2000 වසරේ දී උතුරේ පැවැති සටන කෙළවරව සතියක ඇවෑමෙන් ශ්‍රී ලංකාවේ උද්ගතවූ තත්ත්වය විමසීමට එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයේ 11 වැනි විශේෂ සැසිය කැඳවන ලදී. සති දහයකවත් කාලයක් යෙදැවෙන සේ, වසරක් තුළ සැසි වාර තුනකට නො අඩු සංඛ්‍යාවක් පැවැත්වීමේ බලය සාමාජික මානව හිමිකම් කවුන්සිලයට තිබේ. සාමාජික රටවල් හතළිස් හතෙන් තුනෙන් දෙකක් ඉල්ලීමක් කළහොත් මානව හිමිකම් උල්ලංඝනය සහ වෙනත් හදිසි අවස්ථා සලකා බැලීම සඳහා විශේෂ සැසි වාර කැඳවීමේ බලයද මානව හිමිකම් කවුන්සිලයට තිබේ. ලංකාවේ තත්වය විභාග කිරීම සදහා කැඳවන ලද සැසිය එවැන්නකි.
මෙහිදී කැපී පෙනෙන කරුණ, මෙම විශේෂ සැසිය කැඳවීම සඳහා වූ ඉල්ලීම ජර්මන් රජයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා විසින් ඉදිරිපත් කරන ලද්දේ, එල්ටීටීඊය පරාජයට පත් වීම සහ එම සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් සේ රඳවාගනු ලැබ සිටි 300,000ක් වූ ලාංකේය සිවිල් වැසියන් මුදාගනු ලැබීමෙන් අනතුරුව ගැටුම් කෙළවරකට පැමිණි බව වාර්තා වූ 2000 මැයි 19 වැනිදාමය. ගැටුම් පැවැති අවසන් දින කිහිපයට පෙර එල්ටීටීඊ නායකත්වය විනාශ මුඛයෙන් බේරාගැනීමේ කාර්යය උදෙසා එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන රටවල විදේශ ඇමැතිවරුන් උත්සාහ දැරුවද, එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි සටන අවසානය දක්වා දිගටම කරගෙන යාම සඳහා රජය ගත් තීරණය සම්බන්ධයෙන් මෙම රටවල් ශ්‍රී ලංකාව හා අමනාපයෙන් සිටි බව මැනවින් ප්‍රකටය. මානව හිමිකම් ප්‍රවර්ධනයෙහි හා ආරක්ෂා කිරීමෙහි ලා රටට සහයෝගය නමින් වූ ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන ලද 11/1 දරණ යෝජනාවට පක්ෂව මානව හිමිකම් කවුන්සිල සාමාජික රටවල් 29 කගේ සහයෝගය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම හේතු කොටගෙන, රටට එරෙහිව සම්බාධක පැනවීමට බටහිර රටවල් දරනු ලැබූ ප්‍රයත්නය ද ඵල රහිත වූ බව සඳහන් කරන්නට අවශ්‍යය.


