‘‘ප්‍රභාකරන්ලා බිහිවීමට සිංහල මහත්වරුන්ද වගකිව යුතුයි’’ යනුවෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නොබෝදා පැවැති පොත් දොරට වැඩුමකට එක්වෙමින් ජනාධිපතිවරයා අතීතයේ එනම් පාසල් සමයේ පොලොන්නරුවෙන් දුම්රියෙන් කොළඹ එද්දී සිදුවූ අතීතාවර්ජනය මෙසේ පැවසීය.

‘‘සංහිඳියාව බිඳුණු තැනක් ගැනයි මම මේ කියන්නේ. මඩකලපුවෙන් එසමයේ එන කෝච්චියට වැඩිපුර නගින්නේ දෙමළ හා මුස්ලිම් ජනතාව. සිංහල මිනිස්සු හරි අඩුයි. මඩකලපුවෙන් මේ කෝච්චිය එන්නෙත් හොඳටම පිරිලා. පොලොන්නරුවෙන් නගින්නත් ඉඩ නැහැ. අපේ සිංහල මහත්වරු මොකද කළේ? ඒ දේ මම දැක්කේ එක දවසක් දෙකක් නොවෙයි. අපේ සිංහල මහත්වරු අාසනවල වාඩිවෙලා හිටපු දෙමළ මිනිසුන්ව දරුවන් එක්ක ගහලා ඇදලා බිමට තල්ලු කරනවා. සීට්වලින් තල්ලු කරනවා. පුංචි දරුවොත් එක්ක. ‘‘අයියෝ සාමි’’ කිය කියා කෑ ගසා ඔවුන් ටොයිලට් අස්සේ හැංගෙනවා. අපේ සිංහල මහත්වරු හැසිරුණේ එහෙමයි. අපේ වැදගත් සිංහල මහත්වරු සීට්වල වාඩි වුණා. ඊට පස්සේ නිදාගත්තා. ප්‍රභාකරන්ලා හැදුණේ එහෙමයි.’’

දුරාතීතයට අයත් ජනාධිපතිවරයාගේ මෙම මතකය වර්තමානයට අතිශයින්ම වැදගත්ය. මන්දයත් අතීතයේ ඇති සත්‍ය දැකීමට තරම් විසල් මනසක් නිර්මාණය කර ගැනීම අනාගතය විසින්  වැළැක්වීමේ පළමු පියවරය.

අප රට තිස් වසරක් පුරා යුද අග්නියෙන් දැවුණේය. තැවුණේය. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා එම යුද්ධයෙන් අනන්තාපරිමාන ලෙස පීඩාවට පත්වූහ. ඒ යුද්ධය නිසා මේ රට සියවස් ගණනාවක් ආපස්සට ගියේය. උතුරේ තරුණයන් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පරිවර්තනය කිරීමට ප්‍රභාකරන් සමත් විය. ඒ හරහා දෙමළ සමාජය ද යුද නරකාදියේ ගිල්වා තැබීමට ප්‍රභාකරන් කටයුතු කළේය.

හේතුවකින් තොරව ඵලයක් ඇති නොවන බව විද්‍යාත්මක වූවකි. ජනාධිපතිවරයාගේ දුරාතීතයේ මතකය තුළ රැඳී තිබෙන්නේ ප්‍රභාකරන් කෙනෙකු බිහිවීමට බලපෑ සාධක අතරින් වැදගත් හා ප්‍රබලම සාධකයකි. සමාන අයිතිවාසිකම් හිමි විය යුතු වුවද කතා කරන භාෂාවට අනුව හා අදහන ආගමට අනුව වෙනස්ය. සැලකීම්වලට ලක්වන්නේ නම් එමගින් නිපැදෙන්නේ ආවේගයකි. මනුෂ්‍යත්වයේ අසරණකම මගින් නිපැදෙන වේදනාව බෝම්බයක්ව පුපුරා යාම එක් අතකින් බලාපොරොත්තු විය යුත්තකි.

ප්‍රභාකරන්ට යුද වැදීමට වුවමනා වූ පලියටම ඒ සඳහා බල සේනාවක් සංවිධානය නොවේ. එයට හේතු තිබිය යුතුය. දුරාතීතයේදී දෙමළ ජනයා අත්විඳි කටුකත්වය ජනාධිපතිවරයා මැනැවින් පැහැදිලි කර ඇත. ඒ අයුක්තිය, ඒ අසාධාරණය කුමක් පිණිස ඉවසිය යුතු ද? මානව ගරුත්වය කීතු කීතු කොට ඉරා දමමින් වැදගත් සුදු මහත්වරුන්ගේ හැසිරීම එම දෙමළ ජනයාට තමන් දෙවැනි පන්තියේ පුරවැසියන් බවට පත්වී ඇත යන මනෝභාවය රැගෙන ආවාට සැක නැත. අප ගැඹුරින් තේරුම් ගත යුතුව ඇති සත්‍ය වන්නේ එයයි. ජනාධිපතිවරයා එම ප්‍රකාශයෙන් එක් තැනක මෙසේ කියයි. ‘‘අම්මාට තාත්තාට  ගහලා බිමට ඇදලා දැම්මාම අර පොඩි දරුවන් හැංගුණා. එහෙම හැංගුණ පොඩි දරුවන්ට සිංහල මහත්වරු ගැන කොහොම වෛරයක් ඇති වෙන්න ඇතිද?’’

‘‘අන් ජාතිකයන් පීඩාවට පත්කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී’’ යැයි කාල් මාක්ස් ලීවේය. එය සත්‍යයකි. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ද එයම වෙනස් ආකාරයකිනි. කලුගල් පව්ව බිඳී යන්නේ සිය වැනි කුළුගෙඩි පහරින් විය හැකිය. එහෙත් එම කළුගල තුළ කුළුගෙඩි පහරවල් අනූ නවයක දෙදරුම් කෑම තිබේ. අප යළිත් වර්ගවාදී යුද්ධයක් නොපතන්නේ නම් ඒ කරුණු එයට හිමි නිසි බරින්ම හඳුනාගත යුතුය.

සංහිඳියාව යන වචනය මෙකල නිතර නිතර කියැවෙන්නකි. එහෙත් එය යථාර්ථයක් බවට පත්වීමට නම් ඒ සඳහා දියුණු විධිමත් යාන්ත්‍රණයක් තිබිය යුතුය. අගමැතිවරයා උතුරට ගොස් දමිළ ජනයා හමුවේ ප්‍රකාශ කළේ ‘‘යුද්ධයේදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම් අමතක කළ යුතු බවය. එයට සමාව දිය යුතු බවය. තුවාල පාර පාරා සිටිය යුතු නැති බව’’ අගමැතිවරයා විවෘතවම ප්‍රකාශ කළේය. සහජීවනය අර්ථවත් වන්නේ එමගිනි. මුළු රටම එකම මිනිස් පවුලක් බවට පත්ව කටයුතු  කළ යුතුය. එහිදී තමන් අතින් සිදු විය හැකි වැරැදි සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයකින් පසු විය යුතුය. ජනාධිපතිවරයාගේ අතීත මතක වඩාත් වැදගත් වන්නේ ද ඒ අර්ථයෙනි.