එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප‍්‍රධානත්වයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදීය. මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සකස් කරන ලද මානව හිමිකම් වාර්තාවේ ප‍්‍රගතිය ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අතර එය ඊට පසුදින විවාදයට ගනු ඇත. මේ දිනවල පැවැත්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂිකව පැවැත්වෙන පළමු සැසියයි. සාමාන්‍යයෙන් වසරකට එහි සැසිවාර තුනක් පැවැත්වේ. ඒ පිළිවෙළින් මාර්තු, ජුනි හා ඔක්තෝම්බර් යන මාසවලයි. මේවායෙන් ගිනිගන්නා සැසිවාර හැටියට සැලකෙන්නේ මාර්තු හා ඔක්තෝම්බර් සැසිය. ඊට අමතරව මානව හිමිකම් කවුන්සිලයට විශේෂ සැසිවාරයක් පැවැත්වීමට ද හැකියාව තිබේ. ඒ කිසියම් රටක සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීමක් අනුවය. 


යුද ගැටුම් පැවැති සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ 2015 වසරේ මාර්තු මස 2දාය. ඒ, ජිනීවා හි දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 28 වැනි සැසිවාරයටය. එහෙත් එය කල්දැමීමට ඔහු කටයුතු කළේය. ඒ, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මාස හයක කාලයක් ලබාදෙමිනි. මහ කොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප‍්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදාය. ඉන්පසුව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගේ සහාය ඇතිව අදාළ යෝජනාව සඳහා වන දේශීය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට තමන් පියවර ගෙන ඇතැයි රජය පවසයි. 


මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47 ක් තිබේ. ඒවා වසර තුනෙන් තුනට ඡුන්දයෙන් පත්වේ. රටක මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වර්ධනය කිරීම හා ගරු කිරීම සඳහා අවශ්‍ය කරන පියවර ගෙන ඒවාට සහයෝගයෙන් ක‍්‍රියා කිරීම කවුන්සිලයේ කාර්යයයි. දැඩි මානව හිමිකම් උල්ලංඝනයක් සිදුව ඇතිනම් කිසියම් යෝජනා සම්මතයක් කර ගතහැකි ක‍්‍රියාමාර්ග ගැන සොයාබලන්නට ද හැකිය. නොඑසේව මේ ආයතනයට සම්බාධක පැනැවීමට හෝ ද`ඩුවම් පැනැවීමට නොහැකිය. ඔවුන් කරන්නේ මූලික පරීක්ෂණයකි. උදාහරණයකට ඊශ‍්‍රායලය, කියුබාව, සිම්බාබ්වේ වැනි රාජ්‍ය සම්බන්ධ පරීක්ෂණවල ප‍්‍රතිඵල එන්නේ නිව්යෝක්වල පිහිටි ආරක්ෂක කවුන්සිලයටය. 


මානව හිමිකම් කවුන්සිලයේදී වැදගත් තවත් කරුණක් වන්නේ රාජ්‍ය අංශය මෙන්ම රාජ්‍ය නොවන අංශය ද එහි නියෝජනය වීමය. විදෙස් අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය අංශය නියෝජනය කරද්දී අන්තර්ජාතික පිළිගත් සංවිධාන හා ඔවුන් සමඟ සිටින රාජ්‍ය විසින් තවත් පාර්ශ්වයක් නියෝජනය කරනු ලබයි. මෙතැනදී නිර්මාණය වන්නේ සංවාදයකි. රජයට පමණක් ඒකපාර්ශ්විකව ක‍්‍රියාකරන්නට බැරිය. අන්තර්ජාතික සංවිධාන හා විදෙස් රාජ්‍යවල ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරුදීමට සෑම රජයකටම සිදුවේ. 34 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක් හිමිවේ. ඊට හේතුව වන්නේ ලංකාවට එරෙහිව යෝජනා සම්මතය සිදුවූයේ ඇමෙරිකාව මූලික කරගෙන වීම නිසාය. යුද්ධයේදී සිදුවී යැයි කියන සිදුවීම් හා මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් පත්කිරීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැඩිව කතාබහට ලක්වූවකි. තවත් වැදගත් කරුණක් වන්නේ ජාත්‍යන්තරව සැකැසූ පරීක්ෂණ වාර්තාවක් ඇති බවයි. අප එය අමතක කළයුතු නැත. එය දැන් තිබෙන්නේ බහා තබාය. අවශ්‍ය  ඕනෑම වේලාවක එය එළියට ගතහැකිය. අනෙක් සියලූ රටවල් සම්බන්ධයෙන් සැකැසූ වාර්තා ආරක්ෂක කවුන්සිලයට හා මහා සමුළුවට යැවීය. එහෙත් ලංකාවේ වාර්තාව තාම යවා නැත. එම වාර්තාව ඔවුන් කිසියම් උපක‍්‍රමයක් හැටියට පාවිච්චි කරන්නට ද ඉඩ ඇත. 


