රැස්වීමෙන් අනතුරුව රතන හිමියෝ බොහෝ දිනයන්හි උදෑසන මෛත්‍රී ඇමතිතුමාගේ විජේරාම නිවසට යාම පුරුද්දක් බවට පත්කර ගත්හ. ඒ බොහෝ සාකච්ඡාවලදී උන්වහන්සේ මෛත්‍රී ඇමතිතුමා හමුවේ කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජයගැනීම හෝ නොගැනීම මෛත්‍රී ඇමතිතුමා පක්ෂයේ සිටීම හෝ නොසිටීම මත තීරණය වන බවයි. 


මේ වනවිට මෛත්‍රී ඇමතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සහය පළ නොකොට දේශපාලනයෙන් ඉවත්වීමට වුවද තීරණය කරනු ඇතැයි රතන හිමියන්ටද තේරුම්ගොස් තිබිණි. විශේෂයෙන්ම එම සමහර සාකච්ඡා අතරතුරදී පොදු අපේක්ෂකත්වයට මෛත්‍රී ඇමතිතුමා සුදුසු බව රතන හිමියන් ප්‍රකාශ කර තිබුණි. මේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල මුල් කාලයයි.


විශේෂයෙන්ම මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා හා රතන හාමුදුරුවන් අතර ඉතා දැඩි සබඳතාවක් ගොඩනැගී තිබුණි. ඊට ප්‍රධානතම හේතුව වූයේ නාග විහාරය ආශ්‍රිතව සෝභිත හිමියන් මූලිකව කරු ජයසූරිය මහතා පොදු අපේක්‍ෂකයා බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයට වික්‍රමසිංහ මහතාගේ තිබූ දැඩි විරෝධයයි. රනිල් වික්‍රමසිංහ මහතා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය සමස්තයක් ලෙස තමාට එරෙහි දේශපාලන කැරැල්ලක් ලෙස දුටුවේය. ඒ අනුව තමාට එරෙහි එම කැරැල්ලේ ගාමක බලය දුර්වල කිරීම අරඹන වික්‍රමසිංහ මහතා රතන හිමියන්ගේ ‘පිවිතුරු හෙටක්’ සමග අත්වැල් බැඳගත්තේය. තවද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම වෙනුවෙන් දැඩි ස්ථාවරයක සිටි ‘සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයට’ වඩා ‘පිවිතුරු හෙටක්’ ප්‍රතිසංස්කරණවාදී මධ්‍යස්ථ ප්‍රවේශයක සිටීමද ඒ තුළ වික්‍රමසිංහ විරෝධයක් එතරම් නොතිබීම ද ඒ වෙත වික්‍රමසිංහ මහතාගේ සිත ඇදී යාමට තවත් හේතුවක් වූවා සේය. වරක් ‘පිවිතුරු හෙටක්’ හි යෝජනා පිළිබඳ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කථාකරමින් එය අගය කළේය. මේ අතර දිනක් රතන හිමියන් අනුර කුමාර දිසානායක මහතා මුණගැසී පොදු අපේක්‍ෂකයා පිළිබඳ ජ.වි.පෙ. ස්ථාවරය විමසූ කල අනුරගේ පිළිතුර වූයේ කවුරු පොදු අපේක්‍ෂකයා වුවද තමන් එය එතරම් බැරෑරුම් ලෙස නොසලකන බවත්, මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට යම් සහයෝගයක් ලබාදෙන බවත් පමණි. එහිදී රතන හිමියන්ගේ තර්කය වූයේ ගැඹුරු දේශපාලනික ව්‍යාපාරයකින් හා කැපකිරීමකින් තොරව මහින්ද පරාජය නොකළ හැකි බවයි.