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ යෝජනා ඉදිරිපත් වූ පළමුවැනි අවස්ථාව මෙය නොවේ. එල්ටීටීඊයට එරෙහි සටනෙහි මුල් අවදිය වූ 1987 වසරේ දී, කලින් මානව හිමිකම් කොමිසම නමින් වූ ආයතනය වෙත ඉදිරිපත් වූ මානව හිමිකම් පිළිබඳ අප්‍රසන්න යෝජනාවකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසම හමුවට ගෙන ඒමට මෙරටට බොහෝ දුරින් පිහිටි රටක් වූ ආජෙන්ටිනාව විසින් පළමු පියවර තබන ලද්දේ, ශ්‍රී ලංකාවට ආසන්නතම අසල්වැසියා වූ ඉන්දියාවේ අවශ්‍යතාව අනුවය. ඉන්දියාව වෙනුවෙන් කොස් ඇට බා ගැනීමට ආර්ජන්ටිනාව බළල් අතක් බවට පෝක්ලන්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සමුළුවෙහි දී එරටට විරුද්ධව, ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට පක්ෂව ඡන්දය දීම හේතුව ගෙනය. 1987 දී හා 2009 වසරවල දක්නට ලැබුණේ බෙහෙවින් එකිනෙකට සමාන සිද්ධීන් දෙකකි. ඉලක්ක කරගත් රටවලට එරෙහිව, දේශපාලන හා ආර්ථික අතින් බලවත් රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය මෙහෙයවීම කිසියම් චාරිත්‍රයක් කරගත් බැවිනි. 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමෙන් පසුවද දේශපාලන අවශ්‍යතා සපුරාගැනීම සඳහා මානව හිමිකම් යාන්ත්‍රණය භාවිතා කිරීමේ පුරුද්දේ වෙනසක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ චෝදනා ලබමින් සිටිය යුගය තුළද, අවස්ථා කීපයක දීම, ශ්‍රී ලංකාවේ සේවය සාමාජිකයකු වශයෙන් මානව හිමිකම් කොමිසම වෙත ලබා දුන් බව සදහන් කළ යුතුය.


1987 වසරේකදී මානව හිමිකම් පිළිබඳව තිබුණු චෝදනා සලකා බැලීම, වසන්ත සැසියෙහි දින අවසාන මොහොත වනතෙක් ප්‍රමාද කරවාගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ, අතිශය කැපවීමෙන් යුතුව දියත් කළ සටනකින් පසුවය. ඇතිවන බලපෑම අවම වනසේ සංශෝධනය කරවීමෙන් අනතුරුව එකී යෝජනාව සම්මත වන තැනට, අභාවප්‍රාප්ත එච්.ඩබ්ලි්‍යු. ජයවර්ධන හා තානාපති ජයන්ත ධනපාල යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් කටයුතු කරන ලදී. කෙසේ වුවද, ලංකාවට විරුද්ධව එකී යෝජනාවට සමඅනුග්‍රහය නොදැක්වීමට එවකට ශ්‍රී ලංකාව විසින් වග බලාගන්නා ලදී. එහෙත් 2015 දී ශ්‍රී ලංකාව ක්‍රියා කෙළේ එයට හාත්පසින් විරුද්ධ ආකාරයටය. 2012 වසරෙහි පටන් තෙවරක් ඉදිරිපත් වූ යෝජනා තුනක් සම්මත වීමට විරුද්ධව කටයුතු කළ ශ්‍රී ලංකාව, පිටු 5 ක් පුරා දිවෙන විෂය කාර්යය ඡේද 20 කට පදනම සකසන හැඳින්වීම් ජේද 23 කින් සමන්විත 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට පියවර ගැනීම සුදුසු විය යුතු කාරණයකි. එයින් පසු රටට මුහුණ දීමට සිදුවූයේ ක්‍රියාත්මක කළ නොහැකි ඉල්ලීම් ඇති යෝජනාවලියකට කර ගැසිීමය. ව්‍යවස්ථා සංශෝධනයකින් හා ජනමත විචාරණයකින් තොරව නඩු විභාග සඳහා විදේශීය විනිශ්චයකරුවන් සහභාගි කරවාගත නොහැකි වන බවට මෑතකදී එළැඹ ඇති තීරණය එයට එක උදාහරණයකි. යුද අපරාධ විමර්ශනය සඳහා අධිකරණ පිහිටුවීමට පෙර, නව ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවට පළවන මතය තවත් එකකි. ශ්‍රී ලංකාව ආපස්සට යෑමට උත්සාහ කරන්නේ මෙම කරුණු දෙක සම්බන්ධයෙන් පමණක් නොවේ.


එළඹෙන මාර්තු මාසය, ශ්‍රී ලංකාව මැනවින් සිතා බලා තීක්ෂණ තීරණ ගත යුතු කාලයකි. බටහිර රටවල වුවමනාව අනුව සැකැසුණු ලංකාවේ මානුෂික තත්ත්වය පිළිබද වූ යෝජනාවලියකට තමන්ම පාර්ශ්වයක් බවට පත්ව සිටින ශ්‍රී ලංකාව, ඉදිරි කවුන්සිල් සැසියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව, යහපාලනය ඇති කරන්නට හා මානව හිමිකම් සුරැකීමට පොරොන්දු වූ නව රජය තීරණයකට පැමිණිය යුතු අවස්ථාවයි. ශ්‍රී ලංකාව පිළිබඳ වූ 2012 මානව හිමිකම් කවුන්සිල යෝජනාව එක්සත් ජනපද යෝජනාව වශයෙන් හැඳින්වෙන බැවින්, එහි ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් සැලකිය හැකි වන්නේ එකී රටයි. එක්සත් ජනපදය හා එක්ව ඒ පිළිබඳව ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකරන ලද්දේ එක්සත් රාජධානියයි. එබැවින් තමනට අවශ්‍ය දිශාවක් වෙත ශ්‍රී ලංකාව යොමුවනු දැකීම එකී රටවල අරමුණ  බව පැහැදිලිය. ශ්‍රී ලංකාව තම ග්‍රහණයෙන් ලිහිල් කිරීමට හෝ මුදාහැරීමට කිසිවිටෙකත් ඔවුන්ගේ අවශ්‍යතාව නොවේ.

ස්වකීය දේශපාලන අභිමතාර්ථය උපරිමව  සපුරාගැනෙන තෙක් ශ්‍රී ලංකාවේ ගෙල හිරකර තැබීමට, කොළඹ දී, ජිනීවා හිදී, ලන්ඩන් හිදී මෙන්ම වොෂිංටනයේ දී ද ඔවුන් උපරිම ශක්තිය යොදවනු ඇත. බටහිර රටවලට පෙනෙන ආකාරයට, ඒ වනාහි ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසා බැලීම සඳහා කවුන්සිලයේ විශේෂ සැසියක් පැවැත්වීමේ අවස්ථාව වළක්වාගැනීමට අසමත් වීමෙන් පසුව, ජිනීවා හි දී තමන්ම ඉදිරිපත් කළ යෝජනාව සම්මත කරගැනීම තුළින් 2009 දී කළ ‘නො කටයුත්ත’ වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවිය යුතු වන්දියයි. ඇත්ත වශයෙන්ම, ඉකුත් රජය හා බටහිර රටවල් අතර එවක පැවැති සබඳතාව ගැටුම්කාරී ස්වභාවයක තිබියදී, දෙපක්ෂය සාකච්ඡාවකට එළැඹියේ නම් පවා එය අසාර්ථක ප්‍රයත්නයක් වන බව නිසැකය. ඇතැම් පාර්ශවයක විශ්වාසය බටහිරට එරෙහි මතය 2009 පැවති විශේෂ සැසියෙහි දී සම්මත කරවාගැනීම මගින් කවුන්සිලයේ පසු සැසිවල දී අවාසි තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවයි. තවත් මතයක් නම් 2009 මැයි මාසයේ දී යුද ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ශ්‍රී ලංකාව, බටහිර සීමා නියමයන්ට කිසිසේත් එකඟ නොවනු ඇති බවයි. අනාගත විපාක පිළිබඳ තැකීමකින් තොරව, 2015 යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීමට රජය ඉක්මන් වූයේ මැතිවරණ ජයග්‍රහණයෙන් මතු වූ එබඳුම උද්දාමයක් හේතු කොටගෙන විය හැකිය.


2015 දී සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව මන්දගාමී වී ඇති හෙයින් ඉටුකිරීමට භාරගත්  බැඳීම් හා කැපවීම් ඉදිරියට කල් දැමීමට 30/1 යෝජනාව ගෙන ආ පාර්ශ්වවල අනුමැතිය ලබාගත හැකියයි විශ්වාසයක් තිබේ. ශ්‍රී ලංකාව සමානුග්‍රහය පළ කළ යෝජනාවේ කරුණු හතකට වැඩි බැඳීම් ඇත. වැඩි කොටසක් ඉටු කිරීමෙහි ලා සමත් වී නම් කල් දැමීමේ තීරණය පහසු වනු ඇත.