2014 දී අප දුටුවේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති වුවමනාවට වඩා නොහික්මුණු නායකත්වයක් වෙනස් කිරීමේ ‘රෙජිම් චේන්ජ්’ වෙනුවෙන් වූ වුවමනාවයි. ඒ ආණ්ඩු වෙනසින් පසුව මෙරටට සහන ගලාගෙන එන්නට පටන්ගත්තේය. මේ අතර පසුගිය කාලයේ ලෝක දේශපාලනයේ ප‍්‍රධාන වෙනසක් සිදුවිය. එනම් යෝජනාව ගෙනඒමට මුල් වූ රාජ්‍ය නිලධාරිනියෝ දෙදෙනාම ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඉවත් කරනු ලැබූහ. විශේෂයෙන්ම ජයලලිතාගේ නික්මයෑම, හිලරි ක්ලින්ටන් හරහා දෙමළ ඩයස්පෝරාවෙන් පැමිණි පීඩනය අඩු වීම හා ට‍්‍රම්ප්ගේ ඉස්මතුවීම යන කාරණා සමඟ සියල්ල යහපත් අතට හැරී ඇතැයි බොහෝ දෙනා සිතති. එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ලංකාවට එල්ල වන තෙරපුම යටපත්ව නැත. සියල්ල සිදුවන්නේ අප පතන අයුරින්ම නොවේ. මේ නිසා 34 වැනි සමුළුවේදී ප‍්‍රධාන කාරණා තුනක් සංවාදයට ලක්වන්නේය. පළමුවැන්න නම් දැනට මිලිටරිය බාරයේ පවතින ජනතාව සතු ඉඩම් නැවත ඔවුන්ටම පවරාදීමටය. දෙවැන්න නම් 1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමය. මේ අතර 2015 පෙබරවාරි මාසයේ උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගත්තේය. ඒ යුද්ධයේදී මෙරට සමූල ඝාතනයක් සිදු වූ බවටය. යුද්ධයේදී මෙන්ම යුද්ධයෙන් පසුවත් දෙමළ ජනයාගේ අයිතීන් හමුදා අතින් කඩවන බව ඔවුහු පවසති. හිටපු රාජ්‍ය නායිකාව ද මේ මතය පැහැදිලිවම මාධ්‍යයට පැවැසූ අතර හමුදාව එය ප‍්‍රතික්ෂේප කළේය. තෙවැනි කරුණ හැටියට ඉස්මතුවන්නේ මෙම ජනඝාතක කතාවය.


