අස්ථාවර පසුබිමක සිට ජනපතිවරයා ගන්නා ඇතැම් තීන්දු තීණයන් හමුවේ නිර්මාණයව තිබෙන්නේ ආන්දෝලන සහ අර්බුද පමණකි. ජනපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තලයේ නායකයින් අතර තිබෙන බව පැවසෙන සමීප සම්බන්ධතාව කෙරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැඩි අවධානය යොමු කර තිබෙන අතර, එම කණ්ඩායමේ සහාය ලබාගැනීමට සහ ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව කටයුතු කිරීමට ජනපතිවරයා යොමුව ඇති අවස්ථාවන් ඔවුන්ගේ අවධානයට හසුව ඇත. ඒ හමුවේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන්ද, අවංකභාවය සම්බන්ධයෙන්ද, ගැටලු මතුව තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ කටයුතු කෙරේද පොදු ජන පෙරමුණේ සැළකිල්ල මෙවැනිය.

මේ වන විට පවතින තත්ත්වය අනුව රජයේ රියදුරු අසුනේ සිටින එක්සත් ජාතික පක්ෂයට ද මුහුණදීමට සිදුව තිබෙන ගැටලු බොහෝය. කඩාවැටෙන ආර්ථිකයක් පිළිසකර කිරීමට සිදුව තිබෙන අතරම අයවැය සකස් කිරීම කෙරේ ද අවධානය යොමු කිරීමට ඔවුනට සිදුව තිබේ. බොහෝ විට ජනපතිවරණයකට පෙර ඉදිරිපත් වන අවසන් අයවැය එය වනු ඇත. 

පක්ෂයේ මුල් පෙල සැළකූ විට ඔවුන් අවධානයෙන් සිටින්නේ 2019 වසරට ජනපති සිරිසේන මහතාට තිබෙන සැළසුම් අරබයාය. පසුගිය අඟහරුවාදා ලග්ගල නව නගරය විවෘත කරමින් ජනපතිවරයා කළ කතාවෙන් නුදුරේදී සිදුවීමට නියමිත දේශපාලන දඩයමක ඉඟි පළවූයේයැයි ඔව්හු චංචලව සිටිති. 
ජනපතිවරයා එදින මෙසේ පැවසුවේ ය.

“පසුගිය වසර 4ක කාලයේ ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට ගත් උත්සාහය සැළකීමේ දී ජයග්‍රහණ බොහෝමයක් වගේම ඇතැම් පරාජයන් ද තිබෙනවා. බලයේ සිටින තාක්කල් එම ජයග්‍රහණයන් තවදුරටත් ශක්තිමත් කිරීමත් මේ දක්වා ඉටුනොකළ පොරොන්දු වහාම ඉටුකිරීමත් මගේ වුවමනාව වෙනවා”

“වංචාව, දූෂණය සහ අකටයුතුකම් පිටුදැකීමේ මූලික යහපාලන සංකල්පයන් ක්‍රියාත්මක කිරීමේ දී අප පරාජයට පත්ව තිබෙනවා. මේවා දේශපාලකයන් දක්වා ගලා යනවා. දේශපාලන පක්ෂ, බහුතරයක් දේශපාලන නායකයන්, නව ප්‍රාදේශීය සභා සාමාජිකයන්, මේ සියලුදෙනා දූෂිතයි. මේ අභියෝගය අප වටහාගත යුතුයි”

“තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට වැඩ කරන සහ බලය අත්පත් කරගැනීම සඳහා පමණක් වෙහෙසන පුද්ගලයන් මේ රටට වුවමනා නැහැ. රටටත් ජනතාවටත් ප්‍රතිලාභ දෙන පොදු න්‍යාය පත්‍රයකට වැඩකරන පුද්ගලයන් අපට අවශ්‍යයි” යයි ජනාධිපතිවරයා කීවේය. 

නව වසර සදහා ජනපතිවරයාගේ න්‍යාය පත්‍රය මෙවැනිය.

