රටක සංවර්ධනයට එරටේ ආර්ථික දර්ශනය අතිශය වැදගත්ය. ආර්ථික දර්ශනය යනු වසර කීපයකට සීමා වන්නක් නොවේ. දිගුකාලීන සැලසුම් ක්‍රියාවට නඟන වැඩපිළිවෙළකි. පුරවැසියන්ගේ ආර්ථික නිදහසට මෙකී ආර්ථික දර්ශනය මූලිකවම බලපායි. එහෙත් ශ්‍රී ලංකාවට අදාළව කතා කිරීමේදී නිදහසින් පසු ගෙවුණු දශක හත පුරාවටම අපේ අත්දැකීම වන්නේ ආර්ථික දර්ශනයක් නොමැතිවීමයි. ආණ්ඩු, මාරුවෙන් මාරුවටත් එකම ආණ්ඩුවේ වසරින් වසරටත් ආර්ථික වැඩපිළිවෙළ මාරුව විසින් පෙන්නුම් කරනු ලබන්නේ එයමයි. ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී එ.ජා.ප. වැඩසටහන් හැටියටත් ශ්‍රී.ල.නි.ප. ආණ්ඩු කාලයේදී ශ්‍රී.ල.නි.ප. වැඩසටහන් හැටියටත්ය.

වෙනදා ආණ්ඩු මාරුවෙද්දී මාරු වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් දැන් එකම ආණ්ඩුවේ වසරක් පාසා ඇමැතිවරුන් මාරු වන වාරයක් පාසා වෙනස් වේ. කවර සීමාසහිතකම් මැද වුවද මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මහින්ද චින්තනය යැයි කිසියම් එක් වැඩපිළිවෙළක් තිබිණ. අඩුම තරමින් යහපාලන ආණ්ඩුවට රනිල් චින්තනය යැයි එක් වැඩපිළිවෙළක් තිබුණේ නම් මීට වඩා තත්ත්වය තරමක් හෝ යහපත් වන්නට ඉඩ තිබුණේය. මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ආර්ථික විද්‍යාඥයකුටවත් ඉඳුරා යමක් කිව නොහැකිය. ආණ්ඩුවේ වැඩපිළිවෙළ පැහැදිලි නැත. සංවර්ධන ඉලක්ක තිබෙන්නේ සැඟවීය. ශ්‍රී ලංකාව රටක් හැටියට අද මුහුණ දෙන ආර්ථික අර්බුදයේ මුඛ්‍ය හේතුවක් හැටියට මේ තත්ත්වය දැක්විය හැකිය. 

ගරු ගාම්භීර ලෙස සකසන ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්තිත් පොදුවේ ජන සමාජය භුක්ති විඳින ආර්ථික නිදහසත් අතර ඇත්තේ පෑහිය නොහැකි වෙනසකි. සංවර්ධනය ගැන කතා කරනු විනා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මාර්ගයක් අපට නොමැත. දේශපාලන නිදහස මුදුන් පමුණුවා ගැනීම ගැන පසුගිය කාලයේදී විශාල සාකච්ඡාවක් නිර්මාණය වී තිබුණේය. එහෙත් මා දකින හැටියට නම් දේශපාලන නිදහසට වඩා ආර්ථික නිදහස ගැන අප සිතිය යුතුය. තමා නිදහස් උළෙලට