මේ අතර මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්ෂකයා බවට පත්වීමත් සමඟම සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අපැහැදිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පැවති බව නොරහසකි. විශේෂයෙන්ම ආණ්ඩුව දෙසින් ඔහුට යම් දේශපාලන පීඩනයක් එල්ලවීම ඊට හේතුවයි. 


ඔහුගේ මනස අවුල්වන ආකාරයේ විග්‍රහයන් හා ප්‍රතිලාභ වරදාන හා ත්‍යාග ඔහු වෙත අඛණ්ඩව ඉදිරිපත්වීම ස්වභාවිකය. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ ආණ්ඩුව ගොඩනැඟු මූලික තර්කය අතිශය තර්කානුකූලය. යථාර්ථවාදීය. එනම්, පොදු අපේක්ෂකයා පරාජයට පත්වුවහොත් ජනවාරි 09 වැනිදා තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට එ.ජා.ප. නායකත්වයේ රැඳී සිටිය හැකිද? රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර වන්නේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් පමණි.


ජනවාරි 08 ජනාධිපතිවරණයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පලවාහැර සජිත් ප්‍රේමදාස මහතාට එ.ජා.ප. නායකත්වය ලබාගැනීමට නම් එහි පළමු පියවර විය යුත්තේ පොදු අපේක්ෂකයා පරාජයට පත්කර මහින්ද රාජපක්ෂ මහතා ජයගැන්වීමයි. එය ඉබේ සිදු නොවේ. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා යම්කිසි පරිත්‍යාගයක් කළ යුතුය. එහිදී ඔහු පක්ෂයේ රැඳී සිටිමින් යම් යම් අවුල්සහගත ප්‍රකාශ කිරීම හෝ නොඑසේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය පළ කළ යුතුය. කෙසේ වෙතත් බුද්ධිමත් තීරණයකට එළැඹ සිටි සජිත් ප්‍රේමදාස මහතා ඒ සියල්ල ඉදිරියේ මෙසේ කීය. ‘එ.ජා.ප ආණ්ඩුවකට ඇති කැමැත්ත නිසාම දැඩි අකමැත්තෙන් වුවද පොදු අපේක්ෂකයාට එකඟවෙමි’


මේ අතර පොදු අපේක්ෂකත්වයට පත්වීමෙන් පසුව පළමු වරට එ.ජා.ප. ප්‍රධාන කාර්යාලය වන සිරිකොත මන්දිරයට මෛත්‍රී ඇමතිතුමා ගියේ නොවැම්බර් 26 වැනිදාය. කුමන පැතිමාන මඟින් විග්‍රහ කළද එම මොහොත එතුමාට යම් මානසික තිගැස්මක් ඇති කළ අවස්ථාවක් වූ බව නම් නොරහසකි. මන්දයත්, වසර 47ක් අඛණ්ඩව ශ්‍රී.ල.නි.පයේ සාමාජිකත්වය දරමින්ද, 1989 සිට ශ්‍රී.ල.නි.පයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින්ද වසර 13ක් පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර දැරීමෙන්ද පසුව තම දේශපාලන ජීවිතයේදී එක් නිමේෂයකට හෝ බලාපොරොත්තු නොවූ පරිදි සිරිකොතට යාමට මෛත්‍රී ඇමතිතුමාට සිදුව ඇත. මෙම රැස්වීම සංවිධානය කෙරුණේ පොදු අපේක්ෂකයා නිල වශයෙන් එ.ජා.පය පිළිගැනීම උදෙසාය. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිට ග්‍රාමීය නායකයන් දක්වා විශාල පිරිසක් එක්රැස්ව සිටියහ. පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමා පිළිගනිමින් කථා කළ එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක මහතා “කෝටි 100ක් දුන්නත් ආණ්ඩුවට මාව මිලදී ගන්න බෑ” යනුවෙන් පැවසීය. ඔහුට මෙම අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කිරීමට සිදු වූ ප්‍රධානම කරුණ වන්නේ මේ වන විටත් ඔහුව මිලදී ගැනීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබූ බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් තිබුණ නිසාය.


2015 වසර සඳහා වන අයවැය ඔක්තෝබර් 24 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි තෙවැනිවර කියවීම හෙවත් අයවැය ඡන්දය පැවතියේ නොවැම්බර් 24 වැනිදාය. එහෙත් ඒ වන විට රට තුළ සිදුව තිබූ දේශපාලන රසායනික වෙනස්කම් හමුවේ පාර්ලිමේන්තුව වෙත රටේ ජනතාවගේ අවධානය එතරම් ඇදී ගියේ නැත. 