මෙම සියලු කලබල, තැතිගැනීම් මධ්‍යයේ වුව ද එක්සත් ජාතික පක්ෂ නායකයෝ පිටු 151 ක ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළහ. නමුත් එක්සත් ජාතික පක්ෂ නායකයෝ ඒ අරබයා සක්‍රීයව ක්‍රියාකාරීව නොසිටින බව අඩුම තරමින් ප්‍රසිද්ධියේම පෙනී ගියේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ නෙලුම් පොකුණ රගහලේ සංවිධානය කර තිබූ වැඩසටහනකදීය. ශ්‍රී ලංකාවට ප්‍රසිද්ධිය ගෙන ආ ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ් ඔවුන්ගේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් ‘ඔබ නිසා’ යැයි නම් කර ප්‍රසංගයක් සංවිධානය කර තිබිණ.

වැඩසටහන ආරම්භවීමට මත්තෙන් එහි පැමිණ සිටි අති විශේෂ අමුත්තෝ රංගශාලාවට පිවිසීමට ප්‍රථමයෙන් ඔවුන් වෙනුවෙන්ම වෙන්ව තිබූ කාමරයක අසුන්ගෙන සිටියහ. ජනපති සිරිසේන මහතා, තිලංග සුමතිපාල සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා එම කාමරයේ තිබූ දිගු සෝෆාවක අසුන්ගෙන සිටියහ. 
අගමැති වික්‍රමසිංහ සිටියේ වෙනම පුටුවකය.

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන් කර තිබූ පුටුව හිස්ව තිබිණ. ඔහු පැමිණ සිටියේ නැත.

එම අවස්ථාවේදීම එතැනට පැමිණියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂය. සිය සොහොයුරු මහින්ද වෙනුවෙන් වෙන්කර තිබූ පුටුවේ ඔහු අසුන් ගත්තේය.

වික්‍රමසිංහ මහතා දෙසට හැරුණු ඔහු, ඇයි ඔබලා නිතරම ස්ථාවර නියෝග අහෝසි කරන්නේ? යැයි විමසුවේය. ඔහු එය පැනය නැගූයේ ව්‍යවස්ථා කවුන්සිලයේ රැස්වීම් සම්බන්ධයෙන්ය. අගමැතිවරයා පිළිතුරු දෙමින් එම රැස්වීම් සදහා වන ක්‍රියාපටිපාටිය දැනටමත් සකස් කර තිබෙන බව පැවසුවේ ය. 

ඔහු අනතුරුව නව ව්‍යවස්ථාව ගැන සඳහනක් කරමින්, මගේ යෝජනා මුකුත් නැහැ යැයි කීවේය. එය එක්සත් ජාතික පක්ෂයේ කෙටුම්පතක් නොවන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. සංවාදයට සවන්දීගෙන සිටි ජනපති සිරිසේන මහතා නිහඬවම සිටියේ ය. 

ප්‍රසංගය ආරම්භ වූ පසු සිංහල බසින් නිවේදනය කරමින් සිටි නිවේදකයා පැමිණ සිටි අමුත්තන් හදුන්වාදුන් අතර, මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙමින් සිටින බව කීවේය. විපක්ෂ නායකයා පැමිණි පසු ඉංගි්‍රීසි බසින් නිවේදනය කරමින් සිටි නිවේදකයා, දැන් ඔහු ප්‍රේක්ෂකයින් අතරට පැමිණ සිටින බව නිවේදනය කළේය. මුලු ප්‍රේක්ෂකාගාරයම ඔල්වරසන් දුන්නේය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ලුහුඩින් දක්වතොත් එය මෙසේ වෙයි.

නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම අරබයා කිසිදු දායකත්වයක් ලබා නොදුන් බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියද, ව්‍යවස්ථා කෙටුම්පතෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් අගමැතිවරයාගේ බලය පුලුල් කිරීමටය. පාර්ලිමෙන්තුවට අමතරව, කෙටුම්පතෙන් නිර්දේශ කරනුයේ දෙවන මණ්ඩලයක් පිහිටුවීමටය. එහි සාමාජිකයන් අතරට සෑම පළාත් සභාවකින්ම සාමාජිකයන් 5 දෙනෙකු ද ඇතුළත් කෙරෙනු ඇත. 