මේ වන විට රතන හාමුදුරුවෝද වික්‍රමසිංහ මහතාව බොහෝ අවස්ථාවන්හිදී මුණගැසීම පිළිබඳ අදහසක් මතුවෙමින් පවතින බව ප්‍රකාශ කළහ. එය ඇසූ වික්‍රමසිංහ මහතා යම් මවිතයක් පළකරන ස්වරූපයෙන්ද කථා කළේය. කෙසේ වෙතත් තවත් දිනක වික්‍රමසිංහ මහතා රතන හිමියන්ට ප්‍රකාශකර සිටියේ පොදු අපේක්‍ෂකයා චන්ද්‍රිකා මැතිනිය බවය. ඒ සමගම ශ්‍රීලනිපයේ 20ක් පමණවත් මන්ත්‍රීවරු ඉදිරියට පැමිණේ නම් තමාට අලුත් ආකාරයකට පොදු අපේක්ෂකයා පිළිබඳ සිතා බැලිය හැකි බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ අනුව රතන හිමියන්ද ශ්‍රී.ල.නිප.පයේ මැති ඇමැතිවරුන් 20ක් සමග මුණගැසී කථාකළ අතර ඉන් 12 දෙනකුම ආණ්ඩුව අතහැරීමට කැමති බව ප්‍රකාශ කළහ. එම දිනවල මෙම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ වීර චරිතය රතන හිමියන්ය. මෙහි ඇති තවත් සැඟවුණු විශේෂත්වයක් නම් පොදු අපේක්ෂක ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡා කරමින් ඊට අදහස් දක්වමින් සිටි මැති ඇමැතිවරු තමන් වෙත පැමිණි එම යෝජනාවන්ට අවසානයේදී එකඟ වුවද නොවූවද ඉල්ලා සිටියේ ඒ පිළිබඳ අරලියගහ මැදුරට තොරතුරු ලබා නොදීමය.


මේ අතර රතන හිමියන් සජිත් ප්‍රේමදාස මහතා සමග දීර්ඝව සාකච්ඡා කළ අතර ඔහු පොදු අපේක්ෂකයා නොවන බවටත් කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන්ද එතරම් එකඟතාවක් නොමැති බවත් එම සාකච්ඡා තුළදී පෙනී ගියේය. නොවැම්බර් 12 වැනිදා මුත්තයියා පිටියේදී ‘පිවිතුරු හෙටක්’ සංවිධානය කළ රැස්වීම පොදු අපේක්‍ෂක ව්‍යාපාරයේ තවත් ප්‍රධාන කඩඉමක් විය. රතන හාමුදුරුවන්ගේ පූර්ණ කැපවීම මත ගොඩනැගුණු එම වේදිකාව මත රනිල්, සජිත්, කරු, මංගල මෙන්ම ජවිපෙ නියෝජනය කරමින් ලාල් කාන්තද සහභාගී වූහ.


මේ අනුව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙන්ම ‘පිවිතුරු හෙටක්’ සංවිධානයද පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාව එක ලෙස අවධාරණය කළත් ප්‍රශ්නය පැන නැගුණේ ‘සාධාරණ සමාජයක්’ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීමත් ‘පිවිතුරු හෙටක්’ විධායක ජනාධිපතිධුරයේ බලතල සීමාකිරීම වෙනුවෙන් පමණක් පෙනී සිටීමත්ය. මේ අනුව මෙම සංවිධාන දෙක වහාම එක් පොදු ප්‍රවාහයක් තුළට ගතයුතු යැයි අදහසක් මතු වූ අතර ඒ සඳහා ක්‍රමවේදයක් ද සකස් කළහ. මේ අනුව මෙම සංවිධාන දෙකෙහි පොදු අරමුණු එක් කරමින් නොගැළපීම පසෙකට දමමින් එක් පොදු ලියවිල්ලක් සැකසීමට ශිරාල් ලක්තිලක, අශෝක අබේගුණවර්ධන ක්‍රියා කළහ. ඒ අනුව පිවිතුරු හෙටක් සංවිධානය අගෝස්තු මාසයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වූ විශේෂ රැස්වීමකදී බෙදාහරින ලද පත්‍රිකා දෙක අතරින් එක් ලියවිල්ලක් වූයේ එලෙස සැකසූ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේත් පිවිතුරු හෙටක් සංවිධානයේත් හරය කැටිකර ගත් පොදු ලියවිල්ලය. විශේෂයෙන්ම මීට පෙර සඳහන් කළ පරිදිම හෙළ උරුමය සාමාජිකයන් මෙන්ම සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සාමාජිකයන්ද රතන හාමුදුරුවන් විසින් මෙම රැස්වීම සඳහා සරත් එන්. සිල්වා මහතාට ආරාධනාකර ‘පිවිතුරු හෙටක්’ සංවිධානය තුළට ඔහු සම්බන්ධ කර ගැනීමට එරෙහිව යම් විරෝධතාවක් ද දැක්වීය.


