-කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධම්ම දිසානායක

‘‘නැතිකමේ  දේශපාලනය නැතහොත් ශුන්‍යතාවේ දේශපාලනය යනුවෙන් මේ ලිපිය නම් කරන්නේ හේතු කීපයක් නිසා ය. රට මුහුණපා ඇති ආර්ථික, දේශපාලන, සමාජ-සංස්කෘතික අර්බුදය ඉන් එක හේතුවකි. ඉන් තරමකින් හෝ රට ගලවාගත හැකි ශ‍්‍රීලනිපය ට අත් වී ඇති ඛේදවාචකය තවත් හේතුවකි. දෙවනුව කී හේතුව නිසා අසරණ වී නමක් නැත්තවුන් බවට පත් වී ඇති එනම් අනන්‍යතාහරණයකට ලක්වී ඇති පනස් ලක්ෂයකට වැඩි මහා ජනකායක ගේ අසහනය තවත් හේතුවකි. මේ ජනකාය වනාහි ශ‍්‍රීලනිපයේ පෝෂක ජන බලවේගයයි. එසේම ආණ්ඩු විරෝධයේ මහ බල ඇණිය ය. ඒ සියල්ල මැද ශ‍්‍රීලනිපය ට  සහ එහි නායකයා ට  අර මහා ජන බලවේගය සහ එහි නායකත්වය සමඟ එකතු වීම ට ඇති සියලූ  මං අහුරා ගෙන, මුසා සහ මිථ්‍යා වපුරන ධන-බල-කාම තෘෂ්ණාධික මැති ඇමැතීන්ගේ, අන්‍ය පාක්ෂික උපාය දූතයන්ගේ, ජාතික-ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන්ගේ සහ වටේ කැරකෙන කේලාම්වරුන්ගේ ආත්මාර්ථකාමී දේශපාලනය රටට සිදු කර ඇති ‘නැතිකම’ සුළු පටු නොවීම තවත් හේතුවකි.

නැතිකමේ දේශපාලනය යනු කුමක්ද? ඉතාම කෙටියෙන් සහ සරලව මෙය තේරුම් ගනිමු. සත්‍යය යනු ඇතිකම ය. නැතහොත් තිබෙනකම ය. අසත්‍යය යනු නැතිකම ය. නැතහොත් නොතිබෙනකම ය. අපි අද ජීවත් වන්නේ පශ්චාත්-සත්‍ය සමාජයක^Post-Truth Society& කියලා කිව්වොත් මොකද්ද මේ අපබ‍්‍රංසය කියලා සමහර විට හිතෙන එක සාධාරණයි. පශ්චාත්-සත්‍ය සමාජයක් යනු ඇත්ත වැඩකරන්නේ නැති, ඇත්තට වටිනාකමක් නැති, ඇත්තට රාජකාරියක් නො පැවරුණු සමාජයකි.  මේකට පශ්චාත්-සිද්ධි වාචක සමාජයක් ^Post-Factual Society& කියන සංකල්පය භාවිතා කිරීමත් බොහෝ දුරට නිවැරැදි යි. මේක සංස්කෘතියක්. මනුෂ්‍ය සංවාද, විවාද සහ සිතුවිලිවල ආකාර හැඩ ගැසෙන්නේ හෝ තීරණය වෙන්නේ සත්‍යය (ඇත්ත) සහ කරුණු කාරණා නැතහොත් සිද්ධිවාචක මත පදනම්ව නොවේ. ඒ සංවාද, විවාද සහ සිතුවිලිවලින් සත්‍යය සහ කරුණු කාරණා විසන්ධි කර තිබේ. කෙනෙකු තවකෙකුගේ හැඟීම්වලට ආමන්ත‍්‍රණය කරන්නේ සත්‍යය සහ කරුණු කාරණා  මත නොව බොරුව මත පදනම්ව ය. ජන මතය හැඩගැසීම කෙරෙහි වාස්තවික කරුණු සිදු කරන්නේ ඉතා අඩු බලපෑමකි.  සත්‍යය සහ සිද්ධිවාචක මත බොරුව පරාජය කළ නොහැකි වීම මෙවැනි සමාජයක මූලික ලක්ෂණයකි. බොරුව පරාජය කිරීමට නම් ඊට වඩා බලවත් බොරුවක් උපයෝගී කොට ගත යුතු ය. ඇත්තේ බොරු සහ බොරු අතර සටනක් මිස බොරුව සහ ඇත්ත අතර සටනක් නොවේ. එනම් ‘නැතිකම’ සහ ‘ඇතිකම’ අතර සටනක් නොවේ.

