සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය වී සිටි 1970 දී හාල් පොලු දැමූ කාලය ගැන කෙටි විස්තරයක් කිරීමටද සුදරිංග මහතා අමතක කළේ නැත.


මැතිනිය බලපත්‍රයක් නැතිව මහ පාරේ හාල් ගෙනයාම තහනම් කරමින් නියෝගයක් පැනෙව්වා. මේ නියෝගය නිසා ජනතාවට යම් යම් අපහසුතා හා දුෂ්කරතා ඇතිවූ බව ඇත්ත. ඒත් මැතිනිය මේ වගේ නියෝගයක් පැනෙව්වේ රට කෘෂිකර්මාන්තය අතින් දියුණු කරන්න හිතාගෙනයි. අපේ පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා මේ වැඩ පිළිවෙළට සහාය දෙන්න. එක්සත් ජාතික පක්ෂය මෙයට එරෙහිව රට පුරා විරෝධතා රැස්වීම් 300 ක් තියන්න සූදානම් කරලා තිබුණා. ඒ විතරක් නෙමේ මැතිනිය පනවා තිබූ ඒ නීතිය කඩකරමින් පාරේ හාල් අරගෙන යන්නත් තීරණය කළා.

 

අපේ පක්ෂය යූ.එන්.පී. එකේ මේ වැඩපිළිවෙළට එරෙහිව නැගී සිටීමේ තීන්දුවක් ගත්තා. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් අපේ පක්ෂයේ නියෝජිතයන් දැනුවත් කිරීම් සිදු කළා. අපිත් යූ.එන්.පී. එකේ මේ වැඩපිළිවෙළ දියුණු කිරීමට යම් යම් වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කළා. මාදම්පේ ලුණුඔය පාලම ළඟ හාල්පොල්ලක් ඒ කාලයේ දමා තිබුණා. යූ.එන්.පී. එකේ කට්ටියක් මේ හාල් පොල්ල තබාගෙන හාල් අරගෙන පෙළපාළියකින් යන්න යනවා කියා ආරංචි වුණා. මම ඇතුළු අපේ පක්ෂයේ ක්‍රියාකාරීන් කණ්ඩායමක් මේ ආරංචිය ලැබුණාට පස්සේ ලුණුඔය පාලම ළඟට වෙලා පෙළපාළිය එනකම් බලාගෙන හිටියා. ඒත් ආවේ නැහැ. යූ.එන්.පී. එක රටපුරා පැවැත්වීමට ගිය මේ විරෝධතාව අවසන් මොහොතේ අතහැර දමා ඇති බව පක්ෂයේ අපට දැන ගැනීමට ලැබුණා.


එක්සත් ජාතික පක්ෂය 1960 මාර්තුවල මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. ඒත් අපි රාජාසන කථා විවාදයේදී ආණ්ඩුව පරාජයට පත් කළා. ඒ නිසා 1960 ජුලි මාසයේ නැවතත් මහ මැතිවරණයක් පවත්වනු ලැබුවා. ඒ මැතිවරණයෙන් වාමාංශික කොටස්වල සහාය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තරග කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජයග්‍රහණය කළා. මැතිනිය අගමැතිනිය බවට පත්වුණා. මැතිනියගේ හවුල් ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා බවට පත්කරගත්තේ එන්. එම්. සහෝදරයාව.


එන්. එම්. පෙරේරා සහෝදරයා මුදල් ඇමැති තනතුරට පත්වුණාට පස්සේ අය වැය වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙය ඉතාම සාර්ථක අයවැයක් බවට උගතුන්ගේ ඇගයීමට හා ප්‍රශංසාවට ලක්වූ බව මට හොඳට මතකයි. කම්කරු පන්තියේ සිත් දිනාගැනීමට හැකිවන අන්දමින් වැඩ කරන පන්තියට වාසිදායක වන ආකාරයේ වැඩපිළිවෙළක් ඒ අයවැයට ඇතුළත්ව තිබුණා. අය වැය මගින් රුපියල් පනහේ සීයේ කොළ අවලංගු කිරීම ධනවතුන්ට මරු පහරක් වුණා. ඇන්. ඇම්. සහෝදරයා මුදල් ඇමැතිවරයා විදියට මේ වගේ තීරණයක් ගත්තේ ධනවතුන් සඟවාගෙන සිටින මුදල් ඔවුන් සඟවාගෙන සිටි තැන්වලින් එළියට ගන්නයි. එන්. එම්. සහෝදරයා ඉදිරිපත් කළ අය වැයෙන් ව්‍යාපාරික ලෝකය කැලඹී ගියා කිව්වොත් එය නිවැරදියි.


