නොවැම්බර් 15 වැනිදා වන විටත් “කෝ පොදු අපේක්‍ෂකයා කෝ” කියමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමච්චල් කළේය. ලංකාදීප පුවත්පතේ දාස හපුවලාන මහතා එම දින කිහිපය තුළම අපූරු කාටුන් ගණනාවක්ම පොදු අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ඇඳ තිබූ බව මීට පෙරද සඳහන් කෙරිණි. බර්ලින් තාප්පය නිල වශයෙන් පෙරළුවේ 1989 නොවැම්බර් 09 වැනිදාය. එදින අවුරුදු 28ක් පුරා බෙදා තිබූ ජර්මනි දෙකෙහි ජනතාව රිසි සේ නිදහසේ නැඟෙනහිරින් බටහිරටත්, බටහිරින් නැඟෙනහිරටත් ගමන් කළෝය. මාස ගණනක් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය උණසුම් කරමින් කුතුහලය උපරිම අයුරින් දනවමින් සැඟවුණු අමුත්තා ලෙස හැසිරෙමින් සිටි පොදු අපේක්‍ෂකයා නොවැම්බර් 21 වැනිදා කලඑළි බැසීය. 


මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා පොදු අපේක්‍ෂකයා වීම හමුවේ සාම්ප්‍රදායිකව එ.ජා.ප. හා ශ්‍රී.ල.නි.ප.ය අතර ගොඩනැඟී තිබූ ලාංකේය දේශපාලනයේ බර්ලින් තාප්පය ද ක්ෂණයකින් බිඳ වැටුණා සේය. එනම්, මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්‍ෂකයා යන ප්‍රවෘත්තියත් සමඟ මෙම ප්‍රධාන පක්‍ෂ දෙක අතර වූ සාම්ප්‍රදායික වෛරයේ දේශපාලන පවුරු පදනම් මොහොතකට බිඳ වැටුණි. එය හරියට ඇත්ත බර්ලින් තාප්පය බිඳුණු දා ජර්මනි දෙකේ මිනිසුන් ඒ මේ අත ගියා සේය. මෙහිම තවත් පැතිකඩක් ඇත. එනම්, නොවැම්බර් 21 වැනිදා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා වීම නම් එදින ශ්‍රී ලංකා සමාජයේ ජන විඥානයත්, ශ්‍රී.ල.නි.ප. හා එ.ජා.ප ප්‍රධාන පක්‍ෂ දෙකත් ආකල්පමය වශයෙන් වෙන්වන්නේ 1961 අගෝස්තු 31 වැනි දින බර්ලින් තාප්පය ඉදිකළ දින මෙනි. මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්‍ෂකයාවීමේ අරුමය එයයි.