වර්තමාන දේශපාලනය, වෙළෙඳාම, සන්නිවේදන මාධ්‍යය සහ ප‍්‍රචාරණය යනු ඒ පශ්චාත්-සත්‍යය සමාජයේ ප‍්‍රධාන කුලූනු හතරක් ය. එක් අතකින් බලන විට ඒ කලාපවලට සත්‍යය සහ සිද්ධිවාචක අවශ්‍යම නැත. මේ පශ්චාත්-සත්‍යය සමාජයේ දේශපාලනය, වෙළෙඳපොළ, සන්නිවේදන මාධ්‍යය සහ ප‍්‍රචාරණය යන ක්ෂේත‍්‍ර හැම විටම තම අරමුණු සාධනය සඳහා ආමන්ත‍්‍රණය කරන්නේ සත්‍ය කරුණු හෝ සිද්ධිවාචක මත පදනම්ව ජනයාගේ තාර්කික බුද්ධියට නොව අතාර්කික හැඟීම්වලට ය. පසිඳුරන් කේන්ද්‍රීය සහජාශයන් ට ය. ඒ නිසාම සමාජයේ මිනිසුන් අඥාන වීම, අවරසික වීම, අතාර්කික වීම, විචාර බුද්ධියෙන් තොරවීම සහ සමාජ-දේශපාලන-ආර්ථික සාක්ෂරතාව අතින් දිළිඳු වීම යනාදී අවමානුෂීය රෝග ව්‍යාධීන් ට නිරතුරුව ගොදුරු වනු දැකිය හැක. එපමණක් නොව ඒ රෝග ව්‍යාධීන් ගේ තිරසාර බව අර ඉහත කී  ක්ෂේත‍්‍ර විසින් නඩත්තු කරන්නේ එය ඒ ක්ෂේත‍්‍රවල සදාකාලික පැවැත්ම ට හේතු වන නිසා ය.

බරසාර හැඟීම්, දැනීම්, සංවේදනා රහිත, හෘදසාක්ෂියක් නැති වර්තමාන මිනිසා වනාහි ඒ මෙහෙයුමේ සහ තිරසාර බවේ ප‍්‍රති විපාකයෝ ය. පවුල, පෙර පාසල, පාසල, විශ්වවිද්‍යාලය, පන්සල, කෝවිල, පල්ලිය, බස් නැවතුම්පොළ, දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුව, කැබිනට්ටුව ආදී කී නොකී හැමතැනකම හැසිරෙන මිනිසුන් ප‍්‍රදර්ශනය කරන්නේ ඒ සංවේදනා නැතිකම ය. හෘදසාක්ෂියක් නැති බව ය. නැතිකමේ රූප කාය යි. වෙන්දේසිවලදී වැඩිම ලන්සුවට අලෙවි වන ‘ජාතික’ සහ ‘පූජනීය’  ක‍්‍රීඩකයන් ද ඇමැතිකම් සහ තනතුරුවලට පැති මාරු කරන ‘ගරු කටයුතු මහජන නියෝජිතයන්’ ද  පෙන්නුම් කරමින් සිටින්නේ මේ නැතිකමය. මෙවැනි සමාජයක නැතිකම මත පදනම්ව  දේශපාලනික  නිකමුන් විසින් නැතිකම වසා ගැනීම සඳහා කරනු ලබන සහචර බල ගනුදෙනුව ‘නැතිකමේ දේශපාලනයේ’ එක පැත්තක් ය. ‘නැතිකම’ දේශපාලන උපාය මාර්ගයක් ලෙස භාවිතා කිරීම තව පැත්තක් ය.

මෙරට ‘නැතිකමේ දේශපාලනයේ’ ආරම්භය තරමක දිගු ඉතිහාසයක් සහිත එකක් වුවත් එය වඩාත් පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තේ 2015 ජනවාරියෙන් පසුව ය. විශේෂයෙන්ම ශ‍්‍රීලනිපය අරබයා මේ නැතිකමේ දේශපාලනය අදාළ වූ ආකාරය පැහැදිලිකර ගැනීම රට පැත්තෙන් වඩා වැදගත් ය.

