දිසා, ජනක බණ්ඩාරට ද මෛත්‍රී ඇමතිතුමා පිළිබඳ අදහස ඉදිරිපත් කළේය. චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂිකාව නොවීමට තීරණයකර ඇති බවත් ඇයගේ යෝජනාව මෛත්‍රී වියහැකි බවත් එහි දී පැවසීය. විශේෂයෙන්ම මේ වන විට ගොඩනැඟෙන පොදු විපක්ෂයේ පොදු අපේක්ෂක කථිකාවේ දී ශ්‍රී.ල.නි.පයේ අභ්‍යන්තර අර්බුදය නියෝජනය කළ කණ්ඩායමෙහි නායකයා ජනක බණ්ඩාර ඇමතිතුමා විය. ඔහු දිසා මගින් චන්ද්‍රිකා මැතිනියට දන්වා තිබුණේ තමා සමග 40 ක පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවයි. මේ අතර ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා සමඟ සිටින කණ්ඩායමේ නායකයින් කිහිප දෙනකු චන්ද්‍රිකා මැතිනිය මුණගැසීමට ස්ථාන, දින හා වේලාවන් යොදාගෙන පසුව හදිසියේම ඒවා කල්දැම්මේ රාජපක්ෂවරුන්ට තිබූ බිය නිසාමය. අවස්ථා ගණනාවකදීම එලෙස එය සිදුවිය.

කෙසේ වෙතත් දිනක් මංගල සමරවීර මන්ත්‍රීතුමාගේ නිවසේදී මෙම හමුවීම සූදානම් විය. විශේෂයෙන්ම එතුමියගේ ආරක්ෂක අංශ නිලධාරීන් අතර ද ආණ්ඩුවට තොරතුරු සපයන පොලිස් නිලධාරීන් සිටීම හේතුවෙන් ඇයට ද මෙහිදී වඩාත් සැලකිලිමත්වීමට සිදුවිය. මේ හේතුව නිසාම බොල්ගොඩ ජලාශය ආසන්නයේ පිහිටි මංගල සමරවීර මන්ත්‍රීතුමාගේ නිවසට නියමිත දිනයේ පළමුව චන්ද්‍රිකා මැතිනිය පැමිණියාය. ඇය නිවසෙහි වූ පුස්තකාලයට වී පැය කිහිපයක්ම බලා සිටියාය. සැලසුමට අනුව ඒ අතර අනෙක් පිරිස එහි පැමිණිය යුතුය. නමුත් පැමිණීමට නියමිත පිරිස අතරින් එහි පැමිණියේ දුමින්ද දිසානායක ඇමතිතුමා පමණි. එහෙත් පැමිණීමට පොරොන්දු වූ පිරිස අතරින් ජනක බණ්ඩාර, පියසේන ගමගේ හා නාවින්න සුපුරුදු පරිදිම නොපැමිණියහ. රාජපක්ෂවරුන්ට ඇති බිය නිසා එහි නොගිය මොවුන් අවසානයේදී ස්කයිප් තාක්ෂණය ඔස්සේ කුමාරතුංග මැතිනිය සමග කථාකළහ. ජනක බණ්ඩාර ඇමතිතුමාගේ නිවසෙහි සිට මෙලෙස ස්කයිප් මගින් කථාකළ මොවුහූ චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂකයා වනවා නම් ආණ්ඩුවෙන් ඉවත්වීමට එහි දී කැමැත්ත පළ කළහ. විශේෂයෙන්ම මේ වනවිට රටේ පොදු මතය වී තිබුණේ ඇය පොදු අපේක්ෂිකාව වන බවකි.


2014 මැද භාගයේ පැතිරුණ කටකථාවකට අනුව 61 දෙනකුගෙන් යුතු පිරිසක් ආණ්ඩුව අතහැර යාමට සූදානම් බව ප්‍රචලිතවිය. පෙර කී පරිදිම සැබවින්ම එහි කිසිදු සත්‍යතාවක් නොතිබිණි. දිසානායක, චම්පානි හා ජනක බණ්ඩාර ඇමතිතුමා සවසට අඩියක් ගසන අවස්ථාවක හැදූ ලැයිස්තුවක් පමණි එය. ඒ සමගම ඔවුන් එය මාධ්‍යයට ද ලබා දුන්නේය. කෙසේ වෙතත් චන්ද්‍රිකා මැතිනිය ද තම අත් අකුරෙන්ම ලියා තම පාලන යුගයේ සිට තිබූ සබඳතා හා ඒ වන විට ගොඩනැඟී තිබූ දේශපාලන පරිසරය ආශ්‍රයෙන් 40 දෙනකුගේ ලැයිස්තුවක් සැකසුවාය. එම ලැයිස්තුවේ අංක එක ස්ථානය ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ද දෙවන ස්ථානය එස්. බී. නාවින්න, අංක 3 ස්ථානය මෛත්‍රීපාල සිරිසේන හා අංක හතර ස්ථානයට ඇමති පියසේන ගමගේ ආදී ලෙස විය. තවද, එම නම් ලැයිස්තුව ඉදිරියෙන් අදාළ මැති ඇමතිවරුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කළයුතු අයගේ නම් ද සඳහන් විය.


