බොහෝ රාජ්‍යනායකයන්ට මෙන්ම මැති ඇමතිවරුන්ට රජයේ වෛද්‍ය සේවා ගැන එතරම් විශ්වාසයක් නැත. අසනීපයක් වැළඳුන විට ඔවුන් යන්නේ සුවිශේෂී වූ පෞද්ගලික රෝහලකටය. එසේත් නැත්නම් පිටරටක රෝහලකටය.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එසේ නොවූවාය. ඇය වඩාත්ම පෙළඹුණේ තම රටේ රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමටය. එය රජයේ වෛද්‍ය සේවාව ගැන ඇය තුළ තිබූ සුවිශේෂ ලක්‍ෂණයක් සේ තමා දුටුවේයැයි පවසන්නේ ඇගේ පෞද්ගලික ආරක්‍ෂකයාව සිටි සෙනරත් සෝමරත්න මහතාය. ඒ පිළිබඳව ඔහු ඉදිරිපත් කරන මතක මෙසේය.


“අවසන් කාලයේ වයසේ හැටියට තරමක අසනීප තත්ත්වයෙන් පසුවුණත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එතරම් ලෙඩරෝගවලට ගොදුරු වුණ කෙනෙක් නොවෙයි. කැස්සක් හෙම්බිරිසාවක් වගේ දෙයක්වත් හැදිල හිටියද කියල මටනම් මතකයක් නෑ. එතරම් නිරෝගී කාන්තාවක්.


පොඩිහරි අසනීපයක් හැදුණොත් යන්නෙ රජයේ ඉස්පිරිතාලයටමයි. පෞද්ගලික රෝහල්වලට ගියෙ නෑ. දොස්තරවරු ගෙදරට ගෙන්වගෙන ප්‍රතිකාර ගත්තෙත් නෑ. රජයේ රෝහල් ගැන, රජයේ වෛද්‍යවරු ගැන, රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවා ගැන එතුමිය තුළ දැඩි විශ්වාසයක් තිබුණා. එතුමියගේ පාලන කාලයේ රජයේ රෝහල් සේවාවල වැඩවර්ජන වගේ දේවල් තිබුණේ නෑ. රජයේ වෛද්‍යවරු වැඩවර්ජනයක් වගේ දෙයක් ගැන හිතන්නෙවත් නැති කාලයක්. ඒ තරම් ගෞරවනීය විදිහට තම සේවාව කරගෙන යාමේ පසුබිමක් එදා තිබුණා කියලයි මම හිතන්නෙ. ඔය හෙදි නෝන මහත්වරුන් ‘ස්ට්‍රැයික්’ කරන්නට පටන් ගත්තෙ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ හෙදි සංගමය පිහිටවූවාට පසුව කියලයි මම හිතන්නෙ.


77 පරාජයෙන් පස්සෙවත් මානසිකව වැටී රෝගී වෙන ලක්‍ෂණයක් එතුමිය තුළ තිබුණේ නෑ. ප්‍රජා අයිතිය අහෝසි කිරීම වගේ සිද්ධිවලදීවත් එතුමිය මානසිකව වැටුණේ නෑ. ඇත්තටම එතුමිය මානසිකව වැටෙන්න පටන් ගත්තෙ අනුර බණ්ඩාරනායක මහත්මය මෛත්‍රීපාල සේනානායක ප්‍රධාන කල්ලියක් එක්ක එකතුවෙලා එතුමියට පහර ගහන්න වුණ තැන ඉඳලයි කියන එකනම් මටත් හිතෙනවා.