ඇතැම් පියවර ගැනීමේ සහ ක්‍රියාමාර්ගයන් දියත් කිරීමේ දී ජනපතිවරයා සතුවන බලතල කප්පාදු කිරීමට නියමිත අතර මේ සදහා කමිටුවක් නිර්දේශ කර ඇත. එම කමිටුවේ සාමාජිකයන් වනු ඇත්තේ අගවිනිසුරුවරයා හෝ අගවිනිසුරුවරයා යෝජනා කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, අධිකරණ අමාත්‍යවරයා හෝ එම අමාත්‍යවරයා යෝජනා කරන නිලධාරියෙක්, නීතිපතිවරයා හෝ නීතිපතිවරයා යෝජනා කරන අගමැතිවරයාගේ නිර්දේශයට යටත් නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරියෙක්ය.

ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි සෑම පිටුවකම - රහසිගතයි - බෙදාහැරීම සදහා නොවේ (අභ්‍යන්තර මට්ටමේ සාකච්ඡා සදහා සාකච්ඡාමය පත්‍රිකාවක් පමණි) යැයි සදහන් වීමය. 
පෙරවදනෙහි සටහන මෙවැනිය.

මෙය පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සම්බන්ධතාව විමසුමට ලක්කිරීම සදහා මෙහෙයුම් කමිටුව පත්කරන ලද උප කමිටු 6 න් සකස් කරන ලද වාර්තා සහ අභ්‍යන්තර වාර්තාව සැළකිල්ලට ගත් විද්වත් මණ්ඩලයක් මෙහෙයුම් කමිටුව වෙනුවෙන් සකස් කරන ලද වාර්තාවකි. නමුත් දැනගැනීමට හැකිවූ පරිදි මෙම වාර්තාව සකස් කිරීමෙහි ලා වගකිව යුතු වන්නේ ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙකු වන අතර නීතිඥයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ තවත් නීතිඥයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ව්‍යවස්ථා විශාරදයෙක් යැයි තමන් හදුන්වාගන්නා පුද්ගලයෙක්, ඔවුන් දෙදෙන වේ.

වාර්තාව මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කැරුණු පළමු අවස්ථාවේදීම එහි සාමාජිකයෝ විවිධ ගැටලු මතු කළහ. කමිටුව සමග වැඩ කිරීමට යෝජනා කර ස්ථීර කැරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයකු නැවත එම දෙපාර්තමේන්තුව වෙත හරවා යවා ඇත්තේ ඇයිදැයි දැනගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට අවැසි විය.

එවක අගමැති වික්‍රමසිංහ මහතා සම්මත කරගත් යෝජනාවලියට අනුව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමට නියම කැරුණේ ව්‍යවස්ථා කවුන්සිලයට බව ඔහු තර්ක කළේ ය. නමුත් වත්මන් කෙටුම්පත සකස් කැරෙන බව පැවසෙන්නේ විද්වත් මණ්ඩලයකින් බව ඔහු පෙන්වා දුන්නේ ය. මෙම්පැවසෙන විද්වත් මණ්ඩලය විවිධ ගැටලු අරබයා පැහැදිලි ලෙසම බෙදී සිටින බැවින්, ව්‍යවස්ථා කෙටුම්පතක් මෙසේ සකස් කිරීම සිදුකළ නොහැක්කක් බව ගුණවර්ධන මහතාද අවධාරණය කළේය. 

කෙටුම්පත සකස් කළ විද්වතුන්ගේ නම් එයට ඇතුළත් කර නොතිබීමට ප්‍රධාන හේතුව ද මෙයයි. එවැනි ව්‍යායාමයක් පිළිගැනීම යනු ශ්‍රී ලංකාවට සහ එහි පුරවැසියන්ට කිසිදා පියැවිය නොහැකි හානියක් සිදුකරන්නක් වනු ඇති බව ඔහු පැවසුවේය. 

