ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියට අනුව යම් අපේක්ෂකයකුගේ තම ප්‍රවර්ධනය වන ආකාරයට ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය හෝ ප්‍රසිද්ධ කළ නොහැක. එවැන්නක් කළ හැක්කේ නීතිමය ප්‍රතිපාදන තුළ පමණි. එලෙසම යම් දේශපාලනඥයකුගේ නමක් රාජ්‍ය ආයතනවලට යෙදීම තුළද මැතිවරණය නීතිය ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වෙයි. විශේෂයෙන්ම වීරකැටිය මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත කිරීම තුළ ඡන්ද පත්‍රිකාවේ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම සඳහන් කළ යුතුය. මේ අනුව මෙම මූලික මැතිවරණ නීතිය උල්ලංඝනය වීම පිළිබඳ ප්‍රශ්න ෆැපරල් සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළේය.

දෙසැම්බර් 8 වැනිදා නාමයෝජනා භාරදීමෙන් පසුව දෙපාර්ශ්වයේම මැතිවරණ වේදිකා තුළ උණුසුම් වචන හුවමාරු විය. දෙසැම්බර් 11 වැනිදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මංගල ජනරැලිය අනුරාධපුරයේ දී පැවැත් වූ අතර ඊට ලංගම බස්රථ 1,200ක ප්‍රමාණයකින් ජනතාව කැඳවා තිබුණි. ඒ අනුව ඒවා ජනරැලිවලට එහා ගිය බස් රැලි බවට පත්ව තිබුණි. අනුරාධපුර එම රැස්වීම් භූමියේ දී ජනතාව තෙරපීමට ලක්වීම හමුවේ 6 දෙනකු පමණ ක්ලාන්තව සිහිසුන් වූහ. වරක් 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී මැදමුලන දන්සල් භූමියේදී බත් පැකට් ලබාගැනීමට ජනතාව පොරකෑමේදී පෑගීමෙන් එක් අයෙකු මියගිය බව මීට පෙර සඳහන් කරන ලදී.


මැතිවරණ වේදිකාව මතදී මෛත්‍රී ඇමතිතුමා දිනකට වරක් රාජපක්‍ෂ පවුලට ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එවන් එක් අවස්ථාවක් වූයේ ‘බකිංහැම් මාලිගාවෙන් ගෙනා අශ්වයා පදින්න හෙලිකොප්ටරයෙන් යන කුමාරයෙක් ඉන්නවා.’ යනුවෙන් පැවසීමය. මෙය ඉලක්ක වූයේ යෝෂිත රාජපක්‍ෂට බව පෙර මේ සම්බන්ධයෙන් පැතිර පැවති කටකථාවලට අනුව ජනතාව ක්ෂණිකව තේරුම් ගත්හ. යෝෂිතට එල්ල වූ මෙම චෝදනාව ඉදිරියෙහි මහින්ද ජනාධිපතිතුමා මහත් කෝපයට පත්ව සිටියේය. දෙසැම්බර් 14 වැනිදා නාවලපිටියේදී පැවති ජනහමුවකදී කථාකළ ජනාධිපතිතුමා ‘එයාට සෞඛ්‍ය අමාත්‍යාංශය කරගන්න බැරිවුණා. ඒකට මම පළිද?’ යනුවෙන් ප්‍රකාශ කළේය. සැබවින්ම 2010 වසරේදී මෛත්‍රී ඇමතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශය බාරදුන්නේම දේශපාලන වශයෙන් ‘ඇනගැනීමට’ හෝ ‘ඇන්නවීමට’ බව මෛත්‍රී ඇමතිතුමා හොඳින් දැන සිටියේය. එම අභියෝගය නිසාම එතුමා සාර්ථක සෞඛ්‍ය ඇමතිවරයකු බවට පත්වූවා වැනිය.


මේ අතර ජනාධිපතිවරණයට පෙර සිටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වචන වැරදීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේදී වන අවුල්සහගත බව මගහැරී ගොස් තිබුණි. 1994 වසරේ සිටම මෙම දුර්වලතාව එතුමා යළි යළිත් පෙන්නුම් කළේය. 2005 ජනාධිපතිවරණයේදී පස්දුන් රට අර්ථ කථනය කිරීමට ගොස් සිදුවූ අකරතැබ්බය හා සසඳන විට 2013 වසරේ පමණ සිටම එම දුර්වලතාව ඉතා හොඳින් එතුමා විසින් විසඳාගෙන තිබුණි. වික්‍රමසිංහ මහතා ප්‍රධාන රැස්වීම් කිහිපයකටම පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමා සමග එක්ව සහභාගි වූ අතර තවත් විටක ඔහු තනිවම සහභාගි වූ රැස්වීම් ද විය. විශේෂයෙන්ම එජාපය ශක්තිමත් මැතිවරණ කොට්ඨාසවලට ඔහු තනිවම යාමට වැඩි කැමැත්කක් දැක්වූ බව මේ සම්බන්ධයෙන් එතුමා සමග කළ කථාබහේදී මට හැඟී ගියේය.


ජනාධිපතිවරණය ආශ්‍රිතව ‘එව බලව’ නම් ජාතිවාදී සංවිධානයක් ගොඩනඟාගෙන තිබුණි. එහි උපදේශකවරයා ලෙස පෙනී සිටියේ මහාචාර්ය නලින් ද සිල්වාය. දෙසැම්බර් 9 වැනිදා එම සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත් වූ අතර එහිදී නලින් ද සිල්වා මහතා ප්‍රකාශකර සිටියේ ‘මහින්ද රාජපක්‍ෂ මහතා මෙවරද පරාජය කළ නොහැකි වුවහොත් විජාතික බලවේග එතුමා ඝාතනය කරන්න බලයි.’ යනුවෙනි. මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීම තුළ ඔහු බලාපොරොත්තු වන්නට ඇත්තේ  සිංහල බෞද්ධ ජන මනස තුළට ජාත්‍යන්තර ලෝකය පිළිබඳ වෛරය ඉපදවීම තුළින් හෝ ඡන්ද කිහිපයක් ලබාගත හැකි ද යන්න වියහැක. විශේෂයෙන්ම ජනාධිපතිවරණ වේදිකාව තුළ සන්ධානයේ බොහෝ නායකයන් කථාකළ ආකාරය දෙස බලනවිට සමස්ත ලෝක ප්‍රජාව ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සියල්ල නවතා දමා ශ්‍රී ලංකාවේ සන්ධාන ආණ්ඩුව පෙරළා දැමීමටත් ග්‍රාම්‍ය ව්‍යවහාරයට අනුව ‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මරාගෙන කෑමටත්’ බලා සිටින්නන් පිරිසක් ලෙස හුවාදක්වන ලදී. සැබවින්ම එම මහා වේගවත් වීර කථා අසා ඒවා පරම සත්‍ය යැයි සිතූ යම් පිරිසක් මෙම සමාජයේ සිටි බවද නොරහසකි.

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්