සන්ඬේ ටයිම්ස් තීරුව - 01

ර්තමාන ජනපතිධූර කාලසීමාවෙන් පසුව එම තනතුරේ තවදුරටත් රැඳී සිටීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගනිමින් සිටින උත්සාහය කිසිදු අයුරකින් සාර්ථක කරගත නොහැකි බවට නීති විශාරදයින් ඔහුට අනතුරු අඟවා ඇත. ජනපති සිරිසේන මහතාගේ ධූර කාලය 2020 ජනවාරි මස 8 වැනිදා අවසන් වන අතර, ජනපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු වස් ඔහු සිය ධූර කාලය නිශ්චිතවම ආරම්භ වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමේ අපේක්ෂාවෙන් සිටියේය. 
 
කතානායකවරයා 19 වැනි ව්‍යවස්ථාව බලාත්මක කරේ 2015 මැයි මස 15 වැනිදා බැවින් ජනපතිවරයාගේ ධූර කාලය ආරම්භ විය යුත්තේ එදින සිට බව පෙර අවස්ථාවක මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ ඔහුගේ උපදේශකයින්ගේ අදහස විය. මෙම සංශෝධනයෙන් වසර 6 ක්ව පැවැති ජනපති ධූර කාලය වසර 5 ක් දක්වා අඩු කෙරිණ.
 
සිය පුතු දහම් සිරිසේනගේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගී වීම සදහා ලන්ඩන් නුවර සංචාරයක යෙදීමට මත්තෙන් ඔහුට දැනුම්දෙනු ලැබුණේ 2018 වසරේ ඔහුම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුකළ මත විමසීමකින් මෙම ගැටලූව සදහා ද පිළිතුරක් ලබා දී තිබෙන බවය. ජනපතිවරයා අපේක්ෂා කරන ආකාරයේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දීම උගහට බවට ද ඔහුට අනතුරු අගවනු ලැබිණ. එසේ වුවහොත් එය ඔහුට දේශපාලනික වශයෙන් අත්වන පරාජයක් පමණක් නොව මහත් අවමානයක් ද වේ. 
 
එසේ සිදුවූයේ ජනපති සිරිසේන මහතා පසුගිය සති කිහිපය පුරාවට අත තැබූ සියලූ කටයුත්තක්ම පාහේ අසාර්ථකව තිබෙන වාතාවරණයකය. මේ නිසාම තනතුරේ තවදුරටත් රැඳී සිටීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අදහස ජනපති සිරිසේන මහතා ඉවත් කරගත්තේය. 

ඉහත සදහන් කළ අයුරින් පහත විස්තර කර තිබෙන්නේ ජනපතිවරයා ආරම්භ කළ, එහෙත් ඔහු අපේක්ෂා කළ ආකාරයෙන් ප‍්‍රතිඵල නොලැබුණු, කාර්යයන් කිහිපයකි.
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරය
 
පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනපතිවරයා පත්කළ ති‍්‍රපුද්ගල කමිටුවට නීතිමය පදනමක් නොමැති බව කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ අදහස විය. එය හා තවත් කරුණු කිහිපයක් සැළකිල්ලට ගත් ඇය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ වැඩ තහනම් කර තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රිමාන්ඞ් බන්ධනාගාර ගතකිරීම ප‍්‍රතික්ෂේප කළාය. 
 
නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවය. කිසිවෙකුට වුවමනා වූ නිසා තවත් අයකු රිමාන්ඞ් කිරීමට තමාට හැකියාවක් නොමැති බව පැවසූ මහේස්ත‍්‍රාත්වරිය, අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති දෙපළගෙන් ප‍්‍රකාශ සටහන් කිරීමක් පවා සිදුකර නොමැති බව පෙන්වා දුන්නා ය.
 
