මේ අතර 2010 ජනාධිපතිවරණයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී එළිදැක්වුණු දා මෛත්‍රී ඇමතිතුමා විසින් කළ කථාව තුළ ඇතුළත් වූ ජනාධිපතිතුමනි ඔබ රජෙක් යැයි සඳහන් කොටස වෙළෙඳ දැන්වීමක් බවට ආණ්ඩුව විසින් පත්කරගන්නා ලදී. එතැන් සිට සෑම රූපවාහිනී නාළිකාවකම එම දැන්වීම නිතර විකාශනය වූ අතර සමහරවිට ලෝක ඉතිහාසය තුළම ජනාධිපතිවරණයක දී එවැනි වෙළෙඳ දැන්වීමක් මීට පෙර ප්‍රචාරය නොවන්නට ඇත.


ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් එක් අපේක්ෂකයකු වසර 5 කට පෙර කළ කථාවක කොටසක් අනෙක් අපේක්ෂකයා තම වෙළෙඳ දැන්වීමක් සඳහා යොදාගෙනය. මේ සම්බන්ධයෙන් මෛත්‍රී ඇමතිතුමා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරන ලද අතර විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ඒ අනුව මෙම වෙළඳ දැන්වීම ප්‍රචාරය කළ රූපවාහිනී නාළිකාවන් වූ රූපවාහිනී, චැනල් ෂ, රූපවාහිනිය, දෙරණ, හිරු හා ස්වර්ණවාහිනී නාළිකාවල බලධාරීන්ට දෙසැම්බර් 29 දින උසාවිය ඉදිරියේ පෙනී සිටින ලෙසට නියෝග කළාය.


ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු තරඟකාරී ලෙස සිදුවෙද්දී දිනක් රාත්‍රියේ අහම්බයෙන් මෙන් සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වූ සටන දේශපාලන සංවාදය නැරඹුවෙමි. එදින ගාමිණී වියන්ගොඩ මහතා බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ කවියක සිංහල පරිවර්තනය මෙසේ හඬනගා කියා සිටියේය.


තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා - විමුක්තිය පතා
නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක
ඉක්බිතිව දවසක් - ගෝලයන් පිරිසක්
ඇසුවේය හිමිගෙන් - එක්තරා පැනයක්
තණ්හාව හල විගස - සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන - කෙබඳුදැයි කියනු මැන
එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
ඉර මුදුන් වේලාවේ විලක් මැද තනිවෙලා
කුසීතව පාවෙමින් සිටින්නා වාගේද
ඔබ කියන ඔය නිවන - පැහැපත් ද පියකරුද
නොඑසේ නම් එය සිත නැති කය නැති
කිසිම දෙයක් නැති දෙයක් දෝ ස්වාමීනී
මෙය ඇසූ හිමි - සඳ හෝරා ගණනක් වැඩ හිඳ නිසලව
කීවේ මෙලෙසය.
ඔබ ඇසූ පැනයට - පිළිතුරු නැත මට
එහෙත් එම - දිනයේ සැන්ඳෑ සමයේ බොරුක් සෙවණේ
වැඩ සිටි සමිඳා - පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු
එහි සිටි සෙසු දන සැම අමතලා
දෙසූහ මේ සුළු කථාව උපමා.
දවසක් මම ගෙයක් දුටිමි - එය ගින්නට හසුව තිබුණි
රත්පැහැ ගත් ගිනි ජාලා - එහි පියසින් උඩට නැගුණි
එහි තුළ මම දනන් දුටිමි - දොර හැර ඔවුනට හඬගා
පිටවන්නැයි මම කීවෙමි
එහෙත් එදන සැලුණේ නැත - හදිසි බවක් පෙන්නුවෙ නැත
එක් අයෙකුගෙ රැවුල පවා පිලිස්සෙද්දි - ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද
වැසි වසීද, සුළඟ තද ද - දැවෙන නිවස දමා ගොසින් ඉන්න තැනක් තිබෙනවා ද 
මෙවැනි ප්‍රශ්න රාශියක්ය.
මම පිළිතුරු නොදී ඔහුට - නැවත වරක් උනිමි නිහඬ
මට සිතුණා මේ දරුවන් නඟන ප්‍රශ්න නවත්වන්න - ගින්නෙන් නැසුනාම කියා
සත්තකින්ම පිය දරුවනි - යම් මිනිසකු පොලෝ තලේ 
තැබූ දෙපා දැවෙන තුරා - වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න - බණක් නැතිය මට කියන්න
එලෙසයි අපි හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල


1970 මහ මැතිවරණය ආශ්‍රිත සමගි පෙරමුණු වේදිකාවේ සම සමාජ පක්ෂය නියෝජනය කරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා “විමුක්ති බණ” නමින් නව අංගයක් ඉදිරිපත් කළේය. ඔහු ඒ සඳහා ශ්‍රේෂ්ඨ ජර්මානු නාට්‍යකරුවකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත මෙම කවිය සිංහලට පරිවර්තනය කර එම විමුක්ති බණ මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළේය. බ්‍රෙෂ්ට් බුදු දහම හැදෑරූ ජර්මානු පඬිවරයෙකි. දෙවන ලෝක යුද්ධයට සමකාලීනව ජීවත්වූ බ්‍රෙෂ්ට් මෙම කවිය තුළින් ගම්‍ය කිරීමට උත්සාහ කරන ලද්දේ ඒකාධිපති හිට්ලර්ගේ පාලනයට එරෙහිව විකල්පයක් සෙවීමට ජර්මානුවන් තුළ ඇති දුර්වලතාව විදහා දැක්වීම සඳහාය. 