ශ‍්‍රීලනිපය කැඞීම, භේද කිරීම පිළිබඳ එකිනෙක පාර්ශව අතර චෝදනා කිරීම් සහ අපහාස කරගැනීම් වනාහි උගුරට හොරා බෙහෙත් බීම කි. මේ අය ව්‍යාජ චෝදනාකරුවෝ ය. මේ සියලූ කතා කාරයන් සිද්ධ වුණේ සහ සිදුවෙන්නේ කුමක්ද යන්න හොදාකාරවම දන්නාවුන් ය. ශ‍්‍රීලනිපයේ දැන් ඇති අර්බුදයේ සැබෑ පදනම කුමක් ද? බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පසු ශ‍්‍රීලනිපය වැඩ කළේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂයක් ලෙස ම නොව පක්ෂ-පවුල් සමාගමක් ලෙස ය. එහෙත් එහි පෝෂක ජන පදනම ඊට එරෙහි නොවුණේ ඔවුන් අපේක්ෂා කළ ස්වදේශිකවාදී වැඩ පිළිවෙළ තීරණාත්මකව ඉක්මවා නොයෑමට එම පක්ෂ-පවුල් සමාගම් කටයුතු නොකළ නිසා ය. අභ්‍යන්තරික ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ‘නැතිකමේ’ ගැටලූව විසඳා ගැනීම නායක කාරකාදීන්ගේ වැඩක් ලෙස සිතූ ජනයා මැතිවරණ තීන්දු ගනු ලැබුවේ ස්වදේශිකවාදී ප‍්‍රතිපත්තිමය කාරණාවල ‘ඇතිකම’ මත පිහිටා ය.

එහෙත් 1994 න් පසු ශ‍්‍රීලනිපය පිවිසෙන්නේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් නැති ස්වදේශිකවාදී ප‍්‍රතිපත්තිමය කාරණාත් නැති ‘නැතිකමේ’ දේශපාලන පරිසරයකට ය. 1977 එජාප ආණ්ඩුව විසින් හඳුන්වා දුන් නවලිබරල් ආර්ථික වැඩ පිළිවෙළම ඉදිරියට ගෙනගිය 94 ශ‍්‍රීලනිප ආණ්ඩුව වැඩිම රාජ්‍ය ව්‍යවසායන් ප‍්‍රමාණයක් පෞද්ගලීකරණයට ලක් කළේ එතෙක් ආරක්ෂා කළ ස්වදේශිකවාදී ප‍්‍රතිපත්තිය ‘නැතිකර’ ගනිමිනි. 2001 එජාප ආණ්ඩුව වනාහි ශ‍්‍රීලනිප 94 සිට නඩත්තු කළ ‘නැතිකමේ දේශපාලනයේ’ ම දිගුවකි. ප‍්‍රතිඵලයකි.

2005 සිට ඇරඹෙන ශ‍්‍රීලනිප ආණ්ඩුව වනාහි ‘නැතිකමේ දේශපාලනය’ ට එරෙහිවූ පක්ෂයේ පෝෂක ජන බලවේගයේ යළි නැඟිටීමකි. ඒ නැගිටීම විසින් ‘ස්වදේශික ප‍්‍රතිපත්තිමය කාරණා ඇති’ එහෙත් ‘අභ්‍යන්තරික පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති’ පක්ෂ-පවුල් සමාගමකට රාජ්‍ය බලය ලබා දුණි. මේ පක්ෂ-පවුල් සමාගම ට 58 ලක්ෂයක ස්වදේශිකවාදී ජනයා කැමැතිවන්නේ අභ්‍යන්තරික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘නැතිකම’ ට වඩා ස්වදේශිකවාදී ප‍්‍රතිපත්තිමය කාරණා කෙරෙහි යම් නැමියාවක් නැතහොත් යම් ඇතිකමක් 2005 ශ‍්‍රීලනිප ආණ්ඩුව දැක්වූ නිසා ය. එය සංසන්දනාත්මක වුයේ 94 ආණ්ඩුවට සහ 2001 ආණ්ඩුව ට ය.

එහෙත් ශ‍්‍රීලනිප ඛේදවාචකය උපදින්නේ ස්වදේශිකවාදී ප‍්‍රතිපත්තිමය කාරණාවල ‘ඇතිකම’ නිසා නොව ශ‍්‍රීලනිප අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘නැතිකම’ නිසා ය. එය 2015 දී පුපුරා යන්නේ ජාත්‍යන්තර-ජාතික කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් නිසා බව ඇත්තකි. එහෙත් ඒ කුමන්ත‍්‍රණයේ සාර්ථකත්වයට ඇවැසි පසුබිම් සහ තීරණාත්මක හේතු සැපයුවේ ශ‍්‍රීලනිප යේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘නැතිකම’ යි. අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණා නම් 2015 ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂ නොව මෛත‍්‍රීපාල සිරිසේන හෝ වෙන කෙනෙකු ය. එහෙත් ශ‍්‍රීලනිපය තුළ අභ්‍යන්තරික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘නැතිකම’ විසින් විරුද්ධ පිලට ජයග‍්‍රාහී මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙක් හිමි විය. ශ‍්‍රීලනිපයට ආණ්ඩුව අහිමි විය.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වුවත් ඔහු ජනාධිපති වුයේ තමන් දශක ගණනාවක් තිස්සේ නායකත්වය දුන් ශ‍්‍රීලනිප ඇතුළු මහා ජන බලවේගයක කැමැත්ත ‘නැතිව’ ය. එසේම දශක ගණනාවක් තිස්සේ අකමැත්තෙන් විරෝධයෙන් දේශපාලනය කළ එජාපය ඇතුළු බලවේගවල උපායික කැමැත්ත ‘ඇතිව’ ය. ඔහුට ආණ්ඩු කිරීමට සිදුව ඇත්තේ තමන් කැමති ස්වදේශික වාදී ආර්ථික සමාජ දේශපාලන ප‍්‍රතිපත්තිමය කාරණා වෙනුවෙන් පෙනී සිටින, වැඩ කරන පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩු බලයක් ‘නැතිවය’. තමන් කැමති ස්වදේශික වාදී ජන බලවේගයකට ඔවුන්ගේ ආණ්ඩුවකට, පාර්ලිමේන්තුවකට නායකත්වය දීමට කැමති කෙනෙක්, නායකත්වය  දිය යුතු කෙනෙක්, ඒ අවස්ථාව ‘නැතිකම’ නිසා ඊට මුළුමනින්ම ප‍්‍රති විරුද්ධ පාර්ශවයකට නායකත්වය දීමට සිදුවීම තේරුම් ගැනීම ශ‍්‍රීලනිප දේශපාලනයේ අනාගතයට ඉතා වැදගත් ය. ඒ සියල්ල මැද  එකී නායකත්වය බොරු ගණන් හදා පෙන්වීම් මගින් මුළාවේ දමන ධන-බල-කාම වාදී මැති ඇමැතීන් උත්සාහ කරන්නේ තම තමන්ගේ ‘නැතිකමේ දේශපාලනය’ කුමන ආකාරයෙන් හෝ තම සුඛ විහරණය සඳහා උපයෝගී කර ගැනීමට ය.    

ඒ ‘නැතිකමේ දේශපාලනයේ’ එක පැත්තක් ය. තවත් පැති බොහෝය. 2015 පොරොන්දු වූ ‘යහපාලනය’ දේශපාලන ක්ෂේත‍්‍ර වන කැබිනට්ටුවෙත් නැත, පාර්ලිමේන්තුවේත් නැත, පළාත් සභාවේත් නැත, මැති ඇමැතීන් තුළත් නැත, පරිපාලනයේත් නැත, මුල්‍ය පාලනයේත් නැත, පොදු දේපළ භාවිතාවේත් නැත, රාජ්‍ය මාධ්‍යවලත් නැත. ස්වාධීන යැයි කියූ කොමිෂන් සභා ස්වාධීන නැතැයි කියන බවට වූ සමාජ අත්දැකීම් බොහෝය. අධිකරණය පවා ස්වාධීන නැතැයි බවට වූ සමාජ, දේශපාලන පමණක් නොව ආගමික නායකයන්ගේ ප‍්‍රකාශද අඩු නැත. කිසිම ක්ෂේත‍්‍රයක ‘නැතිකම’ මිස ඇතිකම බලවත් වී නැත.

මේ ‘නැතිකමේ දේශපාලනය’ ඒකාබද්ධ විපක්ෂයට ද අදාළය. ඔවුන්ට ජන පදනමක් ඇත. එහෙත් පක්ෂය නැත. පවත්නා අර්බුදය හේතු කොටගෙන මේ දෙපාර්ශවයම ජාතික නොවන, ස්වදේශික නොවන, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන පුද්ගලවාදී  කලාපයකට තල්ලූ වෙමින් ඇත. අරුමය නම් ජාතික හෙළ උරුමය ජාතික නැත. ජනතාවගේ විමුක්තිය පතා ආ විප්ලවීය පක්ෂ විප්ලවීයත් නැත, ජනතාවාදීත් නැත. ධනපති ආණ්ඩු සඳහා මඟුල් කපුවෝය. සියල්ල එසේ වුවත් ශ‍්‍රීලනිප ය මේ ‘නැතිකමේ දේශපාලනයෙන්’ මිදී පෝෂක ජනබලවේගය සහ පක්ෂය අතර මහා සම්මුතියක් සාදා නොගතහොත් රට ට ඇතිවන විනාශය සුළුපටු නොවන බව අන් හැමටම වඩා මෛත‍්‍රී ත් මහින්ද ත් අවබෝධ කර ගත යුතුම ය. මන්ද ඒ දෙදෙනා හැර අන් සියලූ  ශ‍්‍රීලනිප කතාකාරයෝ ළදරුවෝ ය. නැතිකමේ දේශපාලනය නැවත ඇතිකමේ දේශපාලනයක් කර ගත හැක්කේ එවිට ය.