නොයන බවත් එක් ළමයකු රුපියල් ලක්ෂ හතරක ණයකරුවකු වූ තත්ත්වයක තමාට ඊට සහභාගි වීමට නොහැකි බවත් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි. එයින් කියැවෙන්නේ අද අප භුක්ති විඳින ආර්ථික නිදහසයි. ඇත්ත කතාව නම් අපේ ආර්ථික නිදහස වෙනුවෙන් දේශපාලනයට පැමිණි පිරිසේ ආර්ථික නිදහස සම්පූර්ණ වී ඇති බවයි. ආර්ථික නිදහසින් තොර දේශපාලන නිදහස ව්‍යාජයක් බව අද කාටත් හොඳින් වැටහේ. ආර්ථික නිදහස මුදුන් පමුණුවා ගැනීමේදී විශ්වසනීයභාවයෙන් තීන්දු තීරණ ගතහැකි කිසියම් ආකාරයක දැඩි පාලනයක් අවශ්‍ය වේ. දේශපාලන ස්ථාවරත්වයට ද එය බලපායි. මත්ද්‍රව්‍ය වෙළෙඳුන්ට මරණ දඬුවම දීම ගැන ජනාධිපතිවරයා කිසියම් ස්ථිර ප්‍රතිපත්තියක සිටින බව පෙනේ. එය අචල විශ්වාසයකින් යුතුව ක්‍රියාවට නැඟෙන්නේ නම් පෞද්ගලිකව ඊට පක්ෂ වෙමි. මන්දයත් මෙම මහා පරිමාණ වසංගතය විනාශ කිරීමට දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතු තැනට එය වර්ධනය වී ඇති හෙයිනි. එහෙත් අදටත් මත්ද්‍රව්‍ය මාෆියාවේ ලොකු කකුල්වලට මාංචු වැටෙන අයුරු අපි නොදකිමු. මත්ද්‍රව්‍ය හා දේශපාලනය එකම මිතුරෝ වෙති. මේ ලොකු කකුල්වලට මාංචු වැටෙන්නේ නැත්තේ දේශපාලන රැකවරණයක් තිබෙන නිසා බව රටම දනී. උදාහරණයකට ගතහොත් ආයතනයක වුව සංවර්ධනය රඳාපවතින්නේ ආයතන නායකත්වයේ ශක්තිමත්භාවය මතය. නායකයා ප්‍රතිපත්ති ගැන කතා කළ ද ඒවා සංයුක්තව ක්‍රියාවට නැඟෙන්නේ නැත්නම් වැඩක් නැත. දේශපාලන නිදහස ගැන කතා කළ ද බැලූ බැල්මට සමාජ සාධාරණත්වය ගැන දකින්නට අසන්නට ලැබෙන්නේ විවාදාපන්න සිද්ධිය. අඹ ගෙඩි කීපයක් කැඩුවැයි, සිසුවන්ට දඬුවම් කළැයි සිරගෙදර තපින මිනිසුන් සිටින රටේ බැංකු කැඩූවෝ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ රජ සැප විඳිති. නීතිය ශක්තිමත් නම් ලොකු පොඩි වෙනසක් නැතිව හාල්මැස්සන් මෙන්ම තෝරුන් මෝරුන් ද දඬුවම් විඳිය යුතුය. එනිසා යුක්තිය ඉටුවීම නැවතත් ආර්ථික ශක්තිය මත රඳා පවතින්නේදැයි අපට සැක පහළ වීම සහේතුකය. එනිසා ලංකාවේ අද තිබෙන්නේ දේශපාලන නිදහස වුව වචනයට සීමා වූ තත්ත්වයකය. 

