හිරෙන් නිදහස් වී එළියට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයාට පක්‍ෂයේ කටයුතු  සංවිධානය කරන්නට වැඩි කාලවේලාවක් නොතිබිණි. ඊට හේතුව වූයේ ඔහුත් අපේක්‍ෂකයකු වූ 1982 ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වෙන දිනය ළං වෙමින් තිබූ නිසාය. ඒ නිසා වැඩි අවධානය යොමු වී තිබුණේ ජනාධිපතිවරණ සටනට සූදානම්වීම සඳහාය. විජේවීර සහෝදරයා සහභාගී වන රැලි ජවිපෙ පාක්‍ෂිකයන් අතින් දස අතේ සංවිධානය වෙමින් තිබිණි. වැල්ලවත්තේ රැලියද ඒ ආකාරයේ එකකි. එම රැලියේදී සිදුවූ ජරමරයක් පිළිබඳ ටුබැකෝ සුනිල් සහෝදරයා සිය මතක අවදි කළේ මෙලෙසිනි.

 


ජනාධිපතිවරණ කාලේ විජේවීර සහෝදරයා ගොඩක් රැලි ඇමතුවා. මටත් ඒ රැලි බොහොමයකට සහභාගි වෙන්න පුළුවන් වුණා. ඔය විදියට වැල්ලවත්තෙ තිබුණු එක රැලියකදි විජේවීර සහෝදරයා කතා කරමින් ඉන්න අතරෙ එකපාරටම විදුලිය විසන්ධි වුණා. ඒත් එක්කම මුළු රැස්වීම් භූමියම කළුවර වුණා. ඒ වෙනකොට රටේ තිබුණු වාතාවරණයත් එක්ක විජේවීර සහෝදරයාගෙ ජීවිතේට මොකක් හරි අනතුරක් වෙන්න ඉඩ තිබුණ නිසා මමයි තව සහෝදරවරු පිරිසකුයි ඉක්මනට වේදිකාවට ගොඩවෙලා විජේවීර සහෝදරයා වටා මිනිස් වළල්ලක් හදලා ඔහුව ආරක්‍ෂා කළා.


ජනාධිපතිවරණ සමයේදී විජේවීර ගත කළ ජීවිතයේ තිබූ දුෂ්කරතා බොහෝය. ඔහුගේ ගමන් බිමන්වල සිට අඳින ඇඳුම් පැලඳුම්වල පවා ඒ දුෂ්කර බව තිබූ බව ටුබැකෝ සුනිල් සහෝදරයාගේ “රතු මතක” සාක්‍ෂි දරයි. මේ ඔහු තවත් එවැනි සාක්‍ෂි රැසක් වචන කළ ආකාරයයි.


“හිරෙන් නිදහස් වෙලා එළියට ආපු දවස්වල විජේවීර සහෝදරයා ගත කරපු ජීවිතයෙ ගොඩක් සිදුවීම් ගැන මට මතකයක් තියෙනවා. ඒ දවස්වල විජේවීරට අදින්න තිබුණෙ එක ටී ෂර්ට් එකයි. උදේ අඳින ඒ ටී ෂර්ට් එක රෑට හෝදලා වීරසිංහ ලී මෝලෙ වේලෙන්න දාලා ආපහු පහුවැනිදා අඳිනවා. රෑට රැස්වීම්වලට ගිහිල්ලා සමහර දවස්වලට වීරසිංහ මෝලෙ නිදාගන්නත් එනවා. ඒ එන්නෙ හොඳටම දාඩිය පෙරාගෙන. මට මතකයි. එහෙම එන දවස්වල විජේවීර සහෝදරයා පරණ බැනර් එකක් ලෑලි උඩ එළාගෙන නිදාගන්නවා.