 

බ්‍රෙෂ්ට් කොමියුනිස්ට්වාදියකු වූ නිසාම ඊට ඇති විකල්පය කොමියුනිස්ට්වාදයම ලෙස ඔහු අනුදැක්කේය. මෙහි ගින්න හිට්ලර් විය යුතුය. ඉන් දැවෙන පිච්චෙන ගෙහිමියන් ජර්මානු ජනතාවය. අවසන් වශයෙන් මෙහි විමුක්තිය හා නිවන මගින් ඔහු ඉඟිකරන්නේ සමාජවාදය හා අවසානයේ කොමියුනිස්ට් පාලනයයි.


2015 ජනාධිපතිවරණ ප්‍රචාරක සටන්බිමේ මෙම කවි පන්තිය හඬ නගා කියූ ගාමිණී වියන්ගොඩ 1970 වනවිට නව යෞවනයකු පමණි. සම සමාජ අපේක්ෂකයකු තරග කරන බොරැල්ල මැතිවරණ කොට්ඨාසයේ සෑම ප්‍රධාන රැස්වීමකටම මහාචාර්ය කාලෝ පැමිණ විමුක්ති බණ කියන බව උසස් පෙළ පන්තියේ සිටි වියන්ගොඩ දැන සිටියේය. ඔහු පොතක් සහ පෑනක් ගෙන මහාචාර්ය කාලෝ යන රැස්වීම බැලීමට ගොස් මෙම කවියේ පද සියල්ල සම්පූර්ණ කරගන්නා ලදී. සිරස සටන වැඩසටහනේදී වියන්ගොඩ හඬ නගා කියන ලද්දේ එදා ඔහු ලියාගත් කවියයි. සැබවින්ම එදා බ්‍රෙෂ්ට්, හිට්ලර් දෙස බලා ජර්මන් ජනතාවගේ මනස අවදිකරවීමට ලියූ එම කවිය 2015 ජනාධිපතිවරණය වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයෙන් මිදුන නිදහස් නිවහල් සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ලාංකේය ජන මනස අවදිකිරීම පිණිස ගාමිණී වියන්ගොඩ විසින් එසේ ප්‍රකාශ කරන ලදී. සැබවින්ම බ්‍රෙෂ්ට් සදාතනික නිර්මාණකරුවකු වන්නේ ඒ නිසාය.


ගාමිණී මෙම කවිය කියූ දිනට පසුදින උදෑසන මම මහාචාර්ය කාලෝට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ඒ වන විට රවීන්ද්‍ර මට කියා තිබුණු ආකාරයට මහාචාර්යතුමා සන්ධානයේ වතු රැස්වීම් කිහිපයක ද කථාකර තිබුණි. ඒ දෙමටගොඩ බොරැල්ල ආදී පරණ සම සමාජ පොකට්ස්වලය. මෙම තොරතුරු සිත්හි දරා සිටි මම මහාචාර්යතුමාට තරමක් චෝදනා මුඛයෙන් කථා කළෙමි. සර් ඊයේ සිරසෙ ගිය සටන ප්‍රෝග්‍රෑම් එකේදී සර් 1970 දී සිංහලයට පරිවර්තනය කරන ලද බ්‍රෙෂ්ට්ගෙ කවියක් ගාමිණී වියන්ගොඩ කට පාඩමින් එක දිගට කිව්වා. ඒ වැඩසටහන බලපු ලක්ෂ ගාණක් මිනිස්සු සහකම්නයට ලක්වුණා. ඒක කියල මොනව වුනත් වියන්ගොඩ සර්ට උපරිම ගෞරවය දීල කථා කළේ. ඒත් ඉතිං කරුමෙක මහත සර් වගේ රටක් වටින මිනිහෙක් මහින්ද රාජපක්ෂගෙ වතු රැස්වීම්වල කඬේ යනවනෙ. සත්තකින්ම මම මහාචාර්යතුමාට එසේ දොස් කිව්වේ මගේ උද්දච්චකමට නොව එතුමා හා මා අතර තිබෙන දැඩි මිත්‍රශීලීභාවය නිසාමය. කෙසේ වෙතත් එතුමා වියන්ගොඩගේ දුරකථන අංකයද මගෙන් ඉල්ලා ගැනීමට අමතක නොකළේය. මාද එතුමාට කියා සිටියේ වියන්ගොඩට කථාකොට ස්තුතිය පළකරන ලෙසයි.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්