ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සිරභාරයෙන් නිදහස් වීමෙන් පසු පක්‍ෂය යම්තාක් දුරකට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක ගමන් ගත් අතර 1982 ජනාධිපතිවරණය හා ගාල්ලේ අතුරු මැතිවරණය එහි වැදගත් සන්ධිස්ථාන විය. ජවිපෙට විවර වූ මේ ත්‍රස්තවාදී අවකාශය වැඩිකල් නොපැවැතුණු අතර 1983 දී පැනනැගි වර්ගවාදී කෝලාහල ජවිපෙ දේශපාලන භාවිතය යළිත් සන්නද්ධ අරගල මාවතකට වේගයෙන් ප්‍රවිෂ්ට කරවීමට ඉවහල් විය.


එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් උතුරේදී හමුදා සාමාජිකයන් දහතුන් දෙනකු ඝාතනය කිරීමත් සමග දකුණේ දෙමළ ජනයාට එරෙහිව සිංහල සමාජයෙන් මතුවූ ප්‍රචණ්ඩත්වය මිනිස් සංහාරයකට මග විවර කළ අතර මේ වර්ගවාදී කෝලාහල පාලනය කිරීමට කටයුතු කරනවා වෙනුවට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඒවායෙහි වගකීම ජවිපෙ ඇතුළු වමේ පක්‍ෂ කීපයකට පටවමින් එම පක්‍ෂ තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගයත් සමග ජවිපෙ සන්නද්ධ අරගල භාවිතය දලුලෑම වේගවත් විය. ජවිපෙ අසූ තුනේ තහනම හා ඒ සමාසන්න අවධිය වනවිට පැවැති තත්ත්වය ටුබැකෝ සුනිල් සහෝදරයා සිහිපත් කළේ මෙලෙසිනි.


“අසූ තුනේ පක්‍ෂ තහනමට ඔන්න මෙන්න කියා තිබියදී මට පැපොල රෝගය වැලඳුණා. ඒ නිසා මට දවස් පහළොවක් විස්සක් යනකන් පක්‍ෂයේ වගකීම්වලට දායක වෙන්න බැරි වුණා. මට මතකයි ඔය කාලේ මාව බලන්න ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ හිටිය ගාමිණී විජේගුණසේකර, සරත් ගුණරත්න, මහර රාජා කියන සහෝදරවරු ආවා. මේ අසනීපෙ නිසා මම ගෙදරට වෙලා ඉන්දැද්දි තමයි අසූ තුනේ ජූලි කලබල ඇතිවුණේ කළු ජූලියෙන් පස්සේ ජේ. ආර්. ගේ ආණ්ඩුව අපේ පක්‍ෂය තහනම් කරලා නායකයො දුටු තැන අල්ලන්න කියලා නියෝග කරනවා. මාත් ආරක්‍ෂාව සඳහා තාවකාලිකව යටගියා. පක්‍ෂයේ පූර්ණකාලීන වැඩවලින් ටිකකට ඈත්වෙලා මුදල් අයකැමි හැටියට මාළු කඬේක රස්සාවට ගියා.


ඔය කාලෙදිම වගේ තමයි මමයි මගේ බිරිඳයි එකතු වෙලා සුළු මැහුම් ව්‍යාපාරයක් පටන් ගත්තෙ. ඒ කාලෙ ආමර් වීදියේ අපේ පක්‍ෂ කාර්යාලය බාරව හිටි කළුමල්ලි (ප්‍රේමසිරි) මට බොරැල්ලෙ කඩයක් අඳුන්වලා දුන්නා. අපි ඒ කඬේට වෙලා මහන ඇඳුම් විකුණන්න පටන් ගත්තට පස්සේ පක්‍ෂයේ නායකයො රහසිගතව කඬේට යන්න එන්න ගත්තා. එහෙම ආපු එක්කෙනෙක් තමයි උදේනි සමන් කුමාර. මම එදා තමයි ඒ සහෝදරයා  අඳුන ගත්තෙ.


සිදුවීම් මේ ආකාරයට පෙළගැස්වෙමින් තිබෙන විට ජවිපෙ අභ්‍යන්තරයේ තවත් ඉරිතැලීමක ලකුණු පහළ වෙමින් තිබිණි. “ජවිපෙ”නව ප්‍රවණතාව” නමින් පෙනී සිටි කණ්ඩායමක ක්‍රියාකාරිත්වය නිසා පක්‍ෂය ඇතුළත  කිසියම් කලබලකාරී වාතාවරණයක් ගොඩනැගෙමින් තිබිණි.


“ඔය කාලෙදි තමයි පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තනතුරෙන් ලයනල් බෝපගේ ඉවත් වුණේ. බෝපගේගෙ ඉල්ලා අස්වීමේ ලියුමෙ පොටෝ කොපියක් මගේ බොරැල්ලෙ කඬේට තුල්හිරියෙ අසේල ගෙනත් දුන්නා. පස්සෙ එයා මාව කැම්බල් පිට්ටනියට එක්කගෙන ගිහින් පක්‍ෂයට  විරුද්ධ අදහස් ගොඩක් මගේ ඔළුවට දැම්මා. පක්ෂෙ නායක විජේවීර සහෝදරයට එරෙහිව වගේම පක්‍ෂයේ මීළඟ සංවත්සරයේදී බලය අල්ලන එක ගැනත් එයා කියාගෙන ගියා. 


එදා මේ අය තමයි ජවිපෙ නව ප්‍රවණතාව නමින් පෙනී හිටියෙ. කොහොමහරි මේ කණ්ඩායමට මාත් සම්බන්ධ බවට රාවයක් පැතිර ගියා. මීරිගම පියතිලක සහෝදරයා දවසක් ජාඇලදී මාව හම්බ වෙලා මේ ගැන කියලා මට චෝදනා කළා. මම ඒ සහෝදරයට කිව්වා එයා එක්ක මේ  ගැන කතා කළා මිසක් මම ඒ කණ්ඩායමට සම්බන්ධ නෑ කියලා. මේ සිද්ධියෙන් පස්සේ මට  ආපහු පක්‍ෂය එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න ලිඛිත ස්වයං විවේචනයක් බාර දෙන්න වුණා.
තවත් කොටසක් ලබන සතියට.


උපුල් වික්‍රමසිංහ