විශේෂයෙන්ම ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් සමග දිසානායක හා චම්පානි නිරන්තරයෙන්ම සංවාදයක යෙදී සිටියහ. එහිදී මෛත්‍රීපාල සිරිසේන හා නිමල් සිරිපාල ඇමතිවරුන් පක්ෂය අභ්‍යන්තරයේ වූ සීතල යුද්ධය ද අවතක්සේරු කළ නොහැක. එහිදී නිමල් සිරිපාල ඇමැතිතුමාට වඩා පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් මෛත්‍රී ඇමතිතුමා ඉහළින් සිටිය ද කැබිනට් සාමාජිකයකු වශයෙන් ගත්විට මෛත්‍රී ඇමතිතුමාට වඩා නිමල් ඇමතිතුමා ජ්‍යෙෂ්ඨයකු විය. මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසැක වශයෙන්ම පරදින බව දැන දැනම එම පරාජය වැලඳගත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා ද දැක්විය හැකිය. ඒ සමඟම විවිධ හේතුන් මත මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා පොදු අපේක්ෂකයා වීම දරාගත නොහැකි වූ ශ්‍රී.ල.නි.ප මැති ඇමතිවරු ගණනාවක් ද ක්ෂණිකව ගොඩනැඟුණු අතර ඔවුහූ චන්ද්‍රිකා මැතිනිය දෙස ඊට වඩා නම්‍යශීලී දෘෂ්ටියකින් බැලූහ. එනම්, ඔවුන් බලාපොරොත්තු වූයේ චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂිකාව වනු ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාගේ නම ද පොදු අපේක්ෂක ලැයිස්තුවට පැමිණ තිබුණ බව දන්නේ ඉතා සීමිත පිරිසක් පමණි.


මේ අතර තම පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩකටයුතු පිළිබඳ චන්ද්‍රිකා මැතිනිය තුළ විශ්වාසය ගොඩනැඟීම අරමුණු කරගනිමින් එතුමියගේ නිවසේදීම තම පක්ෂයේ යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළේය. එම අවස්ථාවට එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාද සහභාගි විය. මේ අතර සැප්තැම්බර් වන විට පොදු අපේක්ෂකයා තමා බව රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම ප්‍රකාශයට පත්කර ගත්තේය. ඒ සඳහා ඌව පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ද යම් බලපෑමක් එතුමාගේ එම සිතිවිලිවලට බලපා තිබුණි. වික්‍රමසිංහ මහතාගේ එම ස්ථාවරයත් සමඟ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හා චන්ද්‍රිකා මැතිනිය මහත් අවුලකට ගමන් කළහ. එහෙත් වික්‍රමසිංහ මහතා එවැනි අදහසක් දැරුව ද මලික් සමරවික්‍රම හා රවී කරුණානායක මහත්වරුන්ගේ අදහස වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය ජයගත නොහැකි බවත් ඒ නිසාම ඔහු ඡන්දය නොඉල්ලිය යුතු බවත්ය. තවද, මෙවන් සන්දර්භයක් තුළ චන්ද්‍රිකා මැතිනිය මලික් සමරවික්‍රම මහතාගෙන් විමසා සිටියේ මෙලෙස ඒකපාර්ශ්විකව වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කර ගැනීමේ පදනම කුමක්ද? යන්නය.


මීට ප්‍රතිචාර දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා පෙරළා චන්ද්‍රිකා මැතිනියගෙන් විමසා සිටියේ කුමන මොහොතක හෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන බවත්. ඔබතුමිය පොදු අපේක්ෂිකාවවීමට අකමැති තත්ත්වයක් තුළ කවුද පොදු අපේක්ෂකයා යනුවෙනි. තවද, චන්ද්‍රිකා මැතිනියට අනුව එම අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමය වූයේ චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂිකාව නොවන තත්ත්වයක් තුළ තමා පොදු අපේක්ෂකයා බවට වන මතවාදය රට තුළ ස්ථාපිත කරගනිමින් අනෙක් පසින් චන්ද්‍රිකා මැතිනිය මෙහෙයවා ශ්‍රී.ල.නි.ප. යෙන් යම් පිරිසක් පිටතට ගැනීමය. වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමය හොඳින් අවබෝධ කරගත් චන්ද්‍රිකා මැතිනිය මෙම සන්දර්භය  තුළ තරමක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා නොවිය යුතු යැයි අදහස් දරන එ.ජා.ප. පිරිස් සමග සබඳතා ගොඩනඟා ගත්තාය.


රනිල් වික්‍රමසිංහ මහතා 1994 වසරේ දී පක්ෂ නායකත්වයට පැමිණෙන්නේ එවකට ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා ඇතුළු පිරිසක් තොටළඟ දී එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ගොදුරුවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙස පක්ෂ නායකත්වයේ කටයුතු කරද්දී වික්‍රමසිංහ මහතාට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් පළමුවරට ඇතිවන්නේ 2000 වසරේදීය. ඒ වන විට පක්ෂයේ මහ ලේකම් ධුරය දැරූ ගාමිණී අතුකෝරාල එම ධුරයෙන් ඉවත්කොට සෙනරත් කපුකොටුව මහ ලේකම් බවට පත්කළ අතර ගාමිණී අතුකෝරල හට පක්ෂයේ උපනායක ධුරය ලබාදෙන ලදී. වික්‍රමසිංහ මහතා ඒකපාර්ශ්විකව කරන ලද මෙම වෙනස්කම් ඉදිරියෙහි බහුතර ජ්‍යෙෂ්ඨ පක්ෂ සාමාජිකයන් කලකිරීමට පත්ව සිටි අතර 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම කැරැල්ල දියත්විය.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්