මෙහි අරුත නම් පාස්කු ඉරිදා සංහාරයෙන් පසු මාස 3 ක් ගතව ඇතත් එහි ප‍්‍රධාන පාර්ශ්වකරුවන් කිසිවෙක් හෝ නීතිය හමුවට ගෙන ඒමට හැකියාවක් ලැබී නොතිබීමය. 

ජනපතිවරයා යටතේ කි‍්‍රයාත්මක වන පොලිසිය ඔවුන්ගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා හරහා දිනපතා සිදුකළ අත්අඩංගුවට ගැනීම්, කඩු කිණිසි සොයා ගැනීම්, බෝම්බ නිෂ්පාදනයට යොදාගත හැකි අමුද්‍රව්‍ය සොයා ගැනීම්, යනාදිය පිළිබද තොරතුරුවලින් මාධ්‍ය වාර්තා පිරවීමට කටයුතු කළ අතර, එයින් ගම්‍ය වූයේ විමර්ශන කටයුතු විදුලි වේගයෙන් සිදුවෙමින් පවතින බවකි. නමුත් අයි.එස්. සහාය ලැබූ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම පසුපස සිටි බලවතුන්ගේ අනන්‍යතාවය ජනතාව හමුවේ නිරාවරණය කිරීමට හෝ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ගයන් ආරම්භ කිරීමට හෝ මේ දක්වාම පොලිසියට හැකියාවක් ලැබී නොමැත. 
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු පිළිබඳව පොලිසියේ බොහෝ අංශයන් දැනුම්වත් බැවින්, එම විමර්ශන කටයුතු මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම දිනවල පවතින වාතාවරණය ද එතරම් යහපත් නොවේ.
 
අනෙක් අතට, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ජනපතිවරයා යටතේ පවතින පොලිස් දෙපාර්තමෙන්තුව තමන් යටතට ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. 
 
එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, සහ දෙමළ ජාතික සන්ධානය දැන් පාස්කු ඉරිදා සංහාරය විමර්ෂණය කිරීමෙහි ලා පත්කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සිටී. මෙම තේරීම් කාරක සභාව දෙස බහුතරයක් ජනතාව බලා සිටින්නේ වපරැුසින් වුවත්, එහි කටයුතු අවසානයක් දක්වාම පැවැත්වෙනු ඇති බවට වැඩි සැකයක් නැත. තේරීම් කාරකසභාවේ වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කෙරුණු පසුව බොහෝ දෙනා වෙත ඇගිල්ල යොමු වනු ද ඇත. 
 
මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කැරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා සමානව තර්කානුකූලව ඔවුනට ගත හැකි ඊළඟ පියවර වන්නේ සභා වාර්තාව අදාළ නීතිමය පියවර ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමය.
එනම්, පොලිසියෙන් එකක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තවත් එකක් ලෙස, 268 දෙනෙක් මරු තුරුලට යවමින් - 500 කට ආසන්න පිරිසකට තුවාළ කරමින්, ලොවක් කම්පනයට පත් කළ පාස්කු ඉරිදා සංහාරය පිළිබද විමර්ශන වාර්තා දෙකක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යැවෙනු ඇත. මෙම වාර්තා අරබයා ඉදිරි පියවර ගැනීමේ වගවීමක සේයාවකුදු දක්නට නොමැත්තේ රටේ දේශපාලන නායක දෙපළ, එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමේ ව්‍යායාමයක යෙදී සිටින බැවින්ය.
 
මධූෂ් හා මත්කුඩට එරෙහි සටන

 
මාකදුරේ මධූෂ් නම් මුල් පෙළේ කුඩු ජාවාරම්කරුවකු ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වීම ජනපති සිරිසේනට මහත් තල්ලුවක් විය. අත්අඩංගුවට ගැනීමෙන් සති ගණනාවකට පසුව මධූෂ් කොළඹට පිටුවහල් කෙරුණේ, ඔහු මෙරටට පැමිණි පසු ඉහළ පෙලේ පුද්ගලයින් කිහිපදෙනකුගේම නම් හෙළි කරනු ඇතැයි ජනතාව අතර කතාබහක් නිර්මාණයව තිබූ වාතාවරණයකය. නමුත් එවැන්නක් සිදු නොවිණ. 
 