කලකට ඉහත දී ඩලස් ඇමතිතුමා හා මා යම් දේශපාලන කරුණක් දුරකථනය මඟින් සාකච්ඡා කරමින් සිටියදී 1977 දී ගාන්ධි මැතිනිය අන්ත පරාජයට පත් වූ ආකාරය මම විස්තර කළෙමි. ගාන්ධි මැතිනියගේ පරාජයට මූලික වශයෙන්ම වගකිව යුත්තේ සංජේ ගාන්ධි බව එරට විද්වත් දේශපාලන මතයයි. සංජේගේ අවශ්‍යතාවට අනුව 1975 සිට රට පාලනය වූයේ හදිසි නීතිය යටතේය. එකල ගාන්ධි මැතිනියට එරෙහිව විපක්‍ෂයක් නොතිබුණා වැනිය. එහෙත් 1975 න් පසුව ගාන්ධි මැතිනියගේ කැබිනෙට්ටුවේ සිටි ප්‍රබල ඇමතිවරු ගණනාවක්ම ඉවත්ව ගොස් නොතිබූ විපක්‍ෂයක් ගොඩනඟා 1977 මහ මැතිවරණයේදී බලය ද ලබා ගත්තේය. එම කථාව මගින් මා ඩලස් ඇමතිතුමාට පෙන්වා දීමට උත්සාහ කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කෙදිනක හෝ දේශපාලන වශයෙන් පරාජයට පත්වන්නේ අද සන්ධානයේ සිටින ඇමතිවරු පිරිසක් විපක්‍ෂය සමඟ එකතුවීම තුළ විය හැකි බවයි. ඉංග්‍රීසි කියමනකට අනුව දැක්වෙන්නේ ‘බලාපොරොත්තු සුන් වූ අවස්ථාවක ඊට සුදුසුම පිළිතුර විය හැක්කේ ද එවැනිම බලාපොරොත්තු සුන් වූ පිළිතුරකි’ යනුවෙනි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව යුද්ධය නිමාකිරීමෙන් ලද කීර්තිනාමය ද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය සමඟ විධායක බලය ඇතුළු සකලවිධ දේශපාලන බලය බුල්ඩෝසර් සිය දහස් ගණනක් එක්වර ක්‍රියාත්මක කරන ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වල එ.ජා.පයට වැරෙන් පහරක් දුන්නේය. එහි දී මස් කිරීමට නියමිත ඌරකු ගස් බැඳ මස් ළොලෙක් වීමේ අරමුණින් මෝල්ගස්වලින් පහරදෙන හිංසාවාදී මස් මරන්නන් සේ සන්ධානයේ ඇමතිවරුන්ගේ පහරදීම හමුවේ, අසරණ වී දේශපාලන වශයෙන් බිත්තියට හේත්තු වූ රනිල් වික්‍රමසිංහ මහතා අවසානයේ ඌරගේ මාලු ඌරගෙ ඇඟේ තබා කැපීමේ සිද්ධාන්තය සිහිගන්වමින් තමාට එරෙහිව රාජපක්‍ෂ ආණ්ඩුව ගොඩනැඟූ සියලු බලවේග භූමරංගයක්, පාරා වළල්ලක් ආකාරයට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා වෙතටම හරවා එවීය. තමාගේ සතුරා අනවශ්‍ය තරම් පීඩාවටත්, බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකටත් පත්කිරීම තුළ අවාසනයේදී කිසිදු විකල්පයක් නොමැති සතුරාගේ චිත්ත ධෛර්යයත්, ප්‍රහාරක ශක්තියක් මොහොතකින් රැකෙම්වා හෝ මියෙම්වා :ෘද දර ෘසැ* යන මට්ටමට වර්ධනය විය හැකි බවට යුද කලාවේ ඇතුළත් සිද්ධාන්තයක් ඇත.


ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ද අවසානයේ පොදු අපේක්‍ෂකයකුට එකඟවීමේ යටගිය කථාව ඉහත සිද්ධාන්තයට යම් පූර්විකාවක් සපයයි.


සැබවින් ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විධායක ජනාධිපති වුවද, 2009 මැයි 19 වැනිදායින් පසුව මහරජාටත්, ඊටත් පසුව දුටුගැමුණුටත් ඇන්ද ද එතුමා දිවා රෑ දෙකෙහිම බියකරු සිහිනයක වෙළි සිටියේය. එම බියකරු සිහිනය එතුමාගේ ම මනස් විකාරයක් වූ අතර ම එම බියකරු සිහිනය එතුමා වෙත ගෙන එන්නියගේ ඡායාරූපයක් වත් දැකීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බිය විය.


පුරා වසර එකොළහක් සතියකට වරක් කැබිනට් මණ්ඩලයේ ද, මසකට වරක් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ ද, තවත් වරෙක රැස්වීම් හා උත්සව සභාවන්වල ද ඇය පැමිණෙන හැම මොහොතේම නැඟිට එකත්පස්ව සිට “මැඩම්” කියමින් ආචාර සමාචාර කිරීමෙන් අනතුරුව සරල මනෝ විද්‍යාවට අනුව එතුමාගේ මනස තුළ ගොඩනැඟුණු ෆෝබියාව හෙවත් භීතිකාව ‘චන්ද්‍රිකා භීතිකාව’යි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මනසේ හටගෙන තිබූ මෙම චන්ද්‍රිකා ෆෝබියාව හේතුවෙන් එතුමා බොහෝ වැඩ වරද්දා ගත්තා සේය. ඊට ම සරිලන්නට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා වටා සිටි දේශපාලන කේවට්ටයින් කිහිපදෙනාද එතුමා උපරිම අයුරින් සතුටු කරනුවස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නියමිත දිනට විශ්‍රාම ගොස් සිටි චන්ද්‍රිකා මැතිනියට අපහාස උපහාස කරමින් පරිභව කිරීමට ක්‍රියා කළහ.


