වහා ආරක්ෂිත පියවරකට ගිය ඇමතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලිපියක් ලියමින් 2009 දී ලබා දී තිබූ ගල් අගුරු ටෙන්ඩරයේ වංචා දූෂණ සියල්ල හෙළි කළේය. ඒ සමගම මෙවර තමා එය නිවැරදි කරන බවද දැන්වීය. මෙම සිදුවීමෙන් සතියකට පමණ පසුව මණ්ඩලය තුළ විදුලිය කැපීමකට අදාළ කඩාකප්පල්කාරී ක්‍රියාවකට ඉංජිනේරුවන් පිරිසක් සූදානම් වන බව අමාත්‍යවරයාට තොරතුරු ලැබිණි. ඒ සමගම නොරොච්චෝලේ බලාගාරය පළමු වරට අක්‍රීය විය. 

 

විශේෂයෙන්ම මේ ආකාරයේ පසුබිමක සිටි චම්පික ඇමතිතුමා විසින් 2011 සිට 2014 වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලියුම් 5ක් පමණ විවිධ අවස්ථාවලදී ලියන ලද අතර විදුලි බල මණ්ඩලයේ ගනුදෙනු හා පරිපාලන ක්‍රියාවලිය සමබන්ධ සෑම අත්‍යාවශ්‍ය ලියවිල්ලකම පිටපතක් ඔහු භාරයේ ද තබා ගන්නා ලදී. 


2011 මැයි මාසයේදී දින 10 පුරා චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ පිරිසක් දස සිල් වෘතයට පිවිසියහ. ඒ අතරතුර විදුලි බල මණ්ඩලය තුළ විශාල කුමන්ත්‍රණයක් සිදු වූ අතර ඉහළ පෙළේ ඉල්ලීමකට අනුව ඉංජිනේරු සංගමය වැඩවර්ජනයකට සූදානම්ව සිටියේය. යෝජිත වැඩවර්ජනයට හේතුව ලෙසින් දැක්වූයේ දූෂණ අක්‍රමිකතා චෝදනා ලද මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු හා ප්‍රධාන ගණකාධිකාරිතුමියගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යවරයා පියවර ගැනීමය. 


විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජන ඇතුළු සියලු ප්‍රශ්නවලදී චම්පික ඇමතිතුමාගේ විරුද්ධ පාර්ශ්වයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඍජුවම සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයාගේ පිළිගැනීම විය. සැබවින්ම මෙම තත්ත්වය මෛත්‍රී ඇමතිතුමාගේ සෞඛ්‍ය අමාත්‍යාංශයටද පොදු තත්ත්වයක් විය. ඊට බැසිල් රාපජක්ෂ ඇමතිතුමාද ඍජුවම සම්බන්ධ වූ බව එකල මෛත්‍රී ඇමතිතුමාගේ විශ්වාසයයි.  


දිනපතා පුවත් පත්වල ඇඳෙන ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කාටුන් චිත්‍ර පිළිබඳ කතාවේදී බොහෝ දිනවල සෑම පුවත්පතකම මෙන් ඇඳ තිබෙන්නේ එකම තේමාව ගත් කාටුන් චිත්‍රය. එහිදී ඩිව්, තිස්ස, වාසු, ත්‍රි මූර්තියට අපහාස, උපහාස වන ආකාරයේ කාටුන් පළ වීම කලක් බහුලව සිදු විය. එය සිදුවෙන්නේ ඔවුන් ජනාධිපතිතුමාගේ උදහසට ලක් වූ දින වලදීය. ඒ අනුව සියලුම පුවත් පත්වලට මේ තිදෙනා එකම දිනයක එකම ලෙසට විෂය වන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නය අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාට ප්‍රශ්නයක් විය.මේ පිළිබඳව දිගින් දිගටම කරුණු සෙවූ ඔහුට අවසානයේ දැනගන්නට ලැබුණේ අරලියගහ මැඳුරත් ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතාත් එක්ව මාධ්‍ය ආයතන වෙතට මෙලෙස අදහස් හා fාය්ජනා ලබා දෙන යාන්ත්‍රණයක් ඇති බවයි. විශේෂයෙන්ම මෙලෙස එකම දිනක් තුළ දිනපතා සිංහල හා ඉංග්‍රීසි පුවත් පත් සියල්ලෙහිම කාටුන් සඳහා චම්පික ඇමතිතුමා විෂය වූ දිනයන් ද තිබුණි. 


වරක් විදුලි බල මණ්ඩලයේ දූෂණ වංචා මර්දනය කිරීමේ අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පැවසූ විට පෙරළා ඊට ජනාධිපතිතුමාගේ පිළිතුර වූයේ ඇමතිතුමා ඔයාව පත් කරලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ, දූෂණ වංචා නතර කරන්න නොවෙයි. පැය 24ම රටට ලයිට් දෙන්න යැයි පැවසීය. විශේෂයෙන්ම යුද්ධය පැවති කාල වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට පැමිණි කල ජාතික ආරක්ෂාව නමැති ලේබලයට යටත්ව, ඒවා සාකච්ඡාවට බඳුන් නොවීය. බොහෝ විට අදාළ කැබිනට් පත්‍රිකාවල මාතෘකා හා ශීර්ෂ පාඨ පමණක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. සැබවින්ම ඒ තුළ කිසිවකුටත් ප්‍රබල ප්‍රශ්න ගොඩනොනැගුනේද සමස්ත රටම ඒකාත්මිකව යුද්ධයට සුසුමින් හෝ දායකත්වය ලබා දුන් නිසා වන්නට ඇත. 


