සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යම් අවශ්‍යතාවකට යම් තැනකට යාමට තීරණය කළහොත් අනාරක්ෂිත බවට ආරක්ෂකයින් උපදෙස් දුන්නත් එය නොතකා ඒ ගමන යන එඩිතර ගතියක් ඇති නායිකාවක් වූ බව ඇගේ පෞද්ගලික ආරක්ෂක සෙනරත් සෝමරත්න මහතා කියයි. නීතිඥ විජේදාස ලියනආරච්චි මහතාගේ මළගෙදරට යාම එසේ ආරක්ෂකයා හැටියට තමා විරුද්ධ වූ ගමනක් බව ද ඔහු සඳහන් කරයි.

 

විජේදාස ලියනආරච්චි මහතා කොළඹ අලුත්කඬේ උසාවියේ නීතිඥවරයෙකි. හිසට වෙඩි තබා ඔහු ඝාතනය කර තිබී මළසිරුර කැලණියේ තැනක තිබී හමුවුණි. ඒ 1988 සැප්තැම්බර් මාසයේ දවසකය. එය එදා රට පුරාම ආන්දෝලනයක් ඇති කළ ඝාතනයක් විය.


ප්‍රසිද්ධියට පත්ව තිබුණේ මොහු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරිකයකු වීමෙන් මේ ඝාතනය සිදුකෙරී ඇති බවය. ඝාතනය පිළිබඳ චෝදනා කෙරුණේ රජයේ ආරක්ෂක අංශයටය. සිරුර කොළඹට ගෙනා දින රටපුරා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලක්ෂයක තරම් පිරිස කොළඹට එක් රැස් වූහ. අලුත්කඬේ උසාවි භූමියේ සිට දේහය ඔසවාගත් මේ මහා පිරිස කොළඹ වීදි සංචාරය කළහ. එසේ කොළඹ නගරය තුළ මහා ආන්දෝලනයක් ඇති කළ මෙම පිරිස් නීතිඥ විජේදාස ලියනආරච්චිගේ දේහය ගමට ගෙන ගියේ අතිවිශාල වාහන සංඛ්‍යාවකින් යුත් රථ පෙරහරකිනි. ඒ හම්බන්තොට වීරකැටියටය.


විජේදාස රාජපක්ෂ මහතාගේ එම මළගෙදරට වීරකැටියට යන්න මැතිනියට යෙදුණ හැටි සෙනරත් සෝමරත්න මහතා විස්තර කරන්නේ මෙසේය.


“මැතිනිය අවුරුද්දකට තුන් හතර පාරක් කතරගම දේව පූජාවලට යනවා. ඒ හැම එහෙකටම වගේ මම ගිහින් තියෙනවා. විජේදාස ලියනආරච්චි මහත්මයගේ දේහය රැගත් පෙරහර ගියදාට පසුවදාත් මැතිනිය කතරගම යන්න යොදා ගෙන තිබුණ දවසක්. පසුවදා කතරගම යන්න අපි යන්න ඕනෑත් ඒ පාරේ. මට මේ ගමන ගැන තිබුණෙ තරමක බියක්. මම හිතුවෙ ඔය මගදිගටම විජේදාස ලියනආරච්චිගෙ ඝාතනය ගැන කුපිත වෙච්ච මිනිස්සු ඇති කියලා.
ඒ වනවිට ආණ්ඩුව යූ.එන්.පී. වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනත් ජවිපයෙ සුහදතාවයක් තිබුණෙ නෑ. ඒ නිසා මැතිනියට අතරමගදි තර්ජනයක් එල්ලවෙයි කියලා බියක් මට තිබුණා. නමුත් යොදාගත්ත කතරගම ගමන නවත්වන්නත් බෑ. මැතිනිය කෙසේවත් ඒකට නම්මගන්න බැරි බව මම දන්නවා.


එතකොට මැතිනියගෙ පෞද්ගලික ලේකම් හිටියෙ කීර්ති මාවැල්ලගේ මහත්මයා. රංජිත් පියතිලක මහත්මයා දැනට මහජන බැංකුවෙ ක්‍රියාකාරී අධ්‍යක්ෂ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ක්‍රියාකාරිකයෙක්. ඒ කාලයේ තරුණ සංවිධානයේ කටයුතු කළ සුනන්ද වීරසිංහත් ශිෂ්‍ය සංවිධානයෙ මොන්ටේගු සරච්චන්ද්‍රත් පක්ෂයේ පාලක ලේකම් ආරිය බුලේගොඩත් එදා කතරගම ගමනට එකතුවුණා.


පක්ෂයේ උපලේකම්වරයකුව සිටි අ. ම. කරුණාරත්න මහත්තය අම්බලන්ගොඩ පක්ෂ සංවිධායක. එයත් අම්බලන්ගොඩදි අපේ කතරගම ගමනට එකතුවුණා. එදා රාත්‍රිය අපි මාතර නැවතිලා ඉඳලා පහුවදා උදේ කතරගම යන්නයි යොදාගෙන තිබුණේ.