ඒත් ඒ අය වැය යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ඉඩදුන්නේ නම් 1977 වසරේ මැතිවරණයෙන් ආණ්ඩු පෙරළියක් හෝ දකුණේ කැරැල්ලක් හෝ හට ගැනීම වැළකී යාමට බොහෝසෙයින් ඉඩ තිබුණා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උගතුන්ට පවා ඒ යෝජනාවලිය නිවැරදි අවබෝධයක් තිබුණ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ අය වැය යෝජනාවලිය නිසාම ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්ව යාමට සිදුවුණා. එන්. එම්. සහෝදරයාව මුදල් ඇමැතිකමෙන් ඉවත් කර ඒ ඇමැතිකම පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට බාර දුන්නා.


ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවූ 71 කැරැල්ල ගැන ලංකා සම සමාජ පක්ෂයේ අයෙක් වශයෙන් අදහස් දැක්වූ සුදරිංග මහතා කිව්වේ එම කැරැල්ල කිසිසේත් සාධාරණය කිරීමට නොහැකි වුවත් ඒ කැරැල්ලේ ජයග්‍රාහී අවස්ථාවක් තිබෙන බව කියා සිටියේය.


ඒ ගැන අදහස් දක්වමින් ඔහු කිව්වේ මෙවැනි කතාවකි.


“1971 කැරැල්ලේ ජයග්‍රාහී අවස්ථාවක් හැටියට ඉඩම් පනත සම්බන්ධව සලකන්න පුළුවනි. අක්කර 50 ට වැඩි සියලුම ඉඩම් රාජ්‍ය සන්තක කිරීම සිදුවුණා. මෙසේ රාජ සන්තක කළ සමහර ඉඩම් ගොවිතැන් කිරීමටත් සමහර ඉඩම් ඉඩම් නොමැති දුප්පත් ජනතාව අතරෙත් බෙදාදුන්නා. මේ දේවල් සිදුවුණේ 71 කැරැල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.
ජාත්‍යන්තර ප්‍රගතිශීලින්ගේ සංස්කෘතික කලා අධ්‍යාපනික තරුණ සම්මේලනය 1978 වසරේදී කියුබාවේ අගනුවරවූ හවානාහිදී පැවැත්විණි.


මෙය 11 වැනි සම්මේලනය විය.


ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් එම සම්මේලනයට සුදරිංග මහතා ද ගොස් ඇත.


රටවල් 40කින් නියෝජිතයෝ මේ සම්මේලනයට සභභාගි වූහ. සුදරිංග මහතා ඒ සංචාරය ගැන අදහස් දැක්වීමට පටන්ගත්තේ එය මගේ ජීවිතයේ ගිය පළමු හා අවසන් විදෙස් සංචාරය බව පවසමින්ය.


ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ, කලා සංස්කෘතික සංවිධාන නියෝජිතයෝ මෙම සම්මේලනයට සහභාගිවීමට කියුබාවට ගියා. ඒ වෙනකොට මම කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරමින් සිටියේ. කියුබා සංචාරයේදී විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සම්භාරයක් ලබාගැනීමට හැකිවීම ගැන අදටත් සතුටු වෙනවා. මේ සම්මේලනයට ජේ.වී.පී. නායක රෝහණ විජේවීර මහත්තයා ද ජර්මනියේ සිට ඇවිත් හිටියා. පුදුම විනයක් තියන රටක්. ඒ වගේම කියුබානු ජනතාව හරිම සතුටින් ඉන්න ජාතියක් බව පවසමින් අප අතර පැවැති සංවාදය නිමා කළේය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය