මීට අවුරුදු 70කට පමණ පෙර නිවෙසේ කුස්සියෙන් ‘ඕඩික්ලෝන්’ නිෂ්පාදනය කිරීමෙන් ඇරඹූ ඒ ව්‍යාපාරය අද ඖෂධ හා සනීපාරක්‍ෂක නිෂ්පාදනයේ දැවැන්තයෙකි. හෝටල් හා රෝහල් ක්‍ෂේත්‍රයේ ද විශිෂ්ටයෙකි. හේමාස් හෝල්ඩින්ස් නමින් හඳුන්වන ඒ ව්‍යාපාර සමූහයේ සේවක සංඛ්‍යාව 8100කි. තෙවැනි පරම්පරාව අත රැඳුණු ඒ ව්‍යාපාර සමූහයේ වත්මන් සභාපති හුසේන් එසුෆාලී ය. එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිධරයකු වන හුසේන් මහතා සමඟ ‘කළයුත්තේ කුමක්ද? විශේෂාංගයෙන් අද කතා කරන්නේ ද මෙරට කර්මාන්තකරුවන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳවය. ප්‍රශ්නය හා පිළියම් හුසේන් මහතා දකින්නේ මේ අයුරිනි.

නිෂ්පාදන කර්මාන්ත රටට ඉතා වැදගත්ය. රටේ දරු දැරියන්ට රැකියා සපයන්නේ කෙසේද? විශ්වවිද්‍යාලවලින් පිහිවන උපාධිධාරී තරුණ තරුණියන්ට රැකියා සපයන්නේ කෙසේද? යන්න අදටත් බරපතළ ප්‍රශ්නය. ශ්‍රම බලකායේ සියලු දෙනාට රජයේ රැකියා සැපයිය නොහැකිය. රජයේ රැකියා කරන්නේ ශ්‍රම බලකායෙන් සියයට 15කි. ශ්‍රම බලකායෙන් සියයට 45ක් රැකියා කරන්නේ පෞද්ගලික අංශයේය. රැකියා සැපයීම අතින් පමණක් නොව විදේශ විනිමය ඉපයීම අතින් ද නිෂ්පාදන කර්මාන්ත සුවිශේෂීය. එහෙත් මේ නිෂ්පාදන කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි වැදගත්කම් මේ රජය තවමත් නිසිලෙස තේරුම් ගෙන තිබේදැයි මට ඇත්තේ සැකයකි.

දසක ගණනාවක් තිස්සේ අපි තේ, රබර්, පොල් අපනයනය කළෙමු. එහෙත් රබර් හා පොල්වලට තිබූ ඒ වැදගත්කම දැන් ගිලිහී ගොසිනි. ලෝකය දැන් එදාට වඩා වෙනස්ය. වර්තමාන ලෝකයේ අප වැඩියෙන් නිෂ්පාදනය කළ යුත්තේ වැඩි වැඩියෙන් අපනයනය කළ යුත්තේත් අගය එකතු කළ නිෂ්පාදනය. එසේ කළ යුත්තේ රටට වැඩි වැඩියෙන් ඩොලර් උපයා ගැනීමටය. එය එසේ වී තිබෙන්නේ රටක් ලෙස අප බරපතළ විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටින හෙයිනි. විදෙස් සමාගම් මෙරටට ගෙන්වා ගෙන ඔවුන් සඳහා නිෂ්පාදනය කර ඒවා පිටරට යැවීම කාලයක් තිස්සේ කෙරුණු දෙයකි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආරම්භ කළේ ද ඒ අරමුණෙනි. එහෙත් එහිදී අප සිතිය යුත්තේ ඒ විදෙස් සමාගම් ලංකාවට එන්නේ ඇයි ද යන්න පිළිබඳවය.

ලංකාවේ විශාල වෙළෙඳ පොළක් නැත. එසේම රට අලුත් බදු නීතියක් ද සම්මත කරගෙන තිබේ. ඒ නීතිය යටතේ දැන් බදු නිදහසක් නැත. අතීතයේ විදෙස් ආයෝජකයන්ට බදු නිදහසක් තිබිණි. එවැනි නිදහසක් නැතිව තිබියදී ඔවුන් මෙහි එයි දැයි අප සිතා බැලිය යුත්තකි. විදෙස් ආයෝජන අද්දා ගැනීමට අද ලෝකයේ තිබෙන්නේ තරගයකි. අපේ රටට වඩා ලොව ඇතැම් රටවල තිබෙන ආයෝජන පරිසරය ඉතා ඉහළය. ප්‍රධානම කාරණය ඒ රටවල සාමය තිබීමය. ඇතැම් රටවල ශ්‍රමයට ගෙවීමට සිදුවන මුදල අඩුය. ඒ කෙසේ වුවත් මා කියන්නේ ලාංකිකයන් ලෙස අප සිතිය යුත්තේ කිහිලිකරුවලින් තොරව නැඟී සිටීමටය.

විදෙස් ආයෝජන මතම නොයැපී ලාංකික සමාගම් සමඟ නැගී සිටීමට ආණ්ඩු කල්පනා කළ යුතුය. එහෙත් ලාංකික සමාගම්වලට තනියෙන් නැඟී සිටිය නොහැකිය. එයට හේතු වී තිබෙන්නේ ලාංකික සමාගම්වලට එවැනි අත්දැකීමක් නොමැති හෙයිනි. ඒ නිසා අප විදෙස් ආයෝජකයන් සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතුය. ඒ සමයෝගයේ අරමුණ විය යුත්තේ තාක්‍ෂණික දැනුම පළපුරුද්ද හා අත්දැකීම් ලබාගැනීමය. විදෙස් ආයෝජකයන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීම හා ඔවුන් හිස මත තබාගෙන වැඩ කිරීම එකක් නොව දෙකකි. අප රටේ තිබෙන බුද්ධිමය දේපළ අපට ඉතා වැදගත්ය.

විදෙස් ආයෝජකයන් සමඟ එකතු වී අප නිෂ්පාදනය කළ යුත්තේ විදෙස් රටවල ජනප්‍රිය වෙළෙඳ නාමවලින් යුතු භාණ්ඩ නොවේ. එවැනි භාණ්ඩ නිපදවීමට අප විදෙස් ආයෝජකයන් සමඟඑකතු වූ විට ඔවුන් හදිසියේ අප රටෙන් ඉවත් වී වෙනත් රටකට ගියොත් අපට අකුළා ගැනීමට සිදුවෙයි. එහෙයින් අප ඔවුන් සමග නිෂ්පාදනය කළ යුත්තේ අපේ, එනම් ලාංකික වෙළෙඳ නාමවලින් යුතු භාණ්ඩය. විදේශිකයන් භාණ්ඩ මිලදී ගන්නේ වෙළෙඳ නාමයේ ජනප්‍රියත්වය මතය. උදාහරණයකට කොකාකෝලා ලෝකයේම ජනප්‍රිය වෙළෙඳ නාමයකි. එහි රසය හා ගුණය ගැන කවුරු මොන කතා කිව්වත් එහි ජනප්‍රියතාව ඉතා ඉහළය.

අපේ රටේ ද එසේ ජාත්‍යන්තරය දිනූ වෙළෙඳ නාම නැත්තේ නොවේ. ‘සිලෝන් ටී’ හොඳ උදාහරණයකි. තේ නිපදවන ඇතැම් රටවල් ‘සිලෝන් ටී’ තත්ත්වයට පත්වීමට වෙර දරන්නේ ද ‘සිලෝන් ටී’ වලට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම නිසාය. එසේ අප උත්සාහ කළ යුත්තේ ලාංකික වෙළෙඳ නාම ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහාය. එසේ කළ විට විදෙස් ආයෝජකයා හදිසියේ අප හැර ගිය ද අපට ප්‍රශ්නයක් නොවේ.

එහෙත් රජයෙන්, ආණ්ඩුවෙන් අද ඒ කාර්ය භාරය ඉටු නොවෙයි. ආණ්ඩුව බලන්නේම හසුරුවන්නේ පාලනය කරන්නේ හා නියාමනය කරන්නේ  කෙසේද යන්න පිළිබඳවය. පෞද්ගලික අංශයට, නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහාය දෙන්නේ කෙසේද, සහයෝගයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව ආණ්ඩුව නොසිතයි. කල්පනා නොකරයි. ආණ්ඩුව පොලිස්කාරයාගේ භූමිකාවෙන් මිදී පෞද්ගලික අංශය සමග එකතුවී රට ගොඩ දමන්නේ කෙසේදැයි කල්පනා කර ඒ සඳහා ක්‍රමවිධි හඳුන්වා දිය යුතුය. අපට අවශ්‍යව තිබෙන්නේ අප සමග එකතුවී වැඩ කරමින් අපේ ප්‍රශ්න සොයා බලමින් ඒවා අවබෝධ කර ගනිමින් විශ්වවිද්‍යාලවල සිටින උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ සහාය ලබාගෙන කවුරුත් සහයෝගයෙන් වැඩ කරන ක්‍රමවේදයකි.

