1987 මැයි 01 නාරාහේන්පිට අභයාරාමයේ පැවති මැයි රැලියේ මුළසුන හොබවන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි. රැස්වීම අමතමින් සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමිය. වේදිකාව වම්පස විලේගොඩ අරියදේව හිමිය.

 

ලොව මැයි දින සැමරුම් 1890 සිටම සිදු වූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව පවත්වන ලද්දේ 1927 දී බව ලංකා කම්කරු සංගමයේ ඊ. ඒ. ගුණසිංහ පවසයි. එහෙත් දේශපාලන විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකා පළමු මැයි රැලිය 1933 ගුණසිංහගේ නායකත්වයෙන් කොළඹ ගාලු මුවදොරින් ආරම්භ වී වික්ටෝරියා (විහාරමහා දේවි) දක්වා ගමන් කර එහිදී රැස්වීම පැවැත් වූ බවය. 1934 දී කොළඹ තරුණ සංගමයේ මාක්ස්වාදීහු ද මැයි දින රැලියක් පැවැත් වූ අතර 1935 දී සමාජවාදීන් ගේ මැයි දින රැලියක් කොළඹ ප්‍රයිස් පිටියේදී වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහගේ මුලසුනින් පවත්වන ලදී. සමසමාජයේ ප්‍රථම මැයි රැලිය 1936 දී පැවැත් වූ අතර මැයි දිනය මෙරට රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත්කළේ 1956 දී අගමැති බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මගිනි. එය කම්කරු අමාත්‍ය ටී. බී. ඉලංගරත්නගේ යෝජනාවකි.


එජාපය බලයට පත්වීමෙන් පසු 1978 සිට මැයි දින සැමරුම සිදුවූයේ ජාතික සංස්කෘතික උළෙලක් ලෙසිනි. ජනතා විමුක්ති පෙරමුණ ද 1978 සිට සිය මැයි දිනය 1983 දක්වා ආකර්ශණීය ලෙස පවත්වනු ලැබීය. ජවිපෙ 1983 ජූලි තහනමින් පසු එහි අනුගාමී සංවිධානයක් වූ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් 1985 සහ 1986 දී ජවිපෙ නිල නොවන මැයි රැලි නව නගර ශාලාවේදී පවත්වන ලදි. වසර 1984 දී සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එක්වී එක්සත් මැයි රැලියක්ද පවත්වන ලදී.


දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1987 අප්‍රේල් 17 කොළඹ බලා එමින් තිබූ බස් රථවලට වෙඩි තබා මගීන් 126 දෙනෙකු ඝාතනය කළ අතර ඉන් 75 දෙනෙකු නිවාඩුවට ගම්බලා එමින් සිටි හමුදා සෙබළු වූහ. දෙමළ බෙදුම්වාදීහු ඉන් දින 4 කට පසු එනම් 1987 අප්‍රේල් 21 පස්වරු 4.30 ට පමණ කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළේදී කාර් බෝම්බයක් පුපුරවා හැරීමෙන් සාමාන්‍ය පුරවැසියන් 122 ක් ඝාතනයට ලක් කළහ. බෝම්බය පිපිරී විනාඩි 10 කට පසු එම ස්ථානයට ගිය පිරිස අතර ශ්‍රීලනිපයේ අනුරුද්ධ රත්වත්තේ සහ අලෙවි මවුලානා සමග ලේඛකයාද වූහ. එදිනම රාත්‍රි 8 සිට පසුදා පෙරවරු 5 දක්වා ද අප්‍රේල් 22 පෙරවරු 9 සිට යළිත් පසුදා අලුයම වන තෙක්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවන ලදී. රජයේ නිවාඩු දිනයක් වශයෙන්ද 1987 අප්‍රේල් 22 ප්‍රකාශයට පත් කරනු ලැබිණි. පල්ලකැලේ හමුදා කඳවුරට ජවිපෙ මගින් 1987 අප්‍රේල් 15 පහර දී අවි පැහැරගනු ලැබුවද මසක් යනතෙක් ඒ පිළිබඳව ආරක්ෂක අංශවල සැකයක් ජවිපෙ වෙත එල්ල වූයේ නැත.


වීදි බට දහස් සංඛ්‍යාත පිරිස් 1987 අපේ්්‍රල් 22 ආරක්ෂාව ඉල්ලමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් ජනාධිපති ජයවර්ධනගේ වෝඞ් පෙදෙස නිවස දෙසට ඇඳිරි නීතියද නොතකා පෙළපාළියෙන් පැමිණ උද්ඝෝෂණයක් දියත් කළහ. මෙයට නායකත්වය දුන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසකි. රජය මගින් අප්‍රේල් 22 වැනිදා 1987 මැයි දින රැස්වීම් සහ පෙළපාළි තහනම් කළ අතර එය 1987 මැයි 22 පවත්වන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සියලු මැයි දින රැලි සහ පෙළපාළි රජය මගින් තහනම් කිරීමට කටයුතු යොදන ලදී.