මේ නිසා ජාත්‍යන්තරව අතිශය නම්‍යශීලීභාවයක් එක්වරම සිදුවනු ඇතැයි අප සිතන්නට ද හොඳ නැත. එසේ නම් මෙම දේශපාලන චිත‍්‍රය අවබෝධ කරගෙන රාජ්‍යතාන්ත‍්‍රිකව නිවැරැුදි ආමන්ත‍්‍රණයක් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. එහිදී වඩා වැදගත් වන්නේ පසුගිය කාලයේදී ආණ්ඩුවක් හැටියට මානව හිමිකම් ප‍්‍රවර්ධනයට සිදුකළේ කුමක්ද යන්නයි. ජාතික සංහිඳියාව, ජාතික සමගිය සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ වැඩසටහන් දියත් කරන ආකාරය අපි දකිමු.   ජාතික භාෂා ප‍්‍රතිපත්තියට අදාළ වැඩසටහන් සිදුවන ආකාරය අපි දකිමු. එහෙත් 2015 සිට රජයක් හැටියට වැඩි ශබ්දයෙන් ඇසෙන්නේ කුමක්ද? විදෙස් විනිසුරන් පත්කරන්නේ නැතැයි යන්නයි. ආණ්ඩුවේ විවිධ නායකයෝ මන්තරයක් මෙන් එයම ජප කරති. අඩුම තරමින් දේශීය විනිසුරන් සමඟ හෝ පරීක්ෂණ කොමිසමක් පත්කරන්නට නොහැකි ඇයි? පසුගිය කාලය පුරා මතු වූ ප‍්‍රශ්නවලට සෙවූ විසඳුම් දෙස බැලීමේදී ලෝකයේ වැඩිම කොමිසම් පත්කරන රට ලංකාවදැයි අපට සැක සිතේ. ඉතින් එවැනි තත්ත්වයක් තවත් එක් කොමිසමක් පත්කර මානව හිමිකම් විෂයෙහි සිය අවංකභාවය විෂද කිරීමට ආණ්ඩුවට හැකිය. විශේෂයෙන්ම වෙනම කොමිසමක් පත්කිරීම ද ප‍්‍රශ්නයක් නම් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන කොමිසමකටම එය පැවැරීමට හැකිය. එහෙත් බලධරයන් එවැනි පියවරකට යෑම වෙනුවට ප‍්‍රදර්ශනය කරන්නේ බටහිරට ඇති දේශපාලන කැමැත්තයි. එහෙත් එවැනි මනාපයක් නිසා ප‍්‍රශ්න ගැන කතා නොකර සිටින ප‍්‍රතිපත්තියක් බටහිරට නැත. සෙයිද් අල් හුසේන් අප රටේ තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන බවක් කීවේය. එය ඇත්තය. එහෙත් එමෙන්ම මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය යාන්ත‍්‍රණය මන්දගාමී යැයි ද එනිසා කිසියම් සංකාවක් ඇතැයි ද ඔහු කී වග අප අමතක කළ යුතු නැත. දෙමළ ජනයාට නැවත ඉඩම් ලබාදීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිය, වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ආදිය ගැන ඔහුගේ විමසුම් නෙත යොමුවුණේය. දැන් කළයුත්තේ එම පනත් සමඟ වූ නෛතික යාන්ත‍්‍රණයට පණදීමය. 


හයිබි‍්‍රඞ් උසාවිය පිළිබඳ ඇමෙරිකානු යෝජනාවට අප අකැමැති නම් අතරමැදි තත්ත්වයක් වෙනුවෙන් යෝජනාව සරල කරගැනීමේ පියවරකට යා යුතුය. එය පහසු නැත. මන්දයත් මේ වනවිට එය අනුමත කළ යෝජනාවක් නිසාය. එසේනම් අප කළයුත්තේ ඊට සංශෝධනයක් ගෙනඒමයි. එහෙත් එවැන්නක් ගැන ද තවම කතාබහක් නැත. මානව හිමිකම් ප‍්‍රශ්න හමුවේ නෙල්සන් මැන්ඩෙලාලා බය වූයේ නැත. ඔවුන් සිය නිර්භය බව ප‍්‍රදර්ශනය කළේ අන්තර්කාලීන කෙටුම්පත් ඉදිරිපත් කරමිනි. එහෙත් ලංකාවේ තවමත් බොහෝ දේ සිදුවන පෙනෙන්නේ ඊළඟ ඡුන්දය බලාගෙනය. හිටිවනම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවක් කියයි. ඊට ඉඩක් නොදෙන බවට පක්ෂ මධ්‍යම කාරක සභාව පවසන බව ශ්‍රීලනිපය කියයි. එය නිල මතය නොවේ යැයි තවෙකෙක් කියයි. ජනමත විචාරණයකට යෑමට ආණ්ඩුව බිය නැතැයි එක් පැත්තකින් කියද්දී ජනමත විචාරණයකට යෑමට සිදුවන සංශෝධන නොකොට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයකට යන බව අනෙක් පාර්ශ්වයෙන් කියයි. මේවා පළවන්නේ පුවත්පත්වල මුල් පිටුවලය. මේ කතා ගැන ජාත්‍යන්තරය සාවධානය. වසර දෙකක් අවසානයේදී අප මෙවැනි තැනකට තල්ලූවීම ශෝචනීයය. රාජ්‍ය නායකයා නොබියව ඉදිරියට පැමිණ කතාකළයුත්තේ මෙම කරුණු ගැනය. නොඑසේව ලොතරැුයි පත්වල මිල ආදී කරුණු නොවේ.  
අල්ලස් හෝ ¥ෂණ දර්ශකයේ අප පසුබැස තිබේ. මෙය අනපේක්ෂිත තත්ත්වයකි. එයින් ජාත්‍යන්තරයට සංඥා කරන්නේ ආණ්ඩු මාරුවක් සිදුව ඇතත් දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදුව නැති බව නොවේද?  යහපාලනයේදී සෑම අවස්ථාවකදීම වැදගත් වන්නේ ජනතා සහභාගීත්වය බව පැවැසුවේ කොෆි අනන්ය. එහෙත් ජනතාවට සහභාගීවීමේ අවස්ථාව ලැබෙන්නේ සාම්ප‍්‍රදායික මැතිවරණයකදී පමණය. එනිසා පළාත් පාලන හා පළාත් සභා ආදී අන්තර්කාලීන මැතිවරණ අතිශය වැදගත්ය. එහෙත් ඒ සම්බන්ධයෙන් ද ඇත්තේ චෝදනාවලියකි. මේ අස්සේ ෆෙඩරල්, ඉට්කා වැනි මාතෘකා පැමිණ සියල්ල කලඹයි ආණ්ඩුවක කාර්යය වන්නේ මේ කැලඹිලි කළමනාකරණය කරගනිමින් මානව හිමිකම් කඩුල්ල පැනගැනීමයි. 