කෙතරම් කාලයක් එවැනි කල් දැමීමකට ඉඩ ලැබේ ද? යන්න පළමු ප්‍රශ්නයයි. එය මාස දොළහක් (2018 මාර්තු වනතෙක්) වේ ද, නැතිනම් ඉන් අනතුරුව එළැඹෙන 2018 සැප්තැම්බරය තෙක්, එනම් මාස දහ අටක් වේ ද යන්නයි. ස්වේච්ඡාවෙන් භාරගත් බැඳීම් සියල්ලම සපුරාලීමට රජයට හැකි වේද?’ යන්න එයින් පසු නැඟෙන ප්‍රශ්නයයි. සත්‍යය, සාධාරණය, සංහිඳියාව සහ යළි සිදු වීමට ඉඩ නොතැබීම වෙනුවෙන් කොමිසමක් පිහිටුවීම, අතුරුදන් වූ පුද්ගලයන් හා යුද හානි සඳහා වන්දි ගෙවීම් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීම, ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය හා වෙනත් විදේශ විනිශ්චයකරුවන් සහභාගි කරවාගැනීම, අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග තුළින් දඬුවම් පැමිණවීම ද ඉටු කළ යුතු ලැයිස්තුවේ ඇත. මහජන ආරක්ෂණ ආඥාපනත විමර්ශනයට භාජන කරවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විමර්ශනය කර අවලංගු කිරීම, ඉකුත් ජනාධිපති කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම, බලය බෙදාදීම ඇතුළු දේශපාලන විසඳුම් වෙනුවෙන් ව්‍යවස්ථා පියවර ගැනීම, ආදී වශයෙන් වූ බැඳීම් එසේ ස්වේච්ඡාවෙන් භාරගනු ලැබ ඇති යෝජනාවේ තව දුරටත් ලැයිස්තු ගත කර ඇත.


කල්දැමීම බලාපොරොත්තුවන්නේ එක් අවුරුද්දකට නම්, ලබන මාර්තු සැසියට කලින් සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතුය. එවිට, ඉහත දක්වන ලද බැඳීම් සහ රජය විසින් එකඟවූ වෙනත් දේ මාස දොළහක්  තුළ සපුරන හැකියාව තිබේ ද? යෝජනාව පිළිගත් අවස්ථාවේ සිට දැන් ශ්‍රී ලංකාව විසින් සාක්ෂාත් කරගෙන ඇත්තේ කුමන බැඳීම් ද යන්න දැනටමත් විදේශ කටයුතු අමාත්‍යංශයට අවබෝධයක් තිබිය යුතුය. රජය නිර්ව්‍යාජව හා විශ්වාසයෙන් විමසා බැලිය යුතු කාරණයක් තිබේ. දෙවසරකට පෙර ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු ඉටුකර තිබේ ද?’  ඉටුකළ හැකිද යන්නයි. කල් දැමීමක් අවසාන වන විට, 30/1 යෝජනාව මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අසමත් වුවහොත් මුහුණ දෙන්නට සිදුවන විපාක සැලකිල්ලට ගැනීම ද රජයේ වගකීමකි. ශ්‍රී ලංකාවේ අතීත ක්‍රියා කලාපය හා දැනට පවතින තත්ත්වය පිළිබඳව සලකන විට, නිශ්චිත කාලය අවසානයේ බාරගත් වගකීම් කෙසේ සාක්ෂාත් වනු ඇතිදැයි අනුමාන කිරීම එතරම් දුෂ්කර නැත. කවුන්සිලය වෙත දුන් පොරොන්දු මුළුමනින් ඉටු කළ නොහැකිවීම ගැන හේතු දැක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටිය යුතුය.


