ජවිපෙට ලංකා ඉතිහාසයේ විශ්වාසවන්තම සටන්කරුවා වූයේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයයි. ජවිපෙට අනුව හොරට නිදා සිටින සමාජය ඇහැරවීමේ වගකීම ඇත්තේද ශිෂ්‍ය ව්‍යාපාරය අතේය. ඈත ගම්මානවල දුවා දරුවන්ට ඉහළට යෑමට තිබුණේ නිදහස් අධ්‍යාපනය පමණි. නමුත් ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව මගින් 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාව උපක්‍රමිකව ක්‍රියාත්මකවීමත් සමඟම නිදහස් අධ්‍යාපනයේ දොරටු වැසීම ඇරඹිණි.
එජාප ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් අධ්‍යාපන ක්‍රමය සංවර්ධනයක් ලෙස හඳුන්වමින් අධ්‍යාපන කප්පාදු කිරීම් රැසක් යෝජනා කර තිබුණි. මේ නිසා සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට වැටකඩුලු බැඳීමක් විය. අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව සරසවි සහ පාසල් සිසුන් දහස් ගණනක සහභාගීත්වයෙන් 1982 ජනවාරි 20 වැනිදා ගාලු මෝදර ඉදිරිපිට ප්‍රබල උද්ඝෝෂණයෙන් අනතුරුව එවකට තිබූ පාර්ලිමේන්තු භූමිය වටකරන ලදී. ධවල පත්‍රිිකාව ඉදිරිපත් කිරීම එම මොහොතේ සිදු නොවූවද 1983 ජූලි කලබලවලින් පසු ජවිපෙ පක්‍ෂ තහනමක් සමඟම උපක්‍රමික වශයෙන් ධවල පත්‍රිකාව කොටස් වශයෙන් ක්‍රියාවට නැගීමට ආණ්ඩුව සමත් විය. 


ජවිපෙ දෙවැනි කැරැල්ල ව්‍යාප්ත වනවිට සමස්ත කැරැල්ලේ දිශානතිය වෙනස්වන විට දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් උද්ඝෝෂණ මෙහෙයවීම වඩාත් පුළුල් පදනමකින් පවත්වා ගැනීමට සහ පොදුවේ සිසුන් වැඩි පිරිසකට එකඟ විය හැකිවන පරිදි ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීරණයක් අනුව දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය අහෝසිකර ඒ වෙනුවට ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය 1988 ජුනි 14 පිහිටුවන ලදී. 

 

ඝාතනයට ලක්වූ සිසුන් අතරින් 1989 අගෝස්තු 12 අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය වූ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ එම්. එස්. කේ. මුතුකුමාරණ, 1990 ජනවාරි 06 ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන් වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ විරාජ් විරෝෂ සෝනාදර, ගාල්ල පොලිස් පරීක්‍ෂක ඇතුළු කණ්ඩායමක් විසින් පැහැරගෙන යාමෙන් පසු අතුරුදන්වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ ගනේෂ ගමගේ, 1989 අගෝස්තු 13 පැහැරගෙන යාමෙන් පසු ඝාතනයට ලක්වූ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ බී. අනුර, 1989 නොවැම්බර් 10දා හොරණ පොලිසිය මගින් පැහැරගෙන ගොස් පුළුස්සා මරා දැමූ හොරණ රාජකීය විද්‍යාලයේ පෝරගේ ජනිත් කුමාර, 1990 ජනවාරි 24 යෝධකණ්ඩිය රණකෙලියේදී තිස්ස පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන් වූ යෝධකණ්ඩිය විද්‍යාලයේ කලා අංශයේ කේ. එච්. ගාමිණී, ඝාතනයට ලක්වූ දොන් පුෂ්පකුමාර, පැහැරගෙන යාමෙන් පසු ඝාතනයට ලක්වූ පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ රම්‍ය ප්‍රේමතිලක, 1989 දෙසැම්බර් 19 තංගල්ල යුධ හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන්වූ තංගල්ල මහා විද්‍යාලයේ නීල් රොෂාන් වර්ණකුලසූරිය, ඝාතනයට ලක්වූ කේ. එල්. සී. ඉනේෂ් පෙරේරා, 1988 මාර්තු 23 පැහැරගෙන යාමෙන් පසු ඝාතනය වූ තංගල්ල මහා විද්‍යාලයේ වසන්ත වීරසිංහ, ඝාතනය වූ ආර්. එම්. රාජකරුණා රත්නායක ඉහළ වමේ සිට දැක්වේ.

 


‘පළමුව මව්බිම - දෙවනුව ඉගෙනුම’ යන සටන් තේමාව යටතේ දේශප්‍රේමි අරගලයේ ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා කේඩර්වරුන් පුහුණු කිරීම ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ අරමුණ විය. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ), අන්තර් පාඨශාලීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්ඩලය, අන්තර් කාර්මික විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අන්තර් පිරිවෙන් භික්‍ෂු බල මණ්ඩලය, සමාජවාදී ශිෂ්‍ය සංගමය යටතේ සියලුම පාසැල්වල ක්‍රියාත්මක වූ ද්විතීක අංශයේ ශිෂ්‍ය කමිටු එක්කර ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී. පුළුල් අන්දමින් සිසු අරගල මෙහෙයවීම සඳහා බහුතර සිසුන්ට එකඟවිය හැකිවන ලෙසට ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ව්‍යුහය සකස් කර තිබිණි. එතෙක් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් 1986 ජුනි සිට මෙහෙයවූ සියලු උද්ඝෝෂණ මෙහෙයවීමේ බලයද එයට පැවරිණි. 


ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය පිහිටුවීමේ සමාරම්භකයින් 12 දෙනෙකි. ඒ අතර ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් වූ උපාලි ජයවීර සහ ආනන්ද ඉඩමෙගම, දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්න, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ එස්. එම්. නිස්මි, අන්තරේ කැඳවුම්කරුවූ කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, මරදාන කාර්මික විද්‍යාලයේ ජනිතා සිරිදේව, කැලණි සරසවි මානව ශාස්ත්‍ර පීඨයේ 1983/84 කණ්ඩායමේ කුරුණෑගල හුණුපොල ගාමිණී නවරත්න, පිරිවෙන් ශිෂ්‍ය ගොඩකන්දේ මංගල හිමි, ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ 1985/86 සභාපති ලෙස කටයුතු කළ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 1982/83 කණ්ඩායමේ සිසු කන්තලේ සුනිල් ජයරත්න සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් පාසල් ශිෂ්‍යයෝ තිදෙනෙක්ද එක්ව සිටියහ. 


ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ව්‍යුහය සකස් කිරීමේ ප්‍රථම රැස්වීම මොරටු සරසවියේදී ද දෙවැන්න මරදාන කාර්මික විද්‍යාලයේද පැවැත්වීමෙන් අනතුරුව 1988 ජුනි 14 ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය ආරම්භ වූයේ රටපුරා පාසල් 2,500කට ආසන්න සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පැවති දැවැන්ත එක්දින උද්ඝෝෂණයකිනි. ජාතික ශිෂ්‍ය විරු දිනය එමගින් ප්‍රකාශයට පත්කළ අතර 1988 ජුනි 20 සිට වාර්ෂිකව එය ඉහළින්ම සැමරිණි. ශිෂ්‍ය මධ්‍යස්ථානයේ අදිසි නායකයා උපාලි ජයවීර වූ අතර ප්‍රථම කැඳවුම්කරු වූයේ පේරාදෙණිය සරසවියේ එස්. එම්. නිස්මිය. එහි දෙවැනි කැඳවුම්කරු ලෙස වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහද කටයුතු කරනු ලැබීය. තෙවැනි කැඳවුම්කරු වූයේ රුහුණු සරසවියේ චන්ද්‍ර රාජ් (සී. ආර්.) නිශ්ශංකය. ආරම්භයේ සිට අවසානයේ දක්වාම සෑම කැඳවුම්කරුවෙකුගේම නම ලෙස ප්‍රකාශයට පත්වූයේ කමල් දේශප්‍රිය නම්වූ අන්වර්ථ නාමයකි.
ජවිපෙ අනුබද්ධ සංවිධානයක් හරහා පක්‍ෂයට එක්වීමට නම් පළමුව මූලිකව සාකච්ඡා කර ඊළඟට පන්තිවලට සහභාගී විය යුතුය. පසුව ජනතාව අතරට ගොස් කටයුතු කිරීම, උද්ඝෝෂණ පෙළපාළි ආදියට සහභාගිවීම ආදී බොහෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදී අර්ධකාලීනව හෝ පූර්ණකාලීනව ජවිපෙ සාමාජිකයෙකු විය හැකිය. එසේ නොවන අයෙකු ජවිපෙ හිතවතෙකු පමණි. එහෙත් ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය වැනි සංවිධානවලට එවැනි සබඳතා අත්‍යවශ්‍ය නොවන අතර උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඒවාට එක්විය හැක. එහෙත් එහි න්‍යෂ්ටිය මෙහෙය වූයේ ජවිපෙ මෙහෙයුම් කමිටුවකිනි. 