එය ඇසූ අගමැති වික්‍රමසිංහ මහතා එසේ නම් මෙම වාර්තාව ව්‍යවස්ථාවක් ලෙස නොව වාර්තාවක් ලෙසම ඉදිරිපත් කිරීමට යෝජනා කළේය. මෙහිදී, දේශපාලන පක්ෂ වෙත පෙර අවස්ථාවක ලබා දී තිබූ නිර්දේශ 4ක් ද වාර්තාවට ඇතුළත් කිරීම සිදුවිය. මෙහෙයුම් කමිටුව සහ ව්‍යවස්ථා කවුන්සිලය වැඩකට නැති දෙයක් යැයි හදුන්වාදුන් ගුණවර්ධන මහතා, තවදුරටත් මහජන මුදල් නාස්ති නොකර මේ ද්විත්වයම වසා දැමිය යුතු බව පැවසුවේ ය.
සමස්ත කෙටුම්පතම සැළකූ විට පහත ඇල අකුරින් මුද්‍රණය කර තිබෙන කොටස වැදගත්ය. එහි සදහන් වන්නේ මෙවැන්නකි.

ව්‍යවස්ථාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට, ව්‍යවස්ථා අධිකරණයට පූර්ණ සහ එයටම වෙන්වූ බලයක්

අ. පාර්ලිමේන්තුවේ සම්මත කැරෙන නීතියක්, පළාත් සභාවක සම්මත කරගැනෙන නීතියක් හෝ යෝජනාවක්, ව්‍යවස්ථාව හා නොසැසදෙන්නේ නම් එය මත එම නීතිය හෝ සම්මතය හෝ යෝජනාව අවලංගු වන බව ප්‍රකාශ කිරීමට සහ,

ආ. එසේ අවලංගුභාවය ප්‍රකාශයට පත්කිරීමක් අරබයා යුක්තිසහගත සහ සමානාත්මභාවයෙන් යුතු නියෝගයක්, එවැනි ප්‍රකාශයකින් අතීතයට සිදුවන බලපෑම සීමා කැරෙන ඕනෑම නියෝගයක් හෝ වේවා එම ප්‍රකාශය අවලංගු කැරෙන ඕනෑම නියෝගයක් හෝ වේවා, ප්‍රකාශයට පත්කරවා ගැනීම මගින් ව්‍යවස්ථාව හා සන්සන්දනය වන තත්ත්වයට එසේ අවලංගු කැරුණු නීතිය ගෙන ඒම සදහා පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවකට අවස්ථාව සළසා දීමට, හිමිවේ.

සෑම එකඟතාවයක්ම, එම එකඟතාවය ක්‍රියාත්මක වන අවබෝධතා ගිවිසුමක් ද ඇතුළත්ව, එය අනුමත කිරීමට අවම වශයෙන් මසකට පෙර හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඒ අරබයා අනුමත කිරීමකට සහාය පළකරන යෝජනාවක් සම්මත කරගැනීමට, වැඩිදුර අධ්‍යනය සදහා කාලය ගැනීමට හෝ අනුමැතිය ලබාදීමෙන් වැළකීමට, පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇත. පාර්ලිමෙන්තුවෙන් ලබාදෙන තීන්දුව මත කටයුතු කිරීමට විධායකය ද බැදී සිටිනු ඇත.

ඉදිරියට එළැඹෙන ඕනෑම ගිවිසුමක් අරබයා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කැරෙනු ඇත.

අනුමැතිය ලබාගත් දිනයේ සිට වසර 2ක කාලයක දී කල් ඉකුත් වනු ඇති මානව හිමිකම් සම්බන්ධයෙන් වන ගිවිසුමකට අදාළ කරුණු රටේ නීති පද්දතියට ඇතුළත් කැරෙනු ඇත. යෝජනාවක් හරහා එම කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට හෝ කෙටි කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත. 

වරකට දීර්ඝ කළ හැකි කාලය වසරකට සීමාවන අතර එවැනි කාල දිගුවක් ලබාගැනීම සදහා පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවැසිය.

නව ව්‍යවස්ථා යෝජනා ක්‍රියාත්මක වන කාලය වන විට ශ්‍රී ලංකාව එළැඹ තිබෙන මානව හිමිකම් සම්බන්ධයෙන් වන ගිවිසුම් සැළකිල්ලට ගතහොත්, වසර 2ක කාලය ආරම්භ වනු ඇත්තේ එම කාලයේ සිටය.