 

මව්බිම සුරකීමේ මැයි දින සැමරුම් සහභාගිවන්නන් අභයාරාම පන්සලෙන් පිටතට පැමිණීමේදී කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් ගපූර් එය විසුරුවා හැරීම සඳහා පහරදීමට පොලිසියට නියෝග කල අවස්ථාව.


රජයේ එම මැයි දින තහනම බිඳගෙන මැයි රැලියක් සහ පෙළපාළියක් පැවැත්වීමට මව්බිම සුරැකීමේ ව්‍යාපාරය තීරණය කළේය. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය 1986 ජූලි 26 කොළඹ - දෙමටගොඩ පඨානාඝර විහාරයේදී ආරම්භ වූවකි. එහි අදිසි හස්තය වූ ජනතා විමුක්ති පෙරමුණ එය ගොඩනැගීමේදී අනුගමනය කළ උපක්‍රමික ප්‍රවේශය වූයේ දේශපාලනික වශයෙන් මව්බිම සුරැකීම සඳහා ඒකාබද්ධ කළයුතු බලවේගයන් ඒකරාශි කිරීම සහ නිද්‍රාශීලීත්වයට මෙන්ම අක්‍රීය කොට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැනනැගී ඇති තත්ත්වයට එරෙහිව අවදිකිරීමේ උත්සාහයක්ය. ඒ වන විට මව්බිම සුරැකීමේ ව්‍යාපාරය 1986 සැප්තැම්බර් 19 මහනුවරදී 4,000 කට අධික සහභාගි වූ මහා සඟ සමුළුවක් පවත්වා තිබූ අතර රට පුරා පවත්වන රැස්වීම 17ක් යටතේ පළමු රැස්වීම 1987 මාර්තු 31 නුගේගොඩදී ද පවත්වා තිබිණි. මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකයන් වූයේ කොළඹ අග්‍රශ්‍රාවක ධර්ම පීඨයේ අතිපූජ්‍ය හැඩිගල්ලේ පක්‍ඳ්ඤාතිස්ස හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, ඉත්තෑපානේ ධර්මාලංකාර හිමි, දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම හිමි, ජනතා සටන් පෙරමුණේ කැඳවුම්කරු ප්‍රනාන්දු පුල්ලේ තංගරාජාය.


මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මැයි දින රැස්වීම සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා 1987 අප්‍රේල් 22 සිට දිනපතා නාරහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. සාකච්ඡා වාර 5 ක් පැවති අතර අවසාන සාකච්ඡාව 1987 අප්‍රේල් 27 සවස 2 ට පැවැත්විණි. ඉහත පිරිසට අමතරව ජවිපෙ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගම ද දේශවිමුක්ති ජනතා පක්ෂයේ නිහාල් පෙරේරා ද දෙවරක් එක්වූහ. ලේඛකයා මේ සියලු රැස්වීම් මාධ්‍යයට ආවරණය කළේය. 


ආණ්ඩුවේ 1987 මැයි දින තහනම නොසලකා හරිමින් සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට මහපාරේ මේසයක් දමා රැස්වීමක් පැවැත් වූ අතර එයට සමසමාජ, කොමියුනිස්ට්, මහජන සහ නව සමසමාජ පක්ෂද එක්විය. පොලිසිය කඳුළු ගෑස් දමා පිරිස විසුරුවා හැරි අතර සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සිය වයෝවෘද්ධභාවය හේතුකොට ගෙන කඳුළු ගෑස් ප්‍රහාරයෙන් රෝගාතුරද විය. ශ්‍රීලනිප රැස්වීම ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මහනුවර, ගාල්ල, අනුරාධපුරය යන නගරවලද මැයි දින සැමරුම් පැවැත්වුවද ඒවා පොලිසිය මගින් විසුරුවා හරින ලදී.


වඩාත්ම සටන්කාමී සහ උණුසුම් මැයි දින සැමරුම පැවැත්වූයේ නාරහේන්පිට අභයාරාමයේදීය. කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් ගපූර්ගේ නායකත්වයෙන් 300 කට ආසන්න කැරලි මර්දන පොලිස් කණ්ඩායමක් 1987 මැයි 1 හිමිදිරියේ සිට අභයාරාමය ඉදිරිපිට සතර දෙසින් රඳවා තිබෙනු දක්නට ලැබිණි. ගපූර් එහිදී ලේඛකයාට කියා සිටියේ කිසිදු මැයි පෙළපාළියක් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති ජයවර්ධන තමාට පෞද්ගලිකව උපදෙස් දුන් බවය. පස්වරු 2.05ට මැයි දින රැස්වීම ආරම්භ වන විට 2,000 කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ මුලසුන දැරූ හැඩිගල්ලේ පක්‍ඳ්ඤාතිස්ස මහානායක හිමිය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රැස්වීමේ අරමුණ පැහැදිලි කළ අතර සරසවි පද්ධතිය වෙනුවෙන් බලහරුවේ සෝභිත හිමිද, භික්ෂු පරපුර වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිද අදහස් ප්‍රකාශ කළහ. විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභාව ඇමතීමෙන් පසු දසවිධ කරුණු සහිත මැයි දින යෝජනාවක් සභා සම්මත කරන ලදී.


රැස්වීම නිමාවෙන් පසු පිරිස මැයි දින තහනමට විරෝධය පළකරමින් සටන් පාඨ සහිත පුවරු සහ බැනර් අතතැතිව මහා මාර්ගයට පිවිසීමට ගමන් කළහ. එවිට ප්‍රතිචාරය වූයේ බැටන් ප්‍රහාරයකි. පසුව කඳුළු ගෑස්ය. රබර් උණ්ඩය. අවසානයේ වෙඩි තැබීම සිදුවිය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගපූර්ගේ උපදෙස් පරිදි වෙඩි තැබීමට නියෝග කළේ කැරලි මර්දන කණ්ඩායමේ නායකයා වූ උපපොලිස් පරීක්ෂක වෙලේගෙදර ප්‍රේමදාසය. ගපූර්ගේ දෙවැනියා වූයේ සහකාර පොලිස් අධිකාරි බන්දුල පරාක්‍රම වික්‍රමසිංහය. විනාඩි ගණනාවක්ම වෙඩි ප්‍රහාරය පැවතිණි. ආනන්ද හිමියන් සහ දිනේෂ් ගුණවර්ධන වෙඩි තැබීම නතර කරන්නැයි ඉල්ලා සිටියද එය නතර නොවීය. වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගිය අතර නාරහේන්පිට සමන්ත රත්නායක, රත්නපුරේ ආර්. ප්‍රේමසිරි සහ නුවර මහින්ද රණතුංග යන අය තුවාල ලබා රෝහල් ගත කෙරිණි.


වෙඩි වැදී මියගිය දෙදෙනා වූයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු වැල්ලම්පිටියේ, බ්‍රැන්ඩියවත්තේ පදිංචි ලෙස්ලි ආනන්දලාල්, කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාහාරික විද්‍යා පීඨයේ 84/85  කණ්ඩායමේ සිසු පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන් රණවකය. ලෙස්ලි ආනන්ද ලාල් වෙඩි වැදීමෙන් මියගියේ අභයාරාමය තුළදීමය. 


කිත්සිරි මෙවන් මියගියේ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. වෙඩි වැදුනු කිත්සිරි මෙවන් රෝහලට ගෙන යෑමට පොලිසිය විනාඩි 30 ක පමණ කාලයක් ඉඩ ලබා දුන්නේද නැත. මෙම ඝාතන සිද්ධීන්වලට එරෙහිව රටපුරා සරසවිවල සහ පාසල් බොහෝමයක විරෝධතා ව්‍යාපාර පැනනැගිණි. 


ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ පදිංචි වැල්ලම්පිටිය බ්‍රැන්ඩි්‍රයාවත්තේ නිවසට ලේඛකයා එදිනම රාත්‍රියේ යනවිට එහි සිටියේ සොහොයුරෙකු වන ගාමිණී, සොහොයුරියක වූ කුමාරි සහ මව කල්‍යාණි පෙරේරාය. ලෙස්ලි ආනන්දලාල් රත්තොටදී උපන්නේ 1953 සැප්තැම්බර් මස 15 වැනිදාය. ඔහු මියයන විට 33 හැවිරිදි අවිවාහකයෙකි. ලෙස්ලිගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. තෙල්දෙණියේ හෙණගැහුවෙල මහ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළ ලෙස්ලිගේ පියා 1965 දී දිවියෙන් සමුගෙන තිබිණි. ඔහු ශ්‍රීලනිපයට ළැදිවීම නිසා අනේකවිධ දේශපාලන පලිගැනීමේ මාරුවීම්වලට ලක් වූ අයෙකි. ලෙස්ලිගේ මව කල්‍යාණි පුහුණු උපගුරුවරියක් වූ අතර ඇය වැල්ලම්පිටිය සේදවත්ත මහා විද්‍යාලයේ සේවය කළාය. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ 6 වැනියා වූ ලෙස්ලි ආනන්ද ලාල්ට සොහොයුරන් සහ සොහොයුරියන් 3 බැගින් සිටියහ.
කටුගස්තොට ශාන්ත අන්තෝනි, තෙල්දෙණිය මධ්‍ය මහා සහ සේදවත්ත සිද්ධාර්ථ විදුහලේ අධ්‍යාපනය ලත් ලෙස්ලි 1973 ආරම්භ වූ වැල්ලම්පිටිය මිත්‍ර වොලිබෝල් ක්‍රීඩා සමාජයේ කාරක සභිකයෙකි. ලෙස්ලි ආනන්ද මරදාන කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරීමෙන් පසු කැලණි කේබල් සමාගමේද, ලංකා පොහොර සංස්ථාවේ යන්ත්‍ර සහාය ක්‍රියාකරුවෙක් වශයෙන් කෙටි කලක් සේවය කළ අතර මියයන විට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු විය. එදින මැයි දින රැස්වීමට සහභාගිවීම සඳහා නිවසේ සිට කැලණිය පන්සල අසල බස්නැවතුම්පොලට ලෙස්ලිව පාපැදියෙන් ගෙන ආවේ පසුව රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරියෙකු වූ ඩබ්ලිව්. එස්. සුනිල් විජේසිංහය.


ලෙස්ලි ජවිපෙ සමඟ සබඳකම් ඇරඹුවේ 1982 දීය. ලෙස්ලිගේ අවමඟුල් කටයුතු සිදුවූයේ 1987 මැයි 3 පස්වරු 6.30 ට කොහිලවත්ත සුසාන භූමියේය. බි්‍රතාන්‍යයේ සිටින ලෙස්ලි ගේ සොහොයුරිය තිලකා විවියන්ද අවමඟුලට එක්වීමට පැමිණ සිටියාය. එදින මුළු දවසම වාගේ ලෙස්ලිගේ නිවසේ ගතකළ ලේඛකයාට දැකගන්නට හැකි වූයේ පොලිස් නියෝග මත කොඩිවැල් හෝ සැරසිලි පවා තහනම් නමුත් දහසකට අධික පිරිසක් රැස් වූ අවමඟුලකි. දේහය නිවසේ තැන්පත් කිරීමට පොලිස් අවසරය ලැබුණේ පැය 5 කි. මුරුත්තෙට්ටුවේ හිමියෝ එකම පැවිදි අනුශාසනාව සිදු කළහ. ලෙස්ලි ගේ මවද 1997 දිවියෙන් සමුගත්තාය.


සරසවි ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවකගේ අවමඟුල් කටයුතු යෙදී තිබුණේ 1987 මැයි 4ය. පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන්ගේ පියා නීතිඥයෙකු මෙන්ම මහජන එක්සත් පෙරමුණේ උපසභාපතිවරයෙකි. පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ 1963 දෙසැම්බර් 2 උපන් කිත්සිරි මෙවන්ගේ සොහොයුරු සොහොයුරියන් වූයේ කිත්මිණි, සඳරුවන්, නිල්මිණි සහ සුගන්ධය. කිත්සිරි මියයන විට ඔහු මෙන්ම ඔහුගේ නැඟණිය වූ කිත්මිණිද ජයවර්ධනපුර සරසවියේ සිසුවියකි. වර්තමානයේ ඇය රජයේ ආයතනයක කළමනාකාරවරියකි. 

 

පොලිස් වෙඩි තැබීමෙන් මියගිය රණවක සිසුවාගේ සිරුර මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය ඇතුළු තිදෙනෙක් ඔසවාගෙන යමින්. පිස්තෝලයක් අතැතිව සිටින්නේ සහකාර පොලිස් අධිකාරි බන්දුල වික්‍රමසිංහය.

 

රණවකගේ දේහය රැගත් අවමඟු‍ල් පෙරහර පානදුර කුරුප්පුමුල්ලේ සිට පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය දක්වා 1987 මැයි 4 ගමන් ගත් අයුරු.


කිත්සිරිගේ කනිටු සොහොයුරා වූ සුගන්ධ වර්තමානයේ පෞද්ගලික අංශයේ විධායකයෙකි. සඳරුවන් ව්‍යාපාරිකයෙකු වන අතර නිල්මිණිද රජයේ ආයතනයක සේවය කරනු ලබයි. කිත්සිරි මෙවන් මියයන විටද සිය පියා සිටි මහජන එක්සත් පෙරමුණේ හිතවතෙකි. කිත්සිරිගේ අවසන් කටයුතු සිදු කෙරුණේ සිසුන්, භික්ෂූන් සහ කම්කරුවන් 2,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සටන්කාමී අයුරෙනි. සියලු පොලිස් බාධක සහ තහංචි බිඳදමමින් දේහයේ අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ සිදු කිරීමෙන් පසුව රැස් වූ දහසකට අධික පිරිස පානදුර නගරය පුරා පෙළපාළි  පවත්වා පසුව රැස්වීමක්ද තබා විසිර ගියහ. කිත්සිරිගේ පියාද 2012 දෙසැම්බර් 12 දිවියෙන් සමුගත්තේය.


එජාප ආණ්ඩුවේ 1987 මැයි දින තහනම කඩමින් ජීවිත 2 ක් බිලිගත් මැයි දින ද්විත්ව ඝාතන පිළිබඳ පරීක්ෂණය පැවැත්වීමට ආණ්ඩුවට සිදුවූයේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කළ අඛණ්ඩ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. ලෙස්ලි ආනන්දලාල් සහ කිත්සිරි මෙවන්ගේ මරණ පරීක්ෂණ 1987  මැයි මස 3 වැනිදා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. එස්. එල්. සල්ගාදු විසින් පවත්වනු ලැබූ අතර එම ඝාතනවලට බලපෑ වෛද්‍ය හේතු ඇතුළත් පර්යේෂණ වාර්තාව 1987 මැයි 4 අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මැයි දින ද්විත්ව ඝාතන පරීක්ෂණ 1987 මැයි 14 කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ජී. එල්. එම්. ද සිල්වා ඉදිරියේ විභාග විය.


මෙහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි ලෝරන්ස් අමරසේන පෙනී සිටි අතර මියගිය ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ වෙනුවෙන් බාල තම්පෝ, සරත් විජේසිංහ සහ පියසේන දිසානායක යන නීතිඥවරු පෙනී සිටියහ. මියගිය සරසවි සිසු කිත්සිරි මෙවන් රණවක වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය, සරත් විජේසිංහ, ලසන්ත වික්‍රමතුංග සහ ජනප්‍රිය පේදුරුහේවා යන නීතිඥවරු පෙනී සිටියහ. එම මැයි දින සිද්ධිය සියැසින් දුටු සහ අනතුරුව පැන නැගුණු සියලු සිද්ධි මාලාවන් වාර්තා කළ ජනමාධ්‍යවේදියාද වූයේ ලේඛකයාය. 


අදාළ පරීක්ෂණ කොමිසම දින 30 කට ආසන්න කාලයක් රැස්වී මැයි දින මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය පවත්වන ලදි. එම මරණ පරීක්ෂණයන්හි සාක්කි විභාගයන්ගේ අවසානය වූයේ 1988 මාර්තු 28 ය. පරීක්ෂණ මාස 9 ක් තිස්සේ විභාගයට ගත්තේය. සාක්ෂි සටහන් පොත පිටු 1,800 කි. පරීක්ෂණය අවසන් වූයේ 1988 අගෝස්තු 2 ය. මෙහි තවත් එක් තීරණාත්මක අවස්ථාවක් වූයේ සාක්ෂි උපුටා දක්වමින් නීතිඥ දේශන පැවැත්වීමට විරෝධය දැක්වීමය. මැයි දින ඝාතන 2 පිළිබඳව මහාධිකරණ සාක්ෂි විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරු සිල්වා කියා සිටියේ පොලිසිය වෙනුවෙන් සාක්ෂි දුන් දහදෙනාගේම සාක්කි පිළිගත නොහැකි බවය. එයට හේතුවක් ලෙස මහාධිකරණ විනිසුරු දැක්වූයේ පොලිසිය කලබල අවස්ථාවේදී කිසිම අවස්ථාවක නාරාහේන්පිට අභයාරාමයට ඇතුළු වූයේ නැතැයි ප්‍රකාශ කළද රජයේ සහකාර රස පරීක්ෂකගේ වාර්තා අනුව වෙඩිතබා ඇත්තේ අඩි 10 ක පමණ දුරකින් බව තහවුරු වී ඇති බවය. අවසානයේදී හදිසි නීති රෙගුලාසි අංක 55 වගන්තිය යටතේ මෙම මරණ පරීක්ෂණයේ අවසන් නිගමන සහ පරීක්ෂණ වාර්තා නීතිපතිවරයාට යොමු කරන ලදි.