කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක

ධනපතියන්ගේ පාලනය ශිෂ්ට වුනු පාර්ලිමේන්තු සම්ප්‍රදාය මුල්බැසගත් රටවල එය එසේ වීමට සාධක කීපයක්ම බලපෑවේය. ධනපතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන් විසින්ම ගොඩනඟා ගනු ලැබූ සමාජ සහ දේශපාලන ව්‍යාපාරවල බලපෑම සහ මැදිහත්වීම ඉන් එක සාධකයකි. එහිදී එම ව්‍යාපාර සහ ඒවා වටා ඒකරාශී වූ ජනයා නියෝජනය කරමින් ධනපති නියෝජිතයන් පාර්ලිමේන්තුවට තේරීපත් වීම ප්‍රධාන විය. 

සමකාලීනව සහ පසුකාලීනව සමාජවාදී, වාමාංශික සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ-දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන මතුකළ විරෝධතා සහ උද්ඝෝෂණවල බලපෑම ධනපති පාර්ලිමේන්තු සම්ප්‍රදාය ශිෂ්ට වීමට බලපෑ දෙවැනි සාධකයයි. 1917 සිදුවුණු ඔක්තෝබර විප්ලවය, ඉන් බිහිවූ සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව සහ ඉන්පසු ගොඩ නැඟුණු සමාජවාදී කඳවුරේ පැවත්ම තෙවැනි සාධකයයි. මේ තෙවැනි සාධකය ඉතා වැදගත්ය. මන්ද ධනපති ප්‍රජාතන්ත්‍රවාදය සහ ඔවුන්ගේ පාර්ලිමේන්තුව වැනි ආයතනික සම්ප්‍රදායන් හිතුවක්කාර සහ අශිෂ්ට වීමට ඒ සමාජවාදී කඳවුරේ බිඳ වැටීම ප්‍රබලවම ඉවහල් වූ නිසාය. මෙවැනි පසුබිමක මෙරට පාලන සම්ප්‍රදාය ප්‍රජාතාන්ත්‍රික නොවී අශිෂ්ට සහ අවිනීත කල්ලිතන්ත්‍රවාදයක්’ වූයේ කෙසේද යන්න විමසා බැලීම මෙවර ලිපියේ අරමුණයි.