මේ වෙලාවෙ තමයි එතුමියගෙ නායකත්ව පෞරුෂත්වය ගිලිහෙන බව පෙනෙන්නට තිබුණේ. මම හිතන්නෙ ඒ වෙලාවෙ එතුමිය සමඟ සිටිය කාටත් ඒ බව පෙනුණා. සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, විජය කුමාරතුංග මහත්මයා වගේ අය ඒ වෙලාවෙ තමයි මට කිව්වෙ “සෝමරත්න අම්මට අසනීපවෙයි හොඳට බලාගන්න.” කියල. 
එල්ලවුණ මානසික තාඩන පීඩන අතිවිශාලයි. එහෙත් එතුමිය ඒවා විඳදරාගෙන දේශපාලන සටනෙ හිටියා. අසූ අටේ ජනාධිපතිවරණයටත් තරග කළා. එහි පරාජයටත් දැඩි හේතු බලපෑව, ඒවත් විඳදරාගෙන දේශපාලනයේ සිටියා. අසූ නවයේ මැතිවරණයත් කළා. අනූ එක විතර වන විට තමයි මැතිනිය බලවත් ලෙස අසනීප වුණේ. ඒත් ගියේ රජයේ රෝහලට. මාසයක් විතර රෝහල්ගතවෙලා හිටියා. ඊට පස්සෙ තමයි ඉතා හිතවත් රාජ්‍ය නායකයකු වූ මාෂල් විටෝ මහතාගේ ඉල්ලීම උඩ යූගෝස්ලෝවියාවෙ රෝහලකට ගියේ.


මේ වෙලාවෙම තමයි මැතිනිය දිගු කාලයක් රෝහල්ගතවෙලා තියෙන්නෙ. කොළඹ ජාතික රෝහලේ මාසයක විතර කාලයක් ඉඳල තියෙනවා. මේ වෙලාව වන විට මම එතුමිය ළඟ සිටියේ නෑ. මම ටික කලකට විදේශ රටක රැකියාවකට ගිහිල්ලායි සිටියෙ. මැතිනියමයි ඒ රටට කතා කරල මාව යැව්වෙ. මට අදටත් දුක මැතිනිය දැඩිව රෝගා තුර වුණ වෙලාවෙ ආවතේව, උපස්ථාන කරන්න මට ඉන්න නොලැබුණ එක ගැනයි.


මම හිතන්නෙ එතෙක් ඒ කාලය තුළ මැතිනියට එල්ල වුණු තාඩන පීඩන දරාගෙන දරාගෙන ඉඳල උහුලන්න බැරිම තැන රෝගාතුර වෙන්න ඇති කියලයි. ඒ වෙලාවෙ මැතිනියට හැදිල තියෙන්නෙ ස්නායු රෝගයක්, කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රැඳී ඉඳලයි ප්‍රතිකාර අරන් තියෙන්නෙ. අංශබාග තත්ත්වයට ආව ස්නායුරෝගයක් බවයි දැනගන්න ලැබුණේ.


මේ වන විට 1989 මහ මැතිවරණයෙන් දිනල නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් ලැබිලයි මැතිනිය හිටියෙ. පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා නම් රෝහල් ගාස්තු පාර්ලිමේන්තුවෙන් ගෙවනවා. නමුත් මැතිනිය ඒ ගෙවීම් ලබාගෙන පෞද්ගලික රෝහලක නැවතී සිටිනවාට වඩා තෝරාගෙන තිබුණෙ රජයේ රෝහල. මේ වන විට ඇගේ ආරක්‍ෂාවට සිටියෙ ආණ්ඩුවෙන් දුන්න පොලිස් නිලධාරියෙක්. ඔහු ආරක්‍ෂාවට සිටියත් මැතිනියගේ ආවතේවාවලට එයා යන්නේ නෑ. මොකද මැතිනිය රජයේ ආරක්‍ෂක නිලධාරියාගෙන් එවැනි වැඩ අරගන්න එතුමිය කැමතිත් නෑ. ඒ නිසා දවල් කාලයට එතුමිය බලාගන්නෙ රෝහලේම සේවිකාවක්. රෑට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය යනවා.