මරණ දඬුවම නැවත හදුන්වාදෙන බව ප‍්‍රකාශ කළ ජනපතිවරයා, මත්කුඩු ජාවාරමෙහි යෙදී මරණ දඬුවම නියම කර සිටි සිකරුවන් සිව්දෙනෙකුට එම දඬුවම ලබාදෙන බව සදහන් ප‍්‍රකාශයකට ද අත්සන තැබුවේ ය. එයට එරෙහිව එකක් පසු පස එකක් විරෝධතා නැගුණු අතර, ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම සදහා අවසරයක් ලබාගැනීමේ අරමුණ පෙරදැරිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම ලබන ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. 
 
එය ද එතැනින්ම නැවතිණ.

ජනපති ධූර කාලය

ජනපති සිරිසේන මහතා අත තිබෙන කාලය ක‍්‍රමයෙන් ගෙවී යමින් තිබෙන බව කෙනෙකු පැවසුවහොත් එහි වරදක් නැත. ජනපතිවරයා සිය ධූර කාලය දීර්ඝ කරගැනීම අරබයා තිබෙන නීතිමය අවසරයන් විමසා බැලීමට යොමු වූයේ ඉහත සදහන් කළ සහ ඉෂ්ඨ කරගැනීම තිබෙන තවත් කාරණා ගණනාවක් මුල් කරගනිමිනි. එය කළ නොහැක්කේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පහත දැක්වේ.
 
2018 ජනවාරි මස 14 වැනිදා පිටු 15ක නඩු තීන්දුවක් ප‍්‍රකාශයට පත්කළ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් කියා සිටියේ මෙවැන්නකි.
 
ශ්‍රේෂ්ඨාධිකරණයට හැක්කේ බලාත්මක කිරීමට පෙර අවදියේ පවත්නා නීතියක් විවරණය කිරීමට පමණකි. ව්‍යවස්ථාවට සිදුකළ 19 වැනි සංශෝධනය දැන් නීතිය බවට පත්ව තිබෙන හෙයින්, එහි වලංගුභාවය හෝ ව්‍යවස්ථානුකූලභාවය හෝ විමසුමට ලක් කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැත.
 
හිටපු අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ජනාධිපති නීතිඥ සහ විනිසුරු ඊවා වනසුන්දර, ජනාධිපති නීතිඥ බී.පී.අලූවිහාරේ, ජනාධිපති නීතිඥ කේ.සිසිර ද ආබෲ සහ විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි යන සාමාජිකයන්ගෙන් විනිසුරු මඬුල්ල සමන්විත විය. 
 
2015 ජනවාරි මස 9 වැනිදා ශී‍්‍ර ලංකා ජනපති ලෙස දිවුරුම් දුන් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට වසර 6ක් දක්වා රටේ ජනපතිවරයා ලෙස කටයුතු කිරීම අරබයා ව්‍යවස්ථාවේ සඳහන් සම්පාදනයන් යටතේ කිසියම් බාධයකයක් තිබෙන්නේදැයි ඔවුන්ගේ විමසුමට ලක්විය.
 
2018 ජනවාරි මස 8 වැනිදා විනිසුරු මඬුල්ල අගවිනිසුරුවරයාගේ ගර්භයේ දී හමුවූහ. ජනවාරි මස 11 වැනිදා සිට ඔවුහු ප‍්‍රසිද්ධියේම විභාගය පැවැත්වීමට යෙදුණහ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව නැගෙන ගැටලූව වනු ඇත්තේ එම සංශෝධනය යටතේ වසර 6 ක සිට වසර 5 ක් දක්වා සීමා කර තිබෙන ජනපති ධූර කාල සීමාව වර්තමානයේ පත්ව සිටින ජනපතිවරයා මත බලපැවැත්වෙනු ඇති කාරණයක් ද යන්න බව විනිසුරුවරුන්ගේ අවධානයට ලක්විය. එය එසේ වූයේ වර්තමාන ජනපතිවරයා තනතුරේ දිව්රුම් දුන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පෙර බැවින්ය. තවත් වචනවලින් කිවහොත්, පැහැදිලි කරගත යුතුව තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපැවැත්වෙනවා ද, නැති ද, යන කාරණයයි.
 
විනිසුරුවරු මෙසේ කීහ.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිවරයාගේ සහ පාර්ලිමෙන්තුවේ ධූර කාලයන් වසර 6ක සිට වසර 5ක් දක්වා අඩු කෙරිණ. එහි 49 - 1 - අ, ව්‍යවස්ථාවේ සදහන් වන්නේ, විසිරුවා හැරීමක් සිදුනොවන්නේ නම්, මෙම පණත (19 වැනි සංශෝධනය) බලාත්මක වන අවදියේ පැවැති 7 වැනි පාර්ලිමේන්තුව, එහි වසර 6ක ධූර කාලය අවසන් වන 2016 අපේ‍්‍රල් මස 21 වැනිදා දක්වාම පැවැතිය හැකි බවය. නමුත් ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ධූර කාලය ගැන සදහන් වන 41 - 1 - ආ, ව්‍යවස්ථාවේ කිසිදු දිනයක සදහනක් නොමැත. නමුත් මෙම පණතින් සංශෝධනය කැරුණු ව්‍යවස්ථාවේ සම්පාදනයන්ට අදාළව ජනපතිවරයාට සහ අගමැතිවරයාට ඔවුන්ගේ තනතුරුවල කටයුතු කළ හැකි බව එහි සදහන්ය. ඒ අනුව, සංශෝධන යටතේ ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තිය සහ ව්‍යවස්ථාව සංශෝධනයට යටත් කැරෙන පණතේ 41 - 1 - ආ වගන්තිය හා එක්ව කියැවූ විට එය අතීතයට ද බලපැවැත්වේ. ඒ අනුව සැළකූ විට, ඉහත සඳහන් කළ වගන්තිය වර්තමාන ජනපතිවරයාට ද අදාළ වේ.
 
ව්‍යවස්ථාව අනුව අතීතයට බලපැවැත්වෙන පරිදි නීති බලාත්මක කිරීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුවට හිමි බවට විනිසුරුවරුන් නිගමනය කළේ ය.
 
අතීතයට ද බලපැවැත්වෙන පරිදි නීති හදුන්වාදීමට, පවත්නා නීති ඉවත් කිරීමට, ව්‍යවස්ථාවේ  ඕනෑම සම්පාදනයක් සංශෝධනය කිරීමට හෝ ව්‍යවස්ථාවට  ඕනෑම සම්පාදනයක් එක් කිරීමට, ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුවට ඇත, යැයි ව්‍යවස්ථාවේ 75 වන වගන්තියේ සදහන්ය.

ගැටලූව වන්නේ බලයේ සිටින ජනපතිවරයාගේ ධූර කාලය අතීතයට ද බලපැවැත්වෙන පරිදි කප්පාදු කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් ඇති ද, නැති ද, යන්න නොවේ. එය එසේ වී නම් තුනෙන් දෙකක බහුතරයක් ඇති  ඕනෑම රජයකට එම බහුතරය යොදාගෙන බලයේ සිටින ජනපතිවරයාගේ ධූර කාලය කප්පාදු කිරීමට හැකියාව තිබේ. 
 
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ එම බලාත්මක කිරීම යටතේ ව්‍යවස්ථාවේ වගන්තිවලට සහ ව්‍යවස්ථාවන්ට සිදුවන සංශෝධනයන්වල ව්‍යවස්ථානුකූලභාවය සහ වලංගුභාවය, අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් පවතී ද යන්න මෙතැන ඇති ගැටලූව වේ.
 