කෙසේ වෙතත් මේ ආකාරයට මෙම සංවිධාන දෙක එක් කිරීමෙන් අනතුරුව සෝභිත හිමියෝ හා රතන හිමියෝ එක්ව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ. ඒ සමගම එතැන් සිට මෙම සංවිධාන දෙක එක්ව කටයුතු කිරීමට අදාළ යාන්ත්‍රණය සැකසීම උදෙසා පිහිටු වූ ක්‍රියාකාරී කමිටුව සඳහා ආචාර්ය ලලිත්සිරි ගුණරුවන් හා බන්දුල චන්ද්‍රසේකර ද පත්කරන ලදී. මේ අතර මෙම ඒකාබද්ධ සංවිධානය තුළට ද්‍රවිඩ ජාතික සන්ධානය ද කැඳවිය යුතු බවට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා යෝජනා කළද ඊට බොහෝ දෙනෙක් විරුද්ධ වූහ. එය මෙම අවස්ථාවේදී ස්වයං විනාශකාරී ක්‍රියාවක් විය හැකි බව ඔවුන්ගේ මතය විය.


කෙසේ වෙතත් ‘සාධාරණ සමාජයක්’ හා ‘පිවිතුරු හෙටක්’ මෙලෙස එක්වීම රනිල් වික්‍රමසිංහ මහතා කනස්සල්ලට පත්කළ සිදුවීමක් විය. එමගින් සොයන පොදු අපේක්ෂකයා තමාට ඍජු අභියෝගයක් බව ඔහු දැනසිටියේය. එපමණක් නොව සෝභිත හිමියන්ද රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ එතරම් පැහැදුණු සිතකින් නොසිටියේය. උන්වහන්සේ වඩා නැමියාවක් දැක්වූයේ කරු ජයසූරිය මහතා වෙතය. ඒ වනවිට ජයසූරිය මහතාද සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ වෙනුවෙන් මහත් කැපවීමක් කොට තිබුණි.


කෙසේ වෙතත් ඔක්කෝබර් මස තෙවන සතියේ සෙනසුරාදා රාත්‍රී 9.00ට කෝට්ටේ නාග විහාරයේ යොදා තිබූ මෙම ක්‍රියාකාරී කමිටුවේ රැස්වීමක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය. එහිදී මෙම ක්‍රියාකාරී කමිටුව අවධාරණයෙන් කියා සිටියේ එතුමා නොවන අයකු පොදු අපේක්ෂකයා විය යුතුම බවයි. මෙහි ඇති විශේෂත්වය නම් මෙම සාකච්ඡාව සංවිධානය කිරීමට මූලික වූ ශිරාල් ලක්තිලක, රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාව නිමවා නාග විහාර භූමියෙන් ඉවත්ව යනතුරු කළුවර මුල්ලකට වී වහංගු වී සිටීමය. මන්දයත් ශිරාල් මෙම සාකච්ඡාව පිටුපස සිටින බව වික්‍රමසිංහ මහතාට හැඟී ගියහොත් එම තීරණාත්මක සාකච්ඡාව ඒ මතම අසාර්ථක විය හැකි බව සියලුදෙනාම දැන සිටි නිසාය. විශේෂයෙන්ම මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍යතාව පැන නැගුනේම ඒ වනවිට එනම්, අගෝස්තු මාසයේ සිටම පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා ලෙස සෝභිත හිමියන්ට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ලවීමය. පුදුමයකට මෙන් එම බොහෝ බලපෑම් පැමිණි දිශාව සොයාගිය විට එහිදීද අරලියගහ මැදුර හමුවිය.

සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්