එය පෞද්ගලික අංශයේ අපට තනියෙන් කරගත හැකි දෙයක් නොවේ. ඒ සඳහා අවශ්‍ය අධිකාරිය හා බලය ද අපට නැත. එය තිබෙන්නේ ආණ්ඩුව අතය. ඇත්තෙන්ම ආණ්ඩුව කළ යුත්තේ මැදිහත්කරුවන්ගේ කාර්යභාරයකි. එය මුදල් වියදම් වන කටයුත්තක් නොවේ. රටක් හැටියට අපට ඉදිරියට යා හැක්කේ ආණ්ඩුව එලෙස කටයුතු කළහොත්ය. ආණ්ඩුව පොලිස්කාරයකු වීම පමණකින් රටේ ආර්ථිකය දියුණු කළ නොහැකිය. රැකියා උත්පාදනය කළ නොහැකිය. වැඩි වැඩියෙන් විදේශ විනිමය ඉපයිය නොහැකිය. එහෙත් එය එලෙසින් තේරුම් ගෙන ඇත්තේ දැයි තිබෙන්නේ බරපතළ සැකයකි.

එය දිගුකාලීන සැලසුමක් සහිත ක්‍රියාවලියක් විය යුතුය. සිංගප්පූරුව හා ජපානය වැනි රටවල් දියුණු වූයේ එලෙසිනි. දිගු කාලීන දර්ශනයක් සහිත ප්‍රතිපත්තියන් සහිත වැඩපිළිවෙළක් ලංකාවේ ක්‍රියාත්මක නොවේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමැතිගෙන් ඇමැතිට ප්‍රතිපත්ති වෙනස් වෙයි.

ආණ්ඩු කටයුතු කරන්නේ එලෙස නම් පෞද්ගලික අංශයේ අප දිගුකාලීන සැලසුම් සහිතව දිගුකාලීන ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ආයෝජනය කරන්නේ කෙසේද? ආණ්ඩුවක් වී රටට ගැළපෙන දිගුකාලීන සැලසුම් හා දිගුකාලීන ප්‍රතිපත්ති සකස් කළ යුතුය. ආණ්ඩු හා ඇමැතිවරුන් මාරු වුණාට ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුය. ඊට අමතරව තිබිය යුතු අනෙක් වැදගත්ම සාධකය වන්නේ නීතිය හා සාමය මැනවින් ආරක්‍ෂා වීමය. අද සැම තැනම තිබෙන්නේ ගනුදෙනුය, කොමිස් ඉපයීමය. මුළු රටේම හැම ක්‍ෂේත්‍රයකම පවතින්නේ ගනුදෙනුය, ඩීල්ය. ‘ඩීල්’ මතම රටක් දියුණු කළ නොහැකිය. අපේ සමාගම අවුරුදු 70ක් තිස්සේ මෙරටෙහි ව්‍යාපාර කරයි. අප බලන්නේ තවත් අවුරුදු 70ක් ව්‍යාපාර කිරීමටය. ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරන්නේ එලෙස දිගුකාලීන සැලසුම් සහිතවය. ඒ නිසා අප බලන්නේ දේශීය වෙළෙඳාම ජාත්‍යන්තරයට ගෙනයාමය. අපේ වෙළෙඳ නාම අපේ බුද්ධිමය දේපළකි. ඒවා කිසිවකුට පැහැරගත නොහැකිය. අප එසේ දිගු කාලීන ආයෝජන කරන්නේ ඉතා විශාල අවදානමක් දරාගෙනය. රටේ නීතිය හා සාමය යථාපරිදි ක්‍රියාත්මක විය යුත්තේ එහෙයිනි. අඛණ්ඩ ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේද ඒ සඳහාමය.

අපේ අධ්‍යාපන ක්‍රමයද වෙනස් විය යුතුය. රැකියා වෙළෙඳපොළේ තිබෙන රැකියාවලට ගැළපෙන පුද්ගලයන් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි නොවීම බරපතළ කාරණයකි. අපේ සමාගම ඖෂධ නිපදවා ආනයනය කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ කටයුතු කිරීමට අපට උගත් තරුණයන් අවශ්‍යය. අපට අවශ්‍යවන්නේ ඖෂධ නිෂ්පාදනය පිළිබඳ උපාධිධාරීන්ය. එවැනි උපාධිධාරීන් බිහිකිරීම අපේ විශ්වවිද්‍යාලවල වගකීමකි. එවැනි උගතුන් මෙරට විශ්වවිද්‍යාලවලින් බිහි නොවන්නේ නම් අපේ ආයතනවල තියෙන රැකියාවලට අවශ්‍ය වෘත්තිකයන් අපට ගෙන්වන්නට සිදු වන්නේ පිටරටවලිනි. ලංකාවේ වෘත්තිකයන් විශාල පිරිසක් දැන් රට හැර ගොසිනි. ඒ ඇතැමුන් රට හැර ගියේ ඔවුනට කළ හැකි දේවල් මෙරටෙහි නැති හෙයිනි. ඒ අයගෙන් යම් පිරිසක් යළි ලංකාවට ඒමට කැමැතිය. එහෙත් ඔවුනට මෙහි පැමිණ පිළිගැනීමක් සහිතව රැකියා කළ හැකි තත්ත්වයක් නිර්මාණය විය යුතුය. එය ඉබේ වන දෙයක් නොවේ. එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීමකි. මෑතක දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය වූයේ තරුණ පරපුරේ අති බහුතරය මෙරටෙහි ජීවත් වීමට අකැමැති බවය. ඔවුන් ආසියාවේ හා යුරෝපයේ දියුණු රටවල යාමට කැමැති බවය. ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ ගැන අවධානය යොමු කළහොත් බොහෝ දේවල් අනාවරණය කර ගැනීමට හැකි වෙයි. 

ඖෂධ හා සනීපාරක්ෂක භාණ්ඩ (දත් බෙහෙත්, සබන්, ආලේපනය කරන ක්‍රීම්) නිෂ්පාදනයේ නියුතු අපේ සමාගම්වල අරමුණ වන්නේ සංකල්පයේ සිට නිෂ්පාදනය දක්වා සියල්ල අපේ සේවකයන් වෙතින්ම කිරීමය. ඒ සඳහා ඉගෙන ගත් හා පුහුණු වෘත්තිකයන් අපට අවශ්‍යය. එහෙත් අවශ්‍ය තරමට මෙරට විශ්වවිද්‍යාලවලින් එවැන්නෝ බිහි නොවෙති. 

රටට අවශ්‍යව තිබෙන්නේ ඉන්දියාවේ හා ජපානයේ වැනි වෘත්තිකයන්ය. එවැනි වෘත්තිකයන් බිහි කළ හැකි මට්ටමට අපේ විශ්වවිද්‍යාලවල පාඨමාලා නවීකරණය විය යුතුය. ව්‍යාපාර හා කළමනාකරණ පාසල් ද ලංකාවේ තිබිය යුතුය. උදාහරණයකට ගතහොත් බංග්ලාදේශයේ ව්‍යාපාරික හා ඉන්ටනෙට් පාසල් තිබේ. එහෙත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැත. ඒ නිසා අපට විදේශ රටවලින් වෘත්තිකයක් ගෙන්වා ගැනීමට සිදු වී තිබේ. අපේ විශ්වවිද්‍යාලවල උපාධිධාරින්ගේ ආකල්පවල ද වෙනස්කම් තිබේ. මා ඉගෙන ගත්තේ එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනි. උපාධිය ලබා ගත්තේ 1981 දීය. 

ඒ අනුව මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වූයේ මීට අවුරුදු 38කට ඉහතදීය. එංගලන්තයේ ඒ කාලයේත් විශ්වවිද්‍යාල හා කර්මාන්තශාලා අතර තිබුණේ සමීප සබඳතාවකි. 

කර්මාන්ත ශාලාවල පර්යේෂණ හා සංවර්ධන අංශ තම කටයුතුවලට උදව් ගන්නේ විශ්වවිද්‍යාලවලිනි. එංගලන්තය මීට අවුරුදු 38කට පෙර එසේ කළත් අපේ රටේ අදටත් එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවේ. 

රටේ ආර්ථික දියුණුව ගැන සිතන්නේ නම් අප ද වෙනස් විය යුතුමය. අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුමය. විශ්වවිද්‍යාලවල පාඨමාලා වෙළෙඳපොළ  රැකියා සමග බද්ධ කළ යුතුමය. 

ඒ අතින් ෆින්ලන්තයේ තිබෙන්නේ නිර්මාණශීලී ක්‍රමවේදයකි. එරට පාසල් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ක්‍රමය ද නිර්මාණශීලීය. පෞද්ගලික සමාගම් සමඟ එකතු වී කටයුතු කිරීම හා ඔවුන්ට විශාල ලෙස සහාය දැක්වීම එරට රජයේ ලක්ෂණයකි. 

අවදානම් ගැනීම සඳහා සමාගම්වලට උදව් කිරීම එරට රජයේ සුවිශේෂ ලක්ෂණයකි. පාසල් සමයේදීම තරුණ වයසේදීම එරට දරුවන්ට කර්මාන්තවලට සම්බන්ධ වීමට අවස්ථාවක් හිමිවෙයි. එරට ක්‍රමවේදය අපට වඩා සපුරා වෙනස්ය. අප ද වෙනස් වන ලෝකයට අනුව වෙනස් විය යුතුය. වෙනස් වන ලෝකයට අනුව වෙනස් විය නොහැකි සත්ත්වයන් වඳ වී යන බව පරිණාමවාදයේ පියා වන චාල්ස් ඩාවින් ලෝකයට පෙන්වා දී තිබෙන්නේ අවුරුදු සිය ගණනකට පෙරය. අප ඒ බව දැන දැනම වෙනස් නොවී සිටීම රටක් ලෙස ඉතා භයානකය. එහෙත් එහි භයානකකම ප්‍රතිපත්ති සම්පාදකයන් නිසි ලෙස තක්සේරු කර තිබේ දැයි ඇත්තේ ද සැකයකි. 

බදු හා ගාස්තු අඩු කිරීමෙන් සේම නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමෙන් රට දියුණු කළ හැකි බව ආණ්ඩුව සිතයි. ඒවා නොකළ යුතු බවත් මම නොකියමි. ඇත්තෙන්ම ආණ්ඩුව කළ යුත්තේ දියුණු කළ යුත්තේ මොන කර්මාන්ත ද රැක ගත යුත්තේ මොන කර්මාන්ත ද ජාත්‍යන්තරය දිනා ගත හැක්කේ මොන කර්මාන්තවලින් ද කියා හඳුනා ගැනීමය. ඒවා ගැන සොයා බැලීමෙන් අනතුරුව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම සුදුසු බව මගේ හැඟීමයි. අප රැක ගත යුතු කර්මාන්ත රැක ගත යුතුමය. ඒවාට තර්ජනයක් වන ආකාරයේ ගිවිසුම් අත්සන් කිරීම රටට හානිකරය. 

වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ යුත්තේ අපේ රටට වාසි ලබා ගැනීමට මිස අපට අවාසි හා අලාභ වනු පිණිස නොවේ. ගාස්තු අඩු කිරීම ගැන ද සලකා බැලිය යුත්තේ ඒ අයුරිනි. පළමුව ලංකාවේ තිබෙන සමාගම්වල තරගකාරීත්වය වැඩි කළ යුතුය. අපේ කර්මාන්තශාලාවල තත්ත්වය හා ප්‍රමාණය ඉන්දියාවේ කර්මාන්ත ශාලාවලට වඩා වෙනස්ය. ඉන්දීය කර්මාන්තශාලාවලට රාජ්‍ය රැකවරණය ඉහළින් ලැබෙයි. එහෙත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැත. ඒ නිසා අපේ බොහෝ කම්හල් දැනටත් වැසී ගොසිනි. 

නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ බදු අඩු කළ පසු සහ බදු නැති වූ විට සියල්ල නිදහසේ මෙරටට ගලා ඒම වැළැක්විය නොහැකිය. එතෙරින් එන භාණ්ඩ සමඟ තරග කිරීමට මෙරට නිෂ්පාදකයන්ට නොහැකි වූ විට අපේ කම්හල් වැසීයාම වැළැක්විය නොහැකි වනු ඇත. එවිට මෙරට කර්මාන්ත ශාලා හිමියන්ට ද ඒ රටවල ගොස් ඒ රටවලදී භාණ්ඩ නිපදවා මෙරටට ගෙන ඒමට සිදු වනු ඇත. එසේ වූ විට ලාංකිකයන්ගේ රැකියාවලට වන්නේ කුමක්ද? රටට විදේශ විනිමය ලැබෙන්නේ කෙසේද? 

සාකච්ඡා සටහන  -ගුණසිංහ හේරත්