දැනට රට මෙන්ම, වර්තමාන ජනතා මානසිකත්වයද, 2015 දී පැවැති තත්ත්වයට වඩා අතිශයින්ම වෙනස් බව පෙනේ. එවැනි ස්වභාවයක් යටතේ, විදේශ විනිශ්චයකරුවන්ගේ සහභාගිත්වය ලබාගත හැකි නමුත්, ඒ විනිශ්චයක් දීම සඳහා නොවේ. යුද අපරාධ පිළිබඳ විමර්ශන වැනි කාර්යයට වඩා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම ඉතා වැදගත්ය. ව්‍යවස්ථා සම්පාදන වැඩ පිළිවෙළෙහි යම් ඇණහිටීමක් සිදු වුවහොත් තත්ත්වය කෙබඳු වේ ද? පෙනෙන ආකාරයට, අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් කාර්යාලය පිහිටුවීම පවා ඉදිරියට යා නොහැකි බවට මත ඇති බව පෙනේ. පවත්නා සැබෑ තත්ත්වය එසේ නම්, කල්දැමීමක් තුළින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද? පවත්නා තත්ත්වය නිරවුල්ව හා කෙටියෙන් පැහැදිලි කරදී, ඉදිරි වසර තුළ අපට මුහුණ දෙන්නට සිදු විය හැකි අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ගෙන් මිදීමට ක්‍රියාකරන්නේ නම් එය බුද්ධිමත් පියවරකි. මෙම තත්ත්වය යටතේ, කල්දැමීමක් වෙනුවට ලබන 30/1 යෝජනාව පිළිබඳව නැවත වරක් සාකච්ඡාවක නිරතවීම ශ්‍රී ලංකාවට වාසිකරය.


මෙවැනි වෙනස්කම් ගැන අතීත අත්දැකීම් ඇත. මෙයට වසර දෙකකට කලින් මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසියෙහි දී එය සිදුවිය. එබඳු අවබෝධතාවයකට යළි එළඹෙන්නේ නම්, ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය මාර්තු සැසියෙහි දී සාකච්ඡාවට භාජන නොවේ. ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් ද නැත. ඒ අනුව ශ්‍රී ලංකාවෙහි තත්ත්වය ඉදිරි සැසියේදී සාකච්ඡාවට භාජන නොවන අතර, එකී සියලුම වෙහෙසකාරී කතා 2018 දක්වා කල් දැමිය හැකි ය. එහෙත් 2018 මාර්තු හෝ සැප්තැම්බර් යන කිනම් සැසියක ඒ සඳහා සූදානම්ව සිටීමට වග බලාගත යුතුව තිබේ. 


