තිස්සගේ මතක වත-101

 

2015 ජනාධිපතිවරණ උණුසුමත් එක්කම එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ තවත් ගැටුමක් මතුවෙන්න පටන් ගත්තා. මම දිගටම දරපු ස්ථාවරය වුණේ මේ මැතිවරණයට  එක්සත් ජාතික පක්‍ෂයේ කෙනෙක්ම ඉදිරිපත් විය යුතුයි කියන අදහස. ඒකට හේතුව විදියට මම දැක්කේ 1994 සිට ජනාධිපතිවරණ හැම එකකින්ම පරාජයට පත්වීම සහ රටේ රාජ්‍ය නායකත්වය එක්සත් ජාතික පක්‍ෂයට අහිමිවීම.


1994 අපි තරග කළේ හරියාකාරව ජනාධිපති අපේක්‍ෂකයෙක් ඇතුව නෙවෙයි. මොකද ගාමිණී දිසානායක මහතාගේ ඝාතනයත් සමගම ශ්‍රීමා දිසානායක ජනාධිපති අපේක්‍ෂත්වයට පත්කිරීම හරහා පාක්ෂිකයින් අතරේ ලොකු උද්ඝෝෂණයක් ඉස්මතු වුණේ නෑ. 1999 සහ 2005 ජනාධිපතිවරණවලදී නම් අපි යම් කිසි කරට කර තරගයක් දුන්නා. ඒත් 2010 ජනාධිපතිවරණය එනකොට අපිට ඉඩක් දෙන්න වුණේ වෙනත් බලවේගයකට. යුද්ධය අවසන් වීමත් එක්ක රටේ උද්ගතවෙලා තිබුණු මානසිකත්වය උඩ අපිට ඒ මැතිවරණය ඉතාම අසීරු එකක් වුණා.


2010 අපෙන් අතඇරුණු ජනාධිපති අපේක්ෂාව නැවත අපට ලබාගන්න තිබුණු හොඳම අවස්ථාව විදියට මම දැක්කේ 2015 ජනාධිපතිවරණය.


2015 වසර වෙද්දී එතෙක් පැවති රාජපක්‍ෂ පාලනය පිළිබඳව රටේ ජනතාවගේ අප්‍රසාදයක් මතුවෙමින් තිබුණේ. ඒ අතරින් සුළු ජාතිකයින් විශේෂයි. දෙමළ මුස්ලිම් ජාතිකයින් රාජපක්‍ෂ පාලනයෙන් ශීඝ්‍ර ලෙස ඈත්වෙමින් තිබුණේ. රාජපක්‍ෂ පාලනයේ තිබුණු බොහෝ වැරදි මේ සඳහා බලපෑවා. ඒකෙ වාසිය එක්සත් ජාතික පක්‍ෂයට ලබාගන්න ගොඩක් ඉඩකඩ තිබුණා. ඒ වගේම රටේ වංචාව, දූෂණය, හොරකම පිළිබඳ සහ අකාර්යක්ෂමතාව පිළිබඳ විරෝධතා රැල්ලක් මෝදුවෙමින් තිබුණා.


ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රාජපක්‍ෂ ආණ්ඩුවට එල්ලවෙලා තිබුණු පීඩනය සහ බලපෑම විශේෂ කරුණක් වුණා. මේ පරිසරයෙන් එක්සත් ජාතික පක්ෂයට හොඳට ප්‍රයෝජන ගන්න අවස්ථාවක් උදාවෙලා තිබුණෙ. ඉතින් මම පක්ෂය ඇතුළේ නිරන්තරයෙන් හඬ නැගුවෙ ඉදිරි ජනාධිපතිවරණයේදී මේ ඇතිවෙලා තියෙන වාසිය ලබාගත යුතුමයි කියලා. ඒ සඳහා ජනාධිපති අපේක්‍ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතුයි කියන අදහස මම ඉදිරිපත් කළා.


පක්ෂයේ අනාගතය ගැන හිතලා මම ඉදිරිපත් කරපු යෝජනාව පැත්තකට ගිහින් පොදු අපේක්ෂකයෙක් පිළිබඳ යෝජනාව උඩට එන්න පටන් ගත්තා. ඒකෙන් පක්‍ෂ අභ්‍යන්තර යම් යම් මත ගැටීම් ඇති වුණා. ඊටත් කලින් ඉඳලා පක්ෂයේ කීප දෙනෙක් මාත් එක්ක ගැටුමක් ඇති කරගෙන තිබුණා. ඒ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා කරන අවස්ථාවේ. මම ඒ සඳහා ඍජුව මැදිහත් වුණේ රනිල් අභිබවා සජිත්ව පක්ෂයේ නායකත්වයට පත්කරන්න උත්සාහ කරන්න කියලා. සමහරු මට එහෙම චෝදනා කළා. මම ඒ වෙලාවෙ  සජිතුයි, රනිලුයි එකතු කිරීම සමහරුන්ට රිස්සුවෙ නෑ.


මේ ගැටුම්වල තීරණාත්මක සන්ධිස්ථානයක් වුණේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා කරගන්න සාකච්ඡාවලටවත් ඒවයින් ගත්තු තීන්දු තීරණවලටවත් මාව සම්බන්ධ කර නොගැනීම. ඒ කිසිම දෙයක් ගැන මාව දැනුම්වත් කළේ නෑ.


මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා විදියට පත්කිරීමට මම විරුද්ධ වුණේ හේතු ඇතුව. මම පැහැදිලිවම පෙන්නලා දුන්නා මෛත්‍රීපාල අපේ පොදු අපේක්‍ෂකයා විදියට පත්කරගෙන බලයට පත් කළාට පස්සෙ යම් කිසි මොහොතක ඔහු අපේ පක්‍ෂයට පිටු පාන්න ඉඩ තියෙනවා කියලා. මම ඒක බොහොම පැහැදිලිව එදා කිව්වා. ඒත් අපේ පක්ෂෙ අය ඒක ඇහුවෙ නෑ. ඒත් මගේ අනාවැකි සනාථ කරමින් අද ඒ තත්ත්වය උදාවෙලා තියෙනවා. මම මේ අනාවැකිය කිව්වෙ මීට අවුරුදු හතරකට උඩදී. මම එහෙම කියද්දි පක්ෂය මාව ද්‍රෝහියෙක් විදියට සැලකුවා. ඒත් අද මගේ අනාවැකිය ඇත්ත බවට පත්වෙලා. මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්‍ෂයේ ලොකුම ද්‍රෝහියා වෙලා තියෙනවා.
තව කොටසක් ලබන සතියට.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි
සංරක්‍ෂිත ඡායාරූපකි