ලාංකීය අධ්‍යාපන ක්‍රමය ප්‍රාථමික (1 සිට 5 වසර), කනිෂ්ඨ (6 සිට 9 වසර), ජ්‍යෙෂ්ඨ (10 සිට 13 වසර) සහ උසස් අධ්‍යාපන ආයතන වශයෙන් හැඳින්වේ. වසර 15 සිට වසර 19 දක්වා වයසැති සිසුන් ජවිපෙ විසින් හඳුන්වනු ලැබුවේ ‘රතු ගැටව්’ ලෙසය. ජවිපෙ ශිෂ්‍ය අංශයේ සාමාජිකයෝ පාසල් සිසුන්ට කොක්ක ගසා දෙවැනි කැරැල්ලට සිසුන් රැස් කළහ. මව්බිම රැක ගැනීම සඳහා තමා පූර්ණකාලීනව සේවය කිරීමට යන බවට සිය දෙමාපියන්ට ලිපි තබා පාසල් සිසුන් සිය ගණනක් නිවෙස්වලින් ස්වකැමැත්තෙන් අතුරුදන් වී තිබිණි. ඔවුහු පූර්ණකාලීනව නිදහස් අධ්‍යාපන කප්පාදුවට, ඉන්දීය ආක්‍රමණයට, ඉන්දු - ලංකා ගිවිසුමට සහ ජනතා විරෝධී ක්‍රියා මාර්ගයන්ට එරෙහිව උද්ඝෝෂණයන්හි නියැලුණහ. පාසල් වර්ජන සහ පෙළපාළි සංවිධානය කළහ. 


ප්‍රථම වරට පාසල් සිසුන් ආරක්‍ෂක අංශ මගින් ඝාතනය කිරීම පිළිබඳව රටේ විරෝධයක් මතු වූයේ 1988 මාර්තු 23 රාත්‍රියේදී තංගල්ලේ හුණුකණ්ඩිය පාරේ පදිංචි තංගල්ල මහ විද්‍යාලයේ සිසුවන්වන වසන්ත වීරසිංහ සහ ප්‍රසන්න වනිගසිංහ ඝාතනයන් පිළිබඳවය. ජවිපෙ සිසුන්ට සහ අනුගාමිකයින්ට දඬුවම මරණයයි යනුවෙන් සඳහන් දැන්වීමක්ද ඒ අසල විය. ලේඛකයා එම දෙදෙනාගේම අවමඟුල් උත්සවයන්ට සහභාගී විය. තංගල්ල පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු 1988 මාර්තු 26 සිදු කළේ 1994 මරුමුවට පත් පේරාදෙණිය වෛද්‍ය සිසු පද්මසිරි අබේසේකර සිසුවා මිහිදන් කළ ස්ථානයට නුදුරිණි.


එවකට දකුණු පළාතේ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළේ රිචඞ් විජේසේකරය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වූයේ ප්‍රේමදාස උඩුගම්පොලය. එම වකවානුවේ දකුණ ගිනි ගැනීම ආරම්භ වෙමින් තිබිණි. නිවෙස් ගිනි තබා තිබූ අතර සිය ගණනක් මරා දමා තිබිණි. ඇතැම් අය අතුරුදහන් කර තිබිණි. 


ලේඛකයා පොලිස් අධිකාරි උඩුගම්පොල හමුවූයේ තංගල්ල තානායමේදීය. තානායමේ කොටසක් ඔහුගේ කාර්යාලය වී තිබිණි. මේසය උඩ ෆයිල්වල බරට තබා තිබුණේ අත්බෝම්බය. ඝාතන චෝදනා සුපුරුදු පරිදි හෙතෙම ප්‍රතික්ෂේප කළේය.


ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයට එක්කරගත් සරසවි සහ පාසල් සිසුන් ඉලක්ක කරමින් අධ්‍යාපන කඳවුරු පවත්වන ලදී. එයට ඉන්දීය ව්‍යාප්තවාදයෙන් මව්බිම රැක ගැනීම, ධනපති ක්‍රමයේ අර්බුද, දේශප්‍රේමී නායකත්වයක් තුළින් අර්බුදයට විසඳුම්, නායකත්වයට විසඳුම් දිය හැක්කේ කාටද සහ මව්බිම නිදහස් කර ගැනීම සඳහා අද ගතයුතු මඟ යන විෂයන් පිළිබඳව දේශනද ඇතුළත් විය.


තෝරා ගත් ශිෂ්‍ය සාමාජිකයින්ට ප්‍රායෝගික දේශනද ඇතුළත් විය. තෝරා ගත් ශිෂ්‍ය සාමාජිකයින්ට ප්‍රායෝගික අභ්‍යාස පිළිබඳව පුහුණුවක් ලබාදෙන ලද්දේ ජයවර්ධනපුර සහ රුහුණු සරසවිවලදීය. තෝරා ගත් පාසල් සිසුන් පිරිසකට මාතලේ, මොනරාගල, හෝමාගම, අවිස්සාවේල්ල, පල්ලකැලේ, රත්නපුරේ සහ පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක තිබුණු රහසිගත කඳවුරුවල අවි පුහුණුව ලබාදෙන ලදී. 


“ජය අපිටයි”, “හීසර” වැනි පත්‍රිකාද ශිෂ්‍ය මධ්‍යස්ථානය මගින් නිකුත් කළ අතර ජවිපෙ මගින් විකාශනය කළ රණහඬ ගුවන්විදුලිය යටතේ සතියට දෙවරක් ශිෂ්‍ය අංශයේ කටයුතු පිළිබඳව විනාඩි 15ක වැඩසටහනක්ද ප්‍රචාරය විය. ශිෂ්‍ය මධ්‍යස්ථානයේ මූලස්ථානය ජයවර්ධනපුර සරසවිය වූ අතර එය වසාදමන අවස්ථාවලදී මරදාන කාර්මික විද්‍යාලය ඒ සඳහා යොදා ගැනිණි. ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයට සිසුන් දහස් ගණනක් රටපුරා පූර්ණකාලීනව කටයුතු කිරීමට බඳවා ගනු ලැබීය. එසේ පූර්ණ කාලීනව එක්වූ ශිෂ්‍ය සංඛ්‍යාව 2,500කට ආසන්නය. කොළඹ රාජකීය, තර්ස්ටන්, ආනන්ද, නාලන්ද, ඉසිපතන, වේල්ස් කුමාර, විශාකා, ගෝතමී, දේවි බාලිකා, යශෝධරා, ආනන්ද බාලිකා, අනුලා වැනි ප්‍රධාන පෙළේ පාසැල්වලින් පාසල් අධ්‍යාපනය සහ නිවස අතහැර ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයට පූර්ණකාලීනව එක්වූ සිසු සිසුවියන් සංඛ්‍යාව 63ක් විය. ඉන් කිහිප දෙනෙක් වනුයේ සනත් ගමගේ, ධම්මික (වර්තමානයේද ජවිපෙ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකි), රණවක, ප්‍රමිතා, හේමමාලි, නිරෝමී, මල්කාන්තිය. මින් රාජකීය විද්‍යාලයේ ශාන්ත උදයකුමාර, මහේන්ද්‍ර කුමානායක ඇතුළු කිහිප දෙනෙක්ම ඝාතනයට පත්වූහ. 