ඔය විදියට විජේවීර, ගමනායක සහෝදරවරු ඒ කාලෙ පක්ෂය වෙනුවෙන් දුෂ්කරතා ගොඩකට  මුහුණ දුන්නා. විජේවීර සහෝදරයා හිරෙන් නිදහස් වෙලා ආපු මුල් දවස්වල පක්‍ෂයේ සම්බන්ධීකරණ වැඩ කටයුතු වැඩිහරියක් සිද්ධ වුණේ මරදානේ දේවානම්පියතිස්ස මාවතේ තිබුණු සිරිපාල අයියගෙ ගෙදරක. පක්‍ෂයේ වැඩවලට අපිත් නිතර දෙවේලේ එහෙ යනවා. එනවා. ඊට පස්සේ තමයි අපිට තාවකාලිකව  ආමර් වීදියේ කාර්යාලය ලැබුණෙ. ඊටත් පස්සේ අපිට පක්‍ෂයේ වැඩ කරගෙන යන්න සමාජවාදී කම්කරු සංගමයට අයිති කොම්පඤ්ඤවීදියේ මුත්තයියා පාරේ තිබුණු කාර්යාලයක් ලැබුණා. ආපසු පංචිකාවත්තෙනුත් කාර්යාලයක් හම්බ වුණා. පංචිකාවත්තෙ පක්‍ෂ කාර්යාලය තියෙන අතරෙ තමයි ‘ලක්‍ෂයේ අරමුදල’ කියලා කැට ව්‍යාපාරයක් පටන් ගත්තෙ. කොහිලවත්තෙ මුද්‍රණාලයක් පටන්ගන්නයි එහෙම අරමුදලක් හැදුවෙ. අපි මේ කැට ව්‍යාපාරය  මුළු රට පුරාම පැවැත්වුවා.


“මම ඔය කාලේ වෙනකොට නැවතිලා හිටියෙ බියගම පැත්තෙ කුලියට ගත්ත ගෙදරක. බියගම ආසනයේ කැට ව්‍යාපාරය හැමදාම උදේ ආරම්භ කළේ මගේ ගෙදරින්. ඒ වගේම තමයි අපි උදේ ඉඳලා හැමතැනම ඇවිදලා එකතු කරන කැට සල්ලි හවසට කැට කඩලා ගණන් කළෙත් මගේ ගෙදරදි. සල්ලි ගණන් කළාට පස්සේ අපි ඒවා දිස්ත්‍රික් කාර්යාලයට ගිහින් බාර දෙනවා. ඔය විදියට සල්ලි එකතු කරලා අපි කොහොම හරි කොහිලවත්ත ප්‍රෙස් එක ආරම්භ කළා. අපි අලුතින් පටන් ගත්ත ප්‍රෙස් එක බාරව හිටියේ කෙලී සේනානායක සහෝදරයයි. විනය විරෝධි කටයුතුවලට සම්බන්ධවීමේ චෝදනාව මත පස්සේ කාලෙක කෙලීව පක්‍ෂයෙන් නෙරපා හැරියා.”


“ඔය කාලෙදීම තමයි පක්‍ෂය මුල්වරට අප්‍රේල් විරු සමරුවකුයි ප්‍රදර්ශනයකුයි පැවැත්තුවේ. ඒකෙදි පක්‍ෂයේ ඉතිහාසය හා සන්නද්ධවීම, අප්‍රේල් පහ ප්‍රහාරය, ඌරුබොක්කේ සාකච්ඡාව වැනි දේවල් ගැන ප්‍රදර්ශනයට එන අයට හඳුන්වා දෙන සහෝදරයෙක් හැටියට මම කටයුතු කළා. මේ ප්‍රදර්ශනය බලන්න ඇවිත් ඉන්න සෙනග පෝලිමේ ජවිපෙ 1971 කැරැල්ලට සම්බන්ධ තද පොරවල් ඉන්නවා කියලා අපිට ඒ වෙනකොට පක්ෂයෙන් දැනුම් දීලා තිබුණා. ඒ එක්කම පක්‍ෂයේ සහෝදරවරු අපිට පණිවුඩ එව්වා එයාලා අපිව කිච කරයි ඒ නිසා පරිස්සමෙන් වැඩ කරපල්ලා කියලා. ඒ කොහොම වුණත් අපි පක්‍ෂයේ නවක සාමාජිකයො හැටියට ඒ ප්‍රදර්ශනය සාර්ථකව කරන්න පුළුවන් වුණා. එහෙම ආපු කීපදෙනෙක් අපෙන් පක්ෂෙට සම්බන්ධ එක එක ප්‍රශ්න ඇහුවා. මට මතකයි අපි ඒ ප්‍රශ්නවලට හොඳ උත්තරදීලා ප්‍රදර්ශනය සාර්ථකව පැවත්තුවා.


තවත් කොටසක් ලබන සතියට.


උපුල් වික්‍රමසිංහ