මේ සඳහා තවත් විකල්ප ද ඇත. 2018 මාර්තුවේ දී හෝ සැප්තැම්බරයේ දී පැවැත්වෙන 38 වැනි හෝ 39 වැනි සැසිය දක්වා 30/1 යෝජනාව කල් දමා ගැනීම පිණිස, ප්‍රායෝගික හා ක්‍රමවේදාත්මක යෝජනා සම්මත කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය සමඟ සාකච්ඡාවකට එළඹීම ශ්‍රී ලංකාව හමුවේ ඇති තවත් පියවරකි. තීරණය කරන ලද හුදු වෙනසක් වෙනුවට, එවැනි සාකච්ඡාවක දී රටවල් නියෝජනය කරන්නන්ට අමතරව දෙමළ ඩයස්පෝරාව විසින් පොළඹවනු ලබන රාජ්‍ය නොවන සංවිධානවල ට ලංකාවේ තත්ත්වය  පිළිබඳව විවාද කිරීමට මඟ පෑදෙනු ඇත. එවැන්නක් සිදුවුවහොත්, එවැනි විවාදයක නිසැකව ඇති වන්නාසේ  තවත් අවදානමක් එළැඹෙන්නට ඉඩ ඇත. සිය අත පෙවීම් තමන් නියෝජනය කරන රාජ්‍ය වෙත දැනෙන්නට සැලැස්වීමේ උපායක් වශයෙන් මානව හිමිකම් කවුන්සලයට යෝජනා ඉදිරිපත් වන විට තම දස්කම් විදහා පෙන්වීමේ අදහසින්, යෝජනා ලිහිල් කිරීම වෙනුවට තද කිරීමට කටයුතු කිරීම ජිනීවා නුවර සේවයේ යෙදී සිටින බටහිර රටවල නිලධාරීන්ගේ සිරිතක්ව තිබේ. ජිනීවා හි සේවයේ යෙදී ඇති එම නියෝජිතයන්  ද මානව හිමිකම් තත්ත්වයන් නිරීක්ෂණ ඔස්සේ ස්වකීය ප්‍රතිරූප වර්ධනයට කටයුතු කරන  බව ප්‍රකට කරුණකි. එබඳු තත්ත්වයක් උද්ගත වුවහොත්, ඉහත  ක්‍රමවේදාත්මක යෝජනාවේ ඇතුළත් විය යුතු කොන්දේසි කොතැනින් කෙළවර විය යුතු ද?’ යන්න නිගමනය කළ නොහැක. තත්ත්වය එසේ වුවහොත්, එම ප්‍රයත්නය ලංකාවේ තත්වය පිළිබඳ තීරණය කිරීම  සඳහා කෙරෙන නව සාකච්ඡාවක් හා සමාන වන්නේය. කෙටියෙන් කිවහොත්, සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ උපදේශන කාර්ය බලකාය මෑතකදී නිකුත් කර ඇති වාර්තාව විමර්ශනය කිරීම වැනි, 30/1 යෝජනාවේ කරුණුවලින් ඔබ්බට යාමේ උත්සාහයක් අන්තවාදීන් විසින් නිර්මාණය කරනු ඇත.


මානව හිමිකම් කවුන්සිලය 2006 වසරේදී පිහිටුවන ලද්දේ එයට පෙර පැවැති මානව හිමිකම් කොමිසම  වෙනුවටය. සාමාජික රටවල විශ්වාසය වූයේ මානව හිමිකම් කොමිසම තුළ දක්නට ලැබුණු දුබලතා මානව හිමිකම් කවුන්සිලය තුළින් විසඳාගත හැකිය. එසේ වුව ද, ඇත්තෙන්ම සිදු වූයේ එහි අනෙක් පැත්තයි. මානව හිමිකම් කවුන්සිලය, කෙටි කලකින් “බටහිර යුරෝපීය හා වෙනත් කණ්ඩායම්”යනුවෙන් හැඳින්වෙන සංවර්ධිත බටහිර රටවල් නියෝජනය කරන එක්සත් ජාතීන් ගේ සංගමයේ සාමාජිකයන්ගේ අතකොළුවක් බවට පත්විය. කවුන්සිලය ඉදිරියට ගෙන ආ යුතු කුමන රටවල්ද?’ යන්න මෙන්ම, එම ක්‍රියාදාමයෙහි ඒ ඒ රටවල් ග්‍රහණයට ගතයුත්තේ සිය කණ්ඩායමෙහි කවුරුන් විසින්ද?’ යන්න තීරණය කරන්නේ මානව හිමිකම් කවුන්සිලයෙහි ආධිපත්‍යය හොබවන මෙම කණ්ඩායමයි. 


ලංකාවේ විදේශ සම්බන්ධතා පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා බල මධ්‍යස්ථාන ගණනාවක් ඇති බව පෙනේ.  එබැවින් විදේශ සම්බන්ධතා මනා ලෙස සම්බන්ධීකරණයකින් තොරව, ව්‍යාකූලතා මතුවීමට හේතු විය හැක.  එබැවින් රටෙහි යහපත තකා එම තත්ත්වය මග හරවාගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍යය.


ශ්‍රී ලංකාවෙහි තත්ත්වය සුදෝ සුදු වන බව හෝ, ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් කවුන්සිලයේ විශ්ලේෂණය අසාධාරණ ලෙස සිදුවන  බව හෝ මෙයින් අදහස් නොකෙරේ. පසුගිය දශක හතරහමාරක කාලය තුළ දකුණේ ත්‍රස්තවාදී අරගල දෙකකට මෙන් ම කුරිරු බෙදුම්වාදී අරගලයකට ද මුහුණ දීමට ජනතාවට සිදු වී ය. මෙම කාලය තුළ මානව හිමිකම් උල්ලංඝන විශාල ලෙස වාර්තා වී තිබේ. මෙම තත්ත්වය යටතේ, මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි ලා පැහැර නොහැර ඉටු කළ යුතු වන්නා වූ විශාල වගකීමකට රජය මුහුණ දිය යුතුය. එක්සත් ජනපදය හා එක්සත් රාජධානියේ නායකත්වය මෑතකදී වෙනස්වීම හා සමග ජාත්‍යන්තර සිද්ධිදාමයන් තුළ නව ප්‍රවණතා පවතී. ස්වකීය ගැටලුව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට ගෙන යාමට මනා අවස්ථාවක් එකී වාතාවරණය තුළ රටට  උදාකර ගත හැකිය.


මෙම තත්ත්වය යටතේ පාත්ෆයින්ඩර් පදනම පහත නිර්දේශ යෝජනා කරයි.
1. කල් දමනු ලැබීමක් අපේක්ෂා කරමින් ඉදිරි වසරෙහි දී එළඹෙන කිනම් හෝ විපාකයකට මුහුණ දීමට වෙනුවට, පවත්නා යථාර්ථය, එනම් විදේශීය විනිශ්චයකරුවන් හා ව්‍යවස්ථාමය විධිවිධාන ආදී විෂයගත කරුණු පිළිබඳව සත්‍ය තොරතුරු, ප්‍රස්තුත යෝජනාවෙහි අනුග්‍රාහක පාර්ශ්වයන් වෙත පැහැදිලි කර දී, ඒවා ද පදනම් කරගනිමින් 30/1 යෝජනාව පිළිබඳව නැවත සාකච්ඡාවකට එළඹීම යෝග්‍යය.


2. කෙටි කලකට කල් දැමීම නැතහොත් ප්‍රායෝගික හා ක්‍රමවේදාත්මක යෝජනාවක් ඉල්ලා සිටීම යන දෙකෙන් කුමන පියවරකට හෝ එළඹීම සඳහා ඉතිරිව ඇත්තේ සීමිත කාලයක් බව ශ්‍රී ලංකාව මතක තබාගත යුතුය. එසේ හෙයින් යළි සාකච්ඡාවට භාජන කරනු ලබන පොරොන්දු ඉටුකිරීමේ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා කඩිනම් විධිවිධාන, රජය විසින් ගත යුතුය.


3. ස්වකීය රටවැසියන් විෂයෙහි වූ වගකීම රජය සතුව ඇති ප්‍රධාන කාරණයකි. දඬුවමකින් තොර අපරාධ සිදු වන්නට ඉඩහැරීම සංහිඳියාව සඳහා ගතයුතු යහමග නොවේ. වැරැදිකරුවන් පිළිබඳ සාක්ෂි ගොඩනැඟී ඇති අවස්ථාවන් හිදී ඔවුනට එරෙහිව නඩු පැවැරීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අදාල පුද්ගලයන් තනි තනිව වගකිව යුතු වන බව, යුද හමුදා හා පොලිස් නිලධාරින් වෙත ඉහළ දේශපාලන මට්ටමින් කරන නිවේදනය  අත්‍යාවශ්‍යය.


4. මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කරනු ලබන බලධාරීන් සමඟ වූ රජයේ සහයෝගය අඛණ්ඩව ඉදිරියට  ගෙන යා යුතුය.
පාත්ෆයින්ඩර් පදනම නිකුත් කරන ලද විශේෂ තාක්ෂණික ලිපියක් ඇසුරෙන් සකස් කරන ලද අතර එහි ඉංග්‍රීසි පිටපත http://pathfinderfoundation.org මගින් කියවිය හැකිය. 

සකස් කළේ --- ගාමිණී සරත් ගොඩකන්ද