පළාත් සභා පොලිස් සේවයක් ආරම්භ කිරීමට සහ පළාත් සභා පොලිස් කොමිසමක් පිහිටුවීමට ද කෙටුම්පතෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. පළාත් සභා පොලිස් සේවයේ ප්‍රධානියා වනු ඇත්තේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඒ සම්බන්ධයෙන් එකගතාවයක් ඇතිකර ගනු ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයා සහ ජාතික පොලිස් කොමිසමයි. 

ජාතික මට්ටමේ රාජ්‍ය සේවයක් සහ පළාත් සභා මට්ටමින් රාජ්‍ය සේවයක් ඇති කිරීමට ද යෝජනා කර තිබෙන අතර එය රාජ්‍ය සේවය කොටස් දෙකකට බෙදීමකි. යුද හමුදාපති, ගුවන් හමුදාපති, සහ නාවික හමුදාපති පත්කිරීමට ජනපතිවරයාට තිබෙන බලතල සීමා කිරීමට ද කෙටුම්පතෙන් අපේක්ෂා කැරේ.

සාකච්ඡාව සදහා පමණක් වන වාර්තාවක් ලෙස එහි කර්තෘවරුන් හදුන්වාදුන්න ද, ඉතාම ආන්දෝලනාත්මක යෝජනා සහ නිර්දේශ කිහිපයක් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කර තිබෙන බවට සැකයක් නැත. එමෙන්ම, මෙසේ නව ව්‍යවස්ථාවක් ලහිලහියේම ඉදිරිපත් කැරෙනුයේ එය මත්තේ සිට දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ වෙත එල්ල කරන දැඩි පීඩනය නිසාවෙන්ම බව ද රහසක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අගමැතිවරයා ලෙස පත්වීම සදහා දෙමළ ජාතික සන්ධානය සිය පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ සහාය ලබාදුන් බව සියලුදෙනා දන්නා කාරණයකි.

වෙනස්කම් සිදුකර වුවද, පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙක් සහ පසුව ජනමත විචාරණයකින් මෙම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට හැකිවනු ඇතිදැයි යන්න ගැටලුවකි. 

එක්සත් ජාතික පෙරමුණ සමග අලුතින් ඇතිකරගත් හරහා දෙමළ ජාතික සන්ධානය පෙනී සිටින්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට නොව, ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට උත්සාහ කළ බවත් අවසානයේ සිංහලයාගේ නුවුමනාව නිසා එය ව්‍යර්ථ වූ බවත්, ඔවුන් සුලුතරයේ බලය සොරා ගැනීමට කටයුතු කරන බව කියමින් චෝදනා කිරීමටත්ය. 

මාර්තුවේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්හි දී ප්‍රබල හඩ නැගීමක් සිදුකිරීමට ද දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටින අතර, එහි අරමුණ ද මීට වෙනස් නැත. 
දෙමළ ජාතික සන්ධානය සතුටට පත්කිරීමේ මේ ගනුදෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ ඉදිරියේ එන අයවැයට බහුතර සහායකි. එය වඩාත් නිවැරදිව කියතොත්, අයවැය සම්මත කරගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය සිදුකරන රක්ෂණයට කැරෙන ආයෝජනයකි.

සිකුරාදා ව්‍යවස්ථා කවුන්සියල රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඕනෑම ව්‍යවස්ථාවකට රටේ සියලුම ජනතාවගේ අනුමැතිය හිමිවිය යුතු බවයි.

මේක ජනතාව අනුමත කරයි ද කියා සැකයක් තිබෙනවා. ඔබලා දැනටමත් මැතිවරණ ප්‍රමාද කරලා .ජනතාවගේ තීන්දුව ප්‍රකාශයට පත්කරන්නට තිබෙන අවස්ථා ඔබලා අවුරා දමලා. ජනතාව සහ පාර්ලිමේන්තුව මෝඩයන් කරන්නට උත්සාහ කරන්නට එපා. ඔබට මෙය පාර්ලිමේන්තුවේ කරන්නට බැහැ. මෙයට ජනතාවගේ අනුමැතිය ලැබෙන්නට පුලුවන්. එයට ඔබ මැතිවරණ පැවැත්විය යුතුමයි. අප එවිට අපේ යෝජනා ගේනවා. අප ජනතාවට තීරණය කරන්නට ඉඩ දෙනවා. රාජපක්ෂ මහතා කීවේ ය.

එසේවුව ද, දෙමළ ජාතික සන්ධානයේ රාජ්වරෝයතම් සම්බන්දන් මහතා නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස හෘදයාංගම ඉල්ලීමක් සිදුකළේ ය.

මුස්ලිම්, බර්ගර් හෝ ඕනෑම ජන කොටසක් වේවා සියලු ශ්‍රී ලංකා ජාතීන්ට ඔවුන්ගේ මව් රටට අයිතියක් තිබෙනවා. මේ රටේ සියලු දෙනා සමාන පුරවැසියන්. අපි අපේ ප්‍රවේශයේ දී එක්සත් විය යුතුයි. විවිධත්වයේ එක්සත්භාවය ආරක්ෂා කරගැනීමට අප අපොහොසත්වෙලා තිබෙනවා. ඒ නිසාම පොදු ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට අපට නොහැකිවෙලා තිබෙනවා. 

මේ ව්‍යවස්ථාව හරහා පුද්ගලයින් එක්සත් කිරීමයි අපගේ අරමුණ. ඇතැම් අය තමන්ව දේශප්‍රේමීන්යැයි හදුන්වාගන්නවා. මම නම් හිතන්නේ මේ අය නමට දේශප්‍රේමීන් කියා කියාගන්නා අය. ඔවුන් වැඩකරන්නේ ඡන්දවලට, බහුතරයක් දිනාගන්න. නමට දේශප්‍රේමය සහ දූෂණය අතර සම්බන්ධතාවයක් පැවත තිබෙනවා. ඒ අයගේ වැඩවලට ස්තූතිවෙන්න මේ රට දුප්පත් වෙලා. ඔවුන් කියනවා ඔවුන් ජනතාව වෙනුවෙන් වැඩකරනවා කියා. නමුත් ඔවුන් ජනතාව බලගන්වන්න භාවිතා කරන්නේ ජාතිවාදය කියන අවිය.

මහින්ද සමරසිංහ සහ නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව ප්‍රකාශයට පත්කර තිබීම හමුවේ පක්ෂය නව ගමනක් යන බවට සළකුණු පළව තිබේ. මෙම හිටපු අමාත්‍යවරු දෙපළම එක්සත් ජාතික පක්ෂය සමග පැවැති සන්ධානය දිගටම පවත්වාගත යුතුව තිබෙන බව පෙර අවස්ථා කිහිපයකදීම කියා සිටි සිටියෝ වෙත්. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනිව තරග කිරීමට තීරණය කළහොත් ඒ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි ලෙසම තනිවනු ඇති බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. පක්ෂය ශක්තිමත් කැරෙන බව පැවසුනද, යථාර්ථය එයයි. එක්සත් ජාතික පක්ෂය සමග නැවත අත්වැල් බැඳගැනීමක් සිතීමටවත් පවා නොහැක්කේ ජනපති සිරිසේන මහතා හා අගමැති වික්‍රමසිංහ මහතා අතර විරසකය දිනෙන් දිනම වර්ධනය වෙමින් පැවතීම නිසාය.

එනිසාවෙන්ම, ජනපති සිරිසේන මහතා, ඔහු පිළිගන්නට අකමැති වුව ද, ඔහුගේම ක්‍රියාකලාපයන්වල ගොදුරක් බවට පත්ව ඇත. වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අත්හළ ඔහුට, රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රතිචාරය ලැබී නොමැත. ඔහු දෙපසින්ම වැටී ඇත. 

පොදු සන්ධානයක් ඇති කරගැනීමට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද ප්‍රබල බෙදීමක් ඇතිවෙමින් තිබේ. ඇතැම් විට එය අලුත් පක්ෂය ආරක්ෂා කරගෙන ශක්තිමත්ව මැතිවරණයක් වෙත තනිව ඉදිරිපත්වීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යොමු කරන්නක් බවට පත්වීමට ද ඉඩ තිබේ. නමුත් ජනපතිවරණයක් සැළකීමේ දී එය එතරම් පහසු කටයුත්තක් නොවේ. 

අර්බුදය දැන් ඇත්තේ එතැනය.