සංවර්ධන සභා ඡන්දයේදී වගේම 1982 ජනාධිපතිවරණයේදීත් අපි පක්‍ෂය වෙනුවෙන් රැලි සංවිධානය කළා. මමත් ඒ රැලි බොහෝමයක කථිකයෙක් හැටියට කටයුතු කළා. ඔය කාලෙදි තුල්හිරිය, පූගොඩ, ටුබැකෝ කම්කරුවන්ගෙ රැකියා අහිමි කිරීමට එරෙහිව අපි දිගටම සටන් කළා. උදේනි සමන් කුමාර, ලියනආරච්චි, දයාසේන කියන කට්ටියත් එක්ක එකතු වෙලා ඒ කම්කරුවො වහා සේවයේ පිහිටුවන ලෙස බල කරමින් අපි ඒ කාලේ දැවැන්ත උද්ඝෝෂණ පැවැත්තුවා.


ඔය කාලේ වෙනකොට ජේවීපී කාර්යාලය තිබුණේ කොළඹ ආමර් වීදියේ වීරසිංහ ලී මෝලෙ උඩ තට්ටුවෙ. පක්‍ෂ වැඩවලට මම නිතර දෙවේලේ ඒ කාර්යාලයට යන එන නිසා විජේවීර, ගමනායක, බෝපගේ, වාස් තිලකරත්න, සෝමරත්න කළුආරච්චි, අබේවර්ධන වීරගල්ල, සෝමවංශ අමරසිංහ, මහින්ද පතිරණ කියන දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් එක්ක ළඟින් ආශ්‍රය කරන්න පුළුවන් වෙනවා. මම පක්‍ෂ කාර්යාලෙට යන්නේ තනියෙන් නොවෙයි. බියගම, කැලණිය ප්‍රදේශවල ඉන්න කම්කරුවනුත් ඒ යනකොට එක්ක ගෙන යනවා. මට මතකයි ඔය කාලේ කැලණිය දළුගම තිබුණු දාස ආයතනයේ වැඩ කරපු සේවිකාවෝ. එයාලා ඇදන් හිටපු තැඹිලි පාට යුනිෆෝම් එක පිටින්ම පක්‍ෂ කාර්යාලයේ වැඩවලට යනවා එනවා. එක දවසක් ඒ සහෝදරියෝ මාත් එක්ක පක්‍ෂ කාර්යාලයට එනවා දැකලා විජේවීර සහෝදරයා කිව්වා සමාජවාදි කාන්තා සංගමයේ නායකත්වයට ටුබැකෝ සුනිල්ව පත් කළොත් හොඳයි කියලා. තව දවසක් ආමර් වීදියේ තිබුණු මානි ප්ලාස් කියන සයිවර් කඬේට විජේවීර, විජිත රණවීර, මහින්ද පතිරණ එක්ක මමත් ගියා කෑම කන්න. එතන  හිටියෙ දෙමළ ජාතික වේටර් කෙනෙක්. එයා කොහොමහරි විජේවීර සහෝදරයා අඳුර ගත්තා. මගේ පඩියෙන් ඔය සහෝදරන්ගේ බිල මම ගෙවනවා. ඒ නිසා ඔය සහෝදරයො බිල ගෙවන්න ඕන නෑ කියලා ඒ මනුස්සයා කිව්වා. පස්සෙ විජේවීර කිව්වා ආයෙත් ඉතින් ඒ කඩෙන් කාලා ඉවරයි. මොකද අපි කන්න ආවොත් මේ සහෝදරයගෙ පඩිය නැති වෙන නිසා කියලා”.

උපුල් වික්‍රමසිංහ