2010 ජනාධිපතිවරණයට පූර්වයෙහි ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත් වූ ශ්‍රී.ල.නි.ප. සමුළුව සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ අසූරියන් කටවුට් එකක් ගැසු අතර ඊට ප්‍රමාණයෙන් කුඩාවට බණ්ඩාරනායක අගමැතිතුමාගේ හා මැතිනියගේ කටවුට් දෙකක් අනුපිළිවෙළින් සවිකරන ලදී. නමුත් චන්ද්‍රිකා මැතිනියගේ රූපය එහි නැත. වසර 17කට පසුව ශ්‍රී.ල.නි.පය බලයට ගෙන ආවේ ද, පක්‍ෂයටත් රටටත් වසර 11ක් නායකත්වය දුන්නේ ද ඇයයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට චන්ද්‍රිකා මැතිනිය බියකරු සිහිනයක් විය හැකිය. එය එතුමාගේ මනස් විකාරයකි. එහෙත් රටක, පක්‍ෂයක ඉතිහාසය එසේ මැකිය හැකිද? එම අවස්ථාවේ දී පමණක් නොව ශ්‍රී.ල.නි.ප මාධ්‍ය සාකච්ඡා සඳහා යොදාගත් පසුබිම් පුවරුවේ ද බණ්ඩාරනායක අගමැතිතුමාගේ හා මැතිනියගේ කුඩා පරිමාණ ඡායාරූප දෙකක් සඳහා අවසර ලැබුණ ද චන්ද්‍රිකා මැතිනියගේ රූපය තහනම්ය.


ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සියලුම ජනාධිපතිවරු ගෙදර ගියේ අසාර්ථකත්වයේ ජනතා චෝදනා මැදය. නැතහොත් රටේ ජනතාවගේ මනෝභාවයට අනුව අවසන් විග්‍රහයේ දී සියලුම ජනාධිපතිවරු හා වරියන් අසාර්ථකය. මෙම පොත ලියන මෙහොතේ ජනාධිපතිධුරය හොබවන මෛත්‍රී ජනාධිපතිතුමාට ඉදිරියේදී මෙම අභියෝගය විවෘතව පවතී. ජේ. ආර්., ප්‍රේමදාස හා චන්ද්‍රිකා ජනාධිපතිනිය මූලික වශයෙන් අසාර්ථක කරවීමට අදාළ පිඹුරුපත් සකසන්නේ වන්නි කැලයේ සැඟවී සිටි ප්‍රභාකරන්ය. විජේතුංග ජනාධිපතිතුමා ද ගෙදර යන්නේ 1994 මහ මැතිවරණයේ පළමු රැස්වීම පැවැත් වූ ඇඹිලිපිටිය එ.ජා.ප වේදිකාව කඩාගෙන බිමට වැටෙන්නේ අවසානයේ එ.ජා.ප.යද පරාජයට පත් කරවමිනි.


මහාචාර්ය ඒ. ජේ. විල්සන් කැනඩාවේ නිව් බ්‍රවුන්ස්වික් විශ්වවිද්‍යාලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී ඔහු ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආරාධනය පරිදි ඊට තාක්‍ෂණික දැනුම හා ඥානය සැපයූ සීමිත පිරිස අතර එක් අයකු බව මීට පෙර සඳහන් විය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිධූරය නිර්මාණය කිරීමේ දී තමා ඉන් මූලික වශයෙන් බලාපොරොත්තු වූයේ මෙම විධායක ජනාධිපතිවරයා රටේ සියලු ජනවර්ග අතර අපක්‍ෂපාතී බේරුම්කරුවකු :ෂපච්රඑස්ක ්රඉසඑර්එදර* වශයෙන් කටයුතු කරනු ඇති බව යැයි ඔහු පවසා ඇත. එහෙත් එවැනි පරමාර්ථයක් පෙරදැරිව තමා විසින් නිර්මාණය කරදුන් විධායක ජනාධිපතිධූරයේ හිඳගත් ජේ. ආර්. මහාචාර්ය විල්සන්ගේ දෑස් ඉදිරිපිටම දෙමළ ජනතාවට එරෙහිව කටයුතු කළේය. 1983 කළු ජූලියෙන් දින 6කට පසුව ජේ. ආර්. ජයවර්ධන මහතා ජාතිය ඇමතීමෙන් ම එය පැහැදිලි වේ. ඊළඟ වැදගත් කරුණ වන්නේ මහාචාර්ය විල්සන් කියන ආකාරයට තමා මෙම විධායක ජනාධිපති ක්‍රමය බිහිකිරීමේ දී බලාපොරොත්තු වූයේ ජනාධිපතිවරයා ප්‍රධාන වශයෙන්ම ඒ ඒ විෂය ක්ෂේත්‍රවලට අඳාළ ප්‍රවීණයන්ගෙන් යුත් උපදේශක මණ්ඩල තුළින් ලබාගන්නා නිර්දේශ මත රට පාලනය කරයි” යනුවෙනි.

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි