හැත්තෑව දශකයේ අග භාගය වනවිට උතුරේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් වර්ධනය වෙමින් පැවතිණි. තංගදුරෙයි. කුට්ටමනී සහ ශ්‍රී සභාරත්නම්ගේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ), පද්මනාභ ගේ ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), ප්‍රභාකරන්ගේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ), බාලකුමාර්ගේ ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්) මේ කණ්ඩායම් විය. 


අසූව දශකය මුල් භාගයේදී එයට උමා මහේෂ්වරන් ගේ දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) ඇතුළු මුල් සංවිධාන වලින් කැඩී වෙන්වී ගොඩනැගුණු සංවිධාන කිහිපයක්ද එක්විය. ඉන්දීය ආණ්ඩුවේ වැඩි සහයෝගයක් ප්‍රථමයෙන් ටෙලෝ සංවිධානයටද, දෙවැනුව ප්ලොට් සංවිධානයටද, තෙවැනුව 1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසු පළාත් සභා පිහිටුවීමේදී ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයටද හිමිවිය. 


එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1986 අප්‍රේල් 29 ටෙලෝ කඳවුරු 24කට පහරදුන් අතර සාමාජිකයන් ඝාතනය කර නායක සභාරත්නම් 1986 මැයි 7 මරා දැමීය. ප්ලොට් සහ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානද 1986 දෙසැම්බර් 14 එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් තහනම් කරන ලදී. ඊරෝස් කණ්ඩායම එල්.ටී.ටී.ඊ ය සමඟ එක්විය. කාලයාගේ ඇවෑමෙන් අවි ගත්තවුන් අතර ප්‍රබලයා බවට එල්.ටී.ටී.ඊ සංවිධානය පත්වූයේ සෙසු කණ්ඩායම් මර්දනයෙන් සහ ජනතා සහයෝගය දිනා ගැනීම තුළිනි. ගරිල්ලා සටන්වල පමණක් නොව සාම්ප්‍රදායික සංග්‍රාමවේදයේද එය නිපුණත්වයක් ලබා ගත්තේය. ඊ.පී.ආර්.එල්.එෆ්. නායක පද්මනාභ 1990 ජුනි 19 මදුරාසියේදී මරා දැමූ එල්.ටී.ටී.ඊ සංවිධානය ප්ලොට් නායක උමා මහේෂ්වරන්ද 1989 ජුලි 16 නාරාහේන්පිට පොල්හේන්ගොඩදී ඝාතනය කරන ලදී. 


සමාජයේ විවිධ ස්ථරවල පුළුල් බලපෑමක් කළහැකි පුද්ගලයින් කිහිපදෙනෙක් සහ ඔවුන්ගේ අනුගාමිකයින් සමග එක්ව ගොඩනගන ලද කණ්ඩායමක් ලෙස විකල්ප කණ්ඩායම හැඳින්විය හැකිය. ජ.වි.පෙ. ඇතුළු වමේ සංවිධානවලට විකල්පයක් ලෙස උපත ලැබූ විකල්ප කණ්ඩායම උතුරේ ඊ.පී.ආර්.එල්.එෆ් බෙදුම්වාදී සංවිධානය සමග ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වන ලදී. විකල්ප කණ්ඩායමට පැහැදිලි නායකත්වයක්, මඟපෙන්වීමක්, සංවිධාන සහ මූල්‍ය ශක්තියක්, සන්නද්ධ බලයක් හෝ ආරක්ෂාවක් නොතිබිණි. නමුත් උතුරේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම සතුව මේ සියල්ල තිබිණි. 


