මේ වනවිට ඔක්තෝබර් මස අග භාගයට පැමිණ තිබුණි. සෝභිත හිමියන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනකු නිරන්තරයෙන් චන්ද්‍රිකා මැතිනිය මුණගැසීම මේ වන විට සිදුවිය.


හිටපු ජනතා විමුක්ති පෙරමුණු නායකයන් වන නන්දන ගුණතිලක හා චන්ද්‍රසේන විජේසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් පළමු පෙරමුණ’ ද ශිරාල් ලක්තිලක සමගත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සමගත් එක්ව කටයුතු කිරීම මේ වනවිට ආරම්භකර තිබුණ අතර විශේෂයෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමටත් පෙර එනම් නොවැම්බර් 17 වැනිදා නන්දන ගුණතිලක මහතා තමා දැරූ පානදුර නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ යෝජිත හදිසි ජනාධිපතිවරණයට විරෝධය පළ කළේය.


මේ අතර නොවැම්බර් මස මුල් සතියේදී නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය, වික්ටර් අයිවන්, කරු පරණවිතාන හා බන්දුල චන්ද්‍රසේකර ඇතුළු පිරිසක් ශිරාල් ලක්තිලකගේ නිවසේදී මුණගැසුණි. අරමුණ වූයේ රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකත්වයෙන් ඉවත් කර ගැනීමය. මා හට ද එම හමුවට පැමිණෙන ලෙස ශිරාල් ආරාධනය කළද ඒ වන විට රාජ්‍ය ආයතනයක සභාපති ධුරයක් දරමින් වඩාත්ම ආන්දෝලනයකට ලක් වූ පුද්ගලයා බවට පත් වී සිටි මා එහි නොගියේම මගේ ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් වීමෙන් පසුවය. මෙම සාකච්ඡාවෙන් පසුව වික්ටර් අයිවන් මහතා ‘රාවය’ පුවත්පතේ තම ලිපියෙහි ලියූ සෑම වචනයකින්ම අවධාරණය කළේ මෙම අවස්ථාවේ සිටින සුදුසුම හා අංග සම්පූර්ණම පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක්ම බවයි. මෙම ලිපිය කිය වූ ශිරාල් දුරකථන ඇමතුමක් ලබාදෙමින් වික්ටර් අයිවන් මහතාට දොස් නැගීය. ඊට පිළිතුරු දුන් අයිවන් මහතා කියා සිටියේ ‘ශිරාල් ඔයාට රනිල් වික්‍රමසිංහ එක්ක තිබෙන ප්‍රශ්නය මම ඕන නම් කථාකරල විසඳල දෙන්නම්. මේක මානව ශිෂ්ටාචාරයේ වෙනසක් ඇති වෙන්න යන මොහොතක්. ඒක නවත්වන්නයි ඔයා මේ හදන්නේ. ඒක මහ පාපයක්’ යනුවෙන් කියා සිටියේය. සැබැවින්ම වික්ටර් අයිවන් මහතා නොදැන සිටි වැදගත්ම කරුණ වන්නේ එම ජනාධිපතිවරණය අරලියගහ මැදුර සැලසුම් කළේම රනිල් වික්‍රමසිංහ මහතා කුමන තත්ත්වයක් යටතේදී හෝ අවසානයේ පොදු අපේක්‍ෂකයා වන බවට වූ ප්‍රබල උපකල්පනය මත සිට බවයි.


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හා ජාතික හෙළ උරුමය අතර වූ දේශපාලන සබඳතාව පිළිබඳ සැලකීමේදී 2005 ජනාධිපතිවරණයේදී චම්පික රණවක මහතා ප්‍රමුඛ හෙළ උරුමය එකල සාපේක්ෂව ප්‍රබල දේශපාලන පක්ෂයක් මෙන්ම පාර්ලිමේන්තුවේ ආසන 9ක් හිමි පක්ෂයක් වශයෙන් එම ජනාධිපතිවරණයේදී විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඒ නිසාම 2005 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු හෙළ උරුම නායකයන් හට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සුවිශේෂී අවධානයක් යොමුකළේය. යුද්ධයේ අවසන් භාගයේදී ඉන්දියාවේ සහයෝගය මූලික වශයෙන් ලබාගනුවස් එක් අතකින් දේශපාලන විසඳුමක් සොයන අරමුණින් යුත් සර්ව පාක්ෂික සමුළුවක්ද අනෙක් අතින් 13+ දේශපාලන විසඳුමකට යන බවට ඉන්දියාවට ලබාදුන් පොරොන්දුවත් සමග ජාතික හෙළ උරුමය නොසන්සුන් විය. එහි ඉදිරි පියවරක් ලෙස 2009 මැයි 19 වැනිදායින් පසුව ඇති වූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කොටගත් දේශපාලන විසඳුම පිළිබඳ ප්‍රශ්නයේදී පූජ්‍ය අතුරලියේ රතන හිමි හා චම්පික රණවක ඇමතිතුමා විසින් කරන ලද යම් යම් ප්‍රකාශ හේතුවෙන් කෝපයට පත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සර්වනාම පරුෂ වචන කියමින් රතන හිමියන්ට දොස් පැවරුවේය.


කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හා ජාතික හෙළ උරුමය අතර දේශපාලන ගැටුම 
ඇරඹෙන්නේ 2010 න් පසුවය. එහිදී මහ මැතිවරණයෙන් පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හෙළ උරුමය වෙත හිමිවිය යුතු වූ අතර හෙළ උරුමයේ නිර්දේශය වූයේ තම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය පූජ්‍ය ඕමල්පේ සෝහිත හිමියන්ට ලබාදිය යුතු බවයි. එහෙත් එම පක්ෂයේ ඉල්ලීම පසෙකට දැමූ ජනාධිපතිතුමා හෙළ උරුමයට හිමි මන්ත්‍රීධුරය ඒකපාර්ශ්විකවම පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට ලබාදුන්නේය. ඒ අනුව ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික හෙළ උරුමය එල්ලාවල හිමියන් තම පක්ෂයෙන් නෙරපා හැරියේය.


රට තුළ මත්ද්‍රව්‍ය වෙළඳාම ඉහළයාම, ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාතිය, අගවිනිසුරුතුමිය නෙරපාහැරීම මෙන්ම එල්ටීටීඊය යාපනයෙන් පලවාහරින ලද සිංහල පවුල් 110ක් යළි යාපනයේ පදිංචි කිරීමට ගත් උත්සාහය වැනි සිදුවීම් ගණනාවකදීම නිරන්තරයෙන්ම ජාතික හෙළ උරුමය හා ආණ්ඩුවේ මතවාදය අතර ගැටුම් ඇතිවිය. ඊට සමගාමීව චම්පික ඇමතිතුමා හට විදුලිබල මණ්ඩලය ආශ්‍රිත ප්‍රශ්න ඇතිවීමත් එම ප්‍රශ්න සියල්ලක්ම පිටුපස ආණ්ඩුවේම අදිසි හස්ත පැවතීමත් තුළ හෙළ උරුමයේ විඥානධාරාව වෙනස් වන්නට විය. ඒ අනුව 2011 වසර වනවිට  එම පක්ෂයේ සෑම මධ්‍යම කාරක සභා රැස්වීමකදීම පක්ෂයේ අනාගතයත් ආණ්ඩුව සමග කටයුතු කරන ආකාරයත් පිළිබඳ නිරන්තර සාකච්ඡා ඇතිවිය. එහිදී ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු පක්ෂය තුළට සැමවිටම රැගෙන ආවේ උදය ගම්මන්පිල විසිනි. මේ අතර 2011 වසරේදී විදුලිබල මණ්ඩලයට අයත් කාසල්රි ජලාශය ආශ්‍රිත නිවාඩු නිකේතනයේදී හෙළ උරුමයේ සියලු ප්‍රධාන නායකයන් දින 2ක් පුරා පැවැත්වූ සාකච්ඡාව එම යුගයට සාපේක්ෂව ඉතා වැදගත්ය. එහි දී ඔවුන්ගේ අවධානය මූලික වශයෙන් යොමුවූයේ නිවැරදි දිශාවෙන් පීලි පනින ආණ්ඩුව ඔවුන් සිතන නිවැරදි මගට යළි ගත හැකිද යන ප්‍රශ්නයයි.


2012 වසරේදී ආණ්ඩුවට එරෙහිව ගොඩනැගුණු ප්‍රබලතම අභියෝගය වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දියත් කළ වැඩ වර්ජනය හා දැවැන්ත පාගමනයි. එහි දී ජාතික හෙළ උරුමය ඍජුවම ආචාර්යවරුන්ගේ සංගමයට සහයෝගය දැක්විය. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ අනුරුද්ධ ප්‍රදීප්ගේ තිබූ සබඳතාවය. අනුරුද්ධ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයකු වන අතරම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකි.


මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් පෙරමුණ ගොඩනැගී හමාරය. එක් අතකින් යුද ජයග්‍රහණයෙන් සිංහල සමාජය ඔදවැඩී ගිය ආකාරයත් අනෙක් අතට විමල් සිංහල බෞද්ධ අන්තවාදී මතවාදය පෝෂණය කළ ආකාරයත් දෙස බලා එමගින් ජවිපෙ හා ජා.හෙ.උ. යන ධාරා දෙකම අඩපණ කිරීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන උපක්‍රමය විය. තවද, තම ආණ්ඩුවේම කොටස්කරුවන් දෙදෙනකු වූ විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ හා චම්පිකයේ ජාතික හෙළ උරුමය අතරින් ජාතික හෙළ උරුමයට වඩා ජාතික නිදහස් පෙරමුණ තමාට විශ්වසනීය හා හසුරුවා ගත හැකි බලවේගය ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දුටුවේය.


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්