චන්ද්‍රිකා මැතිනිය හැමදාම රාත්‍රී 7 විතර රෝහලට යනවා. ගිහින් මැතිනියගෙ ලෙඩ ඇඳ ළඟ පුටුවක් තියාගෙන වාඩිවෙලා ඉන්නවා. ආපහු එන්නෙ පහුවදා උදේ පහමාරට හයට විතරලු. ඒ විදිහට හැමදාම රෝහලේ මැතිනිය ළඟ ඉඳලා තියෙන්නෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. 


මේ මාසයක විතර කාලය තුළ මැතිනියට සුවය පතා සෙත්කවියක් කියල තියෙනවා. මේ සෙත්කවිය හදවගෙන ඇවිත් තියෙන්නෙ හේමසිරි ප්‍රනාන්දු මහත්තය. දැන් රූපවාහිනියෙ ඉන්න සභාපති. එතුමා කාවද දක්‍ෂ කිවිවරයෙකුගෙන් මේ සෙත්කවිය හදාගෙන ඇවිත් මොන්ටේගු සරච්චන්ද්‍ර මහත්මයට දීලා තියනව. මෙය හැමදාම දෙවුන්දර දේවාලයේ හරි අලුත්ගම දේවාලයේ හරි කියවන්න කියල.


ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශිෂ්‍ය සංවිධානයේ සිටිය මොන්ටේගු සරච්චන්ද්‍ර මහත්මය මැතිනියට ඉතාම භක්තියෙන් කටයුතු කළ කෙනෙක්. මෙයා මේ සෙත්කවියත් අරගෙන පානදුරේට ගිහින් රෙජිනෝල්ඞ් කුරේ මහත්මයා හමුවෙලා තියෙනවා. ‘වත්මන් උතුරු පළාතෙ ආණ්ඩුකාර තුමා’ ඒකාලෙ රෙජිනෝල්ඞ් මහත්මයාගෙ කුඩා ජීප් රථයක් තිබිල තියෙනවා. මොන්ටි මහත්තය ගිහින් රෙජිනෝල්ඞ් මහත්මයට කියල එයත් එක්ක ජීප් එකේ අලුත්නුවර දේවාලෙට ගිහින් සෙත්කවිය කියවලා තියෙනවා.


මෙහිදී දේවාලෙ කපුමහත්තය උපදෙස් දීල තියෙනව දිනපතා සෙත්කවිය කියවන්න පැමිණෙන ලෙසත් ඒ සමඟ දේවාලයෙන් දෙන තැඹිලි වතුර ටික ගෙනගොස් මැතිනියට බොන්න දෙන ලෙසත්ය. අනතුරුව දිනපතා එය කරන්නට මොන්ටි මහත්මයාට පැවරිලා තියෙනවා. ඔහු හැමදාම සවසට කළුතර රෙජිනෝල්ඞ් කුරේ මහත්මයලගෙ ගෙදරට යනවා. ඔහුත් එක්ක අලුත්ගම දේවාලෙට යනවා. සෙත්කවිය කියල දේවාලෙන් දෙන තැඹිලි වතුරත් අරන් රෙජිනෝල්ඞ් කුරේ මහත්තයාගෙ ජීප් එකේ කළුතරට ඇවිත් එතන ඉඳලා බස් එකේ කොළඹට එනවා. එතනින් මහ රෝහලට ගිහින් මැතිනියට ඒ තැඹිලි වතුර එක බොන්න දෙනවා. සමහර දවස්වලට මොන්ටි මහත්තය කොළඹට එනකොට හොඳටම රෑ වෙලා. ඉස්පිරිතාලෙ ගාවට බස් නෑ. පයින්ම යනවා.


මේ විදිහට මාසයක් විතරම මොන්ටේගු සරච්චන්ද්‍ර මහත්තය ඒ සෙත්කවිය වෙනුවෙන් දුෂ්කර කැපවීමක් කරලා තියනවා. මේවා කවුරුවත් දන්න කතා නොවෙයි.

වදාකඩ නවරත්න