 

ඝාතනයට ලක්වූ සිසුන් අතරින් ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහ විදුහලේ සමන් ප්‍රියන්ත ඒකනායක, ගාල්ල ඇලෝසියස් විදුහලේ සමන් කුමාර, නුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසු මාතලේ කූඹියන්ගොඩ පදිංචි කුමාර, 1989 සැප්තැම්බර් 3 අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය වූ මොණරාගල බඩල්කුඹුර නිශ්ශංක මහ විදුහලේ ආර්. එම්. අනුර, හුංගම පොලිසිය මගින් 1989 පෙබරවාරි 25 අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන්වූ ප්‍රියන්ත අමරකෝන් දිසානායක, ගාල්ල ඇලෝසියස් විදුහලේ සිසු අහංගම පදිංචි තිලක් ගුණරත්න, බදුල්ල මහා විද්‍යාලයේ ඝාතනය වූ සිසු ප්‍රදීප් කරුණාරත්න සහ තවත් සිසුන් 5 දෙනෙක් ඉහළ වමේ සිට. 

 

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එජාප ආණ්ඩුවට එරෙහිව 1988 මාර්තු 07 තීරණාත්මක සටනට යොමුවන බවට නිවේදනය කෙරිණි. ඉන්පසු සියලු ශිෂ්‍ය සටන් ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය හරහා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අනුගතව සිදුවිය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ න්‍යාය පත්‍රය මුලට දේශපාලන බලය ලබාගැනීමේ අරමුණ 1989දී මාර්තු මස ස්ථාපිත විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය මගින් 1989 මැයි 10 සිට යුද ප්‍රකාශයක් සිදු කරන බව නිවේදනය කළේය.


පාසල් අරගල අඛණ්ඩව පැවැත්වූ අතර දහස් ගණන් සිසුන් ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ නායකත්වය යටතේ රට පුරා වීදි පෙළපාළි පැවැත්වූ අතර ආරක්ෂක හමුදා ඒවාට ඇතැම් ස්ථානවලදී වෙඩි තැබූ අතර එහිදී සිසුහු සිය ගණනක් මරණයට පත්වූහ.දෙවැනි කැරැල්ලේ නායකයන්ගේ ඉහළ අණින් පාසල් සිසුන් විරෝධතා ව්‍යාපාරවලට කැඳවීම ශිෂ්‍ය මධ්‍යස්ථානය මගින් නිරතුරුව සිදුකළ අතර ඇතැම් පාසල් සිසු නායකයන්ගේ අතිධාවනකාරී ක්‍රියාමාර්ග නිසා සිසු නායකයන් මර්දනයට පත්වීම ද වේගවත් විය. මුළු මහත් පාසල් පද්ධතිය මාස කිහිපයක්ම එමගින් අකර්මණ්‍ය විය. රටේ ගෞරවණීය සාමයක් ප්‍රතිෂ්ඨාපනය කරන තුරු පන්ති වර්ජනය කරන්නැයි එමගින් සිසුන්ට කියා සිටියේය.


කොළඹට කිරි ගමට කැකිරි, ජේ. ආර්. මරමු දේශද්‍රෝහී ආණ්ඩුව පන්නමු, පළා බබා අපිට එපා යනුවෙන් පුවරු ඔසවා ගත් පාසල් සිසුන් දහස් ගණන් ප්‍රධාන නගරයන් ගණනාවක වීදි පෙළපාළි පැවැත්වූහ. පාසල් ඇතුළත සහ ඒ අවට පෝස්ටර් ද සටන් වැකි ද ප්‍රදර්ශනය කර තිබිණි. වසර 1988 ඔක්තෝබර් 10 වනවිට පාසල් 115ක් සිසු උද්ඝෝෂණ නිසා මුළුමනින් වැසී ගියේය. පාසල් 87ක් තෙමසක් ගතවන තෙක් ආරම්භ කිරීමට පවා නොහැකි විය.

 

 

 

 

මතු සම්බන්ධයි.