මේ අතරතුරේ සර් ජෝන් ඔහුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අත්‍යවශ්‍ය සේවා හමුදාව යුද සමයේ විවිධ කටයුතු සඳහා පෙරමුණ ගෙන රටේ ආර්ථිකය සුරක්ෂිත කිරීමේ නියැලිණි.


මේ කාලයේ සර් ජෝන්ගේ මව ඇලිස් කොතලාවල නුවරඑළියේ කල් ගත කළ හෙයින් සර් ජෝන් ඇගේ උපන් දිනය දා මව බැලීමට නුවරඑළියට ගියේය. හරියටම එදාම ජපන්නු බෝම්බ පහරක් රත්මලානට එල්ල කළහ. රත්මලානට වැටුණු එම බෝම්බ පහරින් සර් ජෝන්ගේ කඳවල නිවසට ද අලාභ හානි සිදුවූ අතර එහි සිටි සේවකයන් දෙදෙනෙක්ද මරණයට පත්වූහ. ඇතැම් විට එදා නිවසේ සිටියේ නම් සර් ජෝන්ගේ ජීවිතය ද නැති වන්නට ඉඩ තිබිණ.


දැඩි සිතක් තිබුණ ද සේනාධිනායක ලේටන් සාමිවරයා විනෝදකාමී පුද්ගලයෙකු විය. යුද්ධය සඳහා කොළඹ නගර ශාලාවේ දී රඟ දැක්වූ නාට්‍යයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඔහු සර් ජෝන් සමඟ එහි ගියේය. නාට්‍යය ආරම්භ වූයේ විකට ජවනිකාවකිනි. අධික ලෙස මත්පැන් පානය කළ නාවිකයන් දෙදෙනෙකු එහි ප්‍රධාන චරිත නිරූපණය කළහ.


“උඹේ හිතේ උඹ කවුරු කියලද” එක් අයෙකු අනෙකාගෙන් අසයි.


“මම, ඔව් මම අද්මිරාල් ලේටන්. ලංකාවෙ සේනාධිනායකයා මමයි”


“හා එහෙමද? ඒක බොහොම ලේසි රස්සාවක්නේ. කොහොම හරි රස්සාව පරෙස්සම් කර ගනින්”


දෙවැන්නා කියයි.


මෙය ඇසෙත්ම ලේටන් දැඩි සේ කෝපයට පත් විය. ඔහු තම නිලධාරියෙකු කැඳවීය. “අර මිනිහගේ ගෙදර කොහේද  කියලා හොයා ගනින්. හෙට උදේ ඌ මරලා දාන්න ඕන” යැයි කියූ ඔහු නාට්‍ය ශාලාවෙන් පිටත්ව ගියේය. එය ඔවුන් හිතාමතා කළ කටයුත්තක් නොවන බවත් විනෝදය පිණිස කළ අහිංසක විහිළුවක් බවත් ඉතා අපහසුවෙන් වුවද පහදා දීමට සර් ජෝන්ට හැකි විය.


එදා මානසික රෝහල පිහිටා තිබුණේ අද ගුවන් විදුලි සංස්ථා භූමිය අසල රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යාබදවය. එක් දිනක් මානසික රෝහල බැලීමට යා යුතු යැයි ලේටන් සාමිවරයා සර් ජෝන්ට දැන්වීය. ඔහු සමඟ එතැනට ගිය සර් ජෝන් පිස්සන් කොටුව බලන්නට පැමිණි ලේටන් සාමිවරයා දැක උඩ පැන සිනාසෙන්නට වූ මානසික ආබාධිත පිරිස කරන මේ විප්‍රකාරය කුමක් දැයි සර් ජෝන්ගෙන් ලේටන් සාමිවරයා ඇසීය.


“තමුසෙ කවුද? එක් රෝගියෙක් විමසීය.


“මම තමයි ලංකාවේ සේනාධිනායක ලේටන් සාමි”


“හෝ එහෙමද? මාත් මෙහාට එනකොට හිතාගෙන හිටියේ එහෙමයි. ටික දවසක් යනකොට තමුසෙටත් අපි ළඟට ඇවිත් තනි රකින්න වේවි. එහෙම නොවෙන්න කියලා මම දෙවියන් වහන්සේට යාඥා කරනවා”


ලේටන් සාමිවරයා මේ අහිංසක මිනිසුන් දෙස අනුකම්පාවෙන් බැලීය. බලධාරීන් කැඳවා නේවාසිකයන්ට පහසුකම් වැඩි කරන ලෙස නියෝග කළේය. සර් ජෝන්ගේ කරට අතක් දමාගෙන එතැනින් පිටත් වූ ඔහු “අපේ රටෙත් මෙහෙම තමා. අහිංසක මිනිස්සු” යැයි කීවේය.