සෑම අයකුගේම අවධානය යොමුව තිබුණේ ආණ්ඩුවෙන් කවුද පොදු අපේක්ෂකයාට සහයෝගය දක්වන්නේ යන්න පමණකි. එම දෘෂ්ටිකෝණයෙන් අයවැයට පක්ෂ විපක්ෂ වන්නේ කවුද යන්න බොහෝ දෙනකුගේ අවධානයට ලක්වුවත් එදින පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිත කළ ආකාරය අනුව ඒ තුළ එතරම් උද්යෝගයක් දැකගත නොහැකිවිය. අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොගිය මෛත්‍රී ඇමතිතුමා එදින පෙරවරුවේ මහනුවර දළදා මාලිගාවට ගොස් දළදා සමිඳු වැඳපුදා ගත්තේය. ඊට විශාල මාධ්‍ය ආවරණයක්ද ලැබී තිබුණි.


2005 හා 2010 ජනාධිපතිවරණවලදී ‘මහින්ද’ නමින් පුවත්පතක් එළිදැක්වීය. එම අවස්ථා දෙකෙහිදීම එහි කර්තෘත්වය දැරුවේ දිනමිණ හිටපු කර්තෘවරයකු වූ චන්ද්‍රසේකර දොඩාවත්ත විසිනි. විශේෂයෙන්ම 2010 ජනාධිපතිවරණයේදී අපගේ ප්‍රධානත්වයෙන් පැවති සන්ධාන මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්ථානය ‘මහින්ද’ පුවත්පත් මිලියනයක් මුද්‍රණය කර ගමේ ශාඛා සමිති මට්ටමින් බෙදාහරින ලදී.


දොඩාවත්ත සංස්කරණය කටයුතු කළ අතර මුද්‍රණය හා බෙදා හැරීම මට පැවරී තිබිණ. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසුව නැවත ලේක්හවුසියට ගිය දොඩාවත්තට එහි සිටි සභාපතිවරයා 2015 ජනවාරි 08 දක්වාම දැඩි දඬුවම් පමුණුවන ලදී. ආණ්ඩුවේ ප්‍රබලයෝ කිසිවකුත් ඔහුගේ පිළිසරණට නොපැමිණියහ. මේ හේතුව නිසාම 2015 ජනාධිපතිවරණයට සමගාමී ‘මහින්ද’ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරන ලෙස දොඩාවත්තට ආරාධනය කිරීමට ඩලස් ඇමතිතුමා ප්‍රමුඛ කිසිවකුට සදාචාරාත්මක ශක්තියක් නොවීය.


‘මහින්ද’ පුවත්පත මුද්‍රණය කිරීමේ කාර්යයේදී පළමුව එහි වගකීම හිමිවූයේ කරුණාදාස සූරිආරච්චි මහතාටය. මේ අතර ඔහු හදිසියේම මියගියේය. ඉන්පසුව එහි වගකීම කරුණාරත්න පරණවිතාන මහතාට පැවරිණි. එහෙත් නොවැම්බර් මස 22 වැනිදා ඔහු මෛත්‍රී ඇමතිතුමාට එක්විය. මේ අනුව එම පුවත්පතේ කටයුතු නැවත දොඩාවත්ත මහතාටම පවරාදීමට ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාට සිදුවිය. දොඩාවත්ත සිය පුවත්පත් කලාවේදයේ දැනුමද උපයෝගී කරගනිමින් ඊට යෙදූ ප්‍රධාන ශීර්ෂපාඨය වූයේ ‘මහින්ද දිනන්නේ මෙහෙමයි’ යනුවෙනි. ඊට ඩලස් ඇමතිතුමාගේද අනුමැතිය හිමිවිය.


විශේෂයෙන්ම ඩලස් ඇමතිතුමා දන්නා හොඳම විෂයය පත්‍ර කලාව නිසාම සෑම ජනාධිපතිවරණයකම ‘මහින්ද’ පුවත්පත මුද්‍රණය ස්වේච්ඡාවෙන්ම එතුමා බාරගනු ලැබේ. ඒ අනුව දොඩාවත්තගේ යෝජනාවට අනුව නිර්මාණය වූ ශීර්ෂ පාඨයද සහිතව පුවත්පත මුද්‍රණයට ගිය අතර, මුද්‍රණය අතරතුරදී මෙහි ශීර්ෂ පාඨය වෙනස් කිරීමට බැසිල් ඇමතිතුමාට අවශ්‍ය විය. සැබවින්ම සමහර විට එලෙස එම ශීර්ෂ පාඨය වෙනස් කිරීමට බැසිල් ඇමතිතුමා යොමුවූයේද ඩලස් ඇමතිතුමා විසින් කරනු ලබන දේව කාර්යය බඳු පුවත්පතින් ඩලස් ඇමතිතුමාගේ අයිතිය අවතක්සේරු කිරීමට විය හැක. මන්දයත්, ඉතිහාසයේ සැමදාම ඩලස් - බැසිල් සීතල යුද්දයක් පැවති නිසාය. කෙසේ වෙතත් බැසිල් ඇමතිතුමාගේ යෝජනාවට අනුව ‘මහින්ද’ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය වියයුතුව තිබුණේ ‘ජය නියතයි’ යන්නය. ජය නියතයි යනු ශ්‍රී.ල.නි.පයේ පරාජිත පුවත්පත් ශිර්ෂපාඨයකි. 1977 ජූලි 21 මහමැතිවරණය පැවති දා ලේක්හවුසියේ ‘දිනමිණ’ ප්‍රධාන ශිර්ෂ පාඨයට අනුව මැතිනිය දෑත ඔසවා සිටි ඡායාරූපයකට යටින් වූ ප්‍රධාන ශීර්ෂ පාඨය ‘ජය නියතයි’ යන්නය. මෙය ඩලස් ඇමතිතුමාට විග්‍රහකර දුන්නේ හෝර්ටන් ප්ලේස් මෙහෙයුම් කාර්යාලයේ සිටි බෝපගේ විසිනි.


