පොදු අපේක්ෂකයා පරදින්නේ සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාව 38% ක් වුවහොත් පමණි. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් ඊට පෙර පළාත් සභා ඡන්ද විමසීම් මාලාවේදීම එජාප ඡන්ද ප්‍රතිශතය 35% කි. දැන් ජනාධිපතිවරණයේදී ජවිපෙ, හෙළ උරුමය, සිංහල බෞද්ධ මධ්‍යම පන්තිය, වෘත්තිකයන්, නව තරුණ පරපුර සමග සියලු සමාජ කණ්ඩායම් පොදු අපේක්ෂකයා සමගය. පොදු අපේක්ෂකයා සිංහල බෞද්ධ ඡන්දයෙන් 40% ඍණ තැනකට වැටෙනු ඇත්තේ හම්බන්තොට හා මාතර දී පමණි.

මෙම විග්‍රහය සඳහා මුස්ලිම්, ශ්‍රී ලාංකේය දමිළ, ඉන්දීය දමිළ, ක්‍රිස්තියානි හා රෝමානු කතෝලික වශයෙන් වාර්ගික හා ආගමික විවිධත්වය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතා වාසිදායක ලෙස තබා ගණනය කළද පොදු අපේක්ෂකයාට එතැනදී පවා ජයගත හැක. මෙම විග්‍රහය සාදන අපට ලැබෙන ප්‍රතිඵලය මත නිදිමත ද පහව ගියේය. ජයග්‍රහණයේ අරුණලු උදාවිය. ඒ අනුව තෙවැනි දින හිමිදිරියේම අපි සියලු දෙනා මාගේ බණ්ඩාරගම නිවසේ සිට විජේරාමයට පැමිණියේ මෛත්‍රී ඇමතිතුමා නිසැක වශයෙන්ම ජයගන්නා බව සපථ කිරීමටය. වාසනාවකට මෙන් අඟල් 30 ප්‍රමාණයේ ඛෑෘ තිරයක් හරේන්ද්‍ර සතුවිය. ඒ උපකාරයෙන් කුමන තත්ත්වයක් යටතේ වුවද පොදු අපේක්ෂකයා ජයගන්නා බව අපි එම උදෑසනම මෛත්‍රී ඇමතිතුමාට එකින් එක විග්‍රහ කර පෙන්වා දුන්නෙමු. රූපරාමු 20 ක් පමණ වූ එම විග්‍රහය අප විනාඩි 8 කින් පමණ පෙන්නා නිම කළ අතර උදෑසනම ලැබුණු ඒ සතුටුදායක විග්‍රහයෙන් පසුව නැගී සිටි මෛත්‍රී ඇමතිතුමාද එම උදෑසන යම් ප්‍රබෝධයකට පත්වූවා සේය.


හරියටම දිනයක් වශයෙන් පවසනවා නම් ඒ දෙසැම්බර් 24 වැනිදාය. අපි සියලු දෙනාටම ප්‍රබෝධජනක දිනයකි. එදින අප සම්පූර්ණයෙන්ම වැය කළේ මෙම විග්‍රහය තුළින් අපේ සියලු නායකයන් තුළ ජයග්‍රහණය පිළිබඳ මානසිකත්වයක් ගොඩනැගීම වෙනුවෙනි. ඒ අනුව මෛත්‍රී ඇමතිතුමාට මෙය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාමංකඩ පිහිටි චම්පික ඇමතිතුමාගේ නිවසේදී ඔහුට එය පෙන්වීය. ඉන් අනතුරුව තිඹිරිගස්යාය ප්‍රධාන කාර්යාලයේදී රාජිත ඇමතිතුමාට එය ඉදිරිපත් කළේය. මේ අතර සවස සිරිකොත කාර්යාලයේදී මා හට සහභාගිවීමට නියමිත රැස්වීමක් තිබුණ අතර එහි ගිය මා අදාළ රැස්වීම ආරම්භ වීමට පෙර අපගේ නවතම ජයග්‍රහණයේ විග්‍රහය එහි සිටි පිරිසට පෙන්වීමට කටයුතු කළෙමි. විශේෂයෙන්ම පෙර සඳහන් කළ හරේන්ද්‍රගේ අඟල් 30 ක ඛෑෘ තිරය මැතිවරණ කාලය පුරාම මගේ මෝටර් රථය තුළය. ඒ අනුව සිරිකොත දී මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා යන එහි සිටි සියලු දෙනාටම එම ජයග්‍රහණයේ විග්‍රහය ඉදිරිපත් කළෙමු. ඉන් අනතුරුව සවස් යාමයේ විපක්ෂනායක කාර්යාලය තුළදී නිසැක වශයෙන්ම පොදු අපේක්ෂකයා ජයගන්නා ආකාරය දැක්වෙන එම විග්‍රහය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළෙමු. ඉන් අනතුරුව වෙබ් අඩවි ඔස්සේ සයිබර් අවකාශයට යොමුකරන ලද්දේ එම විග්‍රහයේදී පොදු අපේක්ෂකයා 53% කින් ජයගන්නා අවස්ථාවය. මක්නිසාදයත් එය රටට පහසුවෙන් පිළිගත හැකි යථාර්ථය වන නිසාය.


මෙලෙස අප පොදු විපක්ෂයේ නායකයන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරවමින් ලැබිය හැකි ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රක්ෂේපණය කළද අනෙක් අතින් මගේ යටිසිතෙහි මෙන්ම උපවිඥානයෙහි යම් තැතිගැන්මක් නොතිබුණාද නොවේ. යම් ආකාරයකින් ඡන්ද මගඩියකින් හෝ ජිල්මාට් විජ්ජාවකින් ජනවාරි 9 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන ආකාරයේ ප්‍රතිඵලයක් නිර්මාණය වුවහොත් මා සියලු පාර්ශ්වයන් ඉදිරියෙහි අසරණවනු ඇත. එවිට මම බොරුකාරයෙකි. දඬුවම් ලැබිය හැකි මට්ටමේ වැරදිකරුවෙකි. වෙනත් ආකාරයකට කිවහොත් එය එසේ වී නම් රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනට අඳින්නේ මාය. සැබවින්ම එවන් සාධාරණ බියක් මා සිත තුළ මෙම කාලවකවානුව තුළ නොතිබුණා නොවේ.


කෙසේ වෙතත් තැපැල් ඡන්දයේ පළමු දින වූයේ දෙසැම්බර් 23 වැනිදාය. එදින සවස් වනවිට අපගේ මතය ලෝකය ඉදිරියෙහි ඔප්පුවෙමින් පවතින බව තහවුරු විය. රටේ සෑම දෙසකින්ම ලැබුණු ආරංචි මාර්ග තහවුරු කළේ හංසයාට වැටෙන තැපැල් ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒ අතර ඉදිරියෙන් සිටී. ඒ අතරින් ද නාවික හමුදාවේ හංසයා තැපැල් ඡන්ද ප්‍රතිශතය 85% සීමාවේ බවට තොරතුරු ලැබිණි. නාවික හමුදාව තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඡන්ද කඩන මැෂිම යෝෂිත රාජපක්ෂය. යුද හමුදාව, පොලීසිය යන ස්ථානයන්හිද හංසයා ඡන්ද ප්‍රතිශතය 70% ආසන්නයේ බවට වාර්තා විය. එහෙත් සිවිල් ආරක්ෂක බළකාය ඊට තරමක් වෙනස්ය. ඊට සමගාමීව සමස්තයක් ලෙස රාජ්‍ය අංශයේ සියලු තැපැල් ඡන්දදායකයින් එකට එක අනුපාතයට මෙන් හංසයාටද ඡන්දය පාවිච්චි කර හමාරය.

 

මේ අතර දෙසැම්බර් 24 වැනිදා අප කණ්ඩායම ඉදිරිපත් කළ ජයග්‍රහණය සහතික බවට වන ඉහත දැක්වූ කෙටි විග්‍රහයත් සමගම ජනාධිපතිවරණ තැපැල් ඡන්දයේ මුල් ප්‍රතිඵලවල ස්වභාවය අනුව ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳ පුරෝකථනය කළ හැකි බවද අපි විග්‍රහ කර පෙන්නුවෙමු. එනම් 2005 ජනාධිපතිවරණයෙහි තැපැල් ඡන්ද ප්‍රතිඵලය සමග සැසඳීමේදී 2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයේදී ඒ ඒ දිස්ත්‍රික්කවලදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට දශම එකකින් හෝ අඩු වේ නම් එමගින් කියවෙන්නේ රටේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය විය හැකි බවය. මන්දයත්, 2005 දී උතුරු පළාතේ ඡන්ද භාවිතය 1% කි. එය නැගෙනහිරදී ද සාපේක්ෂ අඩු මට්ටමකය. ඊට අමතරව රටේ අනෙකුත් ප්‍රදේශවලදී විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගෙන් 35% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2005 දී ලැබී තිබිණි. එහෙත් මෙවර එය 12-15% ක් පමණ වේ යැයි අපි උපකල්පනය කළෙමු. තවද, 2015 දී උතුරේ 70% ක් ඡන්දය ප්‍රකාශ වේයැයිද, නැගෙනහිරදී එය 80% ක් වේ යැයිද අපි උපකල්පනය කළෙමු. මෙවන් සන්දර්භයක් තුළ සමස්ත රටේම ඡන්ද ප්‍රතිඵලය 2005 ට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අවාසිදායක තත්ත්වයක් නිසැක වශයෙන්ම ගොඩනැගීමට නියමිතව තිබියදී තැපැල් ඡන්දයෙන්ද 2005 ඍණ ස්ථානයකට වැටීම යනු තත්ත්වය තවත් බරපතළ කරනු ඇත.


විශේෂයෙන්ම ඉතා සූක්ෂම විග්‍රහයකදී අපට පෙනීගිය කරුණක් වූයේ යම් දිස්ත්‍රික්කයක තැපැල් ඡන්ද ප්‍රතිඵලය යනු ඒ ඒ පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගන්නා අවසන් ඡන්ද ප්‍රතිඵලයේ පුරෝකථනයක් ද කැඩපතක් ද බවයි. මේ ආකාරයෙන් අවම තරමින් දිස්ත්‍රික්ක තුනක තැපැල් ඡන්ද ප්‍රකාශ වූ කල ඊට අනුව රටේ සමස්ත ප්‍රතිඵලය පුරෝකථනය කළ හැකි බවට අප ගොඩනැගූ තර්කයේ පදනම වූයේ, එවර උතුරු - නැගෙනහිර පළාත්වල ඡන්ද භාවිතය අවමව තිබෙද්දී හා රටේ වෙනත් ප්‍රදේශවල මුස්ලිම් ජනතාව 30-35% ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය භාවිත කර තිබියදී පවා අවසානයේ මහින්ද සහ රනිල් අතර ඡන්ද පරතරය වූයේ ආසන්න වශයෙන් 180,000 ක් පමණක් නිසාය. තවද තවත් ඡන්ද 28,000 කට ආසන්න ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අඩුවී නම් එවරද දෙවන මනාපය ගණනය කිරීමට සිදුවනු ඇත. එසේ නම් අපගේ අදහස වූයේ මෙවර පළමු තැපැල් ඡන්ද 3 ප්‍රකාශයට පත්වූ පසුව දිනන්නේ කවුද යන්න පිළිබඳ යම් නිගමනයකට පැමිණිය හැකි බවයි.


දෙසැම්බර් 31 දිනය අප කිහිප දෙනකුට අමතර වැඩක් යෙදුණු දිනයකි. අපගේ උත්සාහය සාර්ථක වී නම් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ මැතිවරණ ව්‍යාපාරය මහත් ව්‍යසනයකට ලක්වීමට ඉඩ තිබිණි. 31 වැනිදා පෙරවරුවේ ශිරාල් මට හා පරණවිතානට කථා කරමින් දයාසිරි සමග කෙරෙන සාකච්ඡා සාර්ථක බව පැවසීය. එම සාකච්ඡා සඳහා මහ ඇමති දයාසිරි අවතීර්ණ වනවිටම යම් යම් පූර්ව අවශ්‍යතා හා එකඟතා දෙපාර්ශ්වය විසින්ම යෝජනාකර තිබුණි. ඒ අනුව 31 වැනිදා ශිරාල් හා දයාසිරිගේ සාකච්ඡාවලට සමගාමීව පරණවිතාන මහාචාර්ය රජීව විජේසිංහ සමග කතාකොට පැමිණි එකඟතාව වූයේ යම් ආකාරයකින් දයාසිරි මෛත්‍රී පිලට පැමිණියහොත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රී ඇමතිතුමා ජයගත් පසුව මහාචාර්ය රජීව තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී දයාසිරිට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලැස්වීමයි. සැබවින්ම එම යෝජනාවට මහාචාර්ය රජීව එකඟවිය.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්