මාතර බස් නැවතුම්පොළට එහා පැත්තෙ කන්ද උඩ වලව්වක් වගේ නිවසක් තියෙනවා. මුස්ලිම් මහත්මයකුට අයත් එකක්. මැතිනිය කතරගම යද්දි බොහෝ විට නවාතැන් ගන්නෙ මේ නිවසෙ. ජේ. ආර්. ජයවර්ධන මහත්මය ගියත් නවතින්නෙ මේ ගෙදර. එදා මැතිනිය මෙහෙ නැවතුණා. මමත් නැවතුණා. අනිත් පිරිස අ. ම. කරුණාරත්න, බුලේගොඩ, මාවැල්ලගේ, මොන්ටේගු, රංජිත් සහ සුනන්ද මේ සේරම ගියා ඩලස් අලහප්පෙරුම මහත්තයලගෙ ගෙදරට. ඒ අය එහෙ තමයි එදා රාත්‍රිය ගත කළේ. පසුවදා උදේ හත විතර වනවිට ඒ අය ආපසු ආවා. ඒත් එක්ක ඩලස් අලහප්පෙරුම මහත්තයගෙ මල්ලි නිහාල් අලහප්පෙරුමත් ආවා. අකුරැස්සෙ සංවිධායක එච්. ජී. සිරිසේන මහත්මයත් ආවා.


මේ අය මැතිනියට යෝජනාවක් කළා. කතරගම යන අතර හම්බන්තොටින් වීරකැටියට ගිහින් විජේදාස ලියනආරච්චිගෙ මළගෙදරටත් ගොඩවෙලා යමුයි කියලා. නිහාල් අලහප්පෙරුම තමයි ඒ අදහස ඉදිරිපත් කරල තිබුණෙ. “ඔතන ජේ.වී.පී. තැනක්නෙ. ඒ නිසා මම යන එක හරි නෑ නේද” කියලා මැතිනිය කිව්වා.


“නෑ මැතිනියනි, මෙතන ජේ.වී.පී කියලා ප්‍රශ්නයක් එන්නෙ නෑ. එයා වෘත්තියෙන් නීතිඥයෙක්නෙ. ඒ එයාගේ මළගෙදර. මැතිනියට යන්න පුළුවනි.” කියලා ඒ අය අදහස් ඉදිරිපත් කළා. ඒ වෙලාවෙ මම ඊට විරුද්ධ වුණා. “මැතිනියනි මම කැමැති නෑ. ඔය පළාතෙම නහට නැති ජේ.වී.පී. කාරයො ඉන්නෙ. මැතිනිය එහෙ යනවට මම නම් කොහෙත්ම කැමැති නෑ. මට නම් ආරක්ෂාව දෙන්න බෑ.” කියලා මම කිව්වා.


අන්තිමේ මැතිනියත් තීරණය කළා ඒ ගමන යන්නම ඕනෑ කියලා. අපි වාහන හතරයි ගියේ. මම ඉස්සරහ වාහනයට ගොඩ වුණා. මැතිනියගේ වාහනය මැදින් එන්න සැලැස්සුවා.


මිද්දෙණිය පාරෙ දම්මුල්ල හන්දියෙ තමයි මර්වින් සිල්වා මහත්තයගෙ තාත්තගෙ කඬේ තියෙන්නෙ. මම එතනදි ටිකක් හෝදිසියෙන් ගියෙ. මර්වින් සිල්ව මහත්තයා පේන්න ඉඳියි ද කියලා. මම හිතුව වගේම එයා කඬේ ළඟ ඉන්නව දැක්කා. මම අපේ වාහනය නතර කරල එයාවත් අපේ ගමනට එකතු කර ගත්ත. ඇත්තම කිව්වොත් මර්වින් සිල්වා මහත්තයාව කාරෙකට ගත්තට පස්සෙ මගෙ තිබුණ බය නැති වුණා.


බුද්ධියාගම වීරකැටිය පාරෙ ගිහින් වීරකැටියෙන් වලස්මුල්ල පාරෙ යද්දි තමයි ඒ මළගෙදර තිබුණේ. මහ පාර ඉඳල ඇතුළට මීටර් සියයක් විතර ඈතිනුයි නීතිඥ විජේදාස ලියනආරච්චි මහත්තයාගේ දේහය තබා තිබුණ නිවස තිබුණේ. එදා සවස තමයි අවසන් කටයුතු. එතන මහපාරෙ ඉඳල නිවෙසට යනතෙක් පාර තනිකරම වනමල්වලින් සැරසුණ එකම මල් වියනක් යටින් තමයි නිවස දක්වා යන්න තිබුණෙ. මෙතරම් මල් කන්දරාවක් කොහෙන්ද කියලා හිතාගන්නවත් බෑ.

වදාකඩ නවරත්න