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ආණ්ඩුවලට මෙන්ම මහජනතාවට ද විශාල ප්‍රශ්නයක් වී තිබේ. එහෙත් රාජ්‍ය ව්‍යවසාය විකිණීමෙන් රට සංවර්ධනය කළ හැකි යැයි මම නොසිතමි. අද වනවිට ශ්‍රී ලංකාවේ දක්ෂ දේශීය ව්‍යාපාරික කණ්ඩායමක් සිටිති. පාඩු ලබන ව්‍යාපාර නොරටුන්ට නොදී මේවා දේශීය ව්‍යාපාරිකයන්ගේ කළමනාකරණයට හසු කරගත නොහැකිද? එය ආකාර දෙකකින් අපට වාසිදායකය. එක අතකින් එයින් ගොඩනැඟෙන්නේ දේශීය ව්‍යාපාරිකයෙකි. අනෙක් අතට අපේ රටේ මුදල් පිට රටට ඇදීයාම ද එයින් වළක්වාගත හැකිය. ධම්මික පෙරේරා නමැති දේශීය ව්‍යාපාරිකයා පසුගියදා ජනමාධ්‍යයට පවසා තිබුණේ තමාට මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය මාස තුනකට දෙන්නේ නම් වෙනසක් කර පෙන්වන බවය. මුදල් අමාත්‍යාංශ ලේකම් වැනි ඉහළ පෙළේ පරිපාලන ධුරයක් මාස තුනක් වැනි කෙටි කාලයකට ඉල්ලා සිටින්නකුට තිබිය යුත්තේ සුළුපටු ආත්ම විශ්වාසයක් නොවේ. එහෙත් රට කරවන උදවිය මෙවැනි දේ ගැන සැලකිලිමත් වන්නේ නැත. වෙනසක් වෙනුවෙන් කැප වෙනවාට වඩා පවතින ක්‍රමයටම මුක්කු ගැසීම ඇඟට පහසු බව ඔවුහු දනිති. ලංකාවේ දූෂණ විරෝධී සටනට වූ දෙයින් එය හොඳින් පැහැදිලිය. 2015 දී දූෂණ වංචා මැඬලීම ගැන නිර්මාණය වුණේ විශාල සාකච්ඡාවකි. එහෙත් වසර හතරකට පසුව අප අත්කර ගත් ප්‍රගතියක් නැත. ලෝක පරිමාණ දර්ශකවලින් පැවැසෙන්නේ ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රණය එක තැන පල්වෙමින් ඇති බවය. සැබැවින්ම දූෂණය යනු මැඬලිය නොහැකි දෙයක් නොවේ. දූෂණය මැඬලීමට අවශ්‍ය වන්නේ නීතිය නිවැරැදිව ක්‍රියාත්මක වීමය. නීතිය පොතේ තිබුණාට වැඩක් නැත. ඒවාට පණ දිය හැකි මිනිසුන් අවශ්‍යය. එසේ ක්‍රියාවට නැඟෙන නීතියේ සමානාත්මතාව තිබිය යුතුය. පන්ති භේදයක් පක්ෂ භේදයක් ඊට තිබිය යුතු නැත. 

අද අප මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රධාන ප්‍රශ්නයක් නම් ණය බරයි. ජාතික ආදායම වැඩි කරගන්නේ නැතිව ණය කන්දෙන් නිදහස් වීම පහසු නැත. ජාතික ආදායම වැඩිකර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ආදායම් උපද්දන නිෂ්පාදන අංශයට අත තැබිය යුතුය. එහෙත් තවමත් අපට අපේම නිෂ්පාදන හැටියට අපනයන වෙළෙඳ පොළට එකතු කිරීමට හැකිව තිබෙන්නේ මොනවාද? මේඩ් ඉන් ශ්‍රී ලංකා යන සන්නාමයෙන් අපට අපනයන කිරීමට හැකිව තිබෙන්නේ මොනවාද යන්න ප්‍රශ්නාර්ථයකි. විනෝද භාණ්ඩයක් වූ සරුංගලය පවා අද අප ආනයනය කරන්නේ විදේශයන්ගෙනි. දේශීය ආර්ථිකයේ නිෂ්පාදන අංශය වර්ධනය කිරීමට නම් අනිවාර්යයෙන්ම අානයනවලට කිසියම් ආකාරයක වැට බැඳීමක් කළ යුතුවේ. ඒ අතරේ එකී භාණ්ඩ නිෂ්පාදනයට දේශීය ව්‍යාපාරිකයන්ට බදු සහන ආදී සහාය ලබා දිය යුතුවේ. එවැනි තීන්දු ගැනීමට තරම් පාලකයන්ට සෘජු විය නොහැක්කේ මන්දැයි නොදනිමි. අනෙක් අතට ජනතාවගේ පැත්තෙන් ගත්තොත් සහනාධාර අපේක්ෂිත මානසිකත්වය ද මේ තත්ත්වයට බලපා තිබේ. ඊට හොඳම උදාහරණය නම් සමෘද්ධි ව්‍යාපාරයයි. 90 දශකයේ ආරම්භය සනිටුහන් කළ සමෘද්ධි ව්‍යාපාරය තවමත් තිබෙන්නේ එහි අරමුණු කරා ළඟාවීමට නොහැකිවය. සමෘද්ධිලාභීන් උත්සාහ කරන්නේ තවදුරටත් ජීවනාධාර මතම යැපෙන්නටය. දිළිඳුකම පිටුදැකීමේ ඉලක්ක කරා යාමට නොහැකි තත්ත්වයක තවදුරටත් සහනාධාරලාභීන් සංඛ්‍යාත්මකව ඉහළ දමන්නේ නම් එයින් නොකියා කියන්නේ කුමක්ද? සහනාධාර දැන් ප්‍රදානය වන්නේ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙනය. එනිසා මගේ යෝජනාව නම් තවදුරටත් සමෘද්ධි සහනාධාර ප්‍රදානය කිරීමට වඩා දැන් කළ යුත්තේ ඔවුන්ගේ දිරියෙන් නැඟී සිටින වැඩපිළිවෙළක් ආරම්භ කිරීමය.  