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තරයට කියාසිටියේ කිසිවකුට කිසිදු පරීක්ෂණයකට මේ රටට එන්නට ඉඩ නොදෙන බවය. එකල වැඩ සිදුවුණේ කැත්තට පොල්ල න්‍යායටය. දේශපාලන වෙනසක් වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ද ලැබුණේ ඒ නිසාය. ජනවාරි 8 දේශපාලන වෙනස සමඟ අලූත් ආණ්ඩුව ජාත්‍යන්තරයට දුන්නේ නැවුම් පණිවුඩයකි. ඒ, සහයෝගයෙන් යන ගමනක් ගැනය. එහෙත් ජාත්‍යන්තරය අපේක්ෂා කරන සහයෝගයේ මාදිලිය අප හරිහැටි තේරුම්ගෙන ඇතිදැයි සැකයකි. මේ වනවිට ජාතික මානව හිමිකම් සැලැස්මක් සකස් කර තිබේ. එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදාළව මානව හිමිකම් විෂයයෙහි පාර්ලිමේන්තු අනුකමිටුවක් ද තිබේ. තොරතුරු දැනගැනීමේ පනත, අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ආදී ලෙසින් ආණ්ඩුවෙන් කිසියම් වැඩ කොටසක් ද සිදුවේ. වැඩක් සිදුවන්නේම නැතැයි අපට කියන්නට බැරිය. ප‍්‍රශ්නය නම් ආණ්ඩුවේ වැඩ ගැන ජාත්‍යන්තරය තෘප්තිමත්භාවයක් නොපෙනීමය. මෙවර සැසිවාරයේදී වෙනදා නැති ආකාරයේ සන්නිවේදන ඉඩක් ද අපට ලැබී ඇත.  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ දුත පිරිසට එම වාසිය හිමිවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, මානව හිමිකම්, යහපාලනය ආදිය සැලකිල්ලට ගැනීමේ දී අප රට මේ වන විට ලබා තිබෙන ප‍්‍රගතිය ප‍්‍රකාශයට පත්කිරීමට ඔවුනට සිදුවේ. සෙයිද් අල්හුසේන් ලබාදුන් සහතිකය පළුදු කරනොගැනීම ඔවුන් සතු වගකීමකි. පවතින තත්ත්වයෙන්  ඕනෑවට වඩා උදම්වීමට ආණ්ඩුව කිසිලෙසකින් ඉක්මන් විය යුතු නැත.  

(සටහන - බිඟුන් මේනක ගමගේ)