හෝර්ටන් ප්ලේස් කාර්යාලය යනු බැසිල් රාජපක්ෂ මහතා වටා සිටි බුද්ධි මණ්ඩලය නිතර රැස්වන ස්ථානයයි. ඒ අනුව මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය නවරත්න රඹුක්වැල්ල, ධම්ම දිසානායක, ජගත් වැල්ලවත්ත, චරිත හේරත් යන පිරිස දිනපතා රැස්වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන අයුරු පිළිබඳ උපක්‍රමිකව සැලසුම් සැකසූහ. එම කාර්යාලයේ බාරකරුවා නිමල් බෝපගේය. 


සැබවින්ම මෙම මහාචාර්යවරු ඇතුළුව අරලියගහ මැදුරට සම්බන්ධව ජනාධිපතිවරණය මෙහෙයවූ සියලුදෙනාගේද අවශේෂ වශයෙන් රටේ ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයෝද අවසන් වශයෙන් සිතුවේ ‘ෆීනික්ස් පක්ෂියා සියල්ල අවසානයේ අළු මතින් මතුව එන්නා සේ’ කුමන තත්ත්වයක් යටතේ හෝ ජනවාරි 09 වැනිදාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයගනු ඇති බවයි. එහිදී එම මිථ්‍යා මනෝභාවය ඔවුන් තුළ ගොඩනඟා ගැනීමට අවශ්‍ය පරිසරයද ඒ තුළම නිර්මාණය වී තිබිණි. එනම් ‘මේ මහාචාර්යවරු ඇතුළු සියලුදෙනාම සිතුවේ තමන්ද නොදන්නා අදෘශ්‍යමාන වෙනත් මහා රහසිගත වැඩපිළිවෙළක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවීම වෙනුවෙන් මේ විශ්වයේ කොතැනක හෝ නිසැක වශයෙන්ම ක්‍රියාත්මක වෙමින් ඇති බවයි. එය දන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා නාමල්  රාජපක්ෂ පමණි. සැබවින්ම ලොව සෑම තැනම පුද්ගලාභිවන්දනයට :ක්‍මකඑ* පාත්‍ර වන නායකයන් පිළිබඳ සිය අනුගාමිකයන් අවසන් වශයෙන් මෙලෙස සිතීම අතිශය ස්වාභාවිකය. තවදුරටත් එම භක්තිවන්ත අනුගාමිකයන් ඉදිරියේ තම නායකයා පරාජය කළ නොහැකි. පරාජය නොවන නායකයකු :ෂබඩසබජසඉකැ ඛැ්ාැර* බවට පත්වීම තුළද මෙවන් මනෝභාවයක් ගොඩනැඟිය හැකි බව මීට පෙරද සඳහන්විය.


මේ අනුව මෙම පිරිස තම නායකයා දිනන ආකාරය පිළිබඳ කථා කළා මිස සිතිවිල්ලකින් හෝ සුසුමකින් පවා ඊට වඩා වෙනත් ආකාරයකට සිතීමට ඔවුන්ට තහනම් වැනිය. විශේෂයෙන්ම දීප්ති ළමාහේවා මහතා ජයග්‍රහණය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් සකසා එහි සිටි මහාචාර්ය නවරත්න රඹුක්වැල්ල මහතාට ඉදිරිපත් කර තිබූ අතර ඊට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය පමණක් මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2,37,000 කින් ජයග්‍රහණය කරන බව දක්වා තිබුණි. දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නවරත්න රඹුක්වැල්ල, ළමාහේවාගේ එම සමීක්ෂණ වාර්තාව ආගම මෙන් සත්‍යයක් බව පිළිගෙන තිබුණි. ඒ සමඟම මහාචාර්ය රඹුක්වැල්ල එම මැතිවරණ සටනේ ප්‍රධාන උපායමාර්ගික සැලසුම්කරුවෙක් ද විය. සැබවින්ම, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඛේදවාචකය එතැනම විය.

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්