මෙරට පාර්ලිමේන්තු සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය පටන්ගැන්මේ සිටම ‘නව වැඩවසම් ප්‍රභූ’ කල්ලියකගේ අණසකට යටත් විය. මා මෙහි දී නව වැඩවසම් ප්‍රභූන් යන්න භාවිතා කරන්නේ සිය පැවැති වැඩවසම් ප්‍රභූත්වය යටත්විජිත තානාන්තර සහ ආර්ථික සබඳතා හරහා පුනර්ජීවනයට පත්කරගත් පැලැන්තියක් හඳුන්වා දීම සඳහාය. ඔවුහු යටත්විජිත ගැති ධනපතීන් වූවා මිස සිය වැඩවසම් උරුම සහ සම්බන්ධතා ධනපති සම්බන්ධතා බවට පත් කර ගත්තෝය. එනම් පරිවර්තනය කර ගත්තේ නැත. ඇඳුමෙන්, කෑමෙන් සහ බීමෙන් ධනපතියන් වූ මොවුහු සිතීමෙන් වැඩවසම් ප්‍රභුන්ම වූහ. තමන්ට ප්‍රවේණි දාස ජනයා පෙන්වන දීනකම සහ ගැතිකම ම මොවුහු තම ස්වාමින් ලෙස ඇදහු යටත්විජිත පාලකයන් සහ ධනපතීන් කෙරේ දැක්වූහ. ඒ අනුව නව ආර්ථික-දේශපාලන-සමාජ-සංස්කෘතික මාදිලියක් වූ ධනපති ක්‍රමය තුළ මොවුන් හැසිරුණේ වැඩවසම් ගතිලක්ෂණ අත් නො හැරමින්ය. නව වැඩවසම් ප්‍රභූහු යනු ඔවුහුය. පාර්ලිමේන්තු ක්‍රමය හෝ සම්ප්‍රදාය නොව ආයතනය පටන් ගත්දා සිටම එය තදින් මැ අල්ලා ගෙන සිටින්නෝ මොවුහුය. ලංකාවේ පාලන ක්‍රියාදාමය තුළ පවුල් කීපයක් බලවත් වන්නේ සහ වී ඇත්තේ මේ නව වැඩවසම් ප්‍රභූ අධිපත්‍යය නිසාය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ දේශපාලන පක්ෂ යනු ඉතා වැදගත් සංඝටකයකි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයනු ලබන්නේ පක්ෂ ක්‍රමය විසිනි. ඒ සඳහා පක්ෂ ප්‍රතිපත්ති සහ අභ්‍යන්තර තාන්ත්‍රික නිදහස ඇවැසිමය. එහි දී තනිපුද්ගල හිතුවක්කාරකම් මත නොව සාමූහික එකඟතා මත තීරණ ගත යුතුය. ඒ සඳහා නොහික්මුණු නායකයන් හෝ කල්ලි නොව විනයානුකූල නායකත්ව සහ පක්ෂ කාරක සභා අවශ්‍යය. එහෙත් ලංකාවේ ‘පාලන පක්ෂ ක්‍රමය’ ද අර ඉහත කී නව වැඩවසම් ධනපති කල්ලි සහ නායකයන්ගේ අණසකට මිස ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයන්ගේ පොදු එකඟතාවලට අවනත නැත. එවැනි නියෝජිතයන් පක්ෂ තුළ ඇත්තේ ද නැත. වැඩවසම් සම්බන්ධතා නඩත්තු කරන පක්ෂ වලින් නූතන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ වටිනාකම් පොදු ජන සමාජයට ලබා දෙනු ඇතැයි විශ්වාස කිරීම උඳු වපුරා තල බලාපොරොත්තු වීම වැනි අනුවණ කමකි.

පසුගිය දින කීපය තුළ ලංකාවේ ගුවන පුරා රැව් පිළිරැව් දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය යන්නය. මෙරට ජනයා ඇසිය යුත්තේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය කාගේ ද යන්නය. සත්‍ය වශයෙන්ම එය ජනයාගේ ‘ප්‍රජා’තන්ත්‍රවාදය නොව පාලකයන්ගේ නැතහොත් ‘නව වැඩවසම් පාලකයින්ගේ තන්ත්‍රවාදය’ වෙනුවෙන් නැඟූ හඬකි, එසවූ සටන් පාඨයකි. ඊටත් වඩා පොදු ජනයා මුළාවේ දැමීම සඳහා නිපදවා ජන මනස තුළ පැළ කළ ව්‍යාජ සවිඥානකත්වයකි. සරලව කිවහොත් ඒ හඬ නැඟුවේ පොදු ජන අපේ තන්ත්‍රවාදය (ප්‍රජාතන්ත්‍රවාදය) වෙනුවෙන් නොව උන්ගේ තන්ත්‍රවාදය (පාලක තන්ත්‍රවාදය) වෙනුවෙන් ය.