නාගරික ගරිල්ලා අරගලය පිළිබඳව අදහස අසූව දශකයේ මුල්භාගයේදී මතුවීමත් සමඟ විකල්ප කණ්ඩායමේ උපත සිදුවිය. හැත්තෑව දශකය අගභාගයේදී සමාජ අධ්‍යයන කවය ලෙසින් වැඩකළ එහි අභ්‍යන්තර අර්බුද හේතුවෙන් විසුරුවා හරිනු ලැබූ කණ්ඩායමට අයත්වූ කිහිපදෙනෙක් මෙහි නායකත්වය ගත්හ. පසුව ඔවුහු 1983 ට ආසන්න කාල වකවානුවේ ස්ටැලින්වාදී අධ්‍යයන කවය ලෙස සංවිධානයක් පිහිටුවා ගත්හ. වාමාංශික දෘෂ්ටිවාද සිය පදනම් වශයෙන් යොදා ගනිමින් දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ ඒකාබද්ධ වූ ස්ටැලින්වාදී අධ්‍යයන කවය කොළඹ සහ නුවරදී වැඩ. ලංකා ගාඩියන් ඉංග්‍රීසි සඟරාවෙන් සහ එමගින් සිංහලයෙන් පළකළ විකල්ප සඟරාව මගින් මෙම මතවාදය ඉදිරියට ගෙනයන ලදී. නිකරුගුවානු අරගලය, ඉරාන විප්ලවය සම්බන්ධයෙන් ඉතා ආකර්ෂණීය ලෙස කථාකළ අතර නාගරික ගරිල්ලා ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවට විකල්ප කණ්ඩායම අවධාරණය කළහ. එහි සමස්ත සරල අදහස වූයේ කුඩා නාගරික ගරිල්ලා කණ්ඩායමක් මගින් රාජ්‍ය බලයේ සංකේත වැනි දූෂිත පුද්ගලයින් කිහිප දෙනෙකු “ඉවත් කිරීම”, බස් ඇතුළු රාජ්‍ය දේපල ගිනි තැබීම වැනි ගින්දර මැදින් පෙරට යන නාගරික ගරිල්ලා යුද්ධයකි. ලාංකීය විප්ලවයේ ප්‍රධාන බලවේගය තරුණයින් ලෙස විග්‍රහ කිරීමට න්‍යායික පදනමක්ද තම මතවාදයට ගැළපෙන සේ විකල්ප කණ්ඩායම සකසා ගත්තේය. 
විකල්ප කණ්ඩායමේ නායකයින් සහ ක්‍රියාකාරීන් අතර කොළඹ සරසවියේ හිටපු කථිකාචාර්ය අහංගම විතානගේ මරියෝ දයා ජයතිලක ද සිල්වා හෙවත් දයාන් ජයතිලක හෙවත් කේ.කේ, රාජ්‍ය නොවන සංවිධානයක් වූ ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාව ඇතිකිරීමේ ව්‍යාපාරයේ (මර්ජ්) නිලධාරියෙකු වූ කරකාර තෝමස් ජෝර්ජ් හෙවත් ජෝ සෙනෙවිරත්න, කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු නායකයෙකු වන දයාපාල තිරාණගම හෙවත් ලොකු සිල්වා, කැලණි සරසවියේ සහකාර කථිකාචාර්ය පුල්සරා නයනි ලියනගේ හෙවත් පුල්සි, චින්තන ද සිල්වා හෙවත් කමල්, පූර්ණක ද සිල්වා හෙවත් ලලිත් හෙවත් පී. එල්, නුවර ගොවි කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක පෙරියසාමි මුත්තුලිංගම් හෙවත් මුත්තු, කේ, පද්මනාභ හෙවත් රංජන්, රාමානුජන් මානික්‍යලිංගම් හෙවත් මොහාන් හෙවත් රාම්, දුම්රිය සේවකයෙකු වූ සපුතන්ත්‍රිගේ කරුණාසේන දයානන්ද හෙවත් ශාන්ත, ක්‍රිස්ටෝම් රංජිත් කුමාර හෙවත් හෙන්රි, ඉක්බාල් හෙවත් ඉබ්බා, හලාවත තුයිහන්දිගේ සරත් සිල්වා හෙවත් සෝමසිරි සිල්වා හෙවත් පොඩි සිල්වා ඇතුළු කිහිප දෙනෙක් අයත් වූහ. එම විකල්ප කණ්ඩායමට සෘජුව සහ වක්‍රව සහාය දුන් අය අතර නුවර ගොවි කම්කරු මධ්‍යස්ථානයේ ආචාර්ය නිව්ටන් ගුණසිංහ, මර්ජ් ආයතනයේ චාල්ස් අබේසේකර, ආචාර්ය කුමාරි ජයවර්ධන, සුනිල් බැස්ටියන්, ජගත් සේනාරත්න, සුනිලා අබේසේකර, ජයරත්න මලියගොඩ, කුමුදුණී සැමුවෙල්, උපාලි කුරේ, කුමුදුණී රෝසා, පෝල් කැස්පස් පියතුමා, ප්‍රින්ස් රාජසූරිය, ඔස්කා පෙරේරා, රිඞ්ලි සිල්වා, ඒන්ස්ලි සමරජීව, ජානි ද සිල්වා ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ කිහිපදෙනෙක්ම වූහ. 

 

 

විකල්ප කණ්ඩායමේ නායකයන් සහ ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකු පිළිබඳව සැකවින් මෙසේය. විකල්ප කණ්ඩායමට එරෙහි නඩුවේ 1 වැනි විත්තිකරුවූ දයාන් ජයතිලක කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ඇක්වයිනාස් විදුහලෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය සරසවියෙන් ප්‍රථම පෙළ පන්ති සාමාර්ථයක් සහිතව 1981දී උපාධිය ලබා ගත්තේය. පේරාදෙණිය සරසවියෙන් පිරිනැමෙන සී. එල්. වික්‍රමසිංහ සම්මානය වසර 40කට පසු හිමිකර ගැනීමට සමත්වූ දයාන් එක්සත් ජනපදයේ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වධාරියෙකි. දයාන්ගේ පියා කීර්තිධර පුවත්පත් කලාවේදී මර්වින් ද සිල්වාය. බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් 1983 දී කොළඹ සරසවියේ ඉතිහාස පීඨයට ඇතුළත් වූ දයාන් 1984 සිදුවූ රෝහණ රත්නායක ඝාතනය වීමෙන් පසු එයට එරෙහිව ශිෂ්‍යයින් උසිගන්වන ලදැයි චෝදනාව මත සේවය නිමා කරන ලදි.


පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ විකල්ප කණ්ඩායමේ චූදිතයන් අතර සිටි දයාන්ට කලක් යටිබිම්ගත ආරක්ෂාව ලබාදෙන ලද්දේ විජය කුමාරතුංග විසිනි. මතවාදීමය අතින් කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමය සමඟ 1986 දී විරසකවූ දයාන් ප්‍රා. සංවිධානයේ ඝාතන වැඩවලට සහයෝගය නොදුන් අයෙකි. උතුරු - නැගෙනහිර පළාත් සභාවේ තීන්දු වලට එකඟ නොවූ දයාන් පසුව සිය ක්‍රමසම්පාදන සහ තරුණ කටයුතු පළාත් ඇමති ධූරයෙන්ද ඉල්ලා අස්විය. විජය චින්තනය ස්ථාපිත කරමින් මහජන පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ ඔහු පසුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවේ උපදේශකයෙකු වශයෙන්ද කටයුතු කළේය. පසු කාලයේ ශ්‍රී ලංකා රජයේ විදේශ දූත සේවයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලතල කිහිපයක්ම දැරීය. වර්තමානයේ මාක්ස්වාදී පසුබිමක් සහිත දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක දාර්ශනික මතවාදයන් ගොඩනැගීමට උපන් හපනෙකි. 


