දෙසැම්බර් 18 වැනිදා උදෑසන දිනපතා පුවත්පත් අතටගත් පාඨකයෝ නිමේෂයකට වික්ෂිප්ත වූහ. එදින සියලු පුවත්පත්වලට මුල්පිටුව 2015 දෙසැම්බර් 18 දිනැති පුවත් සහිත මුල් පිටුවක් නොවේ. එහි තිබුණේ 2009 මැයි 18 වැනිදා ඒ ඒ පුවත්පත් පළකර තිබූ මුල් පිටුව එපරිද්දෙන්මය. සමහරවිට පුවත්පත් පිළිබඳ ලෝක ඉතිහාසය තුළම මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව එය විය හැක. සිංහල බෞද්ධ ජනතාවගේ සිත් සතන් තුළට යුද්ධයේ නටබුන් මතක සටහන් සියල්ල තොග පිටින් විකුණා දැමීම සන්ධාන ප්‍රචාරක යාන්ත්‍රණයේ අවසන් අරමුණ වී ඇති බව පැහැදිලිය.

මේ අතර අප ඉදිරිපත් කළ විග්‍රහය දිනෙන් දිනම මල්ඵල ගැන්වෙන බව ප්‍රත්‍යක්ෂ වූයේ ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය ජාතිවාදී ස්වරූපයකට ගමන් කිරීමට සමගාමීව දමිළ, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ඡන්ද පදනම පොදු අපේක්ෂක කඳවුර වටා එක්වන හා සිංහල බෞද්ධ මධ්‍යස්ථ මතවාදීන්ද මෙම ජාතිවාදී නැඹුරුව ප්‍රතික්ෂේප කරන සමීකරණය බලවත්වන බව ප්‍රත්‍යක්ෂවීමත් සමගය. වෛද්‍ය ගුණදාස අමරසේකර හා දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවේදී අමරසේකර කියා සිටියේ මෛත්‍රී චන්ද්‍රිකා රනිල් පාඨලී සම්බන්ධන් රුද්‍රකුමාරන් ඇතුළු ගෝලීය එල්ටීටීඊ සංසදයේ ක්‍රියාකාරීන් සමග සිංගප්පූරුවේදී කළ සාකච්ඡා හෙළි කරන ලෙසයි. තවද විමල් වීරවංශ මහතා ද මෙම ධාරාවේම ගමන් කරමින් ජාත්‍යන්තර කුමන්ත්‍රණ න්‍යාය පසුපසම හඹායන්නට විය.


ජෝසප් ගොබල්ස් යනු හිට්ලර්ගේ ප්‍රවෘත්ති ඇමතිවරයාය. 1945 අප්‍රේල් මැයි මාසයේදී සෝවියට් රතු හමුදාව විසින් සමස්ත බර්ලින් නගරය වටකරමින් සිටියේය. ඒ අනුව තවත් දින කිහිපයකින් නිසැක වශයෙන්ම බර්ලින් නගරය රතු හමුදාව යටතට පත්වීම ස්ථිරය. සත්‍යය එසේ වුවත් ජර්මන් ගුවන්විදුලිය තුළින් මහත් වේගයෙන් කථා කළ ගොබල්ස් තවත් දින කිහිපයකින්ම සමස්ත සෝවියට් දේශයම නාසි හමුදාව අතට පත්වන බව ඔහු ජර්මන් ජනතාවට කීවේය. කෙසේ වෙතත් අවසානයේ ගොබල්ස් ද සිය දිවි නසා ගත්තේය. ගොබල්ස් න්‍යායේ අවසන් හරය වන්නේ යම් බොරුවක්, මිථ්‍යාවක් දිගින් දිගටම යම් විශ්වාසයකින් යුක්තව සමාජගත කිරීම තුළ එම බොරුව හෝ මිථ්‍යාව සත්‍යයක් ලෙස පිළිගැනීමට එය අසා සිටින ජනතාවගෙන් යම් පිරිසක් පෙළඹෙනු ඇත. ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනකට අනුව ‘ඹබඑරමඑය ඊැජදපැ ් එරමඑය’ අසත්‍යය අවසානයේදී සත්‍යයක් වේ යන්න බවට පත්වීමට ද ඉඩ ඇත. එය තවදුරටත් සාමාන්‍ය මනෝවිද්‍යාත්මකව හැදෑරීමේදී යම් මිථ්‍යාවක්, බොරුවක් පරම සත්‍යයක් ලෙස පතුරුවන්නාද ඒ තුළම ජීවත්වීම තුළ කාලීනව ඔහුද තමා පතුරුවන බොරුව හා මිථ්‍යාව පරම සත්‍යයක් ලෙස එම පුද්ගලයාගේ මනස තුළම ස්ථාපිත විය හැකි. ගොබල්ස් දිවි නසාගැනීමට පැය ගණනකට පෙර ජර්මන් ගුවන්විදුලිය ඉදිරියේ කෑ ගැසූ මිථ්‍යාව සමහරවිට තමා පවසන්නේ පරම සත්‍යයක් බවට වූ මානසික ව්‍යාධියක සිට ප්‍රකාශ කළා විය හැක. මනෝවිද්‍යාවට අනුව එය රෝගී තත්ත්වයකි.


මේ අතර පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශක බවට ආරම්භයේදීම පත්වූයේ රාජිත සේනාරත්න ඇමතිතුමාය. නමුත් එක්සත් ජාතික පක්ෂය දෙසින්ද මාධ්‍ය ප්‍රකාශකයකු අවශ්‍ය බව දැන්වීමෙන් පසුව ඒ සඳහා මංගල සමරවීර මහතාගේ නම යෝජනා විය. එතැන් සිට එම දෙදෙනා පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකයන් ලෙස කටයුතු කළහ.


පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා මාධ්‍ය සාකච්ඡාවක දී අරලියගහ මැදුරේ පැවැත්වෙන ඡන්ද දන්සලට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. ඊට එක් වරකට 5000ක පිරිසක් රැස් කරවයි. ඇමතිතුමා කළ හෙළිදරව්වට අනුව ඊට සහභාගි වන අයකුට ලබාදෙන එක් බත් පැකට්ටුවක මිල රුපියල් 950 කි. ඒ අනුව එක් රැස්වීමක් සඳහා පමණක් රුපියල් ලක්ෂ 45 ක් වැය වන බව ඇමතිතුමා පැවසීය. විශේෂයෙන්ම මෙම මුදල රැස්වීම සංවිධානය කරන අමාත්‍යාංශය විසින් දැරිය යුතුවිය.


විශේෂයෙන්ම ආණ්ඩුවේ විශාලතම මුස්ලිම් බලාපොරොත්තුව වූ රිෂාඞ් බදියුදීන් සමග ඔහුගේ දේශපාලන පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසය පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු 7 දෙනෙකු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 69 දෙනෙකු පොදු අපේක්ෂකයාට සහය දීමට තීරණය කළ බව නිල වශයෙන් ප්‍රකාශ කළේ දෙසැම්බර් 22 වැනිදාය. සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අස්වර් ඉවත්වීමෙන් පසුව දෙසැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ලබාගත් අමීර් අලි ද රිෂාඞ් සමග පොදු අපේක්ෂකයාට සහය පළකිරීම යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමස්ත දේශපාලන ජීවිතය තුළ එතුමා විසින් කරනු ලැබූ දේශපාලන සම්‍යප්‍රයෝග විශාල සංඛ්‍යාවක් අතරින් එතුමා මතටම කඩාවැටුණු එතුමාගේම දේශපාලන සම්‍යප්‍රයෝගයක් ලෙසද අර්ථකථනය කළ හැකිය. තවද 22 වැනිදා මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ දී රිෂාඞ් ඇතුළු පිරිස මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවන අවස්ථාවේ දී ඉන් වඩාත්ම කලබලයටත්, අපහසුතාවටත් පත්වූයේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාය. ඊට පෙර ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් සන්ධානයේ අනෙක් නායකයන්ටත් ලබාදී තිබුණු සහතිකය වූයේ කුමන තත්ත්වයක් යටතේ වුවද රිෂාඞ් පාලනය කර ගැනීමට තමාට හැකි බවයි. එහෙත් රිෂාඞ් පොදු අපේක්ෂකයාට එක්වීම හමුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ද එහි වරද බැසිල් රාජපක්ෂ මහතාට පැවරූ අතර පසුගිය වසර හය පුරාම රිෂාඞ් ඉදිරියෙහි රාජපක්ෂවරු නොමසුරු වූහ.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම යෙදී තිබුණේ දෙසැම්බර් 23 හා 24 දෙදින තුළය.


19 වැනිදා පොදු අපේක්ෂක මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වුනද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වුණේ තැපැල් ඡන්දයේ පළමු දින හෙවත් 23 වැනිදාය. ඔක්තෝබර් මස මුල සිටම කාර්යාල විවෘත කරමින් ජනාධිපතිවරණයට බැසිල් ඇමතිතුමා සූදානම් වුවද අවසානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට හැකි වූයේ තැපැල් ඡන්දයේ පළමු දිනයේදීය.


ඊට පෙර 19 වැනිදා එළිදැක්වුණු පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියෙහි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වහා හකුලාගනු ලැබිණි. අපගේ පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසීම පිළිබඳ මූලික සාකච්ඡා වට කිහිපයක්ම විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවූ බව මීට පෙර ප්‍රකාශ විය.

 

එහිදී මගේ පෞද්ගලික අදහසක් ලෙස 2015 සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙහි ධන තැන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පදනම විය යුතු බවත් එය රනිල් වික්‍රමසිංහ මහතා අනුමත කළ බවත් තවදුරටත් එහිදී විස්තර කෙරිණි. දෙසැම්බර් 19 වැනිදා අම්පාරේ පැවති ජනහමුවක දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටියේ පොදු අපේක්ෂකයා තමාගේ අයවැයත් සොරකම් කරගෙන ඇති බවයි.
මේ අතර තිඹිරිගස්යාය පොදු අපේක්ෂක ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර රතන හිමියන්, සරත් එන්. සිල්වා, ශ්‍රීනාත් පෙරේරා සමග ශිරාල් ලක්තිලක සහභාගි වූහ. එහිදී කථා කළ ශිරාල්, පරණවිතාන සහ මා පිළිබඳ සඳහන් කරමින් ආණ්ඩුවට අද දක්ෂ නිර්මාණශීලී මිනිස්සු නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදාගන්නවත්, මැතිවරණයට නව තේමා පාඨයක් හදාගන්නවත් මිනිහෙක් නෑ. ඒවා කරපු ඔක්කොම අය අද අපේ පැත්තට ඇවිල්ල. දේශපාලන චින්තනයක් අද ආණ්ඩුවේ නෑ. ඒ නිසයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බංකොළොත් ලියවිල්ලක් වෙලා තියෙන්නේ යනුවෙන් පැවසීය. සැබැවින්ම මා විසින් 2010 ජනාධිපතිවරණය සඳහා නිර්මාණය කරන ලද ‘සුබ අනාගතයක්’ තේමා පාඨයෙන් ඔබ්බට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රචාරක කටයුතු බාර විද්වතුන්ට යා නොහැකි විය. ඔවුන්ට හැකිවූයේ සුබ අනාගතයක් යන්නට සුරක්ෂිත රටක් යන විශේෂණ දෙපද එල්ලීම පමණි. ඒ අනුව 2015 ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුවේ තේමා පාඨය වූයේ සුරක්ෂිත රටක් සුබ අනාගතයක් යන්නය.


දෙසැම්බර් 23 වැනිදා එළිදැක්වුණු ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කරන ලද්දේ ‘මහින්ද චින්තන ලොව දිනන මග’ යනුවෙනි. එහි පළමු පිටපත පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ට පිරිනැමූ අතර වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම ද එහි විය. විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා අනුකූලතාව පළකිරීම තුළම එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ තිබූ ජනතා විශ්වාසය බිඳ වැටුණි. මන්දයත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් ජයගතහොත් යළි කිසි දිනෙක මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකරන බව එම ප්‍රතිපත්ති සම්පාදකයන්ටත් වඩා හොඳින් සාමාන්‍ය ජනතාව දැන සිටිය නිසාය.


බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් අනතුරුව එහි ඪෂඡ පරිශ්‍රයේ පැවැති තේපැන් සංග්‍රහය අතරතුර සුසිල් ඇමතිතුමා මෙසේ ප්‍රකාශ කළේය. “කවුද මේකෙ මීඩියා කැම්පේන් එක කරන්නේ. සන්ධානයේ ලේකම් වෙලා මමවත් දන්නෙ නෑ.” කිසිවකුගෙන් ඊට ප්‍රතිචාරයක් නොමැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ද එහි සිටී. ඇමතිතුමා තවදුරටත් මෙසේ කීය. එක දැන්වීමක් යනව අම්මෙකුයි, පුතෙකුයි වැස්සට තෙමි තෙමි පාරෙ යනවා. බයිසිකලයකින් යන කොල්ලෙක් හබරල අත්තක් කඩාගෙන ගෙනත් දෙනවා. මේවා පෙන්නල මිනිස්සුන්ව දිනාගන්න පුළුවන්ද? එහෙත් කිසිවෙකුත් කථා කළේම නැත.
එහෙත් 19 වැනිදා මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට පෙර මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර තිබුණේ ’‘මහින්ද චින්තන තුන්කල් දැක්ම” යනුවෙනි. එහෙත් එහි නම පසුව ‘ලොව දිනන මග’ ලෙස වෙනස් කළේ මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියේ එය දුර්වල වූ නිසාය. එලෙස පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියෙහි දේශපාලන වශයෙන් අසරණ වූ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් එතැන් සිට ඉදිරි පැය 48ක් පුරා දිවා රෑ වෙහෙසෙමින් පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයට වඩා එහා ගිය සීතාම්බර පට කථාවට සමාන මහා ලෝක දෘෂ්ටියක් මවා පෙන්වන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදිසියේම සම්පාදනය කළා සේය. ඒ අනුව එහි ආරම්භක නම ද මෙලෙස වෙනස් විය.


සැබවින්ම ‘මහින්ද චින්තන ලොව දිනන මග’ යනු හුදු වචන හරඹයක් පමණි. ඒ සමගම සමහර කොටස් මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාබන් පිටපතක් බඳු විය. ආහාර සුරක්ෂිතතාවට මුල්තැන ඊට කදිම නිදසුනකි. තවද ඒ වන විට යහපාලනය යන්න පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමාගේ ප්‍රධානතම මැතිවරණ පාඨයකි. එහෙත් මහින්ද චින්තන ලොව දිනන මගෙහි ඉන්දු - ලංකා දාර්ශනික උරුමය සහිත යහපාලන වැඩපිළිවෙළක් යනුවෙන්ද තිරසර විදේශ ප්‍රතිපත්තියක් සාංගමික ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජා ආණ්ඩුකරණය ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක් යන සාටෝපවත් වචන හරඹයක් තවදුරටත් එහි විය.
මෙවැනි මිථ්‍යා වචන හා වාක්‍ය ප්‍රබන්ධ වලින් පිරී ගිය එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘මෛත්‍රී පාලනයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග සැසඳීමටවත් හැකි මට්ටමක නොවීය. ජනමාධ්‍යවේදීන් අතරත්, මාධ්‍ය වාදවිවාද තුළත් මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය විවිධ ආකාරයෙන් විග්‍රහයට ලක්කළ අතර චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය එලෙස කිසිවකුගේ අවධානයට හෝ කථා බහට ලක් වූයේම නැත. තවද ‘ලොව දිනන මග’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිවීම භාරව සිටි පිරිස මෙන්ම ආණ්ඩුවේ ප්‍රචාරක විශාරදයන් ද දෙසැම්බර් 23 වැනිදා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා අවසන් වනතුරු බලා සිටියේ මරු කපොල්ලක් නිරුපද්‍රිතව පැනගන්නා ආකාරයෙනි. සැබවින්ම එම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අඩංගු වූ බොහෝ ගාම්භීර වචනවලින් යුත් වාක්‍ය ඛණ්ඩ නූතන හා නවීන සංකල්ප නොවේ. සීතාම්බරපට ඇන්දුවා වැනි ක්‍රියාවකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දෙන ජනතාව අඥාන බවට වන පූර්ව නිගමනයේ සිට ලියූ හිස් ප්‍රලාපයන්ය. ‘සාංගමික ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජා ආණ්ඩුකරණය යන දේශපාලන සංකල්පය සාමාන්‍ය වැසියකුට කියවා තේරුම්ගත නොහැක. එය කියවා තේරුම්කර දීමට කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයෙන් පැමිණිය යුතුයි. ඉන්දු - ශ්‍රී ලංකා දාර්ශනික උරුමය සහිත යහපාලන වැඩපිළිවෙළක් යන්නද ඒ ආකාරමය. තිරසර යන සිංහල වචනයෙහි ඉංග්‍රීසි අර්ථය සස්ටේනබල්ය. ඒ අනුව සස්ටේනබල් ෆොරින් පොලීසි හෙවත් තිරසර විදේශ ප්‍රතිපත්තිය යනුවෙන් ලෝකය හඳුනාගත් විදේශ ප්‍රතිපත්තියක් නොතිබුණ ද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එවැන්නක් පිළිබඳ කියයි.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්