1931 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළත් 1947 සිට මේ දක්වා පාර්ලිමේන්තුව තුළත් නඩත්තු වන්නේ මේ නව වැඩවසම් ප්‍රභූ කල්ලිවල පාලක තන්ත්‍රවාදය ය. ඒ පාලකයන් රට වෙනුවෙන් වැඩ කරනවා, අනාගත පරපුර වෙනුවෙන් වැඩකරනවා, අපේ දරුවන් වෙනුවෙන් වැඩ කරනවා යනුවෙන් කෑ ගසන දෙය පොදු ජනයා මනාව තේරුම් ගත යුතුය. ඔවුන් කියන්නේ ඇත්තය. රට වෙනුවෙන් ගත් තීරණ යැයි ඔවුන් කියන්නේ තම පෞද්ගලික සහ පවුල් අරමුණු සඳහා ලංකා භුමිය වඩාත් සාහසික ලෙස පාවිච්චි කිරීමට ගත් තීරණ ය. ඔවුන් කියන අනාගත පරපුර සහ රටේ අනාගතය යනු තම ලේ ඥාති අනාගත පරපුර සහ ඔවුන්ගේම වූ අනාගත සමෘද්ධිය යි. අපේ දරුවන් වෙනුවෙන් වැඩ කරනවා යැයි ඔවුන් කියන්නේ තම ලේ ඥාති දරුවන් වෙනුවෙන් වැඩ කරනවාය යන්නය. ඉතින් මෙය හරියට නොදත් තේරුම් නොගත් ජනයා ඒ පාලකයන් සරණ යන්නේ අනුවණකමට හෝ ඔවුන්ගේ අතපල්ලෙන් වැටෙන දෙයක් ලබා ගැනීමේ හෝ අරමුණෙන් මිස වෙන කුමක් නිසා ද?

මේ නව වැඩවසම් පාලක කල්ලි යම් ආකාරයක අර්බුදයකට මුහුණ දුන්නේ 1978 න් පසු පාලන පොරපිටිය ලු‍ම්පන් ප්‍රභූ පිරිස් විසින් ආක්‍රමණය කරනු ලැබීම නිසාය. මේ ආක්‍රමණය සිදුවූයේ සාමුහිකව නොව තනි තනිවය. එහෙත් ටික කලකට පසු මේ තනි ලු‍ම්පන් ප්‍රභූහු පීඩිත සහ ලු‍ම්පන් නිර්ධනීන් සමඟ දැඩි අනුග්‍රාහක-සේවාදායක සම්බන්ධයක් ගොඩ නගා ගත්තෝය. එනම් ඉතා සරලව කිවහොත් ‘ඡන්දේ දෙනව නම් මේවා දෙන්නම්, මේවා දෙනව නම් ඡන්දය දෙන්නම් ආකාරයේ සම්බන්ධයක්’ ගොඩ නගා ගත්තෝය. දශක ගණනක් තිස්සේ ජන සමාජය පාලනය කළ නව වැඩවසම් ප්‍රභූ කල්ලිවල නොසලකා හැරීම් නිසා සමාජය තුළ වගා දිගාවුණු අර ලු‍ම්පන් නිර්ධනීහු ලු‍ම්පන් ප්‍රභූ පාලකයන්ගේ පදනම, පැවැත්ම සහ චිරජීවනය සහතික ක​ෙළා්ය. සහතික කරමින් සිටින්නෝය.

කෙටිකාලීනව මේ ලු‍ම්පන් පාලක පුද්ගලයන්ගෙන් ඈත්වී සිටි නව වැඩවසම් ධනපති පාලක පවුල්, පුද්ගලයෝ කල්ලි සහ ආයතන තම පැවැත්ම අර්බුදයට යෑම වළක්වා ගැනීම සඳහා ඉතා කල්පනාකාරී පියවරක් ගත්තෝය. ඒ තම පාලන අරමුණු සහ ක්‍රියාමාර්ග ද ලු‍ම්පන් පාලන මොඩලයට ගළපමින් එම ලු‍ම්පන් පාලනයට නායකත්වය දීමේ පියවරය. ඒ නිසා සිදු වූයේ රටේ සමස්ත පාලන ක්‍රියාවලියම ලු‍ම්පන්කරණය නැතහොත් පාදඩකරණය වීමය. රටේ පාර්ලිමේන්තු ක්‍රමය විකාරයක් වී පාදඩකරණය වූයේ ඒ ආකාරයටය. මේ නිසා නව වැඩවසම් ධනපති පාලකයන් අකමැත්තෙන් හෝ නොදැනුවත්කමින් රැකගෙන ආ ඉතිරිව තිබූ ඇතැම් ධනපති පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා විනාශ වී ගියේය. අර්ධ ජනාධිපති ක්‍රමයට හෝ අධිකරණයට හෝ මේ විපතින් රට ගලවා ගත නොහැකිය. මන්ද පාර්ලිමේන්තුව විසින් ජනයාගේ පරමාධිපත්‍යය විනාශ කර ඇති නිසාය.