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකළ විශේෂ විභාගයේ දී, 3 වැනි වගන්තිය (ජනපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් වන), 30 වැනි ව්‍යවස්ථාවට කළ සංශෝධනය, 54 - 1 ආ, වගන්තිය, 45 - 1 - ආ, ව්‍යවස්ථාව, යනාදිය අභියෝගයට ලක් නොකෙරිණ. 
 
ව්‍යවස්ථාවේ 80(1) ව්‍යවස්ථාවේ සදහන් වන්නේ එම ව්‍යවස්ථාවේ 2 වන ඡේදයෙන් සපයා දී තිබෙන සම්පාදනයන්ට අදාළව, පාර්ලිමේන්තුවේ සම්මත වන පණතකට කතානායකවරයාගේ සහතිකය හිමිවූ පසුව එය නීතියක් බවට පත්වන බවයි. ඒ අනුව, 2015 මැයි මස 15 වැනිදා කතානායකවරයාගේ සහතික හිමි වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එදින සිට රටේ නීතියක් බවට පත්විය. 
 
ශ්‍රේෂ්ඨාධිකරණයට හැක්කේ බලාත්මක කිරීමට පෙර අවදියේ පවත්නා නීතියක් විවරණය කිරීමට පමණකි. ව්‍යවස්ථාවට සිදුකළ 19 වැනි සංශෝධනය දැන් නීතිය බවට පත්ව තිබෙන හෙයින්, එහි වලංගුභාවය හෝ ව්‍යවස්ථානුකූලභාවය හෝ විමසුමට ලක් කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට ද බලපැවැත්වෙන බව තීන්දු කළ විනිසුරුවරු, ”2015 ජනවාරි මස 8 වැනිදා බලයට පත්වූ වර්තමාන ජනපතිවරයාට ද එය අදාළ වේ. ජනපතිවරයා ලෙස වසර 5ක කාලයක් ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇත” යැයි ද ප‍්‍රකාශ කළේ ය.
 
ඉහත සදහන් කළ කරුණුවලට අමතරව සිය තනතුරේ තවදුරටත් රැඳී සිටීමට ජනපති සිරිසේනට අවශ්‍ය වූයේ මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ප‍්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ සිය අභිලාභය මුදුන් පමුනුවා ගැනීම සදහා වුවමනා වන කාලය ලබා ගැනීමටය. සිය පරම සතුරා වන එක්සත් ජාතික පක්ෂ නායක, වර්තමාන අගමැති රනිල් වික‍්‍රඹසිංහ මහතා දුර්වල කිරීම එසේ ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙහි ලා ජනපති සිරිසේන මහතාට තිබෙන වුවමනාව පසුපස තිබෙන ප‍්‍රධානම කාරණය වන අතර, එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයෙන් පරාජය වනු ඇතැයි ද එම පරාජය පක්ෂයේ නායකත්වයට එරෙහි අර්බුදයක් අවුලූවා රනිල් වික‍්‍රමසිංහ මහතාව අභියෝගයට ලක් කරනු ඇතැයි ද, ඔහු විශ්වාස කළේය.
 
කෙසේවුවත් පක්ෂයේ ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු භාර කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් බහුතරයක්ගේ සහාය තමන් කෙරේ දිනාගෙන සිටින වික‍්‍රමසිංහ මහතාව එසේ පහසුවෙන් ඉවත් කිරීමට හැකියාවක් නොමැත. එසේ වුව ද, ඉදිරියේ එන ජනපතිවරණයට පක්ෂයේ ඉදිරිපත් කරන්නට යන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇවිලෙමින් පැවති ගැටුම් මේ වන විට බුර බුරා නැගෙමින්, කරළියටම පැමිණ ඇත.
 
ද සන්ඬේ ටයිම්ස් අනුග‍්‍රහයෙනි

සැකසුම : කෝවිද ගුණසේකර