උතුරු - නැගෙනහිර පිහිටු වූ ප්‍රථම පළාත් සභාවේ දෙවනි වරට පත්වූ ක්‍රමසම්පාදන, තරුණ කටයුතු, නිවාස ඉදිකිරීම්, වාරිමාර්ග ඇමතිවරයාවූ ජෝ සෙනෙවිරත්න උපන්නේ 1946දීය. ඔහුගේ දෙමාපියන්ට දරුවන් 7 දෙනෙකු වූ අතර පොලීසියේ සේවය කළ පියා ඉන්දීය ජාතික කේරළ සම්භවයකින් යුක්තය. දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහලේ උසස් පෙළ හැදෑරීමෙන් පසු වයස 19 දී කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශයට බැඳුණු ජෝ පසුව කොමියුනිස්ට් තරුණ සමිතියේ පූර්ණකාලීනයෙක් විය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේ සේවය කළ සුසිලා සමග 1974 ආවාහ වූ ජෝ තිදරු පියෙකි. සමාජ අධ්‍යයන කවයේ ක්‍රියාකාරිකයෙකු වූ ජෝට, දයාන් ජයතිලක හමුවන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා වන අතර එකල දයාන් ඇක්වයිනාස් විදුහලේ උසස්පෙළ ශිෂ්‍යයෙකි. දුම්රිය එකමුතු සේවා සංගමයට නායකත්වය දුන් ජෝ 1976 පැවති දුම්රිය වැඩවර්ජනයේදී ක්‍රියාකාරි මෙහෙයක් ඉටුකරන ලදී. කලක් බොරැල්ලේ කේරි විදුහලේද ගුරුවරයෙකු වශයෙන් සිටියදී බර්මින් ලයිලිගේ වාලම්පූරි චිත්‍රපටියට සම්බන්ධ වීමෙන් විජය කුමාරතුංග දැන හැඳින ගත්තේය. අසූව දශකයේ මුල් භාගයේදී මර්ජ් සංවිධානයේ පූර්ණකාලීන නිලධාරියකු වූ ජෝ එ.ජා.ප. ආණ්ඩුවේ ජනමත විචාරණය, කළු ජූලිය ඇතුළු සිද්ධීන්වලට එරෙහිව විවිධ වැඩසටහන් දියත් කළේය. 


පේරාදෙණිය සරසවියේ උපාධිධාරිනියක වූ පුල්සරා නයනි ලියනගේ 1958 මැයි 28 උපන් අතර ඇයගේ මව සහ පියා දෙදෙනාම ලියාපදිංචි සහකාර වෛද්‍යවරු වෙති. නුගේගොඩ අනුලා සහ මිලාගිරිය ශාන්ත පාවුලු විදුහලේ අධ්‍යාපනය ලත් පුල්සරා කැලණි සරසවියේ සහාය කථිකාචාර්යවරියක වශයෙන් සේවය කරමින් සිටියදී විකල්ප කණ්ඩායමට එක් වූවාය. ත්‍රස්තවාදී මර්දන පනත යටතේ පුල්සරාද 1986 නොවැම්බර් 1 අත්අඩංගුවට ගනු ලැබිණි. කොම්පඤ්ඤවීදිය පොලිසියේ රඳවා ගෙන සිටි ඇයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් 1987 මාර්තු 23 උප ලේඛනයක් මගින් පහසුකම් රැසක්ද සලසන ලදී. කැලණි සරසවියේ 1984 සිට දශක 3ක් ආචාර්යවරියක් වශයෙන් කටයුතු කරන පුල්සරා සිය ආචාර්ය උපාධියද නිමකළේද පේරාදෙණිය සරසවියෙනි. විවියන් ගුණවර්ධනයන්ගේ චරිතාප්‍රදානයද 1998දී ප්‍රකාශයට පත්කළ ආචාර්ය පුල්සරා වර්තමානයේ කැලණි සරසවියේ මානව ශාස්ත්‍ර පීඨයේ බටහිර සම්භාව්‍ය සංස්කෘති සහ ක්‍රිස්තියානි සංස්කෘති අධ්‍යයන අංශයේ පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. 


විකල්ප කණ්ඩායමට එරෙහිව ආණ්ඩුව පැවරූ රාජ්‍ය විරෝධී නඩුවේ 8වැනි විත්තිකරු වූයේ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක කන්දසාමි පද්මනාභය. ඉන්දියාවේ මදුරාසි නුවරදී 1952 නොවැම්බර් 10 උපන් පද්මනාභ ගේ දෙමාපියන්ගේ ගම වූයේ කන්කසන්තුරෙයිය. විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ නීතිවලට විරෝධය දක්වමින් 1972 දී පිහිටවූ දෙමළ ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරිකයෙකුවූ පද්මනාභ බෙදුම්වාදී සටන්කාමියකු බවට පත්වූයේ 1974 ජනවාරි 3 සිට 9 දක්වා යාපනයේ පැවති ජාත්‍යන්තර දෙමළ සම්මේලනය අවසානයේදී පොලිසිය මගින් කළ වෙඩි තැබීමකින් 9 දෙනකු මරණයට පත්වීමත් සමඟය. දෙමළ ඊ.එල්.ඕ. සංවිධානය තවත් කිහිප දෙනෙකු සමඟ 1974 දී පිහිටු වූ පද්මනාභ බි්‍රතාන්‍යයේදී 1976දී ගණකාධිකරණය හැදෑරීය. පලස්තීනයේදී අවි පුහුණුව ලැබූ ඔහු 1978 දී යළි ඉන්දියාවට ගියේය. ඊරෝස් සංවිධානයෙන් ඉවත්ව ඩග්ලස් දේවානන්ද, වර්ධරාජා පෙරුමාල්, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිප දෙනෙකු සමඟ එක්ව 1981 දී ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය පිහිටුවා ගන්නා ලදී. 


ශ්‍රී ලංකාවටද පැමිණි පද්මනාභ මදුරාසිය කේන්ද්‍ර කරගෙන සිය සංවිධානය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කළ අතර 1986 දෙසැම්බර් මස එම සංවිධානයට එල්.ටී.ටී.ඊ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ලකර ඊ.පී.ආර්.එල්.එෆ් සන්නද්ධ නායකයා ඇතුළු සාමාජිකයින් ගණනාවක් ඝාතනය කරන ලදී. උතුරු - නැගෙනහිර පළාත් සභාවට 1988 දී ප්‍රධාන කණ්ඩායම් නොමැතිව තරඟකර ඊ.පී.ආර්.එල්.එෆ් ආසන 71න් 41ක් දිනාගනු ලැබීය. මහ ඇමති ලෙස එම සංවිධානයේ වර්ධරාජා පෙරුමාල් දිවුරුම් දුන්නේය. උතුරු - නැගෙනහිර ප්‍රදේශවලට ඉන්දීය හමුදාවේ නොව ශ්‍රී ලංකා ආණ්ඩුවේ නීතිය 1990 මාර්තු 25 සිට ක්‍රියාත්මක වන බව ජනපති රණසිංහ ප්‍රේමදාස ප්‍රකාශ කිරීමෙන් පසු ඉන්දීය යුධ ගුවන් යානයකින් පද්මනාභ ත්‍රිකුණාමලයේ සිට 1990 මාර්තු 11 ඉන්දියාවට ගෙන යන ලදී. එල්.ටී.ටී.ඊ දෙමළ බෙදුම්වාදීන් විසින් පද්මනාභ ඝාතනය කරන ලද්දේ 1990 ජුනි 19 ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයේදීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. යෝගසංගරී, පළාත් මන්ත්‍රී පී. කිරුබාකරන් ඇතුළු 8 දෙනෙක්ද මරුමුවට පත්වූහ. 


හබරාදූව හප්පවාන හරුමල්ගොඩ උපන් දයාපාල තිරාණගම කැලණි සරසවියට 1967 ඇතුළුවූ අතර පසුව එහි මහා ශිෂ්‍ය සංගමයේ නායකයෙක් විය. ඩී. අයි. ජී. ධර්මසේකර සමගින් 1970 දී ජවිපෙන් ඉවත් වූ දයාපාල මාතෘභූමි ආරක්ෂක සංගමයේ සාමාජිකයකුව සිටිමින් 1971 මාර්තු 6 ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා පසුව නිදහස් විය. විකල්ප කණ්ඩායමට එක්වීමෙන් පසු පූර්ණකාලීනව සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරය හරහා ක්‍රියාකාරිකයෙකු වූ දයාපාල, රාජ්‍ය සහ ජවිපෙ මර්දනයෙන් ගැලවීම සඳහා 1988 දී මාස 6ක් පමණ සැඟවී සිටියේ අතුරුදහන් කර ඇතැයි කියන ප්‍රගීත් එක්නැලිගොඩට සම්බන්ධයක් ඇති දඹුල්ලේ ගොවිපොළකය.