සංවර්ධිත රටක ආර්ථිකයේ ලක්ෂණයක් නම් ඍජු බදුවලට සාපේක්ෂව වක්‍ර බදු ඉතාම පහළ අගයක පැවැතීමය. ඊට හේතුව ඔවුන්ගේ ඒක පුද්ගල ආර්ථිකය  ශක්තිමත් වීමය. එහෙත් අපේ රටේදී සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. මෙහි ප්‍රතිශතයක් වශයෙන් වැඩි අගය ගන්නේ වක්‍ර බදුය. එහි අන්‍යාර්ථය වන්නේ රජයෙන් යැපෙන විශාල පිරිසක් සිටින බවය. ඍජු බදු ගෙවීමේ ශක්තිය ලැබෙන්නේ පුද්ගල ආර්ථික ශක්තියෙනි. අඩු දියුණු ආර්ථිකයකදී ඍජු බදු ගෙවීමට තරම් ආර්ථික ශක්තියක් මිනිසුන්ට නැත. මෙසේ ආර්ථික ශක්තියෙන් හීන දීන ජන සමාජයක් බිහිවීමට අද වනවිට අපේ අධ්‍යාපන ක්‍රමය ද බලපා තිබේ. රටේ ආර්ථික සංවර්ධනයත්, වෙළෙඳ පොළත්, අධ්‍යාපන ක්‍රමයත් අතරේ තිබෙන්නේ පෑහිය නොහැකි රික්තකයකි. වෙළෙඳපොළට අවශ්‍ය රැකියා සම්පාදනය කිරීමට අපේ අධ්‍යාපන ක්‍රමය සමත්වීදැයි ප්‍රශ්නයකි. උදාහරණයකට ජපාන අධ්‍යාපන ක්‍රමයේදී 3 ශ්‍රේණිය වනතුරු අක්ෂර උගන්වන්නේ නැත. ඒ වෙනුවට සමාජ ආචාර ධර්ම මඟින් යහපත් ආකල්ප සම්පාදනයට ඔවුහු වෙහෙසෙති. විශේෂයෙන්ම පරිසර ආරක්ෂණ ක්‍රමවේද ගැන ජපන් වැඩිහිටියෝ දැඩි සැලකිල්ලක් දක්වති. එහෙත් අපේ රටේ තත්ත්වය කුමක් ද? බාලාංශයේ සිට අකුරු උගන්වන්නට අපේ වැඩිහිටියෝ වෙහෙසෙති. සිය දරුවාගේ පාසල් පන්ති කාමරය පවා පිරිසිදු කර දෙන්නෝ ඔවුහුය. ඉතින් ආකල්පමය වෙනසකට අප රට කැපවන්නේ කෙසේද? රට කරවන්නන්ගේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ක්‍රියාකාරකම් විවේචනයට පොදු ජනතාව විශාල රුචිකත්වයක් දක්වති. එහෙත් තමන් රටේ පරිවර්තන ක්‍රියාදාමයට කෙතරම් දායක වී දැයි ඔවුහු නොසිතති. පරිසර දූෂණ ගැන විශාල අඬෝවැඩියාවකින් කතා කරන පිරිස්ම උදේ හවා යනෙන දුම්රියේ බස්රියේ කවුළුවෙන් කසළ බැහැර කරන්නේ වගේ වගක් නැතිවය. මේ අපේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ අග්‍රගණ්‍ය චින්තනයම නොවේද? 

බොහෝ දෙනා සිතන්නේ නවීන විද්‍යාව හා තාක්ෂණය මුසුවීමේදී සංස්කෘතික උරුමය ගැන අවතක්සේරුවෙනි. මෙය ද දියුණුව වලිගයෙන් අල්ලා ගැනීමකි. එහෙත් දේශීයත්වය හා සංස්කෘතික උරුමය යනු අප අත් හළ යුතු දේ නොවේ. යමක් උගෙන ගතහැකි නම් ඊට කදිම නිදසුන ජපානයයි. ජපානය දියුණු වුණේ බුදු දහම අතහැර නොවේ. ජපානය දියුණු වූයේ මානව වටිනාකම් වර්ධනයෙනි. බුදු දහම යනු ජාතික සංවර්ධනයට යොදාගත හැකි මාහැඟි සම්පතකි. බුදු දහමේ හරය ගැන කියැවෙන බෞද්ධ දර්ශනය මෙන්ම එහි ප්‍රායෝගික භාවිතා ගැන කියැවෙන භාවනා ආදී ක්‍රියාකාරකම් සංචාරක කර්මාන්තයේ දියුණුවට යොදාගත හැකිය.
බෞද්ධ දර්ශනය ගැන විදේශිකයන්ට ඇති උනන්දුව සමඟ භාවනා පුහුණු මධ්‍යස්ථාන ආදිය ගොඩනැගිය හැකි නම් එය සංචාරක කර්මාන්තයට අලුත් දොරක් විවර කරනු ඇත. තායිලන්තයේ වැනි තාවකාලික පැවිද්ද ප්‍රදානයක් අපේ රටේ ද කළ හැකිය. මෙවැනි බෞද්ධ සංචාරක කර්මාන්ත මධ්‍යස්ථාන අඩුම තරමින් පළාත් නවයේ ගොඩනැගිය හැකිය. මේවා අමාරු වැඩ නොවේ. අවශ්‍ය වන්නේ රජය හා අදාළ ආගමික සංස්ථා අතර මනා සංවිධිතභාවයකි. බුදු දහම යනු පුද්ගල විමුක්තිය මෙන්ම පුද්ගල නිදහස ද අතිශයින්ම අගය කළ දහමකි. එනිසා රටේ සමාජ සංහිඳියාවට වුවද බුදු දහමේ දාර්ශනික හරය යොදාගත හැකිය. එහෙත් දැන් තිබෙන්නේ සියල්ල වලිගයෙන් අල්ලාගත් තත්ත්වයකි. වැරැදි ලෙස ආමන්ත්‍රණය කිරීම නිසා රටේ යහපත් පරිවර්තනයකට යොදාගත හැකි දේ පවා මේ වනවිට ක්‍රියාත්මක වී තිබෙන්නේ රාජ්‍ය සමඟ ගැටුම් ඇතිකරගන්නා ආකාරයෙනි. එසේ බලද්දී අප ඉතාම අවාසනාවන්ත රාජ්‍යයකි. මන්දයත් ප්‍රශ්නවලට විසඳුම් ද අත මානයේ තිබියදී ඒවා අත්හැර ක්‍රියා කරන බැවිනි. මේ තත්ත්වය වෙනස් කරගත හැක්කේ රාජ්‍ය නායකයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් හා සිවිල් සමාජය ද දැනුවත් සංවාදයකින් පමණි. එසේ නොකොට සිදුකරන කෙටිකාලීන පැලැස්තර දැමීම්වලින් නම් ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට හැකි නොවනු   ඇත.

සටහන - බිඟුන් මේනක ගමගේ