මේ විනාශයෙන් ජන සමාජය ගලවා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ඇත්තේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී සමාජ-දේශපාලන ව්‍යාපාර වලටය. සංවිධානවලට ය. එහෙත් පැවැති සියලු‍ එවැනි ඒවා එක්කෝ ලු‍ම්පන් පාලන හවුල්වල සහායකයන් බවට පත්වී විනාශ විය. එක්කෝ අසරණව අඩපණ විය. පුරෝගාමී වමට අත් වූයේ ඒ ඉරණමය. පසු වමට අත් වූයේ ද ඒ ඉරණම ම ය.

මැද බලවේගයක් ව පැවති ශ්‍රීලනිපයට අත්වූයේද එවැනි ඉරණමක් ය. ශ්‍රීලනිපය ඒ ඉරණමෙන් ගලවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන නම් වූ, ඉතිරි වී ඇති එකම ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයා ට හැකි වෙයිද? ප්‍රජාතන්ත්‍රවාදය දිනා ස්ථාපිත කිරීමේ නව ස්වදේශික සමාජ-දේශපාලන ව්‍යාපාරයක් බවට ශ්‍රීලනිපය පත් කිරීමේ මෛත්‍රීපාල අරමුණ විටින්විට ප්‍රකාශ වනවිට ඊට එරෙහිව සිට ගන්නේ එජාපය පමණක් නොවන බව රට තේරුම් ගත යුතුය. චෝදනාව එජාපයට පමණක් නැඟීම අසාධාරණය.

නැවතත් අප මෙරට දේශපාලන අසංස්කෘතිය සහ දේශපාලන අශිෂ්ටාචාරය දෙසට හැරෙමු. මේ සඳහා බලපෑ සාධක ඉහත දී පැහැදිලි කර ඇත. සමාජ-දේශපාලන ව්‍යාපාර හෝ සංවිධානවල නියෝජිතයන් පාලන ආයතනවල නියෝජිතයන් කරවීම මිස මේ ව්‍යසනයෙන් ගැලවීමට වෙන මඟක් නැත. ඒ සඳහා සමාජයට වගකියන එවැනි නියෝජිතයන් සහ ආයතන සඳහා පමණක් සීමාවන දේශපාලන ක්‍රම සහ පටිපාටි සකසා ගත යුතුය. දැන් වඩාත් පෙනෙන ආකාරයට වැරැද්ද ඇත්තේ පුද්ගලයන් තුළ වුවත් එවැන්නන්ට වැට බඳින ක්‍රමයක් අප තනා ගතහොත් ඒ වැරැදි යළි සිදු නොවනු ඇත. 

ආණ්ඩු පෙරළනවාට වඩා, ආණ්ඩු පත්කර ගන්නවාට වඩා වැඩි වෙහෙසක් අප යෙදිය යුත්තේ ආණ්ඩු පාලනය කරන ක්‍රම සාදා ගැනීමටය. ආණ්ඩුව දමන අච්චු සකසා ගැනීමටය. ආණ්ඩු පාලකයන්ගේ වුවද ඒවා මෙල්ල කරන ක්‍රම ජනයාගේ විය යුතුය. ඒ සඳහා, විධායකයත් පාර්ලිමේන්තුවත් අධිකරණයත් ඇත්තේ ජනතා පරමාධිපත්‍යයට පහළින් ජන අධීක්ෂණය සහ පාලනය යටතේ බව තේරුම් ගෙන වැඩ කළ යුතුය. එකී තේරුම් ගැනීම මත පදනම් වූ සමාජ-දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන ගොඩනැඟීමට මෙරට සියලු‍ ජනයා ක්‍රියා නොකළ හොත් පාලකයන්ගේ දරුවන්ගේ නොව පොදු ජනයාගේ දරුවන්ගේ අනාගතය පමණක් නොව, වර්තමානය ද අඳුරට යනු ඇත යන්න මගේ අදහසය