එහෙත් යුද්ධය අවසන් වී එළැඹි සාමකාමී තත්ත්වය තුළද මහින්ද රාජපක්ෂ ජනාධිපති කැබිනට් පත්‍රිකා සම්මත කර ගැනීමට උත්සාහ කරන ලද්දේ පරණ පුරුද්ද අනුව යමින්ය. ඒ අනුව තම විෂය පථයට අදාළ නොවන කැබිනට් පත්‍රිකා පවා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ අතර පෙරළා එය ප්‍රශ්න කිරීමට විෂය භාර ඇමතිවරයාට පවා නොහැකි විය. මේ සම්බන්ධයෙන් වඩාත්ම තිත්ත අත්දැකීම් ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වූ ජනවාරි 8 වැනිදායින් පසු එතුමා වෙනුවෙන් දැඩිවම පෙනී සිටි දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාටය. ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් බිලියන ගණනක ව්‍යාපෘති ගණනාවක් විෂය භාර අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයේ පසෙකින් බලා සිටියදී ජනාධිපතිතුමා විසින්ම ඊට අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඉදිරියේ ඇමතිතුමා කඳුළු පිරි දෑසින් උකටලීව තම දුක්ගැනවිල්ල ඩිව් ගුණසේකර ඇමතිවරයාට ඉදිරිපත් කළ ආකාරය ඉන් කලකට පසුවත් ඩිව් ගුණසේකර ඇමතිතුමා මතකයට නඟයි. 


“ජනාධිපතිතුමා ඉදිරිපත් කරනු ලබන කැබිනට් පත්‍රිකා අමාත්‍යවරු හිස සලා සිනහමුසු මුහුණින් අනුමත කළ යුතුය. ඒවා කිසිදු ප්‍රශ්න කිරීමකට ලක් කළ නොහැක. තවද කැබිනට් පත්‍රිකා සම්මතවීමට අදාළව නිරීක්ෂණ හා නිගමන ලියන්නේ ද ඊට අවශ්‍ය පරිදිය. මේ සියල්ල පිටුපස අයෝමය හස්තය මෙන් සිටින්නේ ආචාර්ය ජයසුන්දරය.”


ආචාර්ය ජයසුන්දරගේ ආර්ථික ක්‍රියාවලියට අනුව මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ සම්පූර්ණ වියදමෙන් 80%ක්ම වෙන් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වගකීම් දරන අමාත්‍යාංශ වෙතටය. අනෙක් බොහෝ ඇමතිවරුන්ට තිබුණේ එදෙස බලා සතුටු වීම පමණි. 


කැබිනට් මණ්ඩලයේ බහුතරය ගොළුවන් සේ හැසිරෙද්දී පවා චම්පික ඇමතිතුමා බෝහෝ විට නොබියව සිය අදහස් ඉදිරිපත් කළේය. මෙලෙස චම්පික ඇමතිතුමාගේ නිර්භීත අදහස් දැක්වීම් නිරීක්ෂණය කළ එක්තරා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ඔහුට පැවසුවේ “ඔබතුමා රාජපක්ෂ බස් එකෙන් බහින්න වගේ හදන්නේ. එහෙම බහිනව නම් හරිම හන්දියෙන් බැහැගන්න. අතරමඟ නම් බහින්න එපා” යනුවෙනි. 


ඉහත මෙම කරුණු සියල්ලත් එකිනෙක බැඳුණු සිද්ධිදාමයත් එක්කර චම්පික ඇමතිතුමා විසින් 2013 වසරේදී බලය සහ බලය නමින් වූ පොතක් එළි දක්වන අතර එහි මුඛ්‍ය අරමුණ වෙන්නේ 2010න් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, තම පවුලේ සාමාජිකයන් හා හිතවතුන් විසින් හසරුවනු ලබන ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ යම් ඉඟියක් සමාජයට ලබාදීමය. විශේෂයෙන් ඔහුගේ එම කෘතිය ඒ වන විට මහින්ද රාජපක්ෂ පාලනයත් සමගම මතවාදී ගැටුමක සිටි මධ්‍යම පංතියට යම් උත්තේජනයක් සැපයූ කෘතියක් ලෙස සඳහන් කළ හැකිය.


තමාගේ සිතට කුමන පරිමාණයේ ආවේගයක් ආවද ඉතා ප්‍රවේශම්කාරී එළඹුමක සිටි චම්පික ඇමතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපති සමග ගැටුම් අවම කර ගැනීමේ ප්‍රතිපත්තියකම සිටියේය. එහෙත් ඔහු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයේදී මෙන්ම පැකර්ගේ කැසිනෝ සිද්ධිය හමුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග මතවාදී වශයෙන් ගැටුමකට ගියේය. විශේෂයෙන් ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය වන විට උදය ගම්මන්පිල මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය දැක්වීය.


පැකර්ගේ කැසිනෝ ප්‍රශ්නයේදී චම්පික ඇමතිතුමා ඊට එරෙහිව ආණ්ඩුව අභ්‍යන්තරයේ විශාල අරගලයක් සිදු කළ අතර ඔහු විසින් සංවාද ගණනාවක් ද සංවිධානය කළේය. ඒ සමගම ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. ඇමතිවරු දොළොස්දෙනකු පමණ පැමිණ මතවාදීව ඔහුට සහයෝගය පළ කළේ තමන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ග්‍රහණයෙන් මිදීමටට නොහැකි බව පවසමිනි.

ඉතිරිය ලබන සතියට...

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්